Saturday, August 24, 2024

මංගල මතක

 මංගල සමරවීර වියෝ වී අදට තෙවසරකි. තෙවසරක් ඇවෑමෙන් වුවද ඔහුව මතක් කරන අය බොහෝය. අන් කවරදාටත් වඩා, රට දේශපාලන වශයෙන් බංකොලොත් වී ඇති පසුබිමක, මංගල විසින් ඉතිරි කර ගිය රික්තකය පිරවීමට දේශපාලන පිටියේ කිසිවෙකු සොයාගැනීමට නොහැකි ව ඇත. මංගල විසින් විශ්වාස කළ, ක්‍රියාවට නැංවූ දේශපාලන-ආර්ථික දර්ශනයෙහි තිබු ප්‍රයෝගිකත්වය සහ සාර්ථකත්වය මෙන්ම එහි අවශ්‍යතාවය පසුගිය අවුරුදු දෙකේදී තව තවත් අපිට පසක් විය. දේශපාලනය දේශපාලනය ලෙසම දැකීමට ඔහු තුළ තිබු අසහාය ශක්තිය බොහෝ අවස්ථාවල මෙරට දේශපාලන ගමන් මාර්ගයේ කක්ෂය තීරණය කිරීමට බලපෑ බව නොරහසක්. එවැනි වටපිටාවක ඔහු අප අතර නොමැති වුවත් 2024 ජනාධිපතිවරණය එළිපැත්තේ සිට මංගලගේ දෘෂ්ටිවාදය කියවීම සැබෑවටම අවශ්‍ය කරුණක්.


සමගි ජන බලවේගය නිර්මාණය කිරීමේ ප්‍රමුඛ කාර්යභාරයක් මංගල විසින් ඉටුකළත්, කල්යත්ම රටට අවශ්‍ය නායකත්වය සැපයීමට සජබ අසමත් වනු ඇතැයි ඔහු පුරෝකථනය කළා විය හැකිය. එයින් පසු මංගල තමන්ගේම ගමනක් ඇරඹීම මතවාදී ලෙස අතරමන් වී සිටි මෙරට බොහෝ දෙනෙක්ට අස්වැසුමක් විය. ලාංකීය දේශපාලනයේ දක්ෂිණංශය සහ වාමාංශය බිඳවැටී තිබූ අවධියක මංගල ශ්‍රී ලංකාව කෙරෙහි නවමු මාර්ගයක් විවෘත කිරීමට උත්සාහ කළ බව අපි දුටුවෙමු. ඇතැම් විට මංගල තුළින් අපි දුටුවේ ලංකාව තුළ අප ද

දකින අවසන් සැබෑ ලිබරල් මිනිසා විය හැකිය. ඇතැම් වකවානු තුළ ඔහු සම්ප්‍රදායික දේශපාලන සංස්කෘතියේ ජීවමාන ලක්ෂණයක් වුවත්, බොහෝ අවස්ථාවල ඔහු අන් අය මෙන් එම සංස්කෘතියේ සදාකාලික ගොදුරක් බවට පත්වුයේ නැත.


මංගලට ඔහු කෙරෙහි හොඳ ස්වයං කියවීමක්‌ /විවේචනයක්‌ විය. අද බොහෝ දේශපාලන වේදිකාවල සිටින පුද්ගලයන් තුළ නැත්තේ ද මෙයයි.එසේම මංගලට දිගුකාලීන දේශපාලන විශ්වාසයන් විය. ඔහු දේශපාලනයට පිවිසි 80 දශකයේ අගභාගයේ සිටම ඔහු තුළ රට වෙනුවෙන් සිහිනයන් විය. එහිදී ඔහු අත්හදා බැලූ, භාවිතයට ගත් දේශපාලන මෙවලම් ඇතැම් තැනක වෙනස් වුවද ඔහුට එක එල්ලයක් විය. බල දේශපාලනයේ කප්පිත්තෙකු වුවද තම අගයන් සිල්ලරට උකස් කිරීමට මංගල කටයුතු නොකළ බව මගේ අදහසයි. නමුත් වර්තමානය දෙස බලන විට ඩලස් අලහප්පෙරුම වැනි මංගල විසින්ම දේශපාලනයට ගෙන ආ උදවියගේ හැසිරීම මංගල ඔවුන්ගෙන් වෙනස් වන්නේ ඇයිදැයි තේරුම් කිරීමට ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය. වර්තමානයේ දී මාතරින් මංගලගේ උරුමය කරපින්නාගෙන දේශපාලනයට එන්නේ චංචලා ගුණවර්ධනයි. නමුත් ඇය අද තෝරාගෙන ඇත්තේ ද මංගල විසින් හැරගිය පාර්ශවයයි. මංගල අවිශ්වාස කළ දර්ශනයයි. 


