Monday, January 23, 2023

ක්‍රියාත්මක කිරීමට අමතක වු තිරසර සංවර්ධන යෝජනා






තිරසර සංවර්ධන අරමුණු ඉටුකර ගැනීම සඳහා ක්‍රියාත්මකවීමේ දී කුලියාපිටිය නගර සභාව ඒ සම්බන්ධයෙන් අඩු දායකත්වයක් දක්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2030 වර්ෂය වන විට සපුරාගැනීම සඳහා ලෝකය පුරා රටවල එකඟතාවයෙන් තිරසර සංවර්ධන අරමුණු හදුන්වා දුනි. එම අරමුණු ඉටුකරගැනීම සඳහා ශ්‍රී ලංකාව ද දායක වෙමින් සැලසුම් සකස් කර තිබේ. ඒ අනුව මෙරට රජය අමාත්‍යාංශ 43   , පළාත් සභා 09 මෙන්ම පළාත් පාලන ආයතන 335 ම තිරසර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය කරුණකි. කුලියාපිටිය නගර සභාව ද යෝජනා ක්‍රියාත්මක කරන්නේ මෙම ජාතික වැඩ පිළිවෙල යටතේය.



තිරසර සංවර්ධනය


තිරසර සංවර්ධනය යන්නෙන්  අර්ථ දැක්වෙන්නේ අනාගත පරම්පරාවන්ට තමන්ගේ අවශ්‍යතා සපුරාලීමේ හැකියාවට හානි නොවන ලෙස වර්තමානයේ අවශ්‍යතා සපුරාලන සංවර්ධනය පිළිබඳව  ය.  තිරසර සංවර්ධනය යනු පාරිසරික, සමාජයීය හා ආර්ථික යන ත්‍රිත්ව මානයන් සුසංයෝජනය වූ, දිගුකාලීන, තිරසර සමෘද්ධියක් ලබා ගැනීම සඳහාවූ ඒකාබද්ධ ප්‍රවේශයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.


තිරසර සංවර්ධන ඉලක්ක මොනවාද?


ලෝකයේ සියලු දෙනාටම යහපත් අනාගතයක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණෙන් ඉදිරිපත් කළ තිරසර සංවර්ධන  සැලැස්මක් 2015 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම සාමාජිකයෝ අනුමත කළහ. ඒ අනුව ඉදිරි වසර 15 තුළ අන්ත දුප්පත්කම තුරන් කිරීමට, අසමානතාවයට හා අයුක්තියට එරෙහිව සටන් කිරීමට සහ අපේ පෘථිවිය ආරක්ෂා කිරීමට ඔවුන් සැලසුම්  සකස් කළහ. මෙම “ 2030 න්‍යාය පත්‍රයෙහි” මූලික කරුණු වනුයේ, තිරසර සංවර්ධන ඉලක්ක 17 (SDGs) වන අතර   කිසිවෙක් මග නොහැරෙන ලෙස, සියලුම ජාතීන්ට මෙය අදාළ කර තිබේ.  මෙම අභිලාෂයන් සපුරාලීම සඳහා  ශ්‍රී ලංකාව පනතක් හරහා එය නීතියක් බවට පත්කළ අතර තිරසර සංවර්ධන සභාවක්ද ස්ථාපිත කර තිබේ.


රටතුළ යෝජනා ක්‍රියාත්මක වීම


තිරසර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රය මගින්  දුප්පත්කම තුරන් කිරීම, පෘථිවිය ආරක්ෂා කිරීම සහ සෑම තැනකම සෑම කෙනෙකුගේම ජීවිත හා අනාගත අපේක්ෂාවන් වැඩිදියුණු කිරීම සඳහා රජයේ සියලුම ආයතන විවිධ යොජනා සහ ව්‍යාපෘතීන් ක්‍රියත්මක කරනු ලබයි.

ඒ අනුව රජයේ ආයතන , පළාත් සභා මෙන්ම පළාත් පාලන ආයතනද වර්ෂයක් තුළ තිරසර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන ආකාරය යෝජනා සහ වියදම් ඇතුළත් ලේඛණයක් සම්මත කරගන්නා අතර එය වර්ෂය පුරාවට ක්‍රියාත්මත කරනු ලබයි.


කුලියාපිටියේ තත්වය


කුලියාපිටිය නගර සභාවද තිරසර සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට අදාළ යොජනා සහ වියදම් ලේඛණය අනුමත කරගෙන තිබු අතර එහි දුප්පත්කම තුරන් කිරීම සහ ගුණාත්මක ආහාර සැපයීම වෙනුවෙන්ද විශේෂ වැඩසටහන් හදුන්වාදී තිබුණි. එසේ උවද එම වැඩසටහන් වලින් බහුතරය ක්‍රියාත්මක කර නොමැත. වැඩසටහන් කිහිපයක් පමණක් ක්‍රියාත්මක කිරීමට නගර සභාව සමත්ව තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිත කරමින් ලබාගත් තොරතුරු විශ්ලේෂණයේදී මෙම කරුණු අනාවරණය විය.

