Saturday, April 20, 2024

දයාන් ජයතිලක මහතාගේ  ජාතික ජන බලවේගයට අවස්ථාවක් දිය යුත්තේ ඇයිදැයි යනුවෙන් කරුණු දහයක් යටතේ දැක්වූ ලිපියට පිළිතුරකි. 

දයාන් ජයතිලක මහතා බොහෝ දේශපාලන කඳවුරු වල සිට දැක්වූ අදහස් අප අතීතයේ සිට කියවා ඇත්තෙමු. ඒවා ඔහුගේ ඉදිරි වෘත්තීය ජිවිතයට වාසනාව ගෙන ආ අයුරුත් අපි දුටුවෙමු. ඔහුගේ නෂ්ටකාමය අනුව ම වෙනස් වන මතවාදය ගැන අපට අත්දැකීම් ඇත. වෘත්තීය වශයෙන් එවැනි අදහස් දැක්වීමෙන් ඔහු උපයා ගත්  උපදේශක කම් රාජ්‍ය තාන්ත්‍රික කම් ගැන අදහසක් ද අපට තිබේ.  එවැනි කිසිවක් උපයා නොගත් අයෙක් හැටියට ඔහුගේ ලිපියට පිළිතුරු ලිවිමට සිතුවෙමි .

ජාතික   ජන බලවේගය සම්බන්ධ ඔහුගේ අදහස් ඉතාමත් සාධනීය බව බැලු බැල්මට කියවිය හැකිය. එහෙත් ඔහුගේ අතීතය දකින විට ඔහු එන්නේ ජාතික ජනබලවේගය මෙන්ම පෞද්ගලික මඩ ගොහොරුවක සිටය.  මා ජවිපයේ හා දයාන් ජයතිලකගේ මේ මොහොතේ දකින එකම සමානකම එයය. එබැවින් මේ පිළිතුරු දීම අත්‍යවශ්‍ය බව දනිමි. කොතනකින් පටන් ගෙන කොතනකින් කෙලවර කරන්නට වේදැයි අදහසක් මට නැත.එහෙත් ඔහු කරුණු 10 ක් දක්වා තිබේ.

ඔහුගේ කරුණු දහය ගැඹුරින් අධ්‍යනය කරන විට බොහෝ කරුණු වල සත්‍ය හා අඩ සත්‍යයක් රැඳී පවතී.මා ඔහුගේ ලිපියට කැමති වන්නේ ඔහු ගෙනහැර පාන කරුණු දහය smart politics කෝණයෙන් අරුත් ගන්වා ඇති නිසාය. ජවිපයට එරෙහි සෑම බාහිර කැම්පේන් වල ට උඩින් සිට ජාජබයේ දේශපාලනය smart කිරීමට ඔහු උත්සාහ දැරීම අගය කරමි. ලංකාවට අවශ්‍ය smart politics  බාවිතාවකි. ඒ උත්සාහය ජවිපයේ අනුගාමිකයන් වටහා ගන්නා බවක් අධ්‍යනය කරන්න ට ඇත්නම් සතුටු වෙමි. සමහර විටක දයාන් ජයතිලක මේ උත්සාහ කරන්නේ වෛරය,සමාජ කුහක කම හා ප්‍රචණ්ඩ ජවිපය Smart කර ජනතාවට ඉදිරිපත් කිරීමට විය හැකිය.කෙසේ නමුත් ආචාර්‍ය හා තවත් නොයෙකුත් පට්ටම් රාශියක් දරා සිටි ඊයේ වෙනතුරුත් වෙනත් දේශපාලන ප්‍රවාහ වල ලගිමින් සිටි දයාන් ගේ කරුණු වලට එකින් එක යමු.

දයාන්  : 01)   2019-2020 කාලයේ 3%ක අඩු ඡන්ද පදනමක සහ ආසන 03ක සිට අතිශය වෙහෙස වී, නොපසුබටව දේශපාලන ක්ෂේත්‍රයේ වෙනත් ඕනෑම කෙනෙකුට වඩා මහන්සි වී ක්‍රියාත්මක වූ ඔවුහු ඊට අනුරූව වඩාත් වැඩි වේගයකින් වර්ධනය වූ අතර වෙනත් ඕනෑම තරගකරුවෙකුට වඩා වැඩියෙන් බලපෑම් සහගත වූහ. ඒ නිසාම රටටත් එම දෙයම කිරීමේ අවස්ථාව ඔවුනට ලැබිය යුතු අතර රටට අවශ්‍ය වන්නේද වැටීමේ සිට පෙරළා සටන් වැදීමේලා ඔවුන් දැනටමත් ඔප්පු කොට ඇති හැකියාවය.

මගේ අදහස : දයාන් මෙහිදී ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කරන්නේ ජවිපය 2010 වත් පසුව බිහි වූ පක්ෂයක් ලෙසය. ජවිපය බිහිවන්නේ 1964 වර්‍ෂයේ දී වන අතර එම පක්ෂයේ නායකයන් විසින් පුන පුනා කියන පරිදි ජවිපයේ ව්‍යුහයට පිටින් ජනතාව ඒකරාශී කරගැනීමට ජාතික ජනබලවේගය ගොඩ නගා ඇත. එසේ නම් දයාන් ජනතාවට ජාතික ජනබලවේගය 2015 පමණ බිහි වූ පක්ෂයක් ලෙස හඳුන්වා දී smart කිරීමට යන්නේ ජවිපයේ දුර අතීතය අමතක කර අළුතින්ම හඳුන්වා දීමේ චේතනාව සහිතවය. එකඟ විය හැක්කේ තමන්ගේ වැරදි දේශපාලන බාවිතාව නිසාම විනාශ වී ගිය ජවිපය නැවත නැගිටීමට ඇති ධෛර්‍ය පමණි. මතවාදයට එකඟ නොවුවත් ඒ ගුණයට ලියුම් කාරිය ගරු කරයි. එහෙත් ජවිපයට1994 න් පසුව  ප්‍රජාතන්ත්‍ර ප්‍රවාහය තුල ලැබුණු අතදීම් හා පිළිගැනීම් අවතක්සේරු කරමින් ගරු කිරීමට ලියුම් කාරිය සුදානම් නැත.

