Thursday, June 8, 2023

ලෝක සිතියමේ අපට අනුගමනය කිරීමට සුදුසු රටක් තිබේනවානම් ඒ ජපානයයි

 

ලෝක සිතියමේ අපට අනුගමනය කිරීමට සුදුසු රටක් තිබේනවානම් ඒ ජපානයයි

-         -  කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්‍රික් රත්නායක


 

ශ්‍රී ලංකාව සහ ජපානය අතර දිගු කාලීන මිත්‍රත්වයක් පවතින අතර මේ නිසාම පජානය ශ්‍රී ලංකාව වෙනුවෙන් අවස්ථා ගණනාවකදී විවිධ අයුරින් උදව් උපකාර සිදුකර තිබේ. එම මිත්‍රතත්වයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ඉතා පහසු ණය අධාර යටතේ ලැබුණු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීමත් සමග ජපන් ශ්‍රී ලංකා සබඳතා පලුදු වු අතර වත්මන් ආණ්ඩුව විසින් එම සබඳතා යළිත් ශක්තිමත් කරගැනීමේ උත්සහයක නිරතවෙමින් සිටියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස යලිත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය රටට ලැබී තිබේ. ජපන් මිත්‍රතත්වය සහ සම්ප්‍රදාය තුළින් ශ්‍රී ලංකාව වෙනස් විය යුත්තේ කෙසේද යන්න පිළිඳව දීර්ඝ සාකච්ඡාවක් අවශ්‍ය වේ. කෙසේ උවද ජපානය සම්බන්ධයෙන් අත්දැක්ම් බහුල   කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්‍රික් රත්නායක මහතා මහතා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළෙමු.

 

ජපන් ශ්‍රී ලංකා සම්බන්ධතා සඳහා දිර්ඝ ඉතිහාසයත් තිබෙනවා. මේ ගැන මුලින්ම කතාකළොත්?

 

ලෝක සිතියමේ තිබෙන විවිධ ජාතීන් විවිධ රටවල් අතරින් මගේ අත්දැකීම් අනුව අපේ ඉපැරණි ඉතිහාසය සහ සංස්කෘතිය ගැන සලකා බලනවිට අපිට ලගම තිබෙන ඉන්දියාවටත් වඩා  ජපානය හැම අතින්ම සමීපයි. ප්‍රධාන වශයෙන්ම ගත් විට බත් ආහාරයට ගැනීම ආසියානු සංස්කෘතියේ පොදු ලක්ෂණයක්. සහල, බැත හා කෙත මූලික කරගත් මෙම සංස්කෘතිය ජපන් බසින් 'ඉනසකු බුන්කා' නමින් හඳුන්වනවා. මේ සංස්කෘතික ලක්ෂණය අපට මෙන්ම ජපානයටත් පොදුයි. ජපානය තාක්ෂණය හා කර්මාන්ත පදනම් කරගත් රටක් කියලා බැලූ බැල්මට හිතෙන්න අපට පුළුවන්. නමුත්, ඒ අදහස වැරැදියි. ජපන් රට හා ජන සමාජය පදනම්ව තිබෙන්නේ කෘෂිකර්මය මතයි. මේ මත පදනම්ව රටක් දියුණු කිරීම සඳහා කෘෂි කර්මාන්තයෙන් ගත හැකි දායකත්වය ගැන ජපන් සමාජයෙන් අපට අදහසක් ගන්න පුළුවන්. ඊළඟ කාරණය බුදු දහමයි. බුදුදහම හා කෘෂිකර්මය මධ්‍ය කර ගත් සංස්කෘතිය අප දෙරට අතර මහා පොදු සාධකය බවට පත්ව තිබෙනවා.මේ අනුව ලෝක සිතියමේ අපට අනුගමනය කිරීමට සුදුසු රටක් තිබේ නම් ඒ ජපානයයි.

අපේ රටේ විවිධ රජයන් යටතේ පැවතුනු මතවාද රටට ප්‍රතිපල දායක නොවන හදිසි ප්‍රතිපත්ති වලට යොමුවීම නිසා අපේ විදේශ ප්‍රතිපත්තියට බරපතල ගැටලු සිදුවුනා.  ජපානය වගේ රටක් සමඟ අපේ සම්බන්ධතා වර්ධනය කරගත යුතුව තිබුණේ අපේ දූත මෙහෙවර සමගයි. ජපානය පමණක් නොවෙයි අනිකුත් රටවල් වලටද අපේ නියෝජිතයින් යවන විට අපේ සංස්කීතිය සංකල්ප නියෝජනය වන උගතුන් බුද්ධිමතුන් යොමුකළ යුතුයි කියලා මම හිතනවා.

 

 

ලෝක සිතියමේ අපට අනුගමනය කිරීමට සුදුසු රටක් තිබේනවානම් ඒ ජපානයයි 

 

 

ඇමරිකානු ඩොලර් බිලියන 1.5 වගේ විශාල මුදල් ප්‍රමාණයක් වෙනුවෙන් 0.1෴ ක පොලියක් යටතේ වසර 40 කින් ගෙවන්න කාලය ලබාදීලා ණයක් ලබාදීම ගැන මටනම් අදටත් හිතාගන්න බැහැ. එයටත් වසර 12 ක නිදහස් කාලපරිච්ඡේදයකුත් ලබාදුන්නා. මෙය තමයි අපිට ලෝකයෙන් ලැබුණු වැඩිම සහනශීලි ණය ප්‍රමාණය. නමුත් අපේ තිබුණු දේශපාලන මතිමතාන්තර , බෙදුනු ආකල්ප නිසා මේ ව්‍යාපෘතිය පැවති ආණ්ඩුව විසින් නතර කලා. ජපානය කියන රට අතහිත දීමට තමයි මෙවැනි ව්‍යාපෘතීන් හදුන්වලා දුන්නේ. එය භාරගන්නවා වෙනුවට අපි එය ප්‍රතික්ශේප කළා. ඒසඳහා විවිධ හේතුන් තිබෙනවා. නමුත් විවිධ දේශපාලන පක්ෂ ආණ්ඩු  පුද්ගලයින් මේ රට පාලනය කරන්න පුළුවන් නමුත් මේ සියල්ලටම හරි මාවතක් සිස්ටම් එකක් තිබිය යුතුයි. එසේ නොතිබුණු නිසා අපිට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අපිට අහිමිවුණා.

ලෝකයේ දියුණු රටවල්වල අගනුවර කේන්ද්‍රීයව විශාල දියුණුවක් ඇතිවෙන විට ඒ අගනුවර සිට ඈත පළාත් වලට දිවෙන මංමාවත් වල ඇතිවෙන අවහිරතාවන් මගහරවාගැනීමට දුම්රිය මාර්ග පද්ධතිය අහසට ගන්නවා නැතිනම් පොළව යටට ගෙනියනවා. කුමක් හෝ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කළ යුතුයි. උදාහරණයක් ලෙස ජපානයේ ටෝකියෝ නුවර දුම්රිය මාර්ග පද්ධතිය විශාල වියදමක් කරලා ඉහළට ගත්තා. මේනිසා ඉන්ධන කාලය ඉතිරිකරගැනීමට විශාල උදව්වක් වෙනවා. අපේටටත් ඒ ආභාශය ලබාදෙමින් සැහැල්ලු දුම්රිය පද්ධතිය ක්‍රියාත්මක කළා. එය හරියට කලානම් අපිට දෙවැනි අධියරත් ක්‍රියාත්මක කරවාගන්න තිබුණා. නමුත් අපි එය ප්‍රතික්ශේප කළා. නැවත වරක් එය ලැබීම සතුටට කරුණක්. ජපානය කියන රට දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව  කිසිම දවසක ඔවුන් කිසිදු ජාතියකට රටකට සංස්කෘතියකට අභියෝග කරන්නේ නැහැ. ඔවුන් නිහතමානීව කටයුතු කරගෙන යනවා. ඒකෙන් අපිට පාඩුවක් නැහැ.

