Thursday, September 29, 2022
පංචමහා බලවේගයේ නිර්මාතෘ බණ්ඩාරනායක
========================================
ඔහු නමින් සොලමන් ඩයස් බණ්ඩාරනායකය. ඉපදුණේ 1899 ජනවාරි 08 වනදා කොළඹ මෝදර “එලි හවුස්” මන්දිරයේය. පියතුමන් මෙරට දේශීය නායකයා ලෙස එංගලන්ත අධිරාජ්‍යය පිළිගත් මහ මුදලි සොලමන් ඩයස් බණ්ඩාරනායකය. මව මෙරට ප්‍රතාපවත් ප්‍රභූ පවුලකින් පැවැතුණු ඩේසි ඇසිලින් ඔබේසේකර විය. ඉපදී සති කිහිපයකින් සිදු කෙරුණු බෞතිස්ම මංගල්‍යයේදී ඔහුගේ ආගමික පීතෘත්වය හිමි වූයේ එවකට ලංකාවේ අග්‍රාණ්ඩුකාරවර ශ්‍රීමත් වෙස්ට් රිජ්වේ මැතිදුන්ටය. එහෙයින් බෞතිස්ම මංගල්‍යයෙන් පසු ඔහුගේ නම සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක විය. ඔහුට බාල සහෝදරියන් දෙදෙනෙකි. ලොකු නංගී ඇනා පොලොස්තිනා වූ අතර පවුලේ බඩ පිස්සිය වූයේ ඇලෙක්සැන්ඩ්‍රා කොර්නේලියා පොඩි නංගීය.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ සිසුවකු ලෙස 1915 වසරේ දෙසැම්බරයේ දී පැවැති කේම්බිජ් සීිනියර් විභාගයට පෙනී සිටි ඔහු එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයන් වූ රටවල් සියල්ලෙන්ම පළමුවැනියා ලෙස එම විභාගය සමත් විය. අනෙක් විෂයයන්ට අමතරව ඉංග්‍රිසි, ග්‍රීක, ලතින් සහ ප්‍රංශ භාෂාවන්ද ඔහු විශිෂ්ට ලෙස සමත්ව තිබුණි. 1919 වසරේදී ඔහු සිය උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුලු විය. ඔක්ස්ෆර්ඩ් හි එකළ තිබූ වර්ණ භේදය හා ආසියානු විරෝධය නිසා වසර 2 1/2 ක් පමණ ගතවන තුරු ඔහුට අධ්‍යාපන කටයුතු හැර විශ්වවිද්‍යාලයේ කිසිදු බාහිර ක්‍රියාකාරකමක් සඳහා ඉඩක් නොලැබුණි. බොහෝ උත්සාහ කිරීම්වලින් පසුව ඔක්ස්ෆර්ඩ් හි සතිපතා පැවැත්වෙන විවාදයකට සහභාගී වන්නට 1921 නොවැම්බර් 17 දින ඔහුට අවස්ථාව හිමි විය. ලැබුණු විනාඩ් 15 ක කාලය තුළ කරන ලද කරුණු දැක්වීමේදී ඔහුගේ වටිනාකම විශ්ව විද්‍යාලයට අවබෝධ කර දෙන්නට ඔහු සමත් විය. ඔක්ස්ෆර්ඩ් හි “ආසියාවේ රිදී සීනුව” ලෙස විරුදාවලී ලැබූ ඔහු එතැන් සිට ඔක්ස්ෆර්ඩ් හි සතිපතා පැවැත්වෙන විවාදයන් සඳහා නැතිවම බැරි කථිකයකු විය.
ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුරට පත් වූ ප්‍රථම ආසියාතිකයා වීමේ ගෞරවය ද දිනා ගනිමින් 1923 දී ඊට පත් වූයේ ඡන්ද 171 ක් ලබා ගනිමිනි. ඒ ඔහුගේ ආසන්තම ප්‍රතිවාදියා වූ එංගලන්ත ජාතික ආර්.සී. මැතිව්ස් ඡන්ද 146 කට සීමා කරමිනි. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ උපාධියේ අවසන් විභාගයෙන් සහ බැරිස්ටර් විභාගයෙන් ද විශිෂ්ට ලෙස සමත් වූ ඔහු, සිය උසස් අධ්‍යාපනය නිමා කර, බැරිස්ටර්වරයෙකු ලෙස 1925 පෙබරවාරි 24 දින යළි සිය මව්බිමට පැමිණියේය.