 ජාජබයේ උත්සාහය සහ එයින් තම ජනප්‍රියතාව වැඩි කර ගැනීම යන කරුණ දයාන් දේශපාලන ළදරුවකු බවට හෝ ඔහු කියවන්නා ළදරුවකු කිරීමට ගන්නා වංක උත්සහයක් බවට ස්ථිර කරයි. ලංකාවේ මෙතෙක් පැවැති ආණ්ඩු, ණය බර ,ගෙවුම් ශේෂ අරබුධය හා බිහි වූ දේශපාලන අරගලය දයාන් විසින් ජාජබයේ අප්‍රතිහත ධෛර්‍ය ලෙසට හැඳින් වීම කෙතරම් බොළඳ දැයි මම ප්‍රශ්න කරමි. ජනතාවගේ ජිවන අපේක්ෂා වන් ගෝටා-බය රජයෙන් බිඳ වැටීම නිසා මිසක් 3% ක චන්ද ප්‍රමාණය ප්‍රමානිකව 30% ක ආසන්නයට එන්නට ජාජබයට අවස්ථාවක් නොමැත. දයාන් වරක ඔවුනට පාර්ලිමේන්තුවේ ආසන 40 කට වඩා පැවැති බව යන කරුණ සමග එන එදා  ජවිපයට තිබු ජනමතය අමතක කරවයි.  ලංකාවේ සියළුම දේශපාලන මරිකම් අමනකම් දයාන් smart ලෙස ජාජබයේ දක්ෂ කම ලෙස හඳුන්වයි. සැබවින්ම  අසාර්ථක වීම් වලට ජවිපයේ දායකත්වය 1964 සිටම විශාල දායකත්වයක් දරා තිබේ. දයාන් ට අනුව ජවිපයට ලැබී ඇති ජන ආකර්ෂණය ඒ හානිකර දායකත්වයට ලැබුණු තවත් සම්මානයකි.එනයින් ම රට වට්ටා බලය ගැනීම යන උත්සාහය ඔවුන් කර ඇති බවට සපථ කරයි. 

දයාන් : 02) වෙනත් ඕනෑම දේශපාලන ව්‍යුහයකට වඩා ඔවුන් තමන් විසින්ම අති මහත් ධනාත්මක පරිවර්තනයක් සිදු කර ගෙන ඇත. එසේම ඔවුහු අරමුණු වෙනුවෙන් සැලකිය යුතු තරමේ වැඩි කේන්ද්‍රගත වීමක් ප්‍රදර්ශනය කරති. රට ඉල්ලා සිටින්නේද නිර්මාණාත්මක, ප්‍රතිඵලදායක පරිවර්තනයක් සිදු කිරීම සඳහා වූ හැකියාවය.

මගේ අදහස : ඔවුන් කල එකම ව්‍යුහාත්මක වෙනස ජවිපයට පිටින් ජාතික ජනබලවේගය නම් ව්‍යාපාරය පිහිටු වීම පමණි. ජාතික ජන බල වේගය පාලනය වන ජවිපයේ පක්ෂ ව්‍යුහය තවමත් බෝල්ශ්වික් අකෘතියේය. අනුරගේ සම්මුඛ වීම් , හරිනි ගේ සම්මුඛ වීම් දයාන් දැක ඇතුවාට සැක නැත. ජාතික ජන බලවේග ය බලයට පත් වීමේදී ජවිපයේ දේශපාලන බල මණ්ඩලය ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට ජාජබය එකඟ වීම සතුටක් බව අනුර සිරසේ ප්‍රශ්න දහයකට උත්තර දෙමින් කියා සිටියේය. ඒ අනුව දයාන් අදහස් කරන්නේ කුමන ආකාරයේ ව්‍යුහාත්මක වෙනස්කම් දැයි ප්‍රශ්න කල යුතුය. ජවිපය ජනතාවට නොකියා දයාන්ට ඒවා රහසින් වත් කීවේද? ව්‍යහාත්මක වෙනස්කම් නොවී මතවාදමය වෙනස්කමක් කරන්නට ජවිපයේ ව්‍යවස්ථාවෙන් හෝ පක්ෂ ක්‍රමයෙන් ඉඩක් නැත.ඔවුන්ගෙන් අප හිතවතුන් ලෙස එම ක්‍රමය වෙනස් කරන ලෙස ඉල්ලා සිටින විටදී හිමි වුයේ ගල් මුල් පමණි.ඒ නිසා දයාන් මෙලෙස නැති ව්‍යුහාත්මක වෙනසක් දක්වමින් ජාජබය උත්කෘෂ්ට කරන්නේ මුදලටද නැතිනම් ජාජබ ආණ්ඩුවක ලොකු තනතුරක් වෙනුවෙන් දැයි සැක සිතීම සාධාරණය.

ජාජබයේ අරමුණු වෙනුවෙන් කේන්ද්‍රගත වීම දයාන් අදහස් කරන්නේ බලය ලබා ගැනීම නම්.. ඔවුන් මේ මොහොතේ ඒ වෙනුවෙන් තම හරයන් පවා පාවා දෙමින් සිටිති. රාජපක්ෂ ගණයේ ප්‍රචාරක ක්‍රමයක් ආරම්භ කර ඇත. එය දයාන් හඳුන්වන්නේ නිර් මානත්මක ක්‍රමයක් ලෙසද? ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු වලට මුදල් ලැබෙන අයුරු අවිනිශ්චිතය.විනිවිද භාවයෙන් තොරය.  ඒවා යෙන් පැහැදිලි වන්නේ බලය ලබා ගැනීම නම් ඉන්දීය ගමන ගැන හා එයින් පසු දේශපාලන බවිතාව ගැන රාජ්‍ය තාන්ත්‍රික නොවුයේ ඇයි ? රට වෙනුවෙන් ඔවුන්ගේ අරමුණු මොනවාද යන්න දයාන් මෙහි පැහැදිලි නොකරයි. කෙතරම් ප්‍රචාරක කටයුතු කරගෙන ගියත් පක්ෂ ප්‍රතිපත්ති පැරණි ඒවා බවත් ඒවා අළුතින් ඉදිරිපත් කරන බවත් ජාජබ වෙබ් පිටුව කියයි. එසේ නම් දයාන් අරමුණු කරන අරමුණු වෙනුවෙන් කේන්ද්‍රගත වීම යන ප්‍රලාපය මුලික වම අසත්‍යයකි. ජනතාව රැවටීමට දයාන් විසින් කරන ලද වචන හරඹයකි.