මෙහිදී මංගල ජීවත් වී සිටියා නම් එක්ව සිටගනු ඇති බවට විශ්වාස කළ හැකි පාර්ශවයක්‌ තිබේද යන්නත් ප්‍රශ්න කළ යුතුය.මංගල අගය කරන ඇතැම් පිරිස් වලට ඔහු හා එකඟ නොවන කාරණා අතුරින් ප්‍රබලතම ගැටලුව වී තිබුනේ ඔහුගේ ආර්ථික දර්ශනයයි. ඔහු සෑම විටම ලංකාව ඇතුළු ආර්ථික වශයෙන් ඌණ සංවර්ධිත රටවලට වඩාත් උචිත ආර්ථික මාදිලිය වශයෙන් නව ලිබරල් ආර්ථික මොඩලය පිළිගත්තේය. පැහැදිලිවම වර්තමානයේ අපි මුහුණ දෙන ආර්ථික අර්බුදයට පසුබිම සකස් කළේ ද ඇතැම් ආණ්ඩු විසින් ආර්ථිකය තුළ බලවත් රාජ්‍ය මැදිහත්වීමක්‌ සිදුකිරීමට යාමයි. මංගල විශ්වාස කළ නිදහස් ජීවිතය අත්කර ගන්න අපි අසමත් වන්නේ නිදහස් ආර්ථිකයක් තනි පුද්ගයන්ට උරුම කරගැනීමට අවකාශය නොමැති නිසාවෙන්. වර්තමානයේ බලයේ සිටින, බලය ඉල්ලන බොහෝ දෙනෙක් සිදුකරන්නට උත්සාහ කරන්නේ ද පුද්ගලයන් රාජ්‍යයේ වහලුන් බවට පත්කරන වැඩපිළිවෙලයි. ලිංගිකත්වයේ සිට පාසල, රැකියාව, ඇඳුම පැළඳුම පවා රාජ්‍යය විසින් තෝරාදෙන ආර්ථික මොඩලයක වින්දිතයන් බවට පත්වීමට අපිට දැනටමත් සිදුවී ඇත. පෙනෙන සමාජවාදීන් මෙන්ම ලිබරල්වාදී වේෂයෙන් සිටින සමාජවාදීන් ද බොහෝ අවස්ථාවල ස්වයංපෝෂිත සුඛිත මුදිත යුතෝපියාවක් මවා ශ්‍රී ලංකාව නැවත වතාවක් ආර්ථික මඩගොහොරුවක ගිල්වා විනාශ කිරීමට අවශ්‍ය මතවාදී වේදිකාව සකසමින් සිටියි. මගේ පෞද්ගලික අදහස නම් වික්‍රමසිංහ, ප්‍රේමදාස හෝ දිසානායක තෝරාගැනීමට මත්තෙන් අපි තෝරාගත යුත්තේ තම පුද්ගලික නිදහසයි. එය ප්‍රයෝගික වීමට නම් ඔබ ආර්ථික නිදහස තෝරාගත යුතුව ඇත. ඔබ රාජ්‍යය මත යැපෙන්නෙක් වන තෙක් ඔබ පෙළෙන දේශපාලනික අඝාතයෙන් ඔබ සුව නොවනු ඇත. මංගල වැන්නවුන් අපිට කියන්නට උත්සාහ කළේ එයයි. 

සහන් තෙන්නකෝන්


#sahantwrites 

24.08.2024


Friday, August 16, 2024

 

සජිතෝකෝටිකය - සහන් තෙන්නකෝන්



ජනාධිපතිවරණයේ උණුසුම කාලයත් සමඟම වැඩිවෙත්ම මැතිවරණ වේදිකාවල සුපුරුදු පරිදි පොරොන්දු හඬතලන සද්දය ඇසේ. ඒ බොහෝ වේදිකාවල අසන්නට ලැබෙන්නේ රට වෙනුවෙන් ඉදිරිපත් වන ප්‍රතිපත්ති වෙනුවට ඡන්දය ඩැහැගැනීමේ අරමුණින් ඉදිරිපත්කරන වාගාලාප සහ අනෙකාට කරන අපහාසන්ය.මේ සියල්ලම ඉදිරි ජනාධිපතිවරණය ද වත්මන් සම්ප්‍රදායික ගෝත්‍රික දේශපාලන ක්‍රමයේ දිගුවක්ම පමණක් වනුඇති බවට සිතිය හැකිය.



ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා අතුරින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත වර්තමානයේ සැලකිය යුතු ජනතා ආකර්ෂණයක්‌ ලැබී ඇති බව ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය දෙස බලන කෙනෙකුට පෙනීයයි. විවිධ දේශපාලන කණ්ඩායම් සහ සිවිල් සමාජ සංවිධාන ඔහුවටා පෙළගැසෙමින් සිටින අතර එවැනි ඇතැම් අවස්ථාවල ඔහුගේ මැතිවරණ වේදිකාවල කෑමොර දෙන ප්‍රතිපත්තිවලට හාත්පසින්ම විරුද්ධ ඉතිහාසයක් සහිත පුද්ගල කණ්ඩායම් ද මේ වේදිකාවල අසුන්ගෙන සිටීම අපුල දනවන්නකි. 



ජනතාව විසින් රාජපක්ෂවරු දේශපාලනිකව ප්‍රතික්ෂේප කරඇති පසුබිමක, එම 'රාජපක්ෂවාදය' වෙනුවෙන් න්‍යායික පසුබිම සැකසූ න්‍යායාචාර්යවරුන් සෑම දෙනාම පාහේ ප්‍රේමදාස කඳවුරේ ද පුරෝහිතයන් ලෙස කටයුතු කරනු දක්නට ලැබෙයි. ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත්වන හොඳම කණ්ඩායම සිටින්නේ ඔහු සමඟය. එම කණ්ඩායම ශ්‍රී ලංකාව අශිලාචාර රාජ්‍යයක් බවට පත්කළ 'මහින්ද චින්තනය' ලියු ඩලස් අලහප්පෙරුමගේ සිට මහබැංකු හොරකම පිළිබඳව පොතක් ලියූ සුජීව සේනසිංහ, මත්පැන් ඉස්කාගාරයක් පවත්වාගෙන ගියබවට චෝදනා ලැබූ නලින් බණ්ඩාර, රාජ්‍ය දේපල අවභාවිතා කළ බවට චෝදනා ලැබූ නාලක ගොඩහේවා හරහා මධ්‍යම අධිවේගී මාර්ගය හරිම විදිහට හැදූ ලක්ෂ්මන් කිරිඇල්ල තෙක් විහිදී යන අත්දැකීම් බහුල කණ්ඩායමකි. කණ්ඩායමට නායකත්වය ලබාදෙන විපක්ෂ නායකවරයා පිළිබඳව ද ඇත්තේ මිශ්‍ර ප්‍රතිරූපයකි.



2022 ගෝඨභය රාජපක්ෂ ජනාධිපතිවරයා රාජ්‍ය බලය අතහැර පලයන්නට මත්තෙන් විපක්ෂ නායකවරයාට රජයක් පිහිටුවන්නට ආරාධනා කළ විට ඔහු පැවසුවේ රාජපක්ෂවරු හෝ ඔවුන්ට සහය දෙන කිසිඳු පාර්ශවයක් සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට ඔහු අකමැති බවයි. එසේ පවසා ලැජ්ජා විරහිතව රාජපක්ෂ රෙජිමය වෙනුවෙන් කවි ගී කතා ලියූ වන්දිභට්ටයන් සමඟ එකට හිටගන්නට තරම් ප්‍රේමදාස මහතාට ලැජ්ජාවක් නැතිවීම විමතිය දනවන්නක් නොවේ. රටේ අඳුරුතම හෝරාවේදී රටේ වගකීම භාරනොගෙන පලායාම ද මේ සමඟ එකට කියවිය යුතුය. ඔහු ඒ සඳහා ගෙනෙන 'මහජන වරමකින් යුතු ආණ්ඩුව' යන තර්කය, සජිත් ප්‍රේමදාස ඕනෑම කුණුගොඩක් සමඟ එකතුවීම ප්‍රයෝගික දේශපාලනය යැයි සාධාරණිකරණය කරන පිරිසේ අවධානයට නතු නොවී ද යන්න කුකුසකි. මන්දයත් ඒ අවස්ථාවේ ප්‍රයෝගිකව කළ යුතුව තිබුනේ ඡායා කැබිනට්ටුව ලෙස ආණ්ඩුබලය ලබාගෙන කටයුතු කොට ඉන්පසුව අවශ්‍යනම් මහමැතිවරණයක් වෙත යාමයි. එයින් පෙනී යන්නේ ප්‍රේමදාස කඳවුරේ 'ප්‍රායෝගික දේශපාලනය' යනු ස්වකීය දේශපාලන පැවැත්ම උදෙසාවන භාවිතයක් මිස ඔවුන් පවසන නිකැළැල් දේශපාලන සංස්කෘතියේ කොටසක් නොවන බවයි.



