දිනන්නේ කවුද?
මෙවර ජනාධිපතිවරණය මෙරට දේශපාලනයේ තීරණාත්මක සංධිස්ථානයක් වන බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබේ. කවුරු දිනුවත් කවුරු පැරදුණත් මෙය මෙරට දේශපාලඥයින් රැසකගේම දේශපාලන ගමන අවසන් කරන්නක් වනු ඇත. එමෙන්ම මේ ජනාධිපතිවරණයේ තවත් විශේෂ කරුණක් වන්නේ මෙහි ප්‍රධාන අපේක්‍ෂකයින් ලෙස නම් කියවෙන සිව්දෙනාම වසර 10කට වැඩි කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කලා පමණක් නොව මෙරට කැබිනට් ආමාත්‍යවරුන් ලෙස ද සේවය කළ වුන් වීමය. ඒ අතර රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂයේත් අනුර කුමාර මහතා ජ.වි.පෙ සහ ජාතික ජන බලවේගයේත් සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේත් නායකත්වය දරන අතර නාමල් රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පදවිය දරයි. එමෙන්ම මෙරට ජනාධිපති පදවිය වසර 10ක් දැරූ ඔහුගේ පියා වන මහින්ද රාජපක්‍ෂ මහතා එම පක්‍ෂයේ නායකත්වය දරයි. මේ අනුව මෙම අපේක්‍ෂකයින් සිය ප්‍රචාරක වේදිකාවල මොන බේගල් ඇද බෑවත් ඔවුන්ගේ පාර්ලිමේන්තු ජිවිතය සහ කැබිනට් අමාත්‍යවරුන් ලෙස රටට හා ජනතාවට ඉටු කළ සේවාවන් පිළිබඳව සොයා බලා ඒ අනුව තම ඡන්දය භාවිතා කිරීමට ජනතාවට අවස්ථාව තිබේ.
මේ තත්ත්වය එසේ තිබියේවා! මෙවර ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්‍ෂකයින් සිව්දෙනා අතරින් ලබන 22 වන විට මහජන ඡන්දයෙන් ඉදිරි පස් වසර සදහා මෙරට රාජ්‍ය නායකයා ලෙස පත් වූයේ කවුරුන්ද යන්න නිල වශයෙන් දැන ගැනීමට හැකි වනු ඇත. එහෙත් එලෙස පත්වන රාජ්‍ය නායකයා කවුරුන්ද යන වග ජොතිෂඥයින්, සමාජ ක්‍රියාකාරීන්, දේශපාලන පක්‍ෂ නායකයින්, දේශපාලන විචාරකයින් සහ ඒ ඒ පක්‍ෂ වලට සහයෝගය දෙන්නන් විවිධ සමික්‍ෂණ සහ මහජන අදහස් යැයි කියමින් විවිධ කරුණු දක්වති. එහෙයින්ම ඉතා දිගු කලක් ලාංකේය දේශපාලනයේ ක්‍රියාකාරීව කටයුතු කළ අයෙකු ලෙස මා දකින ආකාරයට මේ ජනාධිපතිවරණයෙන් ජයගන්නා අපේක්‍ෂකයා කවුරුන්ද යන්න සොයා බැලිමට සිතුනු හෙයින් මෙලෙස මගේ අදහස් ප්‍රකාශ කරමි.
මේ ගණනයේ පදනම ලෙස මා තෝරා ගත්තේ මෙතෙක් අප අසන සමීක්‍ෂණයන්ට වඩා වෙනස් ක්‍රමවේදයකි. ඒ 2019 නොවැම්බරයේ දී පැවති ජනාධිපතිවරණයේ දී සහ ඉන් පසුව 2020 අගෝස්තුවේ පැවැති මහා මැතිවරණයේ දී වත්මන් අපේක්‍ෂකයින් සහ ඔවුන්ගේ දේශපාලන පක්‍ෂ විසින් ලබා ඇති ඡන්ද ප්‍රමාණයන් සහ අද වන විට එම ඡන්ද වල සිදුව ඇති මා දකින වෙනස්කම්ය.
2019 ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඡන්ද 69 ලක්‍ෂයක් ලබා තිබේ. එහි ප්‍රබලම ප්‍රතිවාදියා වු සජීත් ප්‍රේමදාස මහතා ඡන්ද 56 ලක්‍ෂයක් ලබා තිබේ. අනුර කුමාර මහතා ලබාගෙන ඇත්තේ ඡන්ද ලක්‍ෂ 04ක් පමණි. එම ජනාධිපතිවනරණයේ දී මෙරට ලියාපදිංචි ඡන්ද එක්කෝටි හැට ලක්‍ෂයක් වූ අතර ඉන් පාවිච්චි කළ ඡන්ද එක් කෝට් තිස් හතර ලක්‍ෂයක් (83.7%)ක් විය. එයිනුත් වලංගු ඡන්ද සංඛ්‍යාව වූයේ එක්කෝටි තිස් දෙලක්‍ෂ පනස් දහසක් (82.9%)ක් පමණි. ඉන් මාස 09කට පසුව පැවැති මහා මැතිවරණයේ දී රටේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව එක් කෝටි හැටතුන් ලක්‍ෂයකට ආසන්න වූ අතර එය ජනධිපතිවරණයට වඩා ඡන්ද දෙලක්‍ෂ හැත්තැ එක්දහසක වැඩි විමකි. එහෙත් එහිදී පාවිච්චි කළ ඡන්ද ප්‍රමාණය එක් කෝටි විසිතුන් ලක්‍ෂයක් (75.9%)ක් වූ අතර වලංගු ඡන්ද ප්‍රමාණය එක් කෝටි දහසය ලක්‍ෂයක් (71.3%) වූයේය.
එම ජනධිපතිවරණයේ දී සහ මහා මැතිවරණයේ දී පාවිච්චි කළ ඡන්ද ප්‍රමාණය අතර වෙනස ඡන්ද දස ලක්‍ෂ පනස් දහසකි. ඒ අනුව එම ජනාධිපතිවරණයේ දී ඡන්දය දුන් එකොලොස් ලක්‍ෂයකට ආසන්න පිරිසක් මහා මැතිවරණයේ දී ඡන්දය පාවිච්චි කිරීමෙන් වැලකී ඇත. නැත්නම් රටේ රාජ්‍ය නායකයා හෙවත් විධායකය පත් කර ගැනීමට උනන්දු වූ මිනිසුන් ලක්‍ෂ 10කට වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු හෙවත් ව්‍යවස්ථාදායකය පත් කර ගැනීම සඳහා උනන්දුවක් දක්වා නැත. මෙහි විශේෂිත වන කාරණයක් වන්නේ ජනාධිපතිවරණයේ දී ජ.වි.පෙ.ඡන්ද අපේක්‍ෂයා ලැබු ඡන්ද ප්‍රමාණ පමණක් එම මහා මැතිවරණයේ දී ඡන්ද විසි හත් දහසකින් පමණ වැඩි වී ඇති අතර අනෙක් සියලු අපේක්‍ෂකයින් හෝ පක්‍ෂ ලැබූ ඡන්ද ප්‍රමාණය විශාල ලෙස අඩු වී තිබීමයි. ඒ අනුව උපකල්පනය කළ හැකි වන්නේ අනුර කුමාර මහතා ජනාධිපති කිරීමට අකමැති විසිපන්දහසකට වැඩි පිරිසක් ජ.වී.පෙ. තුළ ම සිට ඇති බවය. නොඑසේ නම් අනුර කුමාර මහතාට වඩා එම පාක්‍ෂිකයින් කැමති වෙනත් අපේක්‍ෂකයින් ජ.වි.පෙ. තුළ සිට ඇති බවය.
2019 ජනාධිපතිවරණයේ දී පොහොට්ටු පක්‍ෂයේ අපේක්‍ෂකයා වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඡන්ද 6,924,255 ලබාගෙන ඇති අතර 2020මහා මැතිවරණයේ දී පොහොට්ටු පක්‍ෂය 6853690 ලබා තිබේ. ඒ අනුව එය ගෝඨාභය මහතාට වඩා ඡන්ද 70,565ක අඩු වීමකි. හෙවත් පොහොට්ටු පක්‍ෂට අකමැති එහෙත් ගෝඨාභය මහතාට කැමති හැත්තෑ දහසකි. එහි ප්‍රධාන ප්‍රතිවාදීයා වූ සජීත් ප්‍රේමදාස මහතා ඡන්ද 5,564,239ක් ලබාගෙන ඇති අතර ඔහු එජාප යට එරෙහි වෙනම පක්‍ෂයක් ලෙස සමගි ජන බලවේගය පිහිටුවා මහා මැතිවරණය තරඟ කරන විට එම පක්‍ෂය ලබා ඇත්තේ ඡන්ද 2,771,980ක් පමණී. එය ජනාධිපතිවරණයට වඩා ඡන්ද 2792259ක් හෙවත් ආසන්න වශයෙන් ලක්‍ෂ 28ක අඩු වීමකි. වෙනත් ආකාරයෙන් කියතොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ සහයෝගය නිසා සජීත් ප්‍රේමදාස මහතාට ඡන්ද ලක්‍ෂ 28ක් වැඩිපුර ලැබී ඇති බවකි. හෙවත් රනිල් වික්‍රමසිංහ මහතා සතුව ඡන්ද ලක්‍ෂ 28ක් තිබූ බවකි. ජ.වි.පෙ අපේක්‍ෂක අනුර කුමාර මහතා ජනාධිපතිවරණයේදී ඡන්ද 418,553ක් ලබාගෙන ඇති අතර මහා මැතිවරණයේ දී ඔහුගේ පක්‍ෂය ඡන්ද 445,958ක් ලබා ඇත. එය ඡන්ද 27405ක වැඩි විමකි. හෙවත් ඒ වනවිට අනුර කුමාර මහතාට අකමැති ජවිපෙ පාක්‍ෂකයින් විසිපන්දහසකට වැඩි පිරිසක් එම පක්‍ෂය තුළ සිට ඇති බවකි.
