Saturday, July 16, 2022

බැසිල්ගේ කුමන්ත්‍රණය හරියයි ද?

 


ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ සටනට චීනය ප්‍රබල ලෙස මැදිහත් වී ඇති බවට මේ වන විට විශ්වාසනීය ආරංචි මාර්ග තහවුරු කරයි. ඒ වෙනුවෙන් චීන තානාපති කාර්යාලය විශාල වශයෙන් මුදල් වියඳම් කරන  බවත්, ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයන් සහ මාධ්‍ය ආයතන වෙත ඉතා යහමින් මුදල් පොම්ප කරන බවත් එම ආරංචි මාර්ග තවදුරටත් තහවුරු කරයි.

රටේ පවතින ආර්ථික අර්බුදයෙන් ගැලවීමට වෙනත් කිසිදු මගක් නොදුටු නිසා රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය ලබා දුන්න ද, ඔවුන් රනිල් කවුදැයි හොඳින් හඳුනාගෙන සිටිති. රනිල්ට බලය ලබා දීම හරහා තමන්ට කිසිදු ලෙසකින් වත් ආරක්ෂාවක් නොලැබෙන බව ඔවුන්ගේ විශ්වාසයයි. 

යහපාලන සමයේ පවා රනිල්ගෙන් රාජපක්ෂවරුන්ට සහනයක් ලැබුණේ නැත. මෛත්‍රීපාල සිරිසේනගේ ආරක්ෂාව නොලැබෙන්නට ගෝඨාභය පවා මෙ වන විට සිටින්නේ සිරගත වය.

රනිල්ගේ මැදිහත්වීම මත ඇති කළ මූල්‍ය අපරාධ කොට්ඨාශය FCID ආරම්භ කළ පරීක්ෂණ සිරිසේන අතර මග නවතා නොදමන්නට ඔවුන්ට විශාල අකරතැබ්බයන්ට මුහුණ දීමට සිදු ව තිබුණි. ඒ නිසා මේ මොහොතේ රාජපක්ෂවරුන්ට රනිල්ට වඩා සිරිසේනව විශ්වාසජනකය. ඊටත් වඩා ඔවුන් මහින්ද රාජපක්ෂගේ අතිජාත ශිෂ්‍යයෙකු වන ඩලස් අලහප්පෙරුම විශ්වාසජනක ය.

ඩලස් දේශපාලනික ව ගොඩනැගුවේ අනුර බණ්ඩාරනායක වුව ද, ඔහුගේ පූර්වාදර්ශය වූයේ මහින්දයි. ඒ නිසා ඩලස්ට මහින්ද වෙනුවෙන් කළ නොහැක්කක් නොමැත. චන්ද්‍රිකා පාලන සමයේ ඇමෙරිකාවට පැන ගොස් සිටි ඩලස් නැවත් බැසිල් සහ ‍ගෝඨාභය සමග ලංකාවට පැමිණෙන්නේ ද 2005 මහින්දගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙනි.

ඩලස්ගේ පමණක් නොව රාජපක්ෂවරුන්ගේ  ගැලවුම්කාරයා වන්නේ ද චීනයයි. ඩලස් පමණක් නොව විමල්, වාසු, සිරිසේන පෝෂණය කරන්නේ ද චීනයයි. ඒ නිසා මේ මොහොතේ රනිල්ට විරුද්ධව මේ සියලු පාර්ශව එකට කඳවුරු බැඳගෙන් සිටිති. ඔවුන් පහර ගසන්නේ මුහුණුට මුහුණ නොව ගරිල්ලා ක්‍රමයකට ය. පළමු පහර දීම සිදු කළේ පොහොට්ටුවේ සහාය රනිල්ට ලබා දෙන බව පවසමිනි. ඔවුන්ට සැබෑ ලෙසම රනිල්ට සහාය ලබා දීමට අවශ්‍යව තිබුණේ නම් මේ වන විට ඉතා දැඩිව ජනතා අප්‍රසාදයට ලක්ව සිටින පොහොට්ටුවේ සහාය රනිල්ට ලබා දෙන බව පවසන්නේ නැත. එවිට රනිල් ජනතා අප්‍රසාදයට ලක් වන බව ඔවුන් නොදන්නවා නොවේ. ඒ සියල්ල බැසිල්ගේ සූක්ෂ්ම සැලසුම් ය. මේ වන විට රාජප්කෂවරු ප්‍රමුඛ පොහොට්ටුවේ කොටසක්, සජිත් ප්‍රමුඛ සජබෙ කොටසක් වගේම සිරිසේන ද එකට එක්ව අවි අමෝරා ගෙන සිටිති.

ඒ අතර මේ ආර්ථික අර්බුදය පිළිබඳ සැබෑ අවබෝධයක් සහිත එම පක්ෂ තුනේ මධ්‍යස්ථ මතධාරී පිරිසක් රනිල් සමග පෙරට පැමිණ තිබේ. මේ ආර්ථික අර්බුදය විසඳීමේ එකම හැකියාව ඇති පුද්ගලයා රනිල් පමණක් වන නිසා චීනය සහ රාජපක්ෂ රෙජිමයේ අපේක්ෂාවලට වඩා මහජන අවශ්‍යතාව ජයග්‍රහණය කරනු ඇති බන අපේ විශ්වාසයයි. එහෙත් ඒ දූරදර්ශී තීර්ණය ගත යුත්තේ 225ක් වන මහජන නියෝජිතයන් විසිනි. ඔවුන් ගන්නා වැරදි තීරණයක් නිසා මහජනයා කබලෙන් ලිපට වැටුනොත් ඔවුන්ගේ ගෙවල් පමණක් නොව උන් හිටි තැන් ද නැති වන තරමට මහජන විරෝධය දැඩි විය හැකි බව අපේ තක්සේරුවයි. අපට කළ හැක්කේ බලා සිටීම පමණි.

No comments:

Post a Comment