ඔක්ස්ෆර්ඩ් සරසවියේ ගත කළ වසර කිහිපය තුළ ලෝකය පුරා හමා යමින් තිබූ සමාජවාදයේ සුළඟ ඔහුගේ ද ගත සිත වෙළා ගෙන තිබුණි. සරසවිය තුළ පැවති වර්ණ භේද වාදය සහ ආසියානු විරෝධය ඔහු දේශපාලනය කෙරෙහි වඩාත් නැඹුරු කරවීය. බ්‍රිතාන්‍යයන් ඔවුන්ගේම රට තුළත්, ඔවුන්ගේ පාලනය යටතේ තිබූ තම රට ඇතුලු යටත් විජිතයන්වලත් කටයුතු කළ ආකාරය පිළිබඳව ඔහුගේ විරෝධය ද එල්ල වෙමින් තිබුණි. තම රටේ ජීවත් වන අහිංසක ජනතාව ඉංග්‍රීසි අධිරාජ්‍යයෙන් බේරා ගනිමින් තම මව්රටට අනන්‍ය වූ පාලන ක්‍රමයක් මගින් රටත්, ජනතාවත් නගා සිටුවීම ඔහුගේ චින්තනය විය. එහෙත්, එකළ බොහෝ අධිරාජ්‍ය විරෝධීන් මෙන් සම්ප්‍රදායික සමාජවාදය පිළිබඳව ද ඔහු දැඩිව විශ්වාස නොකළේය. ඔහුට අවශ්‍ය වූයේ අධිරාජ්‍යවාදයෙන්, ධනවාදයෙන් සහ සමාජවාදයෙන් ද යහපත් දේ ලබා ගනිමින් ඒවා තම මව්බිමේ සංස්කෘතියට සරිලන සේ ගලපා ගනිමින් රටේ ජනතාව ආකල්පමය වශයෙන් ශක්තිමත් කිරීමය.
යුක්තිය, සාධාරණය, සාමය, සමගිය, සංහිඳියාව, වගකීම, එකමුතුකම, නීතියේ ආධිපත්‍යය, සාමානාත්මතාවය සහ එකිනෙකා කෙරෙහි ගෞරවාන්විත වීම ඔහුගේ හිත තුළ නිතර නිතරම පෙරළි කළ සමාජ වගකීම් විය. රටත්, ජනතාවත් සුඛිත මුදිත කිරීමට නම් මේ සියලු කරුණුවලින් පෝෂිත ජනතාවක් බිහිකිරීම පළමු පියවර බව සිතූ ඔහු එය ජනතාවට දැනෙන ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීමට නිතර වෙහෙස විය. මේ සිතිවිලි හෙවත් බණ්ඩාරනායක චින්තනය ඔහු මුල්වරට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ 1925 පෙබරවාරි 25 දින තමන් පිළිගැනීම සඳහා අත්තනගල්ල ජනතාව කළගෙඩිහේනේදී පැවැත්වූ රැස්වීම අමතමිනි. අප යටත් කරගෙන සිටි සුදු අධිරාජ්‍යය විසින් මෙරට දේශීය රාජ්‍ය නායකයා ලෙස පිළිගෙන තිබූ මහමුදලිතුමන්ගේ පුතණුවන් වූ 26 වියැති තරුණ බණ්ඩාරනායක එහිදී පැවසුවේ “මට හැමවිටම හිතෙන්නේ මා ද ඔබගෙන් කෙනෙකු ලෙසිනි. කිසියම් දෛවපෝගත සිදුවීමකින් මට ඔබ අතර විශේෂ තැනක් හිමිවන්නේ නම් ඒ ඔබගේ නායකයෙකු ලෙස නොව, සේවකයෙකු හැටියට බව හොඳින් හිත්වල තබා ගන්න” යනුවෙනි.