දයාන් : 03) ඔවුහු ප්‍රබෝධමත් සාමූහික මනෝභාවයක් සහ මනෝවිද්‍යාත්මක ශක්තියක් සම්පාදනය කරන්නා වූ අව්‍යාජ ගතිකත්වයක් ප්‍රදර්ශනය කරති. අත්‍යාවශ්‍ය වූ මෙම ලක්ෂණය සෙසු සියලු තරගකරුවන් තුළ අත්‍යන්තයෙන්ම නොමැත.

මගේ අදහස : මේ කරුණ දයාන් කියන්නේ ජවිපයේ බාවිතාව ගැන හාන් කවිසියක් වත් නොදැනද? ආගමික හා හමුදාමය වශයෙන් ගොනු වන මිනිසුන් සතුට හා වින්දනය පවක් ලෙස සිතති.ජවිපයේ ඉතිහාසය එන්නේ මොළ සේදිමකිනි. එහි සතුට, ලිංගිකත්වය හා මත්ද්‍රව්‍ය යන කරුණු දෙකෙන් බාහිරව පැවතිය යුතුය. විජේවීරට පවා ලිංගිකත්වය ගැන විනය පරීක්ෂණ තබා ඇත. අනුර කුමාර ගේ ලිංගිකත්වය පවතින ලෙස පිළිගැනීමට නොහැකි ඔවුන් විවිධ හුණු තවරමින් සිටිති.  ලාල් කාන්තා මත් පැන් බි හෝ, හඳුන් නෙත්ති මත් පන් බීමෙන් වූ රිය අනතුරු ගැන ජවිපය ඍජුව පෙනී නොසිටියි. මිනිසුන් ලිංගිකත්වය හා මත්පැන් ඉවත් කර හදා වඩාගත් විනය කොනේදේසි තුල නොවේ. ඔවුන්  ප්‍රබෝධමත් වන්නේ ඇති මිනිසාට වෛර කිරීමෙනුත් , ඇති මිනිසා නිසා තමා අසාධාරණයකට පත් වූ බවට  සාමුහිකව එක්ව වෛර කිරීමෙනි. 


දයාන් එය ප්‍රබෝධය ලෙස දකින්නේ නම් 1971, 88-89 දී ජවිපයේ බාවිතාව දයාන් ට ප්‍රබෝධයක් විය හැකිය.  එය ඔවුන්ගේ අව්‍යාජ ගතිකත්වය බව නම් ඔවුන්ගේ සමාජ මාධ්‍ය බාවිතාව කියා පායි. රුපියල් දහ දාහක් මසකට ගෙවන ෆේස් බුක් ගිණුම් 75000 කින් ගොඩ නගා ඇති ඕනෑම මධ්‍යස්ත මත ධාරියකු හොරුන් ට පක්ෂ යයි කියන මතවාදය දයාන් විසින් ගන්නේ ප්‍රබෝධාත්මක ලෙසය. දයාන් අපේ රට ව්‍යාජ සාමුහික වෛරී මානසිකත්වයක් වෙත ගෙන යාම ප්‍රබෝධාත්මක ලෙස සලකයි. ඉතින් දයාන් ට අතීතයේ ඒ මානසිකත්වය තිබුණේද ? 90 දශකයේ බොරැල්ල කනත්තේදී දයාන් ට සිදු වූ සිද්දිය වැනි සිද්ධියකින් දයාන් නැවත පියවි සිහියට ගැනීමට සිදු වුවහොත් පුදුම නොවන්න. ජාජබය සතු සමාජ වෛරය හා විරුද්ධ වාදීන් හඹා ගොස් ප්‍රහාර එල්ල කිරීමේ වියරුව හා ග්‍රාම්‍ය දේශපාලන බාවිතාව දයාන් ට ප්‍රබෝධයක් වුවාට ප්‍රශ්න කල යුතු වන්නේ බලය ලැබිමකදී විරුද්ධ වාදීන්ගේ ඉරණම ගැන ,අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන, දයාන් ට සිරි ලංකාවේ ජනතාවට සහතිකයක් දිය හැකිද යන්න ය.  දයාන් තම smart කරණය තුල සඟවන්නේ වියරු ගති ගුණය. අනෙක් පක්ෂ සතුව මේ හඹා ගොස් පළිගැනීම ,සංවිධානාත්මක ලෙස පහර දීම හා වෛරය වැපිරවීම යන ලක්ෂණ නොමැත. දයාන් ජාජබයේ භයානකම මනෝ විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක අනතුර තනුක කර අහිංසක කිරීමේ වෑයම වෙනුවෙන් කොපමණ මුදලක් ලබා ගත්තේ දැයි මම නොදනිමි.


 දයාන් : 04) කිසිදු වෙනත් පක්ෂයක්/ ව්‍යාපාරයක් නොකළ පරිද්දෙන් ඔවුන් ඕනෑම සමාජයක අතිශය තීරණාත්මක ලෙස වැදගත් වන බවට ලොව පුරා පිළිගනු ලැබ ඇති සමාජ බලවේගය, එනම් උගත් කාන්තාවන්, විශේෂයෙන් උගත් තරුණ කාන්තාවන් දේශපාලනයට පෙළඹවීමටත් සංවිධාන ගත කිරීමටත් කටයුතු කර තිබේ.