 

 

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ජපන් සබඳතා යළි තහවුරු කරගැනීමට දරන උත්සහය සාර්ථක වේවිද ?

 

ජපානය අපිට හිටපු හොදම හිතවතා ඥාතියා . අපි ඔහුව තරහා කරගතතේ නැහැ. අපි අමනාප කරගත්තා. එයට ප්‍රධානම හේතුව වුනේ අපේ සංවර්ධන ප්‍රතිපත්තිය තුළ ජපානය දුන්නු අතහිත අපි අමතක කළ නිසා. කොහොම උනත් රාජ්‍ය නායකයාගේ ජපන් සංචාරය සමග මේ ඇතිවී තිබුණු දුරස්ථභාවය නැවත සමීප කරගන්න ගත් උත්සහයක් ලෙස මම දකිනවා. ජපානය අපි සමග ඇතිවුණ සිත්තැවුලට සමස්ත රටවෙනුවෙන්ම කණගාටුව ප්‍රකාශ කරන්න රාජ්‍ය නායකයා ගත් උත්සහයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්. ඒවගේම මෙවර ජනාධිපතිවරයා ජපානයට ගොස් ආසියාවේ අනාගතය නමින් පැවැත්වු විශේෂ සමුළුව ඇමතුවා. ඒ ඇමතීමේදී ඉතාම බලවත් කතාවක් කිව්වා. දියුණුවෙමින් පවතින රටක රාජ්‍ය නායකයෙන් විදිහට එවැනි ප්‍රකාශයක් කිරීම ගැනත් මම පුදුමයට පත්වෙනවා. ජනාධිපතිවරයා කිව්වේ අපි ඇමරිකාව සහ චීනය කියන බලවතුන්ගේ අතරමැදි තත්වයට පත් නොවිය යුතුයි කියන කාරණය . ආසියාවේ දියුණුව උදෙසා නිවැරදි මාවතක් තෝරාගත යුතුයි කියන ජනාධිපතිවරයා අවධාරණය කළා. එකෙන් අදහස් වෙන්නේ ඇමරිකාවවත් චීනයවත් ප්‍රතික්ශේප කිරීමක් එමගින් සිදුවුනා කියලා. යම් ආකාරයකට අතීතයේ තිබුණු මැද මාවත එහෙමත් නැතිනම් නොබැදි ප්‍රතිපත්තියේ හිදිමින් ඉදිරියට ගමන් කිරිම කියන ප්‍රතිපත්තිය පිළිබඳ ඔහු අදහස් දැක්වුවා කියලයි මම හිතන්නේ.

වර්තමාන රාජ්‍ය නායකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මා ආසන්න කාලයේ අවස්ථා දෙකකදී ජපානයට ගියා. ජපන් අගමැති ෆුමිඕ කිෂිඩා මහතා හමුවුනා. ඒවගේම හිටපු අග්‍රාමාත්‍යවරුන් කිහිපදෙනෙක් හමුවුනා. ජපන් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානීන් හමුවුණා. ජපන් ව්‍යාපාරික සමුළුව ඇමතුවා. ඒවගේම ලෝකයේ අනාගතය තිබෙන ආසියාව පිළිබඳ ඔහු බොහොම වැදගත් කතා කිහිපයක්ම කිව්වා. ආසියාවේ ප්‍රබල රටවල රාජ්‍ය නායකයින් , අමාත්‍යවරුන් හමුවුනා. මම හිතනවා මේ ගමන ප්‍රතිපලදායක වෙයි කියලා.

 

ජපානය තුළ සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. ඔබත් ජපානයේ අත්දැක්ම් සමුදායක් ලද පුද්ගලයෙක් . ඔබේ අත්දැකීම් සමග ඒ පිළිබඳවත් කතාකළොත්?

 

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තුළ උසස් අධ්‍යාපනය ගැන කතාකරද්දි අපිට විශ්ව විද්‍යාල 16 ක් තිබෙනවා. නමුත් ජපානයේ ටෝකියෝ නුවර විතරක් විශ්ව විද්‍යාල 150 ට වඩා තිබෙනවා. ඒකෙන් වැඩි ප්‍රමාණයක් පුද්ගලික විශ්ව විද්‍යාල. නමුත් අපේ රටේ පුද්ගලික විශ්ව විද්‍යාල කියන සංකල්පයම අතිශය විශ්වසනීයත්වයෙන් තොරවුණ මිනිසුන් විරුද්ධවන තැනකට තමයි  යොමුවෙලා තිබෙන්නේ. නමුත් ජපානය කියන රට තුළ නීති ප්‍රතිසංස්කරණ  තුළ ජපානයේ එක්දහස් අටසිය හැට ගණන් වල ඇතිවුණ සමස්ත පරිවර්තනයට හේතුවුනා. ඒ නීති ප්‍රතිසංස්කරණ වලදී ගත්තු නිදහස් ප්‍රතිපත්තිය තමයි වර්තමාන ජපානය බිහිවෙලා තියෙන්නේ. අධ්‍යාපනය ආර්ථිකය විදෙස් ප්‍රතිපත්ති මේ හැමදේම ගැන නීති ප්‍රතිසංස්කරණය කලා. අපේ රටේ ප්‍රතිසංස්කරණවලදීත් මේ අභාශය ලබගනියි කියලා මම හිතනවා. අපිට වෙනස් වෙන්න තිබුණු අවස්තා කිහිපයක් තිබුණා. නමුත් අපි ඒ සියල්ල අතහැරියා. දැන් ආයෙත් අවස්තාවක් අපිට ඇවිත් තිබෙනවා වෙනස් වෙන්න. ඒඅවස්ථාව හරියට භාවිතා කරන්න අපි හැමෝම සුදානම් වෙන්න අවශ්‍ය වෙනවා.