සජබ රජයක අගමැති ධූරය අපේක්ෂාවෙන් සිටින මහාචාර්ය ජී. එල්. පීරිස් ද රාජපක්ෂ කඳවුරේ මෙන්ම ප්‍රේමදාස කඳවුරේ ද පුරෝහිත තනතුර දරණ බව පෙනෙයි. නීති විශාරදයෙක් ලෙස පෙනී සිටියත් මහාචාර්ය පීරිස් සැමදා තමන් රැඳී සිටින කඳවුරේ අනීතික වැඩපිළිවෙලක් වී නම් එය හිසනමා අනුමත කිරීමේ ඉතිහාසයක් ඇත. එම ඉතිහාසය පුරාවටම ඔහු පිල් මාරුකරමින් තම දේශපාලන පැවැත්ම ස්ථාවර කරගත්තා මිස කිසිඳු අවස්ථාවක ඔහුගේ පොත්වල, දේශනාවල තිබු අගයන් වෙනුවෙන් ප්‍රයෝගිකව පෙනීසිටියේ නැත. තමන් සමඟ එකට වසර ගණනාවක් ශිෂ්‍යාවක ලෙසත්, වෘත්තීය සගයෙකු ලෙසත් කටයුතු කළ ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය රාජපක්ෂවරුන්ගේ උදහසට ලක්වී අභූත චෝදනා නගා එම ධුරයෙන් එලවා දමනවිට අධි්කරණය විධායකය විසින් කෙලෙසන විට, මේ නීති විශාරදයා කලිසම් සාක්කු දෙකට අත්දෙක දමාගෙන මුනිවත රැක්කේ ඇයිදැයී විමසිය යුතුය. 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපති ධූරය ව්‍යවස්ථාපිත කිරීටයක් බවට පත්කරන විට උඩබලාගෙන සිටි ඔහු වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පමණක් විවේචනය කිරීම තුළින් පෙන්වන්නේ ඔහු ද මේ නිර්ලජ්ජිත දේශපාලන ක්‍රමයේ 'උගත්' ඩමියක් බවයි. ඔහුගේ අසහාය දේශපාලන පුත්‍රයා වන දයාසිරි ජයසේකර ද අද දේශපාලන වටවන්දනාවේ ගොස් එකම තැනකට පැමිණ තම දේශපාලන අනාගතය වෙනුවෙන් සටන් කිරීම දෛවොපගත සිදුවීමකි.



ප්‍රේමදාස කඳවුරේ සිට එළියට පැනගොස්, එම කඳවුර දැඩිලෙස විවේචනය කර නැවත එම කඳවුරටම එකතු වීමට තරම් හෘද සාක්ෂිය අඩපණ වී ගිය පාඨලි රණවක පිළිබඳව ඇත්තේ කණගාටුවකි. වරෙක ඔහු මෙරට නායකත්වය ඉසිලීමට තරම් ශක්‍යතාවයක් ඇති බවට අප විශ්වාසකලත් දැන් දැන් ඔහුගේ දේශපාලන කියවීම බෙලහීන වී ඇතිබව පෙනෙයි. කෙසේවෙතත් ඔහුගේ ලිබරල් නව්‍යවාදී දේශපාලන ප්‍රතිරූපය යටින් ඇති හෙළ උරුමය බිහිකළ සිංහල බෞද්ධ ජාතිකවාදී  පැරණි මිනිසා මතුවී පෙනෙයි. එහෙයින් මේ සජබච්චාරුවට රණවක ගෙනෙන්නේ අමුතුම රසයකි. ඇතැම් විට රණවක මහතා පාලන බලය ලබාගැනීමේ 'වික්‍රමසිංහ මොඩලය' අත්හදා බැලීමට කලගන්නවා විය හැකිය. සජිත් ප්‍රේමදාස ස්වභාවයෙන්ම දුර්වල නායකයෙකු බැවින් යම් හෙයකින් ඔහුට ගෝඨභය රාජපක්ෂගේ ඉරණම අත්වීමට වැඩි ඉඩක් ඇතිබව පුර්වනිශ්චය කරන රණවක මහතා එවැනි අවස්ථාවක නායකත්වය ලබාගැනීමට උත්සාහ කිරීමට කටයුතු කරන්නේ නම් එයා අසාර්ථක වීමට ඇති ඉඩකඩ බොහෝය.