මගේ අදහස : දයාන් කියන පරිදි උගත් කාන්තාවන් වේදිකා ගත කර ඇත. මමද එය පිලිගනිමි.අන් පක්ෂ වලට කල නොහැක්කක් ඔවුන් විසින් සිදු කර ඇත. එහෙත්  ජවිපයේ හා ජාතික ජන බලවේගයේ දේශපාලන තීන්දු තීරණ ගන්නා විධායක සබාවල කාන්තා නියෝජනය සියයට 6 ට අඩුය. එයිනුත් ඥාති සංග්‍රහ මත කාන්තාවන් පත් කර තිබේ.. මේ නයින් කාන්තාවන් වේදිකා ගත කල පමණින් දයාන් කියනා අතිශය වැදගත් සමාජ බලවේග ජවිපය තුල ක්‍රියාත්මක නැත. ඒ අනුව දයාන් ගේ හතරවෙනි කරුණ පුස්සකි.එහි ඇත්තේ කාන්තාවන් සමබන්ධව පමණක් 3% ක සත්‍යයකි.


දයාන් : 05) සැලකිය යුතු තරමින් වාර්ගික, ආගමික, පංතිමය සහ කුලවාදී අගතීන්ගෙන් මිදුණු උගත් තරුණයින්ගේ සහ පොදුවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලද පරම්පරාවන්ගේ දේශපාලන ව්‍යාපාරයක් වන ඔවුහු, එම පරම්පරාවන් මේ රට සමාජීය ලෙස නිදහස් කිරීමටත් නවීකරණය කිරීමටත් අවශ්‍ය වන අදහස්වලින් පෝෂණය කරති.

 මගේ අදහස : ජවිපය බිහිවන්නේ ම කුල වාදයේ පිඩනයට එරෙහිවය. එහෙත් ජවිපය තම කිසිදු වේදිකාවක කුල වාදය අවසන් කිරීමට තමන් සතුව වැඩ පිළිවෙලක් ඇති බව නොකියයි. එම මාතෘකාව කිසි දිනක මාතෘකාවක් ලෙස කතා නොකරයි. ලංකාවේ ජන වර් ග අතර ගැටළුවට ජවිපය විසඳුමක් කතා නොකරයි. කොටින්ම ලංකාවේ විවිධත්වය කළමනාකරණය ගැන ජවිපය ට ප්‍රතිපත්තියක් නැත. ජනාධිපති අපේක්ෂක විය යුත්තේ අනුරද හරිනි ද යන සංවාදයේ දී අනුරට වැඩි ලකුණු වැටුණේ ගොවිගම වීම නිසාය.


විශ්‍රාමික හමුදා නිලධාරීන් ගේ සංවිධානාත්මක එකමුතුවක් ඔවුන් සතුව  ඇත. ජාජබය ඔවුන් සම්බන්ධ කරගන්නේ සමාජ බලවේගයක් ලෙස නොවේ.ඔවුන් වෘත්තීය බලවේගයකි. ජාජබය හෙවත් එවකට ජවිපය  විසින් දමිල ජනයාට එරෙහිව ඔවුන්ට සහය දක්වා තිබේ. එවැනි විශ්‍රාමික බොහෝ නිලධාරීන් ට ඍජු හා වක්‍ර යුධ අපරාධ චෝදනා තිබේ. ඔවුන් උසස් කරන දේශපාලන සංයුතියම සිරි ලංකාවේ ජනවර් ග වලට අභියෝගයක් වෙයි. දයාන් දවල් සිහින දකිමින් ඒවා ජනගත කරයි. 


ඊට අමතරව ලංකාවේ විශ්ව විද්‍යාල පද්දතිය ගැන දයාන් ගේ තක්සේරුව වැරදිය. පොදුවේ සිරි ලංකාවේ විශ්විද්‍යාල පද්ධතිය තුල ඔවුන්ගේ නවක වදයෙන් හා දේශපාලන මත වාදයෙන් තෙම්පරාදු වී   බිහි වූ උගතුන් විසින් දශක ගණනාවක් තිස්සේ එනම් දශක හතරක් තිස්සේ සිරි ලංකාවේ රාජ්‍ය හා අධ්‍යාපන දේහය ක්‍රියාත්මක කරයි. ඒවා අරාජක වී ඇති සැටි, බිඳ වැටි ඇති සැටි ,  වෘත්තීය සමිති කටයුතු නිසා හා අක්‍රිය,  අකාර්යක්ෂම බව නිසා මේ දශක හතර තුල රට ලබා ඇති අවගමනය ගැන ගණනය කරන විට ඔවුන්ට නිර්මාණාත්මක, නවීකරණය වෙන රටක් බිහි කිරීමට හැකියාව නැති බව බාවිතාවෙන් පැහැදිලි වේ. අනුර ට  රාජ්‍ය සේවය කාර්‍යක්ෂම කිරීමේ උවමනාව පවතින බව ඔහු කියයි.  එහෙත් ඒ කෙසේදැයි යන්න විශාල ප්‍රශ්නයක් බව ඔවුන්ගේ පක්ෂය වටා එකතු වී ඇති රාජ්‍ය නිලධාරීන්ගේ ගේ බාවිතාව අධ්‍යනයේදී වැටහේ. ඒනිසාම දයාන් මේ smart ලෙස කියන්නේ  ජාජබය වටා එකතුව ඇති පිරිස දක්ෂ ,කාර්‍ය ශුර ,නවීන අදහස් ඇති පිරිසක් බවය. එහෙත් එය එසේ නොවන බව දැනට රාජ්‍ය දේහයට පත්ව ඇති ඉරණම ,ලංකාවේ සිදුවන බුද්ධි ගලනය හා රට පත්ව ඇති අසරණ කම අනුව තීරණය කළ හැකිය.