ඒවගේම අපේ විශ්ව විද්‍යාල ගැන කතාකරද්දි මානව ශාස්ත්‍ර හා කළමණාකරන වැනි පීඨවල නිවැරදි කළමණාකාරීත්වයන්  නොමැති නිසා බොහෝ විට ඒවා නඩත්තු මධ්‍යස්ථාන බවට පත්වෙලා තිබෙනවා. ඇත්තටම මේ බදුමුදල් වලට සරිලන ලෙස අපි අපේ ශ්‍රමය , ඥානය අපි කැපකරලා තියෙනවාද කියන ප්‍රශ්න අපිට මතුවෙනවා. මේ රට අනාගතයට යාමට සරිලන ලෙස අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තවම සුදානම් වෙලා නැහැ. එදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇති කළේ ප්‍රතිපාදන බෙදා දෙන්න. අදවන විට අනවශ්‍ය විදිහට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් මධ්‍යස්ථානට නඩත්තු මධ්‍යස්ථානයක් වෙලා. මේ යන විදිහට වත්මන් රාජ්‍ය නායකයා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරලා ඊටවඩා සරල සුගම ක්‍රමවේදයක් ඔස්සේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන විදිහට විශ්ව විද්‍යාල වලට ස්වාධීනව නැගී සිටීමේ අවස්ථාව ලබාදෙන්න යනවා කියලා මට හිතෙනවා. එයත් ජපන් ක්‍රමයක් ලෙසයි මම දකින්නේ. ජපානය ඒසඳහා මුලික වැඩපිළිවෙල ආරම්භකළේ අර මුලින් සඳහන් කළ ප්‍රතිසංස්කරණ වලින්. රාජ්‍ය විශ්ව විද්‍යාල සංකල්පය වෙනම තිබෙනවා, පුද්ගලික විශ්වවිද්‍යාල සංකල්ලපය වෙනම තිබෙනවා. ඒවා නිසි පරිදි නියාමයන වීමත් සිදුවෙනවානම්  අපේ අධ්‍යාපන පද්ධය සැලකිය යුතු ලෙස වර්ධනය කරන්නය පුළුවන්කම ලැබෙනවා. එහෙම කළොත් උසස් අධ්‍යාපනය අයුතු විදිහට ක්‍රියාවේ යෙදවෙන්නේ නැහැ. ජපානයේ අධ්‍යාපනය ලබන විද්‍යාර්තයින්ගෙන්  80.6෴ ම විශ්වවිද්‍යාල, උසස් තාක්ෂණික ආයතන , වැනි කුමන හෝ ආයතනවලට මේ ප්‍රජාව යොමුවෙනවා. මේ සියල්ලම රටේ ව්‍යවසායට දායකවෙනවා. නමුත් අපේ රටේ මේදේ වෙන්නේ නැහැ. ඒ නිසා අධ්‍යාපනය සහ ව්‍යවසාය ඒකබද්ධ වෙන්න අවශ්‍යයි. එහෙම උනොත් තමයි ජනතාවට සහන ලැබෙනනේ .උදාහරණයකට එක නගරයක ඉන්ධන පිරවුම්හල් හතරක් තිබෙනවා කියලා හිතන්න. මේ හතර හිමිකාරිත්වය වෙන වෙනම ආයතන හතරක්  යටතේ සිදුවෙන්නේ. නමුත් මෙවා පවතින්න අවශ්‍ය නිසා පාරිභෝගිකයාට සහනශීලීත්වකයක් ලැබෙනවා. එය තමයි ඇතිවෙව්ව අවශ්‍ය දේ. නමුත් අපේ රටේ සිදුවේනේ ඒක නෙවෙයි. ජපානයේ තිබෙන්නේ අවසාන පුරවැසියා දක්වා ප්‍රතිලාභ ලැබෙන ක්‍රමයක්. අපේ රටේ බදු සම්බන්ධයෙන් තිබෙන්නේ අකමැති ආකල්පයක්. නමුත් ජපානයේ මිනිස්සු බදු ගෙවන්නේ කැමැත්තෙන්. සමහර නගරවල බෝඩ් ගහලා තියෙනවා “වැඩිම බදු අයකරන බඩු භාණ්ඩ අනේ නගරයෙන්ම මිලදී ගනිමු” කියලා ඒ මොකද බදුවලින් තමයි ඒ නගරය දියුණුවෙන්න්.

 

ඔබ කැළණිය විශ්වවිද්‍යාලයට ජපන් අභාශය යොදාගත්තාද?

 

මම කැළණිය විශ්වවිද්‍යාලයට  පැමිණියේ 2000 වසරේදී. ජපන් ක්‍රමය මම විශ්වවිද්‍යාලයට ගෙනාවා. අධ්‍යයන අංශයක් විශ්වවිද්‍යාලය තුළ ඇති කළා. ඒසඳහා විවිධ ආධාර සපයාගෙන වැඩසටහන් සාර්ථක කරගත්තා. විදෙස් සිසුන් ගණනාවක් ලංකාවේ විශ්වවිද්‍යාලවල අධ්‍යයාපනය හදාරනවා. විශේෂයෙන්ම ඔවුන් හදාරන්නේ අපේ සංස්කෘතිය ආගම භාෂාව වගේ කාරණා. අපි මේගැන අවධානය යොමුකළ යුතුයි. මොකද එයත් ඩොලර් උපයාගන්නා තවත් එක ක්‍රමයක් නිසා.

 පපානයේ පාසල් අධ්‍යාපනය ගැන කතාකළොත් ඒරටේ ළමයට තමයි ලියුම ලැබෙන්නේ ඔහුව ළගම පාසලට තෝරාගත්තා කියලා. ළමයි පාසල් යන්නේ පයින්. මුළු රටේම පංති කාමර ඒකසමානයි. සිසුන් ප්‍රමාණය සමානයි. අඛණ්ඩ අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපනයට යොමුවෙනවා. බොහොම සාර්ථකව අධ්‍යාපනය ක්‍රියාත්මක වෙනවා. මෙවැනි සංකල්ප අපි අපේ රටට යොදාගත යුතුයි.

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Wednesday, May 31, 2023

කුරුණෑගල මහ නගර සභාවේ ප්‍රජා කමිටු ක්‍රමවේදය අසාර්ථකයි

 


 

-         පරිසර කමිටුව වසර 03 ක් රැස්වෙලා නැහැ

-         නුදුසුස්සෝ සමාජිකයෝ කරලා

 

ප්‍රජා සහභාගීත්ව සංකල්පය මේවනවිට ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වන අතර ලංකාවේ පළාත් පාලන ආයතන තුළද එය ක්‍රියාත්මක කළ යුතු බවට පළාත් පාලන පනත තුළ ම සඳහන් කර තිබේ. එසේ උවද එය නිසිපරිදි ක්‍රියාත්මක වනවාදැයි යන්න ගැටලු සහගතය.  පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන අයතන ආදී ලෙස පවතින පරිපාලන ව්‍යුහයන් අතරින් ජනතාවට වඩාත් සමීපතම පරිපාලන ව්‍යුහය වන්නේ පළාත් පාලන ආයතනයි. වර්තමාන ආණ්ඩුකරණය තුළ පළාත් පාලන ආයතන හෙවත් ප්‍රාදේශිය ආණ්ඩුකරණය සඳහා ජනතාවගේ සහයෝගයද ලබාගැනීම හෙවත් ප්‍රජා සහභාගීත්ව සංකල්ප ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන්නේ දුෂණ වංචා අවම කරගත් ජනතාවට සමීප පාලන ක්‍රමයක් ස්ථාපිත කරගැනීම උදෙසායි.

 
පළාත් පාලන ආයතන වර්ග

 

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන 341 ක් ඇති අතර  ඒ අනුව මහ නගර සභා 24 ක් , නගර සභා 41 ක් සහ ප්‍රාදේශිය සභා 276 ක් ශ්‍රීලංකාව තුළ ස්ථාපිත කර තිබේ. මෙම එක් එක් පළාත් පාලන ආයතන තුළ  ප්‍රජා සහභාගීත්ව තහවුරු කරගැනීම පිණිස විවිධ කමිටු පිහිටවිය යුතු බව 1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනතේ දක්වා ඇත.  ඒ අනුව මුදල් හා ප්‍රතිප්ති සම්පාදන කමිටුව , නිවාස හා ප්‍රජා සංවර්ධන කමිටුව , කාර්මික සේවා කමිටුව , පරිසරය හා පහසු කමිටුව යන  කමිටු නිත්‍ය වශයෙන්ම පත්කළ යුතුව ඇති අතර අවශ්‍යතාවය අනුව තවත් කමිටු පත්කළ හැකිය.