අධිනීතිඥවරයෙකු ලෙස හැමවිටම ඉංග්‍රීසි බැරි දුප්පත් ජනතාවට ඉංග්‍රීසි විනිසුරුවන් වෙතින් යුක්තිය හා සාධාරණත්වය ලබාදීමට උනන්දු වූ ඔහු, අලුත්කඩේ අධිකරණයේ “දුප්පතාගේ අද්වකාත්” ලෙස විරුදාවලිය ලැබීය. මේ කාලය තුළ ලංකාවේ නිදහස් සටනට කර උර දුන් ඔහු ඉදිරිපත් කළ අදහස් නිදහස් සටනට දායක වූ බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක් විය. 1926 දෙසැම්බර් 14 වෙනිදා පැවති කොළඹ මහනගර සභාවේ මරදාන කොට්ඨාශයේ අතුරු මැතිවරණයට තරග කළ කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රතිවාදියා ලෙස ඉදිරිපත් වූයේ තරුණ බණ්ඩාරනායක නීතිඥවරයාය. සීමිත පිරිසකට පමණක් ඡන්ද බලය හිමිව තිබූ, වරාය හා දුම්රිය කම්කරුවන්ගෙන් පිරුණු මරදාන කොට්ඨාශය සඳහා කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ මහතාට එරෙහිව තරග වැදීම බණ්ඩාරනායකගේ මෝඩකමක් බව බොහෝ දෙනාගේ මතය විය. එහෙත්, ඡන්ද ප්‍රතිඵලය පිටවන විට ගුණසිංහ මහතා වැඩි ඡන්ද 615 කින් පරාජය කරමින් තරුණ බණ්ඩාරනායක ජයගෙන තිබුණි.
ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ 1931 වසරෙහිදී සර්වජන ඡන්ද බලය ලැබීමත් සමඟම බිහි වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වේයන්ගොඩ කොට්ඨාශ මන්ත්‍රීවරයා ලෙස නිතරගයෙන් පත් වූ බණ්ඩාරනායක සිය අත්දැකීම් සමග වර්ධනය වූ බණ්ඩාරනායක චින්තනය තවදුරටත් ශක්තිමත් කරගැනීමට එහිදී ද උනන්දු විය. එවකට ලෝකයේ පැවති ධනවාදී සහ සමාජවාදී කඳවුරු දෙකෙන්ම යහපත් දේ ලබාගනිමින් ඒ කඳවුරු දෙකටම මැදින් රටේ සංස්කෘතිය හා බද්ධ කළ හැකි දේශීය වැඩපිළිවෙලක් මගින් රටත්, ජනතාවත් දියුණුවට පත් කිරීම ඔහුගේ අරමුණ විය. වසර ගණනාවක් තිස්සේ ඔහු පුවත්පත් හා සඟරාවලට ලියූ විවිධ ලිපි සහ විවිධ මාතෘකා යටතේ ඔහු පැවැත්වූ ප්‍රසිද්ධ දේශන පිළිබඳව අධ්‍යයනය කරන විට එය ඉතා පැහැදිලි වෙයි. ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙකු මෙන්ම, එහි පළාත් පාලනය පිළිබඳව විධායක කාරක සභාවේ සභාපතිවරයා හෙවත් ඇමතිවරයා ලෙසත් රට ගොඩනගන්නට, ජනතාව පෙළන දරිද්‍රතාවය අවම කරන්නට ඔහු හැකිතාක් වෙර දැරුවේය. සෞඛ්‍යය, අධ්‍යාපනය සහ කෘෂිකර්මය වැනි ජනතාවට වැදගත් ක්ෂේත්‍රයන් ශක්තිමත් කිරීමට රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ද ඔහු දැරූ උත්සාහය ඉතා විශිෂ්ටය.
පරිපූර්ණ සමෘද්ධිමත් සමාජයක් බිහි කිරීමට නම් එහි විනය, නිරෝගීකම, දැනුම, ආහාර හා ශ්‍රමය යන කරුණු අත්‍යාවශ්‍ය අංගයන් බව ඔහුගේ දැනුමෙන් සහ ප්‍රායෝගිකත්වයෙන් ඔහු හඳුනාගෙන තිබුණි. 1951 ජූලි 09 දින පැවති සිංහල මහා සභාවේ සුප්‍රසිද්ධ මාදම්පා සම්මේලනයේදී එකී පදනම මත සකස් කෙරුණු යෝජනා 07 ක් ඒකමතිකව සම්මත කෙරුණි. එම යෝජනා පිළිබඳව රජයේ ප්‍රතිචාරය අනුව ඉදිරි පියවර ගැනීමට තීරණය විය. මෙම යෝජනා පිළිගැනීමෙන් රටට සිදුවන යහපතට වඩා තම දේශපාලන බලපරාක්‍රමයට සිදුවන හානිය ගැන සිතූ ඩී.එස්. සේනානායක අගමැතිවරයා එම යෝජනා 07 ම ප්‍රතික්ෂේප කළේය. එහෙයින්, තම කණ්ඩායම සමග රජයෙන් ඉවත් වීමට තීරණය කළ බණ්ඩාරනායක ඇමතිවරයා 1951 ජූලි 12 දින පැවති අයවැය විවාදය ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය අමාත්‍ය පදවියෙන් සහ සභානායක පදවියෙන් ද ඉවත්ව විපක්ෂයේ අසුන් ගත්තේය.