සජිත් කඳවුරේ සිටින අනෙකුත් පිරිස දෙස බලන විටද ඔහු ළඟ සිටින්නේ හොඳම කණ්ඩායම බවට කිවහැකිය. නීතියේ ආධිපත්‍ය ගැන දේශනා පවත්වන රවුෆ් හකීම් අගවිනිසුරු බණ්ඩාරනායක ගෙදර යැවූ අධිකරණ ඇමතිවරයාය. රිෂාඩ් බතියුදීන්, සජබය රට වටේ 'හුස්ම' බෙදන විට වනාන්තර කාන්තාර කොට හුස්ම අහිමිකළ මිනිසාය. හැමදාම පිටිපස්සට ස්කූප් ගැසූ රාජපක්ෂවරුන්ගේ පිටිපස්සේ වැටී සිටි තිලකරත්න දිල්ෂාන් ද දැන් සජබ වේදිකාවේය. වියත් මගේ සිටි බොහොමයක් අද සජබ බුද්ධි මණ්ඩපයේ ය. සමගි ජන බලවේගයේ ආර්ථිකය මෙහෙයවීම භාරව ඇති ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් වැන්නවුන් හ‍ට දූෂණ චෝදනා එල්ලවී නැතත් ඔවුන්ගේ ප්‍රයෝගිකබව පිළිබඳව යහපාලන සමයේ ඇති අපැහැදිලි උරුමය ගැටළුකාරීය. එහෙයින් අපිට මිලදී ගැනීමට ඇත්තේ අලුත් බෝතල්වල බහා ලූ පරණ වයින්මය. 



බොහෝ දෙනෙක් රාජපක්ෂ රෙජිමය දකින්නේ ප්‍රේමදාස (ජ්‍යෙෂ්ඨ) රෙජිමයේ අනන්‍ය දිගුවක් ලෙසය. දේශපාලනය වෙනුවෙන් මල්වට්ටි උස්සන් පන්සල් යන දේශපාලන සංස්කෘතිය දායාද කළේ ප්‍රේමදාස ය. එය මහින්ද ඕනෑවටත් වඩා හොඳින් කළේය. ලිබරල් ආර්ථික මොඩලයට සුබසාධනවාදය මුහුකරමින් ආර්ථික විකෘතියක්‌ කළේ පියානෝය.දුප්පතාගේ හිතවතා කියමින් දුප්පතුන්ට දරිද්‍රතාවයේ රසය පෙන්වා දුන්නේ ඔහුය. ඔහුගෙන් පසුව පැමිණි කිසිඳු ජනාධිපතිවරයෙකුට එයින් මිදීමට නොහැකි විය. මහින්ද දැයට කිරුළ, මග නැගුම, දිවි නැගුම ලෙස ඉදිරියට ගෙන ගියේ එයයි. ආගම, කලාව, ව්‍යාපාරික ප්‍රජාව දේශපාලනය තුළ නිර්ලජ්ජිත ලෙස භාවිතා කිරීම ආරම්භකළේ ප්‍රේමදාස ය. ප්‍රේමදාස විසින් ආරම්භකළ ඝාතන සංස්කෘතිය ලසන්ත වික්‍රමතුංග,ප්‍රදීප් එක්නැලිගොඩ හරහා අදට යාවෙන්නේ ද එලෙසය. මේ සියල්ලටමත් වඩා හිසරදයක් වූ ආර්යා සින්ඩ්‍රෝමය බෝ වෙන්නේ ද ප්‍රේමදාස යුගයේ දිය. එනමුත් රාජපක්ෂවරුන් එලවා දමා එම සංස්කෘතියේම වෙනස් මුහුණුවරකට පණ දීම සිදුනොකළ යුතුය.



මෙම ජනාධිපතිවරණය සුවිශේෂි වන්නේ ආර්ථික අර්බුදය නිසාම නොවේ. රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ මෙන්ම දේශපාලන ප්‍රතිසංස්කරණ ද සිදුකිරීමට ශක්‍යතාවයක් සහිත නායකත්වයක් තෝරගැනීම කළයුතුය.  මූඪත්වය සහ මහන්තත්වය අභරණයක් නොකරගත් නායකයෙක් තෝරාගත යුතුය. කනට රස වාගාලාප වෙනුවට වැඩ කරන නායකයෙක් තෝරාගත යුතුය. තෝරාගැනීම ඔබ සතුය.