පළාත් පාලන ආයතන 340 ක නිල කාලය පසුගිය මාර්තු මස 18 දායින් අවසන් විය. ඒ අනුව මහනගර සභා 29 ක , නගර සභා 36 ක ,  ප්‍රාදේශිය සභා 275 ක නිල කාලය මෙලෙස අවසන් විය . 2018 වසරේ පෙබරවාරි 18 දා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් අනතුරුව එම වසරේ මාර්තු 20 දා සිට පළාත් පාලන ආයතන 340 ක නිල කාලය ආරම්භ විය.  ව්‍යවස්ථානුකූලව වසර 04 කට පසුව එනම් 2022 පළාත් පාලන ආයතන වල නිල කාලය අවසන් විය යුතු උවද විෂයභාර අමාත්‍යවරයා විසින්  නිල කාලය වසරකින් දීර්ඝ කළේය. ඒඅනුව 2023 වර්ෂයේ මාර්තු මස දක්වා පළාත් පාලන ආයතන ක්‍රියාත්මක විය. 

නිල කාලය අවසන් වු පළාත් පාලන ආයතන ඔවුන්ගේ නිල කාලසීමාව අතර තුර   මෙම කමිටු ක්‍රියාත්මක කර ඇත්තේ කෙසේද යන්න පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත ද  සඳහා උපයෝගී කරගනිමින් තොරතුරු සොයාබැලීමේදී විශේෂ තොරතුරු රැසක් අනාවරණය විය.

 

 
කුරුණෑගල මහ නගර සභාවේ ක්‍රියාත්මක වන කමිටු

 

 

ප්‍රාදේශිය සභා පනත මගින් දක්වා ඇති පරිදි නියත වශයෙන්ම ක්‍රියාත්මක විය යුතු කමිටු 04 ට කුරුණෑගල මහ නගර සභාව ක්‍රියාත්මත කරයි. ඒ අනුව එම කමිටු මහනගර සභාව විසින් මෙසේ නම්කර තිබේ.   මුදල් පිළිබඳ ස්ථාවර කමිටුව , සංවර්ධන හා නඩත්තු කර්මාන්ත පිළිබඳ ස්ථාවර කමිටුව , ප්‍රජා සංවර්ධනය පිළිබඳ ස්ථාවර කමිටුව , පරිසර උපදේශන කමිටුව. ප්‍රජා සහභාගීත්වයෙන් යුතුව මෙම කමිටු ක්‍රියාත්මත විය යුතු උවද නගර සභාවේ සභිකයින්ට අමතරව අනිකුත්  සමාජිකයින් හෙවත් ප්‍රජාව නියෝජනය කරන්නේ එක කමිටුවක පමණක් වීම විශේෂත්වයකි.  මෙම කමිටුව රැස්වීම සහ ක්‍රියාත්මකවීම මෙන්ම සමාජිකයින් පිළිබඳව ද විස්තර මේසේය

 

ක්‍රියාත්මක කමිටු

සභික සමාජිකයින්

රැස්වී ඇති දින ගණන

සභිකයින්ට අමතරව සිටින සමාජිකයින් ගණන

2018

2019

2020

2021

2022

01

මුදල්  පිළිබඳ ස්ථාවර කමිටුව

06

09

12

12

13

12

0

02

 සංවර්ධනය හා නඩත්තු කර්මාන්ත පිළිබඳ ස්ථාවර කමිටුව

06

08

11

09

11

10

0

03

ප්‍රජා සංවර්ධනය පිළිබඳ ස්ථාවර කමිටුව

06

08

11

09

11

11

0

04

පරිසර උපදේශක කමිටුව

සියලුම සභිකයින්

02

01

0

0

0

29

 



ප්‍රජා සහභාගීත්ව සංකල්පය

 

ප්‍රජා සහභාගීත්ව සංකල්පය මුලික වශයෙන් මට්ටම් 03 ක් යටතේ දක්වා ඇත. ප්‍රජාවගේ පැමිණීම , ප්‍රජාව සහභාගීවීම , ප්‍රජාව මැදිහත්වීම ලෙස එය හදුන්වයි. වඩාත් ඵලදායි පාලන ක්‍රමයක් සඳහා ප්‍රජාවගේ මැදිහත්වීම පමණක් වැදගත් නොවන අතර සභාව කරන කටයුතු වලට සහභාගී වීමද වැදගත්ය .

ප්‍රජා සහභාගීත්වය නිසා මුල්‍යමය වියදම් අවම කරගැනීමට හැකිවීම , කාර්ය හා දේපොල තමන්ගේය යන පොදු හැගීම ප්‍රජාව තුළ ඇතිවීම , ආරක්ෂාව නඩත්තුව පොදු සමාජය සතුවීම , සාමුහිකත්වය එකමුතුබව හා පුරවැසි යුතුකම් ජන සමාජය තුළ වර්ධනය වීම මෙන්ම ඵලදායීතාවය සහ යහපාලනය උදාකරගැනීමට ද හැකියාව ඇති බව එය ක්‍රියාත්මක කිරීමෙන් හදුනාගෙන ඇත.

එසේ උවද කුරුණෑගල මහනගර සභාවේ ක්‍රියාත්මක වන මුදල් පිළිබඳ ස්ථාවර කමිටුව , සංවර්ධන හා නඩත්තු කර්මාන්ත පිළිබඳ ස්ථාවර කමිටුව , ප්‍රජා සංවර්ධනය පිළිබඳ ස්ථාවර කමිටුව සඳහා සභික මන්ත්‍රිවරුන් හැර පිටස්තර සමාජිකයින් කිසිවෙක් සම්බන්ධකරගෙන නොමැත. එනම් ප්‍රජාව සහභාගීකරවාගෙන නොමැත. එමෙන්ම නගර සභාවේ ක්‍රියත්මක කර ඇති මෙම කමිටු තුළ නිල කාලය අවසන්වන තුරුම සභාපතීත්වය වෙනස් වී නොමැති අතර එකම පුද්ගලයකු විසින් සභාපතී ධුරය හොබවා ඇත. එමෙන්ම ඇතැම් කමිටු වාර වල සාමාජිකයින් බහුතරයක් සම්බන්ධ නොවී කමිටු පත්වා ඇති බවද එම කමිටු වාර්තා පරීක්ෂා කිරීමේදී පැහැදිලි‌ වේ.