බණ්ඩාරනායක ඇමතිවරයාගේ මේ විපක්ෂයට යාම සමහර දෙනා පවසන්නේ ඩී.එස්. සේනානායක මහතාගේ අභාවයෙන් හිස් වූ අගමැති පදවිය නොලැබුණු නිසා ඔහු විපක්ෂයට ගිය බවය. එහෙත්, ඩී.එස්. සේනානායක අගමැතිවරයාගේ හදිසි මරණය සිදුවන්නේ බණ්ඩාරනායක මහතා විපක්ෂයට ගොස් මාස 08 කටත් පසුව 1952 මාර්තු 22 දිනය. ඒ වනවිට බණ්ඩාරනායක මහතා සිය සභාපතීත්වයෙන් යුතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පිහිටුවා මාස 06 කටත් වඩා ගත වී තිබුණි.
1951 සැප්තැම්බර් 02 දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමෙන් බණ්ඩාරනායක මහතා බලාපොරොත්තු වූයේ වසර ගණනාවක් පුරා තම සිතෙහි වර්ධනය වෙමින් තිබූ දේශපාලන න්‍යාය හෙවත් බණ්ඩාරනායක චින්තනය රටට වැඩදායක දේශපාලන ප්‍රතිපත්තියක් ලෙස සක්‍රීය කිරීමට බව පැහැදිලිය. සමාජයේ දියුණුව සඳහා අත්‍යවශ්‍ය අංගයන් ලෙස ඔහු දුටු විනය, නිරොගීකම, දැනුම, ආහාර සහ ශ්‍රමය යන පංචාංගය ජනතාවට වඩාත් සමීප කර එහි වැදගත්කම අවබෝධ කරදීමට නම් එම කරුණු සිය දේශපාලන වැඩපිළිවෙල තුළ සජීවිකරණය කළයුතු බව ඔහු සිතුවේය. ඒ සඳහා මෙරට සාමාන්‍ය ජනතාවට වඩාත් සමීප සජීවි චරිත ඔහු තෝරා ගත්තේය. ඒ අනුව විනය නිරූපණය සඳහා එකළ සමාජයේ වඩාත්ම විනයවත් පිරිස ලෙස සැලකුණු බෞද්ධ භික්ෂුව තෝරා ගත් ඔහු, නිරෝගීකම වෙනුවෙන් ගමේ වෙද මහතා තෝරා ගත්තේය. දැනුම වෙනුවෙන් ගුරුවරයාත්, ආහාර වෙනුවෙන් ගොවියා සහ ශ්‍රමය නිරූපණය සඳහා කම්කරුවාත් ඔහුගේ තේරීම විය. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පදනම යනු සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය බව පැවසූ ඔහු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් යටතේ මෙම පංච මහා බලවේගය ශක්තිමත් කරමින් රට සමෘද්ධිමත් කරන බව ද පැවසීය.
“මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම” බව සිය ජීවිතයේ පරමාදර්ශය කර ගත් ඔහු 1956 අප්‍රේල් 12 දින භාර ගත් අගමැති පදවිය හෙබවූ වසර 3 1/2 කටත් අඩු කාලය තුළ එය ජනතා සේවය සඳහාම කැප කළේය. බස් ජනසතුව, තෙල් ජනසතුව, මැයි දිනය නිවාඩු දිනයක් කිරීම, සේවක අර්ථසාධක අරමුදල පිහිටුවීම, රටේ විශ්ව විද්‍යාල පද්ධතිය දෙගුණයක් කිරීම, සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කිරීම ඔහු කළ ජනතා සේවාවන්ගෙන් අංශු මාත්‍රයක් පමණි. මේ අතරින් සිංහලය රාජ්‍ය භාෂාව කිරීම පිළිබඳව බොහෝ දෙනා අද ඔහුට නිර්දය ලෙස පහර දෙති.