විවිධ තේමා යටතේ නගර සභාව ව්‍යාපෘතීන් හදුන්වාදී තිබුණි.  ඒ අනුව ,   සෑම ආකාරයකම දුගී බව අවසන් කිරීම , සාගින්න නැතිකර ආහාර සුරක්ෂිතතාවය හා යහපත් පෝෂක තත්ත්වයන් දිනාගැනීම , නිරෝගී ජීවිත සහතික කර සෑම වයසකම සිටින සියල්ලන්ගේම සුභසාධනය ප්‍රවර්ධනය කිරීම,  පරිපූර්ණ සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම  ,  ස්ත්‍රි පුරුෂ සමානාත්මතාවය ළඟා කර  සියළු කාන්තාවන් සහ ගැහැණු ළමුන් සවිබල ගැන්වීම සැමට ජලය හා සනීපාරක්ෂක පහසුකම් සැලසීම,  සියල්ලන් සඳහාම පෝෂිත පරිපූර්ණ සහ තිරසර කාර්මීකරණය ප්‍රවර්ධනය කර නව්‍යකරණය දිරිගැන්වීම. ආදිය විය. මේවායින් බහුතරය ක්‍රියත්මක කිරීමට නගර සභාව අපොහොසත් වී ඇත.


ක්‍රියාත්මක කර ඇති යෝජනා


සියළු තැන්හි පවතින දුගීබව සෑම ආකාරයකම දුගී බව අවසන් කිරීම යටතේ නගර සභාව යෝජනා දෙකක් පමණක් ක්‍රියාත්මක කර ඇති අතර විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් සහ අඩු ආදායම් පවුල්වල දරුවන් සඳහා පහසුකම් සැපයීම සිදුකර තිබේ.  නිරෝගී ජීවිත සහතික කිරීම යටතේ ප්‍රදේශවාසීන් දැනුවත්කිරීමක් සිදුකර ඇත. පරිපූර්ණ සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම සහ සැමට ජීවිත කාලය පුරා ඉගෙනීමේ අවස්ථා සැලසීම යටතේ යෝජනා කිහිපයක්ම ක්‍රියාත්මක කර ඇති අතර පාසල් සහ පෙරපාසල් සිසුසිසුවියන් ආවරණය වන ආකාරයට එම වැඩසටහන් සිදුකර තිබේ. පුස්තකාල සඳහා පොත් ලබාදීම , පෙරපාසල් සංවර්ධනය , සාහිත්‍ය රසාස්වාදය වැඩිදියුණුකිරීමේ යෝජනා ඒඅතර වේ. සැමට ජලය හා සනීපාරක්ෂක පහසුකම් සැලසීම යටතේ ප්‍රදේශවාසීන්ට ජලය ලබාදීමේ සියලු යෝජනා ක්‍රියාත්මක කර තිබීම විශේෂය.


ක්‍රියාත්මක නොවු යෝජනා


සුවිශේෂි යෝජනා රැසක් නගර සභාව විසින් සැලසුම් කර තිබුණද ඒවා ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් නගර සභාව විවිධ කරුණු දක්වයි. ඒ අතර ප්‍රධාන වශයෙන්ම දක්වන කරුණ වන්නේ ආර්ථික අර්බුදය සහ වියදම් සීමාකිරිමට සිදුවු බවය. ඉන්ධන අර්බුදය සහ පැවති දුෂ්කරතා හේතුවෙන් මෙම යෝජනා ක්‍රියත්මක කළ නොහැකි වු බව නගර සභාවේ සභාපතිවරයා ලේකම්වරයා ඇතුළු සියල්ල ප්‍රකාශ කරයි.

තිරසර සංවර්ධන යෝජනා යටතේ දිළිඳු කමින් නිදහස් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීම , කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම , අඩු ආදායම් පවුල් සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අනිවාර්යෙන් සිදුකළ යුතු කටයුතුය . අර්බුද සමයක සාමාන්‍ය ජනතාව තවදුරටත් අර්බුදයට පත්වන බැවින් මෙවැනි යෝජනා  ක්‍රියාත්මකවීම නවතා දැමීම සිදුනොකළ යුත්තකි.  නගර සභාව සඳහන් කරන්නේ ඉටුකිරීමට නොහැකි වු යෝජන 2023 වසර තුළ ඉටුකිරීමට කටයුතු කරන බවය.

එක්සත් ජාතීන් විසින් 2030 වන විට සපුරාගැනීමට  තිරසර සංවර්ධන යෝජනා හදුන්වා දුන්නේ එය සැබැවින්ම ලෝකයට අත්‍යවශ්‍ය දෙයක් වී ඇති බැවිනි. ක්‍රමාණූකූලව එම අරමුණුකරා ලගා නොවුනහොත් මෙම යෝජනා ද ලංකාවේ අනිකුත් යෝජනා මෙන් ලේඛණවල පමණක් ඇති යෝජනා බවට පත්වනු ඇත. එසේ උවහොත් තිරසර සංවර්ධනය ද සිහිනයක් පමණක් වනු ඇත.


-       - චාමර සම්පත් 


No comments:

Post a Comment