 
නීති කඩකර ඇති පරිසර උපදේශන කමිටුව
 

කුරුණෑගල මහ නගර සභාවේ ක්‍රියාත්මක පරිසර උපදේශන කමිටුව වැඩිම සමාජිකයින් පිරිසකගෙන් යුතුව පවත්වාගෙන ගොස් තිබේ. ඒ සඳහා නගරාධිපති ඇතුළු සියලුම නාගරික මන්ත්‍රීවරුන් සමාජිකයින් ලෙස පත්කර තිබේ. එම සභිකවරුන්ට අමතරව  ප්‍රදේශයේ පුරවැසියන් ලෙස තවත් විශාල පිරිසක් පත්කර තිබේ. එමෙන්ම මහ නගර සභාවේ සේවය කරන රජයේ නිලධාරීන් ද මේ සඳහා පත්කර තිබේ. එසේ උවද ගතවු වසර 05 තුළ එම සභාව රුස්වී ඇත්තේ අවස්ථා 03 දී පමණක් වීම විශේෂත්වයති. වසර තුනක් පුරාවට එම කමිටුව රැස්වී නොමැති වීමද සැලකිල්ලට ගත යුතු කාරණයකි. එමෙන්ම මෙම කමිටුව සඳහා පත් කළ නොහැකි සාමාජිකයින් ද මහ නගර සභාව විසින් පත්කර තිබීමද අවධාණය යොමුකළ යුතුවේ. 1947 අංක 29 දරණ මහා නගර සභා ආඥා පනතට අනුව කාරක සභා සමාජිකත්වයට සුදුසුකම් නොලබන පුද්ගලයින් 04 දෙනෙකු පිළිබඳ සඳහන් කර ඇත. එයට අනුව පළාත් පාලන ආයතනයේ සේවය කරන රජයේ නිලධාරීන් , ප්‍රවෘත්ති වාර්තාකරුවන් , බල ප්‍රදේශයෙන් පැහැර පදිංචිකරුවන් , ඡන්ද බලය හිමිනැති හා ඡන්ද බලය අහිමිකරන ලද පුරවැසියන් ඒසඳහා පත්කිරීමට නොහැකිය. නමුත් මහ නගර සභාවේ පරිසර කමිටුවේ මාධ්‍යවේදීන් 02 කු  සමාජිකයින් ලෙස පත්කර ඇති අතර පළාත් පාලන ආයතනයේ සේවය කරන රජයේ නිලධාරීන් මෙන්ම ප්‍රදේශයෙන් බැහැර පුද්ගලයින්ද කමිටුව සඳහා පත්කර පනත උල්ලංගනය කර තිබේ.  මෙතරම් සාමාජිකයින් පත්කර තිබුණද කමිටුව නිසි පරිදි රැස්වී හෝ නිසිපරිදි යෝජනා ප්‍රජාවගේ කටයුතු පරිසරය සම්බන්යෙන් අවධානය යොමුනොකර තිබීමද කණගාටුවට කාරණයකි. මේ සම්බන්ධයෙන් කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කළ තුෂාර සංජීව මහතාගෙන් විමසීමට උත්සහ කළද පළාත් පාලන ආයතන නිලකාලය අවසන්ව ඇති බැවින් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීම දුෂ්කර විය.

පළාත් පාලන ආයතන පනත මගින් ප්‍රජා කමිටු හදුන්වාදී ඇත්තේ ප්‍රජා සහභාගීත්ව පාලන ක්‍රමයක් ඇතිකිරීමට උවද කුරැණෑගල මහනගර සභාව කටයුතු කර ආකාරය අනුව එම කමිටු ක්‍රමය අසාර්ථකවී ඇති බව පැහැදිලිය.

 

 

 

 

-         -- චාමර සම්පත්

Tuesday, March 7, 2023

විදුලි බිලට එරෙහිව දෙනියායෙත් විරෝධතා

 වැඩි කරපු විදුලි බිලට විරෝධය පා දෙනියාය තැනිපිට මැතිවරණ කොට්ටාශයේ පැවති විරෝධතාවය

මෙය නව ලංකා නිදහස් පක්ෂයේ දෙනියායේ ආසන සංවිධායක සාගර සුරේන් එදිරිවීර ප්‍රමුඛ දෙනියාය ආසන බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබු අතර නව ලංකා නිදහස් පක්ෂයේ කොටපොළ ප්‍රාදේශීය සභාවට නව ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන ආර්. සුබ්‍රමනියම්, අනුර ගමගේ, එච්. කේ චන්ද්‍රානි කේ. එස් සුනීල් යන අපේක්ෂක අපේක්ෂිකාවෝ හා තැනිපිට මැතිවරණ කොට්ටාශයේ නව ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් රැසක් සහබාගි විය.



Saturday, January 28, 2023

බලය බෙදීම හීනයක් ද? -සහන් තෙන්නකෝන්

 බලය බෙදීම හීනයක් ද?


ශ්‍රී ලංකාවේ පවතින ජනවාර්ගික ගැටළුවටත්, එහි ප්‍රතිපලයක් ලෙස නිර්මාණය වූ තිස්‌ අවුරුදු සිවිල් යුද්ධයටත් විසඳුම් සෙවීම වෙනුවෙන් මෙතෙක් පැවති සියළුම රජයන් විවිධාකාර වූ උත්සාහයන් ගෙන ඇත. ඇතැම් ඒවා පිටුපස මෙම ගැටළුවට සාර්ථක විසඳුමක් ලබාදීම සඳහා වූ පිරිසිදු චේතනාවද, තවත් ඒවා පසුපස ජනප්‍රියවාදී දේශපාලන අරමුණුත් තිබූ බව පැහැදිලිය.


මෙම ජනවාර්ගික ගැටළුවට ලිහීමට ගෙනෙන ලද ප්‍රථම ව්‍යවස්ථාමය ක්‍රියාවලිය 13 වන ව්‍යවස්ථා සංශෝධනයයි.1987 දී එවකට රජිව් ගාන්ධි සහ ජේ.ආර්. ජයවර්ධන විසින් එළැඹි ඉන්දු-ලංකා ගිවිසුමේ ප්‍රතිපලයක් ලෙසයි මෙම සංශෝධනය ශ්‍රී ලංකාවේ දෙවන ජනරජ ව්‍යවස්ථාවට ඇතුළත් වන්නේ.ඉන්පසුව 2000 වර්ෂයේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් "පැකේජය" නමින් හැඳින්වූ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් එවකට විපක්ෂය සහ ආණ්ඩුවේම ඇතැම් ජාතිවාදී පිරිස් විසින් එම උත්සාහය ව්‍යර්ථ කරන ලදී.13 වන සංශෝධනයටත් වඩා පුළුල් ලෙස ජනවාර්ගික ගැටළුව ආමන්ත්‍රණය කිරීමට එහිදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය කටයුතුකර තිබුනත් අවාසනාවකට එය පාර්ලිමේන්තුවේදී සම්මත නොවීය.


13 වන ව්‍යවස්ථා සංශෝධනය විසින් පළාත් සභා පිහිටුවීම මඟින් ශ්‍රී ලංකාවේ බොහෝ වෙනස්කම් සිදුවිය.ආණ්ඩුකාරවරු පත්වීම, පළාත්බද මහාධිකරණ ඇතිකිරීම,පළාත් සභාවට වෙන්වූ විෂයපථයන් ප්‍රකාශ කිරීම ආදිය ඒ අතර විය. 13 වන ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වාදීමත් සමඟ එතෙක් ඒකීය රාජ්‍යයක්‌ ලෙස හැඳින්වූ ශ්‍රී ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යයක් ද යන්න පිළිබඳව කතිකාවක් ඇතිවිය. තවද මෙය බලහත්කාරී ඉන්දීය මැදිහත්වීමක් ලෙසත් ඇතැම්හු හැඳින්වූහ. කෙසේ වෙතත් මෙකී සියළුම වාද විවාද මධ්‍යයේ 1987 නොවැම්බර් 14 දින සිට අද දක්වාම මෙම ව්‍යවස්ථාව සංශෝධනය මෙරට දේශපාලන කරළිය උණුසුම් කරමින් සිටී.


13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට තර්ජනයක්‌ යැයි පවසන්නේ ඉතිහාසය නොදන්නා අයවලුන් වේ. ශ්‍රී ලංකාවේ ඒකීයභාවය 1987 දී යම් පරිවර්තනයකට ලක්වූයේ මෙම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ මුල් දිනයේ පටන්ය. තවද ඒකීය ආණ්ඩුක්‍රමයක්‌ සඳහා ලොව පැවති හොඳම සම්භාව්‍ය උදාහරණය වූ මහා බ්‍රිතාන්‍යයේ ටෝනි බ්ලෙයාර් ආණ්ඩුව විසින් 1999 දී ස්කොට්ලන්තය හා වේල්සය වෙත බලය බෙදාහැරීමට කටයුතු කළේය.එතැන් පටන් එවැනි රාජ්‍ය මාදිලීන් ඒකීය රාජ්‍යවල පරිවර්තනයන් ලෙස හැඳින්වේ. 


නිදහසින් පසු අවුරුදු 75 ක්‌ ගෙවෙන තැනදී නැවත වතාවක් බලය බෙදීම යන මාතෘකාව එළියට පැමිණෙන්නේ මෙම ජනවාර්ගික ගැටළුවට විසඳුම් සෙවීමට (කුමන හෝ අරමුණකින් ) ජනාධිපතිවරයා ගෙනයන සාමූහික ප්‍රයත්නය නිසාවෙනි. ජනාධිපතිවරයා විසින් උතුරේ සහ දකුණේ සියළු දේශපාලන පක්ෂවලට මේ සඳහා එක්වීමට ආරාධනා කර ඇති පසුබිමක මේ සඳහා ඔවුන් විසින් ලබාදෙන සහයත් එකී පාර්ශවයන් මෙම ප්‍රශ්නය දෙස අතීතයේ සිට දක්වන ආකල්පයත් විමසා බැලිය යුතුය.


ජනතා විමුක්ති පෙරමුණ 13 වන ව්‍යවස්ථා සංශෝධනයට එකල දැඩිව විරුද්ධව ක්‍රියාකළේය.එදා ජවිපෙ 1987 දී ජේ.ආර්. ජයවර්ධන රජය ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරන විටදී ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව රට පුරා දැවැන්ත ප්‍රචණ්ඩකාරී ක්‍රියාපිළිවෙතක්‌ අනුගමනය කළේය. එපමණක් නොව විජය කුමාරතුංග සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රමුඛ මහජන පක්ෂය සාමය වෙනුවෙන් උතුරුකරයට තම දෑත් දිගුකල විට විජය කුමාරතුංග තම දරු දෙදෙනා ඉදිරිපිට ඝාතනය කළේ ඔවුන්මය. ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ද්‍රවිඩ ඊලමට පක්ෂ වාමාංශිකයන් නම් කළේ තුන්වන සතුරු හමුදාව ලෙසිනි. ඒ අනුව තුන්වන සතුරු හමුදාව අතුගා දැමීම දේශප්‍රේමි අරගලේම කොටසක් බවට 1988 ජනවාරි 25වැනිදා නිකුත් කළ නියෝගයක සඳහන් විය. මීට අමතරව නන්දන මාරසිංහ, ගාමිණී මැදගෙදර යන අයද ඝාතනය විය.තවද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය එල්ටීටීඊ සංවිධානය කෙරෙහි විශ්වාසය තබා සුනාමි සහන මණ්ඩලය ස්ථාපිත කොට අරමුදල් උතුරේ සංවර්ධනය වෙනුවෙන් යෙදවීමට පියවර ගත්විට, චන්ද්‍රිකා උතුර කොටින්ට දෙනවා යැයි පවසා ජාතිවාදී අන්තයක පිහිටා එය ව්‍යර්ථ කළේද මේ කණ්ඩායමය. අද උතුරට බලය බෙදන වැඩසටහන තම දේශපාලන කුහකත්වය වෙනුවෙන් ආපසු හැරවීමට උත්සාහ කරන්නේද ඔවුන්ය. වේදිකාවේ ජාතික සංහිදියාව ගැන කටමැත දොඩවමින් සිටින බොහෝ පාර්ශවයන් ප්‍රයෝගිකව එය සිදුකිරීමට අකමැති බවයි මෙයින් පෙනෙන්නේ.


සමගි ජන බලවේගය ද කටයුතු කරන්නේ මීට නොදෙවෙනි ආකාරයටය. පසුගිය මහමැතිවරණයේ සිට උතුරේ දේශපාලන පක්ෂවල සහයෝගය සජබය ප්‍රමුඛ කඳවුර වටා ඒකරාශී වී සිටී. කවුරුත් දන්නා පරිදි උතුරේ ද්‍රවිඩ දේශපාලන කණ්ඩායම්වලට ජනවාර්ගික ගැටළුව සඳහා පිළියම් සෙවීමට කිසිම දිනෙක කිසිඳු අවශ්‍යතාවයක් නොතිබුණු අතර හිඟන්නාගේ තුවාලය මෙන් ඔවුන් එම තත්ත්වය පෞද්ගලික දේශපාලන වාසිය වෙනුවෙන් දිගින් දිගටම පවත්වාගෙන යාම සිදුකරයි. එම පාර්ශවයන්ගේ දේශපාලන ඉතිහාසය මෙන්ම අනාගතය ද මුළුමනින්ම මෙමත රැඳී පවතින බව ඔවුන් විසින් මනාව තේරුම්ගෙන ඇති හෙයින් මෙම ගැටළුවට කල්පවත්නා විසඳුමක් ලබාදීමට ඔවුන්ගේ සහයෝගය ලැබේවිද යන්න ගැටළුවකි.සජිත් ප්‍රේමදාස විසින් සුළුතරය වෙත ආමන්ත්‍රණය කිරීමට දරණ ප්‍රයත්න සියල්ල පිටුපස ඇත්තේ  ව්‍යාජ දේශපාලන අරමුණක් මිස ඉන් එහාට ගිය පරාර්ථකාමී එකක් නොවන බවයි.


ජාතිවාදය කරපින්නා ගත්, ඒ මතින් බලයට පැමිණි පොදුජන පෙරමුණ පවා දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට එකඟ වීම පුදුමයට කරුණක් නොවේ. පොදුජන පෙරමුණ දැන් සිටින්නේ දේශපාලනිකව බංකොලොත් මට්ටමකය. පොදුජන පෙරමුණ දැන් කරමින් සිටින්නේ එල්ලීමට පිදුරු ගසක් සෙවීමයි. රනිල් වික්‍රමසිංහ පොදුජන පෙරමුණ මතින් තම දේශපාලන උවමනාවන් මුදුන්පත් කරවාගනිමින් සිටිය ද බලය බෙදීම වැනි තීරණාත්මක සංධිස්ථානයකදී ඊට එරෙහිව නැඟී සිටීමට තරම් බලයක් මේවන විට පොදුජන පෙරමුණ සතුව නැති වීම නිසා මේ සඳහා එකඟවීමට සිදුවීම ඔවුන් මතවාදීව ලබන විශාලතම පරාජයකි.පොදුජන පෙරමුණේම අප්‍රකාශිත ආධාරකරුවන් වන ඩලස්-විමල්-උදය පාර්ශවය (මට පෙනෙන පරිදි ) මේ සම්බන්ධයෙන් දරණ මතයේ කිසිදු වෙනසක් පෙනෙන්නට නැත.මෛත්‍රීපාල සිරිසේන යම්තාක් දුරකට මේ සඳහා ප්‍රගතිශීලිව කටයුතු කරන බවට සිතාගත හැක්කේ ඔහුගේ පාලන සමයේ ද රජය (හමුදාව ) සතු ඉඩම්වලින් බොහොමයක් නැවත ජනතාව වෙත ලබාදීම, ජාතික සංහිදියා කාර්යාංශය ස්ථාපිත කිරීම වැනි මෙම ගැටළුවට සම්බන්ධ පියවර කිහිපයක් ගැනීමට ඔහු කටයුතු කළ බැවිනි.


යම්හෙයකින් මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව පාර්ලිමේන්තුවේදී බරපතල ලෙස විරෝධයක් පැනනගින්නේ ඉහත පැවසූ විමල්-වාසු-ගම්මන්පිල පාර්ශවයෙනි. 2005 සිටම පසුගාමී දේශපාලන මාර්ගයක ගමන් කරන අතුරලියේ ද මේ වෙනුවෙන් සුභවාදී ස්ථාවරයක පසු නොවන බවයි සර්ව පාක්ෂික හමුවේදී දක්නට ලැබුණේ. ඔහුට අමතරව සරත් වීරසේකර සහ ගෙවිඳු කුමාරතුංග ද ප්‍රසිද්ධියේ ම තමන්ගේ අකමැත්ත ප්‍රකාශය කළේය. සරත් වීරසේකර සහ ගෙවිඳු කුමාරතුංග සිංහල බෞද්ධ මදය ඔවුන් සෑම විටම විකාරරූපී අන්තයක ස්ථානගත කරවීම පෙර කර්මයකි.මේ කුලකයේම සිටින් වර්ගවාදී භික්ෂුන් ද බලය බෙදීමට එරෙහිව යුධ ප්‍රකාශ කොට ඇත. සාර්ථක බලය බෙදීමක් යනු මෙම රැළෙහි මහන්තත්වය බිඳ හෙළීමකි.


මේ අතර මෙම ගැටළුව කෙරෙහි ඉන්දියානු ආකල්පය ද තීරණාත්මක සාධකයකි. ඉන්දිරා ගාන්ධිගේ සිට පත්වූ බොහෝ ඉන්දීය රජයන් ශ්‍රී ලංකාවේ මෙම ජනවාර්ගික ගැටළුව දෙස ඉතා බලවත් අවධානයකින් යුතුව කටයුතු කළෝය. දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද එහි ප්‍රතිපලයකි. බොහෝවිට ඉන්දීය මධ්‍යම රජයන් තමිල්නාඩු දේශපාලනය කෙරෙහි දක්වන සංවේදීබවත් මෙයට හේතුවිය. පසුගිය සතියේ සිදුවූ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර්ගේ පැමිණීම ද මේ අවස්ථාවේ වැදගත් වන්නේ එබැවිනි.විශේෂයෙන්ම මෙරට ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ඉන්දියාව දැඩි අවධානයකින් පසුවීම නිසාද මෙම බලය බෙදීමේ ක්‍රියාවලිය සාර්ථක කරගැනුමට ඉන්දියාවේ සහයෝගය ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එසේම යුද්ධය අවසාන වූ අවධියේ ඉන්දියාව 13+ ආකාරයේ බලය බෙදීමක් පිළිබඳව කිසිසේත්ම බලාපොරොත්තු නොවන බව මන්මෝහන් සිං අගමැතිවරයා පැවසූ බව පවසන එවක මෙරට විදේශ අමාත්‍යවරයා වූ රෝහිත බෝගොල්ලාගම පවසන්නේ තමිල්නාඩු දේශපාලනයට යම් බලපෑමක් විය හැකි බැවින් ඉන්දියාව පවා උතුර දැඩිව බලවත් කරන ප්‍රතිසංස්කරණයකට යාමට කැමති නැති බවයි.කෙසේවෙතත් උතුරේ දේශපාලන පක්ෂවල හැසිරීමට ප්‍රබල බලපෑමක් ඉන්දියාවට කළ හැකිබව අමතක නොකළ යුතුය.


1987 සිට අද දක්වා ශ්‍රී ලංකා ජනරජයේ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් බවට පත්ව ඇති 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකරන්නේ නම් එය අහෝසි කළ යුතුය. බලතල බෙදීම යනු උතුරට පමණක් ලොකු හැන්දෙන් බෙදීමක් නොවේ. බොහෝ අය සිතන්නේ බලය බෙදීම යනු රට බෙදීම හෝ උතුරට ඊලම ලබාදීම යනුවෙනි. සුළුතරයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින බොහෝ අන්තවාදී දේශප්‍රේමින්ද ඔවුන්ට හිමි ව්‍යස්ථාපිත අයිතීන් ලබාදීමට මැලිවීම තුළින් පෙනෙන්නේද දේශප්‍රේමී ලේබලයෙන් පෙනී සිටින බොහෝ අය සැබෑවටම දේශප්‍රේමීන් නොවන වර්ගවාදීන් බවයි. ඉතින් එවැන්නන් පිරි දේශයක බලය බෙදීම යථාර්තයක්‌ වේවිද?


#sahantwrites

27.01.2023


Thursday, January 26, 2023

සිරිසේන හොර රහසේ රනිල් හමුවෙයි


 හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා හදීසියේ ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුන ගැසී තිබේ. මේ හමුවේ අරමුණ වී ඇත්තේ මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චූධිතයෙකු ව සිටින සිරිසේනට විරුද්ධව අපරාධ නඩු ගොනු කිරීම වළක්වා ගැනීමයි. 

මේ හමුවේ දී ජනාෆ්හ්හිපතිවරයාගෙන් සිරිසේන ඉතා බැගෑපත්ව ඉල්ලා තිබෙන්නේ තමා සිරගත නොකරන ලෙසයි. ඒ වෙනුවෙන් තමා ඕනෑම සහායක් ලබා දීමට ද සිරිසේන, වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පොරොන්දු වී තිබේ.  

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය මේ වන තෙක් අනාවරණය වී නොමැති අතර බොහෝ විට මේ හේතුවෙන් සිරිසේනට එරෙහිව නීතිපති හරහා අපරාධ නඩු ගොනු නොවනු ඇත. 

Monday, January 23, 2023

ක්‍රියාත්මක කිරීමට අමතක වු තිරසර සංවර්ධන යෝජනා






තිරසර සංවර්ධන අරමුණු ඉටුකර ගැනීම සඳහා ක්‍රියාත්මකවීමේ දී කුලියාපිටිය නගර සභාව ඒ සම්බන්ධයෙන් අඩු දායකත්වයක් දක්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2030 වර්ෂය වන විට සපුරාගැනීම සඳහා ලෝකය පුරා රටවල එකඟතාවයෙන් තිරසර සංවර්ධන අරමුණු හදුන්වා දුනි. එම අරමුණු ඉටුකරගැනීම සඳහා ශ්‍රී ලංකාව ද දායක වෙමින් සැලසුම් සකස් කර තිබේ. ඒ අනුව මෙරට රජය අමාත්‍යාංශ 43   , පළාත් සභා 09 මෙන්ම පළාත් පාලන ආයතන 335 ම තිරසර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය කරුණකි. කුලියාපිටිය නගර සභාව ද යෝජනා ක්‍රියාත්මක කරන්නේ මෙම ජාතික වැඩ පිළිවෙල යටතේය.



තිරසර සංවර්ධනය


තිරසර සංවර්ධනය යන්නෙන්  අර්ථ දැක්වෙන්නේ අනාගත පරම්පරාවන්ට තමන්ගේ අවශ්‍යතා සපුරාලීමේ හැකියාවට හානි නොවන ලෙස වර්තමානයේ අවශ්‍යතා සපුරාලන සංවර්ධනය පිළිබඳව  ය.  තිරසර සංවර්ධනය යනු පාරිසරික, සමාජයීය හා ආර්ථික යන ත්‍රිත්ව මානයන් සුසංයෝජනය වූ, දිගුකාලීන, තිරසර සමෘද්ධියක් ලබා ගැනීම සඳහාවූ ඒකාබද්ධ ප්‍රවේශයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.


තිරසර සංවර්ධන ඉලක්ක මොනවාද?