සැබවින්ම එකළ ප්‍රභූ සහ වරප්‍රසාද ලත් පංතිවල ජනතාවට පමණක් සීමා වී තිබූ උසස් අධ්‍යාපනය සඳහා ගමේ දරුවන්ට පහසුකම් සැලසුනේ එමගිනි. ඔහු එදා සිංහලය රාජ්‍ය භාෂාව කිරීම නොවන්නට අදත් පාර්ලිමේන්තුවේ සිටින බොහෝ දෙනෙකුට සිදුවන්නේ “කපුටාස් හිට් ද ප්ලේන්” කීමට පමණි. මක්නිසාද ඒ වනතුරු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුනට සිංහලෙන් පාර්ලිමේන්තුව ඇමතීමට හැකි වූයේ කතානායකවරයාගේ පූර්ව අවසරය මත දිනකට විනාඩි 20 ක් පමණක් හෙයිනි. අනෙක් අතට සිංහලය රාජ්‍ය භාෂාව නොවූයේ නම් උසාවියකට යන ගැමියෙකුට සිදුවන්නේ ලෙනාඩ් වුල්ෆ්ගේ “බැද්දේගම” නවකතාවේ එන සිළිඳුට සිදුවූ දේමය. බොහෝ දෙනා අද කියන පරිදි සිංහලය රාජ්‍ය භාෂාවක් කිරීමෙන් ඉංග්‍රීසි ඉගෙනීමට කිසිදු බාධාවක් වූයේ නැත. එහෙත් ඉංග්‍රීසිය නොදැනීම නිසා ඉදිරියට යාමට නොහැකිව සිටි ගැමි දරුවනට සිය උපාධිය දක්වා මව් භාෂාවෙන් ඉගෙනීමට ඒ නිසා හැකි විය. එහෙයින්ම ගමක් පාසා වෛද්‍යවරුන්, නීතිඥවරුන්, පරිපාලන සේවා නිලධාරීන් ද බිහි විය.
මෙම තත්ත්වය පිළිබඳව වෙනම කතා කළ යුතුය. පංච මහා බලවේගය කුමක්ද යන්න අවබෝධ කර නොගෙන එහි දේශපාලනික නිරූපණය පිළිබඳව පමණක් සිතා භික්ෂුව දේශපාලනයට ගෙන ආ බවට චෝදනා කරන අතරේ ඊට තරුණ හා රණවිරු බලවේග එක් කර සප්ත මහා බලවේගය කළ යුතු බවට කියන බුද්ධිමතුන් සිටින රටකි, මෙය. අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට පෑගි සිට සියවස් එකහමාරකට පමණ පසු, ඉන් යම් සහනයක් ලැබූ පසු සිය මව්බසින් රටේ පොදු කටයුතු කිරීමට එරෙහි වන රටකි මෙය. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ට දෙස් දෙවොල් තබමින් උන්ගේ මව්බස වන ඉංග්‍රීසියට මුල් තැන දෙන්නට කැසකවන රටකි ලංකාව. කරන්නට සැලසුම් කර තිබූ බවට සිතිය හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් සිංහල, දෙමළ, මුස්ලිම් සියල්ලන්ටම සම අයිතිවාසිකම් හා වගකීම් සහිත ලංකාවක්, බණ්ඩාරනායක චින්තනය අනුව ගොඩනගන්නට අඩුම තරමින් තවත් අවුරුදු 5 ක් වත් ඔහු ජීවත්ව සිටියේ නම් අපේ රට ගැන අද අපට ආඩම්බර විය හැකිව තිබූ බව මගේ විශ්වාසයයි.
විශ්ව විද්‍යාලය ගැන අද බොහෝ දෙනා බොහෝ දේ කියති. විශ්ව විද්‍යාල ප්‍රජාව කියන කරන බොහෝ දේ ගැන ද අපි දන්නෙමු. එදා අපේ රටේ තිබූ විශ්ව විද්‍යාල පද්ධතිය දෙගුණයක් කිරීමෙන් පසු අවස්ථාවක විශ්ව විද්‍යාලය ගැන එතුමන් පැවසූ ස්වර්ණමය වදනකින් මෙය අවසන් කරමි. මෙය නිවැරදිව අරුත් ගන්වා ගතහොත් සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායකයන් ඉතා හොඳින් හඳුනා ගැනීමට ඕනෑම අයෙකුට හැකිවනු ඇත.
“මිනිසා විසින් තනන ලද සියලුම රසායනාගාර අතරින් ඉහළම හා ඉතා වැදගත්ම රසායනාගාරය වන්නේ විශ්ව විද්‍යාලයයි.”
මොන්ටේගු සරච්චන්ද්‍ර
ශ්‍රී.ල.නි.ප. විධායක සභික /
මනෝවිද්‍යා උපදේශක
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment