Friday, May 17, 2024

 ජයගනු වස් -සහන් තෙන්නකෝන්


ශ්‍රී ලංකාව තිස්‌ අවුරුදු ජනවාර්ගික යුද්ධයකින් යුධමය ජයක් ලබා 13 වසරක් ගතවන තැන, රටක් ලෙස අපි දේශපාලනික, ආර්ථික සහ සමාජීය වශයෙන් ඉතා වැදගත් වූ සංධිස්ථානයකට පැමිණ හිඳිමු. ආර්ථික වශයෙන් බංකොලොත්වූත්, දේශපාලනික වශයෙන් අරාජික වූත්, සමාජීය සහ සාරධර්ම අතින් ජරාජීර්ණවූත් රටක් ලෙස පරිහානියේ මුවදොර සිට තවමත් ඉතිහාසයේ අඳුරු නටබුන් දෙස මාන්නයෙන් බලා ඉඳිමින් සෞභාග්‍යයේ ජයපැන් බොන ජාතියක් ලෙස තවමත් ජාතියක් ලෙස අප සිදුකළ ඓතිහාසික වැරදි පිළිගැනීමට අපි මැලිවී සිටිමු. යුධ ජයග්‍රහණය සමඟින් එතෙක් නිර්මාණය වී තිබූ වාර්ගික සහජීවනය, සාමය, බලය බෙදීම වැනි මාතෘකා යටපත් වී ගොස් යුධකාමය විසින් නිර්මාණය කරන්නට යෙදුනු බොල් දේශප්‍රේමීත්වයත්, ව්‍යාජ බහුතරවාදී ආගමික උන්මාදයත්, ජනප්‍රියවාදී අන්ත ජාති(ක)වාදී දේශපාලන රැල්ලත් විසින් වාර්ගික අර්බුදයකින් බැට කෑ රටකට අත්‍යවශ්‍යම ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම අඩපණ කොට මරාදැමීමේ ආදීනව ජාතියක් ලෙසින් මේ මොහොතේත් අපි අත්විඳිමින් සිටිමු.



යුද්ධයෙන් පසු එවකට රජය සිදුකරන ලද විශාලතම වැරැද්ද වූයේ සංවර්ධන ව්‍යායාමය කෙරෙහි මෙම සත්‍යය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ තිබූ වැදගත්කම අවබෝධකර නොගැනීමයි. එසේ අවබෝධ කරගැනීමට තරම් ශක්‍යතාවයක් තිබූ නායකයන් එහි නොසිටීමත්, අසීමිත බලයක් එම රෙජීමය වටා ගොනුවීමත් සමඟ මෙය තවදුරටත් තීව්‍ර වූ අතර 'උතුරු වසන්තය' වැනි ව්‍යාපෘති හරහා එම ප්‍රදේශවල භෞතික සංවර්ධනයක්‌ සිදුවුවත් ඒවා ඵලදායී නොවීය. මෙහිදී ජනවාර්ගික ගැටළුවට බලපෑ සැබෑ හේතුසාධක අවබෝධ කරගැනීමට එසමයේ පැවතී ආණ්ඩු අසමත් වූ අතර පැවති සංවර්ධන විෂමතාවයන් යුද්ධයට බලපෑ එක් හේතුවක් පමණක් මිස එයට තුඩුදුන් මුඛ්‍ය කාරණය නොවන බව  අවබෝධ කරගැනීමට කිසිවෙකුහෝ සමත්වූයේ නැත.  එසේ යම්දුරකට හෝ ජනවාර්ගික අර්බුදයක දෘෂ්ටිකෝණයෙන් එදෙස බැලීමට සහ ක්‍රියාකිරීමට කටයුතු කළේ කුමාරතුංග රජය (1994-2005) පමණි. එයට බලපෑ තවත් එක් හේතුවක්‌ වන්නේ තෙවන ධාරාවේ දේශපාලන අවකාශයද ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය වැනි වර්ගවාදී දේශපාලන ව්‍යාපාරවල බලපෑමට යටත්ව පැවතීමයි.

එහෙයින් යුද්ධයෙන් පසුව රට සංවර්ධිත දේශයක්‌ බවට පරිවර්තනය කිරීමේ ස්වර්ණමය අවස්ථාව මගහැරි යාමට තවත් එක් ප්‍රධාන හේතුවක් නම් එයින් පසු බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම මෙම ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට අපොහොසත් වීමයි. 



සුවපත් නොවන තුවාල සහිත ජාතියක් ලෙස කොතෙක් නැගී සිටීමට උත්සාහ කළත් එය සාර්ථක වන්නේ නැත. අදත් අපි ජාතියක් ලෙස තුවාල සුවකිරීමට කටයුතු කරනවා වෙනුවට ඒ තුවාල පෑරීමට කටයුතු කරමින් සිටියි. ජනවාර්ගික ගැටළුව දෙස විවෘත මනසකින් බැලීම වෙනුවට අදටත් එය එක් ප්‍රජාවකගේ ප්‍රශ්නයක් ලෙස බලමින් එයට පැලැස්තර ඇලවීමට ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටියි. විශේෂයෙන්ම මෙවැනි මැතිවරණ වකවානුවලදී ජනවාර්ගික ප්‍රශ්නය ඉස්මතු කොට ඡන්දය ඩැහැගැනීමට බොහෝ පාර්ශව ඉතා උනන්දුවක් දැක්වූවත් ඔවුන් තුළ මෙම ගැටළුවට දේශපාලනික විසඳුමක් ලබාදීමට අරමුණක් නැත. මගේ පෞද්ගලික මතය වන්නේ, වඩාත් විවෘත සහ පුළුල් සාකච්ඡාවන්වලින් අත්පත්කරගන්නා අවබෝධයකින් පසු සිදුකරන බලය බෙදීමකින්, එම පාර්ශවවලට අවශ්‍යකරන 'සැබෑ' මානුෂීය සහ දේශපාලන 

පිළිගැනීම /අයිතිවාසිකම් ලබාදීම තුළ පමණක් ඇතිවන පිබිදීම තුළින් ජාතියක් ලෙස සංවර්ධන අරමුණු වේගවත්ව අත්කරගැනීමට හැකිවනු ඇතිබවයි.



ජාතියක් ලෙස අපි අපිට විවෘත වී වැරදි නිවැරදි කරගන්නා තුරු සමරන්නට කිසිවක් අපි අත්කරගෙන නැත.


No comments:

Post a Comment