දයාන් : 06) ඔවුන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශයන් සහ භාවිතයන් ප්‍රකට කරන්නේ සාම්ප්‍රදායික නොවන, ආගම දේශපාලනයෙන් සහ රාජ්‍ය ප්‍රතිපත්තිවලින් වෙන් කරන නවීකාරක ප්‍රතිපත්තියකි.


මගේ අදහස : ජාජබය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිරි ලංකාවේ බුදු දහමට හා අනෙක් ආගම් වලට දී ඇති ඉඩ ගැන දක්වන අදහස කුමක්ද?ඒ ගැන පැහැදිලි අදහසක් මෙතෙක් මා නම් අසා නැත.  ඔවුන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශයන් තුල බුදු දහම, ඇදහිලි ප්‍රසිද්ධියේ විවේචනය වෙන අතරම අනෙක් අතින් කොත් පැළඳීම,මල්වතු අස්ගිරි බැහැ දැකීම, භික්ෂු පෙරමුණු පවත්වාගෙන යාම යන  කරුණු තුලින් ගොඩ නැගී ඇති පරස්පරය  දයාන් ගේ අදහස මුසාවක් බව ප්‍රකට කරයි. දයාන් ජාජබයේ බාවිතාව උවමනාවෙන් ම තරුණ පරපුරෙන් වසං කරන්නට සැරසෙයි.

සමාජ වාදය තුල ආගමට හිමිවන තැන සමාජවාදය හිමි කර ගනී. රාජ්‍ය පාලනය ආගමික බලපෑමෙන් තොරව කරගෙන යන්නට අදහස් කරන්නේ නම් ජාතික භික්ෂු පෙරමුණ ඔවුන්ගේ වැදගත් දේශපාලන කඳවුරක් ලෙස පැවතගෙන එන්නේ ඇයි ? එවැනිම කඳවුරක් රාජපක්ෂ වරුන්ට තිබේ. අනෙක් අතින් අනිකුත් ආගම් හා ජාතින් වෙනුවෙන් පැහැදිලි ස්ථාවරයක් වත් හෙළි නොදක්වා ජාතික සංඝ සම්මේලනයක් පැවැත්වුයේ ඇයි ? දයාන් සැබවින්ම දිමෙන්සියා වෙන් හෝ අමතක වීමේ වෙනත් රෝගයකින් පෙලෙන බව මම නොකියමි. ඔහු අතීතයේ සිට ලියු විචාර ලිපි වලින් ජනතාව කෙතරම් නොමග යවා තාන්න මාන්න ගන්නට ඇතිදැයි යන්න පමණක් ප්‍රශ්න කරමි.


දයාන් : 07)  ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන සජබයට ධනවතුන්ට උචිත, ජනප්‍රියවාදී පෙනුමක් ඇති ප්‍රේමදාස සංවර්ධන මොඩලයේ සුවිශේෂී හිමිකාරිත්වයක් ඇති නමුත් එය ලාභදායී ගනුදෙනුවක් වෙනුවෙන් රිෂි සුනක්ගේ එක්සත් රාජධානියේ කොන්සර්වේටිව්වරුන්ගේ අනුවාදයක් බවට පත් කොට තිබේ. අනුරට බිම් මට්ටමේ චලනයන් හඳුනා ගත හැකි මතවාදයක් ඇති නමුත් සජිත්ට එවැන්නක් නොමැත; නැතහොත් ඒවායින් උපුටා ගනිමින් සිටී.


දැනට පවතින තත්වය අනුව සජිත් සිටියා වුවද සජබ ආණ්ඩුවක් ජනතාවට යහපතක් කරනු ඇත්තේ නැත. ප්‍රකාශයන්හිදී සහ පක්ෂයේ ප්‍රතිපත්තිවලට අදාළ තීරණාත්මක බලය හිමි එරාන්, හර්ෂ මතවාදී මූලධාර්මිකයින් ද්විත්වය සජබයේ චෙනී – රම්ස්ෆෙල්ඩ් (ජෝර්ජ් බුෂ් ආණ්ඩුවේ අන්ත දක්ෂිණාංශක දේශපාලකයින් දෙදෙනෙකි) වෙති.


මගේ අදහස: දයාන් ට අන්ධ කයිප්පු කැවී ඇත.සජබය වාමාංශික පක්ෂයක් නොවේ. එහි මුලික පදනම සමාජ ප්‍රජාතන්ත්‍ර වාදයයි. එය ධනවාදයේ උච්ච අවස්ථාවක යුරෝපා,ස්කන්ඩි නේවියා මොඩලයට ලගා වීමට අපේක්ෂා කරන ධනවාදී මොඩලයකි. දයාන් කියන්නේ එය බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂ මොඩලයේ එකකට අනුවර්තනය කර ඇති බවකි. උදාහරණය ම තක්කඩි එකකි. එය හරියට තම අධිරාජ්‍ය වාදී හිමියා නිදහස ලබා දී ගියද ඔහුගේ බේකන් කෑල්ලට අපගේ පොල් සම්බෝල සමාන කරන්නකි.  


එහිදී සජිත් වාමාංශික අදහස් ඇත්තෙකු යයි ඔහු නොකියා කියයි.  ආර් ප්‍රේමදාස මහතා දුප්පතුන්ට නැගී සිටීමට ව්‍යාපෘති කල පමණින් ඔහු වාමාංශික යකු නොවන බව දයාන් වටහා ගෙන නැත. නැතහොත් උවමනාවෙන් ම සජිත් හා රණසිංහ   වාමංශික කරමින් සජිත් ජවිපය සමග ගැළපුනත් හර් ෂ , එරාන්  වැනි පුද්ගලයන් එහි සිටීම මාධ්‍ය වාමාංශික ආණ්ඩුවක් බිහි වීමට බාධාවක් බව දයාන් කියයි. පසුගිය දිනවල ජාජබය මේ දෙදෙනා අතින් විවේචනය වූ බව අමතක නැත. 


මධ්‍ය වාමාංශික රටවල් ලෝකයේ නැත. වාමාංශික රටවල් හෝ  ඇත්තේ සංකල්ප පටලවා  ගත් ලංකාව වැනි අච්චාරු රටවල්ය. නැතහොත් ධනවාදයේ නරක ලක්ෂණයන් තුලනය කරන සමාජ ප්‍රජාතන්ත්‍ර වාදී රටවල්ය.යුරෝපා සංගමයේ බහුතර රටවල් සමාජ ප්‍රජාතන්ත්‍ර රටවල්ය. ඒ අනුව චෙනි-රම්ස්ෆෙල්ඩ් උදාහරණය සම්පුරණයෙන් ම සජබයේ ප්‍රතිපත්ති වැරදි ලෙස ජනගත කිරීමට දයාන් බාවිතා කල තක්කඩි උපක්‍රමයකි.


අනුරට පහත සමාජ තලයේ බිම් මට්ටමේ චලනයන් හඳුනා ගත හැකි අතර සජිත්ට එසේ නොවන බව දයාන් කියයි. එහෙත් ජාජබය පාසල් දිවා ආහාරය බිම් මට්ටමේ වැදගත් සමාජ චලනයක් බව තේරුම් ගත්තත් එයට ප්‍රතිචාර දැක්වීම ප්‍රාථමික විය. සජිත් සහල් බෙදමින් ආධාර බෙදමින් යන බවත් ආණ්ඩුව සහන දෙන බවටත් අවලාද කීම හැර බිම් මට්ටමේ චලනය තුලනය කර ගැනීමට ජාජබයට උපක්‍රමයක් නැත. ඇත්තේ ගැටුම් වලට යාම සහ අපහාස කිරීමකි. එහෙත් සජබය පාසල් දිවාහාරය වගකීමක් ලෙස දුටුවේය. එහි වාසිය දිනා ගත්තේය. ඉදින් ජාජබයේ බිම් මට්ටමේ චලන ගැන අනුකුල තාව ගැන දයාන් ගේ කතාව පුස්සකි.


අනෙක් අතින් යම්තාක් දුරකට අවංක ජාජබ දේශපාලකයෙක් වන ටිල්වින් සිල්වා පසුගිය දිනක පුන පුනා කිවේ සජබයේ ප්‍රතිපත්තියම ජාජබය සතු බවය.ටිල්වින් ට වඩා දයාන් ජාජබය ගැන දන්නේ කෙසේද?  දයාන් ජනතාව නොමග යැවීම වෙනුවෙන් smart මගක් තෝරාගෙන ඇත. එය ලුපයට ගැනීම වගකීමකි.


දයාන්  : 08) දේශපාලන රඟමඩලේ සියලු බලවේගයන් අතරින් තම ප්‍රසිද්ධ ප්‍රකාශනයන්හිදී වඩාත්ම ප්‍රගතිශීලී සහ සබුද්ධික වනුයේ ජාතික ජන බලවේගයයි. ලොව පුරා – බ්‍රසීලයේ ලූලාගේ සිට නවසීලන්තයේ අර්ඩර්න් දක්වා  දැකිය හැකි නූතනවාදී මධ්‍ය වාමාංශික ස්වරූපයක් ගන්නා පුළුල් ප්‍රතිපත්තිමය යෝජනාවලියක් බවට පරිවර්තනය කොට ඇත්තා වූ දැක්මක් සහ වැඩපිළිවෙළක් ඔවුන් සතුව ඇත.

එහෙත් එය ශ්‍රී ලංකාවේ පාලක පංතිය විසින් කිසිදා අත්හදා බලා නොමැත. මෙම තෙවැනි සුසමාදර්ශයට – මධ්‍ය වාමාංශිකවාදයට – අවස්ථාවක් ලබා දිය යුතුව ඇත. රටටත් ජනතාවටත් එවැනි අත්හදා බැලීමක් අවශ්‍යය; ඔවුන්ට එවැන්නක් ලැබිය යුතුව ඇත.


මගේ අදහස: ජාජබය සමාජවාදී ආර්ථික හා දේශපාලන ක්‍රමය තුල හිරවී සිටිමින් බලය උදෙසා විවිධ ප්‍රකාශ කරයි. බ්‍රසීලයේ ලුලා වැදගත් වන්නේ එහෙයිනි. දැනට ඔවුන්ට එය අතීතය යයි කිව හැකිය. නවසීලන්තයේ ආදන් කම්කරු පක්ෂය නියෝජනය කල පමණින් එය වාමාංශික මොකක්දෝ එකක් නෙවේය. එය ස්කන්දිනේවියානු ක්‍රමයේ දිගුවකි. කරුණ 07 දී එම ක්‍රමය විවේචනය කරන දයාන් කරුණ 08 දී  එය ටිල් වින් පිළිගන්නා  පරිදි ව්‍යංග වශයෙන් පිළිගනී. දයාන් මේ කියන්නේ කුමක් දැයි ඔහුවත් දන්නේ නැති බව අදහස් කරමි. ජාජබයට බොහෝ රටවල ප්‍රතිපත්ති සොයා යැවූ විදේශයන්හි ජිවත් වෙන්නන් ඇත. දැනට ඔවුන්ගේ ප්‍රතිපත්ති මාධ්‍ය වැඩසටහන් වලදී දැඩි ලෙස අධික්ෂනාත්මක ලෙස කතා බහ වෙන නිසා ඒවා  පරණ ප්‍රතිපත්ති ලෙස වෙබ් පිටුවේ සටහන් කර ඇත. ඒ නිසාම ජාජබයේ ප්‍රතිපත්ති ගැන ජාජබයට ම පැහැදිලි අදහසක් නැති විට දයාන් ට පමණක් නිසැක අදහසක් ආවේ කෙසේ දැයි යන්න විමසීම නම් වටනේය.

ලංකාවේ ක්‍රියාත්මක වන්නේ දායකත්වයන් නොදක්වන නොමිලේ ජනතාව තෘප්ත කරන ආර්ථික ,සෞඛ්‍ය හා අධ්‍යාපන ක්‍රමයකි. දයාන් යෝජනා කරන ක්‍රමය තුල නවසීලන්තය වැනි රටවල් ක්‍රියාත්මක කරන්නේ දායකත්ව සුබ සාධන ක්‍රම සහිත ආර්ථිකයකි. ශ්‍රී ලංකාව දැන් බදු ප්‍රති සංස්කරණ වෙත පියමනිමින් සිටිති. ඒවායේ බාවිතාව දායකත්ව ආර්ථික හා දායකත්ව සමාජ ආරක්ෂණය ය. ජාජබය සියළු බදු ප්‍රතිසංස්කරණ වලට එරෙහිය. මෙහිදී මට නැගෙන පළමු පැනය ජාජබ ආණ්ඩුවකදී නවසිලන්ත ක්‍රමය ක්‍රියාත්මක කිරීමට දායකත්වය ජාජබය සොයා ගන්නේ කෙලෙසකද යන්නය. දෙවන ප්‍රශ්නය  එළිපිට බදු අය කිරීමට එරෙහි වන ජාජබය දායකත්ව සමාජ ආරක්ෂනයකට දැනට ඇති ලෙස සැමදේම නොමිලේ දීමෙන් නවසිලන්ත ක්‍රමය බිහි කරන්නේ කෙසේද යන්නය.

මේ කරුණ තුල දයාන් ලංකාවේ අහිංසක ජනතාව ජාජබය වෙනුවෙන් මහා දවල් රවටමින් සිටි. එය ඔහු වැනි අයෙක් ගෙන් අපේක්ෂා කල නොහැකි වුවද ඔහුගේ සබුධ්ධික බව ප්‍රශ්න කිරීම නම් කල යුතුය.


දයාන් : 09) නිදහසින් පසු දේශපාලනයේ සාම්ප්‍රදායික ධාරාවන් ද්විත්වය වන එජාප/සජබ සහ ශ්‍රීලනිප/පොජපෙ සතුව, ජනතාවට කීමට අනුනාදනීය කතාවක් සහ ඔවුන් ප්‍රබෝධමත් කරන අදහස් තවදුරටත් නැත. පශ්චාත් නිදහස් සංස්ථාපිතයන්, දේශපාලනික ප්‍රභූන් මොළය මියගියවුන් වැනිය.

ජවිපෙ-ජාජබ හැරෙන්නට, කවර ස්වරූපයක පරිණාමයන් සිදු කරගත්තද කවර එකතූන් නිර්මාණය කර ගත්තද අන් සියලු දෙනා, බොහෝ වාර ගණනක් රට පාලනය කර තිබේ. එහෙයින්ම ඔවුහු ශ්‍රී ලංකාවේ මහා ආර්ථික අවපාතයේ වගකීමට බැඳී සිටිති. එහෙත් ඔවුහු පැරණි සූත්‍ර නිර්ලජ්ජිතව නැවත නැවත පුනරුච්චාරණය කරති.


මගේ අදහස : දයාන් නැවතත් ජවිපය හෝ ජාජබය වසර 60 ක දේශපාලනයෙන් ව්‍යුක්ත කර අදහසක් ඉදිරිපත් කරයි. ඔහු සඳහන් කරන මොලය මිය යාමට ඔහුත් ලක්ව ඇති බව ස්ථිරය. ජවිපය විසින් හඳුන්වා දුන් ප්‍රචණ්ඩ දේශපාලන සස්කෘතිය ආරෝපණය කරගත් එල් ටි ටි ඊ සහ ජවිපය ලංකාවේ සිදු කල හානිය ව්‍යුක්ත කරගෙන දයාන් ට විචාර ලිවීමට අයිතියක් ඇතත් එය පිළිගැනීමට අපිට අයිතියක් නැත. ජවිපය විසින් ගත් ප්‍රචණ්ඩ මාවත නොවන්නට රජයන්ට එරෙහි ක්‍රියාදාමයන්ට යන්නට සිදු වන්නේ නැත. නායකත්ව ඝාතනයන් නොවන්නට දේශපාලනයේ රොඩු ඉතිරිවන්නේ නැත. 

විනාශය ඩොලර් මිලියන 2000 කි. වෘත්තිය හා භූ දේශපාලන ක්‍රියාදාමයන් මගින් රටේ ආර්ථිකයට ජවිපය කරන ලද හානිය බලයට පැමිණි සෑම දේශපාලන පක්ෂයක්ම අසමත් කර නිරුත්තර කල බව දයාන් ට වැටහෙන්නේ නැත. 1994 සිට වසර 30 ක් මේ ප්‍රවාහයන් සමග එක්වෙමින් ඔවුන්ගේ අසමත් කම් වලට එකතු වී කටයුතු කල බව දයාන් ජනතාවගෙන් සැඟවීමට උත්සාහ කරයි. ජාජබය තමන් අතින් සිදු වූ රාජ්‍ය දේපල විනාශය නිසා අදටත් ඇතැම් ගම් වලට බසයක් ලැබී නැති බව පිළිගන්නේ නැත. දයාන් කියන පරිදි ජාජබය නම වෙනස් කල පමණින් ශ්‍රී ලංකාවේ සිදු කරන ලද ආර්ථික හා දේශපාලන අපරාධ වල වගකීම වෙනුවෙන් ජවිපය සමාව ගෙන නැත. 