ලෝකයේ සියලු දෙනාටම යහපත් අනාගතයක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණෙන් ඉදිරිපත් කළ තිරසර සංවර්ධන  සැලැස්මක් 2015 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම සාමාජිකයෝ අනුමත කළහ. ඒ අනුව ඉදිරි වසර 15 තුළ අන්ත දුප්පත්කම තුරන් කිරීමට, අසමානතාවයට හා අයුක්තියට එරෙහිව සටන් කිරීමට සහ අපේ පෘථිවිය ආරක්ෂා කිරීමට ඔවුන් සැලසුම්  සකස් කළහ. මෙම “ 2030 න්‍යාය පත්‍රයෙහි” මූලික කරුණු වනුයේ, තිරසර සංවර්ධන ඉලක්ක 17 (SDGs) වන අතර   කිසිවෙක් මග නොහැරෙන ලෙස, සියලුම ජාතීන්ට මෙය අදාළ කර තිබේ.  මෙම අභිලාෂයන් සපුරාලීම සඳහා  ශ්‍රී ලංකාව පනතක් හරහා එය නීතියක් බවට පත්කළ අතර තිරසර සංවර්ධන සභාවක්ද ස්ථාපිත කර තිබේ.


රටතුළ යෝජනා ක්‍රියාත්මක වීම


තිරසර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රය මගින්  දුප්පත්කම තුරන් කිරීම, පෘථිවිය ආරක්ෂා කිරීම සහ සෑම තැනකම සෑම කෙනෙකුගේම ජීවිත හා අනාගත අපේක්ෂාවන් වැඩිදියුණු කිරීම සඳහා රජයේ සියලුම ආයතන විවිධ යොජනා සහ ව්‍යාපෘතීන් ක්‍රියත්මක කරනු ලබයි.

ඒ අනුව රජයේ ආයතන , පළාත් සභා මෙන්ම පළාත් පාලන ආයතනද වර්ෂයක් තුළ තිරසර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන ආකාරය යෝජනා සහ වියදම් ඇතුළත් ලේඛණයක් සම්මත කරගන්නා අතර එය වර්ෂය පුරාවට ක්‍රියාත්මත කරනු ලබයි.


කුලියාපිටියේ තත්වය


කුලියාපිටිය නගර සභාවද තිරසර සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට අදාළ යොජනා සහ වියදම් ලේඛණය අනුමත කරගෙන තිබු අතර එහි දුප්පත්කම තුරන් කිරීම සහ ගුණාත්මක ආහාර සැපයීම වෙනුවෙන්ද විශේෂ වැඩසටහන් හදුන්වාදී තිබුණි. එසේ උවද එම වැඩසටහන් වලින් බහුතරය ක්‍රියාත්මක කර නොමැත. වැඩසටහන් කිහිපයක් පමණක් ක්‍රියාත්මක කිරීමට නගර සභාව සමත්ව තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිත කරමින් ලබාගත් තොරතුරු විශ්ලේෂණයේදී මෙම කරුණු අනාවරණය විය.

විවිධ තේමා යටතේ නගර සභාව ව්‍යාපෘතීන් හදුන්වාදී තිබුණි.  ඒ අනුව ,   සෑම ආකාරයකම දුගී බව අවසන් කිරීම , සාගින්න නැතිකර ආහාර සුරක්ෂිතතාවය හා යහපත් පෝෂක තත්ත්වයන් දිනාගැනීම , නිරෝගී ජීවිත සහතික කර සෑම වයසකම සිටින සියල්ලන්ගේම සුභසාධනය ප්‍රවර්ධනය කිරීම,  පරිපූර්ණ සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම  ,  ස්ත්‍රි පුරුෂ සමානාත්මතාවය ළඟා කර  සියළු කාන්තාවන් සහ ගැහැණු ළමුන් සවිබල ගැන්වීම සැමට ජලය හා සනීපාරක්ෂක පහසුකම් සැලසීම,  සියල්ලන් සඳහාම පෝෂිත පරිපූර්ණ සහ තිරසර කාර්මීකරණය ප්‍රවර්ධනය කර නව්‍යකරණය දිරිගැන්වීම. ආදිය විය. මේවායින් බහුතරය ක්‍රියත්මක කිරීමට නගර සභාව අපොහොසත් වී ඇත.


ක්‍රියාත්මක කර ඇති යෝජනා


සියළු තැන්හි පවතින දුගීබව සෑම ආකාරයකම දුගී බව අවසන් කිරීම යටතේ නගර සභාව යෝජනා දෙකක් පමණක් ක්‍රියාත්මක කර ඇති අතර විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් සහ අඩු ආදායම් පවුල්වල දරුවන් සඳහා පහසුකම් සැපයීම සිදුකර තිබේ.  නිරෝගී ජීවිත සහතික කිරීම යටතේ ප්‍රදේශවාසීන් දැනුවත්කිරීමක් සිදුකර ඇත. පරිපූර්ණ සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම සහ සැමට ජීවිත කාලය පුරා ඉගෙනීමේ අවස්ථා සැලසීම යටතේ යෝජනා කිහිපයක්ම ක්‍රියාත්මක කර ඇති අතර පාසල් සහ පෙරපාසල් සිසුසිසුවියන් ආවරණය වන ආකාරයට එම වැඩසටහන් සිදුකර තිබේ. පුස්තකාල සඳහා පොත් ලබාදීම , පෙරපාසල් සංවර්ධනය , සාහිත්‍ය රසාස්වාදය වැඩිදියුණුකිරීමේ යෝජනා ඒඅතර වේ. සැමට ජලය හා සනීපාරක්ෂක පහසුකම් සැලසීම යටතේ ප්‍රදේශවාසීන්ට ජලය ලබාදීමේ සියලු යෝජනා ක්‍රියාත්මක කර තිබීම විශේෂය.


ක්‍රියාත්මක නොවු යෝජනා


සුවිශේෂි යෝජනා රැසක් නගර සභාව විසින් සැලසුම් කර තිබුණද ඒවා ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් නගර සභාව විවිධ කරුණු දක්වයි. ඒ අතර ප්‍රධාන වශයෙන්ම දක්වන කරුණ වන්නේ ආර්ථික අර්බුදය සහ වියදම් සීමාකිරිමට සිදුවු බවය. ඉන්ධන අර්බුදය සහ පැවති දුෂ්කරතා හේතුවෙන් මෙම යෝජනා ක්‍රියත්මක කළ නොහැකි වු බව නගර සභාවේ සභාපතිවරයා ලේකම්වරයා ඇතුළු සියල්ල ප්‍රකාශ කරයි.

තිරසර සංවර්ධන යෝජනා යටතේ දිළිඳු කමින් නිදහස් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීම , කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම , අඩු ආදායම් පවුල් සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අනිවාර්යෙන් සිදුකළ යුතු කටයුතුය . අර්බුද සමයක සාමාන්‍ය ජනතාව තවදුරටත් අර්බුදයට පත්වන බැවින් මෙවැනි යෝජනා  ක්‍රියාත්මකවීම නවතා දැමීම සිදුනොකළ යුත්තකි.  නගර සභාව සඳහන් කරන්නේ ඉටුකිරීමට නොහැකි වු යෝජන 2023 වසර තුළ ඉටුකිරීමට කටයුතු කරන බවය.

එක්සත් ජාතීන් විසින් 2030 වන විට සපුරාගැනීමට  තිරසර සංවර්ධන යෝජනා හදුන්වා දුන්නේ එය සැබැවින්ම ලෝකයට අත්‍යවශ්‍ය දෙයක් වී ඇති බැවිනි. ක්‍රමාණූකූලව එම අරමුණුකරා ලගා නොවුනහොත් මෙම යෝජනා ද ලංකාවේ අනිකුත් යෝජනා මෙන් ලේඛණවල පමණක් ඇති යෝජනා බවට පත්වනු ඇත. එසේ උවහොත් තිරසර සංවර්ධනය ද සිහිනයක් පමණක් වනු ඇත.


-       - චාමර සම්පත්