වසර පහකින් දහයකින් ඒ ආර්ථික හා දේශපාලන අපරාධ නිවැරදි කර බලය ලැබුණු විට ඒවා පියවන බව ජවිපය කියා නැත. නැතහොත් ඒ වැරදි නිසා අද ජනතාව දුගී දුප්පත් වූ බවට පිළිගන්නේ නැත. ලංකාවේ අනිකුත් දේශපාලන කඳවුරු මෙන්ම ජාජබය ත් එකම දේ පුනරුච්චාරණය කරන බව දයාන් ට නොවැටහේ. ඒ හොරු ඇල්ලීමේ කථාවය . හොරු ඇල්ලීමට පාර්ලිමේන්තු යන්නට අවසර ඉල්ලා එහි ගිය පසු සියළු අවස්තාවන් මගහැරී ඔවුන් එයම පුනරුච්චාරණය කරමින් බලය ඉල්ලන බව දයාන්ට අමතක වී ඇත. මේ කරුණේදී ඔහු කියන පරිදිම ඔහුගේ මොලය මිය ගොස් ඇති අතර තරුණ පරපුරේ මොලය මරා දැමීමට ඔහු උත්සාහ කරයි.


දයාන් : 10) පුරවැසියන් ලෙස අපි දේශපාලන වේදිකාවන්හි දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් එකම පවුල්වල මුහුණු දැකීමෙන්ද එකම පැරණි තේමාවන් සහ තාලයන් ඇසීමෙන්ද වෙහෙසට පත්ව සිටිමු. බලයේ සිටීමේදී අප හැමදාම දැක ඇති එකම පැරණි මුහුණුවලින් සහ සමාජ බලවේගයන්ගෙන් යුක්ත නොවීමේ ගුණය ජාතික ජන බලවේගය සතුය.  එබැවින් එකම තක්කඩීන් තෝරා ගැනීම මඟහැර ජයග්‍රාහකයින් තේරීමට අපට අවස්ථාවක් ලබා දෙයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ තරුණයින්ගේ සහ කාන්තාවන්ගේ ‘අනුප්‍රාප්තික කණ්ඩායමක්’ අතට රට මාරු කිරීමේ අවස්ථාව ජවිපෙ-ජාජබ විසින් අපට ලබා දෙයි. එම පිටුව පෙරළීම නව පරිච්ඡේදයක ඇරඹුමය.එබැවින් එකම තක්කඩීන් තෝරා ගැනීම මඟහැර ජයග්‍රාහකයින් තේරීමට අපට අවස්ථාවක් ලබා දෙයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ තරුණයින්ගේ සහ කාන්තාවන්ගේ ‘අනුප්‍රාප්තික කණ්ඩායමක්’ අතට රට මාරු කිරීමේ අවස්ථාව ජවිපෙ-ජාජබ විසින් අපට ලබා දෙයි. එම පිටුව පෙරළීම නව පරිච්ඡේදයක ඇරඹුමය.


මගේ අදහස : මේ කියමන ප්‍රාදේශීය මට්ටමෙන් යම් කිසි නිවැරදි තාවයක් දරයි.අනෙක් අතින් තීන්දු තීරණ ගැනීමේ මණ්ඩල වල සැමියා බිරිඳ දෙදෙනාම සහෝදරයන් දෙදෙනෙක් වශයෙන් බොහෝ තැන් දකින්නට හැකිය. ජවිපය බලය ලබාගෙන කාලයක් සිටි පක්ෂයක් නොවන නිසා ඉදිරියට ඇතිවිය හැකි ප්‍රවණතාවය න් ගැන සහතික විය නොහැකිය. පවුල් වාදයෙන් තොර සම්පුරණ  දේශපාලනයක් අපේක්ෂා කිරීම අපේක්ෂා කල නොහැකිය.


පැරණි දේශපාලකයන් නැවත මෙහි අවශ්‍ය නොවන බව සත්‍යය. එය ලාල් කාන්ත ,සුනිල් හඳුන්නෙත්තිට ද අදාළ විය යුතුය. එසේම පැරණි සමාජ බලවේග වලින් තොරව යයි ඔහු අදහස් කරන්නේ කුමක්ද? ප්‍රජාතන්ත්‍ර වාදය යනු සමාජයේ නියෝජනයයි. මෙයින් අදහස් කරන්නේ වැඩිහිටියන් නම් මේ අදහස ඉතා භයානක ය. ඔවුන්ගෙන් තොරව ප්‍රජාතන්ත්‍ර වාදයක් පැවතිය නොහැකිය. කලින් කි පරිදි දයාන් අපේක්ෂා කරන්නේ වියත් මගේ මෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ පිරිසකින් රට හැදීම නම් උදාහරණයට දයාන් ට දැනටමත් ලැබී ඇත.


 කාන්තාවන් ප්‍රාමාණික වශයෙන් පත් වීමේදී ජාජබය ගුණාත්මක බව අතින් ඉදිරියෙන් සිටිනු ඇති බවට මට ද සිතේ. එහෙත් දැනට කෙතරම් පිරිසකට නාම යෝජනා ලැබේද? ජාතික ලැය්සිතුවෙන් කෙතරම් කාන්තාවන් ඇතුලත් වේද යන්න ගැටළුවකි. හරිනි ජාතික ලැය්සිතුවෙන් පත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරීන් ලෙස ලියුම් කාරියද ජාජබයේ උදහසට ලක් වී සිටින අයෙකි. එසේ හෙයින් 10 වන කරුණ ගැන තබා ගත හැක්කේ අපේක්ෂාවන් පමණි.


දයාන් ගේ කරුණු දහය තුල ජාජබය නැවුම් හා, පිටසක්වලින් ගොඩ බැස ඇති දියුණු බලවේගයක් යයි කියන්නට ගත් උත්සාහය සාර්ථක නැත. ජාතික ජන බලවේගය යනු ජනතාවගේ කේන්තිය හා අපේක්ෂා කඩවීම නිසා protest  Vote පදනමින් ජන ආකර් ෂණයක් දිනාගත් ලංකාවේ පවතින ක්‍රමයේම වෙනස් රාමුවකට එක්වූ එකම පිරිසක් විතැන් වූ පක්ෂයක් බව ලියා තබමි. 


සුභාෂිණි විෆ්ලර් 

විධායක අධ්‍යක්ෂ 

ශ්‍රී ලංකාවේ ආරථික හා දේශපාලන අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය.

No comments:

Post a Comment