දැන් අපි 2024 ජනාධිපතිවරණයේ එම ඡන්ද බෙදී යා හැකි ආකාරය බලමු. මෙවර ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව එක්කෝට් හැත්තැ එක් ලක්‍ෂ හතලිස් දහසකි. එය පසුගිය මහා මැතිවරණයේ ද ීපැවති ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව වන එක් කෝටි හැටතුන් ලක්‍ෂයට වඩා ඡන්ද ලක්‍ෂ 08ක වැඩිවීමකි. එම අලුත් ඡන්ද ලක්‍ෂ අටෙන් ඡන්ද ලක්‍ෂ 4 1/2ක් ජ.වී.පෙ.ට ලැබෙන්නේ යැයි ද අනෙක් ප්‍රතිවාදින් වන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්‍ෂ වෙත ලක්‍ෂය බැගින් සහ අනෙකුත් අපේක්‍ෂකයින් සියලු දෙනා අතර ඉතිරි පනස්දහසද බෙදියනු ඇතැයි සිතමු. ඒ අනුව අනුර කුමාර මහතාට පසුගිය මහා මැතිවරණයේ ජ.වී.පෙ. ට ලැබුණු ස්ථාවර ඡන්ද ලක්‍ෂ 4 1/2 සමග ඔහුගේ ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ 09ක් වේ. සජීත් ප්‍රේමදාස මහතාට පසුගිය මහා මැතිවණයේ දී ලැබුණු ඡන්ද ලක්‍ෂ 27න් ඔවුන් සමග එක්ව තරග කළ අනෙක් පක්‍ෂ සදහා ලක්‍ෂ දෙකක් ඉවත් කළ හොත් ඔහුගේ ස්ථාවර ඡන්ද ලක්‍ෂ 25ත් සමග ඔහුගේ ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ 26ක් වේ. 2019ජනාධිපතිවරණයේ දී සජීත් ප්‍රේමදාස මහතාට ලබා දුන් 2020 මහා මැතිවරණයේදී ඔහුට ලබා නොදුන් ඡන්ද ලක්‍ෂ 28න් වෙනත් පක්‍ෂවල ඡන්ද සඳහා ලක්‍ෂ 08 ඉවත් කළ හොත් ඉතිරි වන ලක්‍ෂ 20ක ඡන්ද ප්‍රමාණය එජාප යේ නිත්‍ය ඡන්ද ලෙස සැලකිය හැකිය. එම ලක්‍ෂ 20ක ඡන්ද ප්‍රමාණය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇත.
එජාපය 2020 මහ මැතිවරණයේ දී ලබාගත්තේ ඡන්ද 250000ක් බවත් මා මුලින් කී ඡන්ද විසි ලක්‍ෂය රනිල් මහත්මාට ලැබෙන්නේ නම් ඒ මහ මැතිවරණයේ දී එම ඡන්ද ප්‍රමාණය එජාපයට ලැබිය යුතු බවත් කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් 2020 මහා මැතිවරණය වන විට එක්සත් ජාතික පාක්‍ෂකයින් රනිල් වික්‍රමසිංහ මහතා ගැන තිබු දැඩි අප්‍රසාදය නිසා එහි දී ඔවුන් එජාපයට ඡන්ද දීමෙන් වැළකි සිටියද අද වන විට ඒ තත්ත්වය වෙනස් වී එක්සත් ජාතික පාක්‍ෂකයින් රනිල් වික්‍රමසිංහ මහතා ගැන අඩම්බර වන බවක් පැහැදිලිව පෙනේ. ඒ අනුව එජාපයේ ස්ථාවර ඡන්ද ලක්‍ෂ 20 මේ මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇත. ඒ අනුව ඔහුගේ ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ 21ක් වේ. පවතින තත්ත්වයන් හමුවේ නාමල් රාජපක්‍ෂ මහතා උපරිම වශයෙන් ඡන්ද ලක්‍ෂ 05ක පමණ ප්‍රමාණයේ නතර වන හෙයින් මෙම විග්‍රහයේදී මින් ඉදිරියට එතුමන් පිළිබඳව අවධානය යොමු නොකරමි.
මිළගට මා සලකා බැලුවේ 2020 මහා මැතිවරණයේ දී පොහොට්ටු පක්‍ෂය ලබා ගත් ලක්‍ෂ 68 පිළිබඳවයි. එහි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඡන්ද ලක්‍ෂ 18ක් ඇතුළත් විය. එය අඩු කළ විට පොහොට්ටුවේ ස්ථාවර ඡන්ද ලක්‍ෂ 50ක් ලෙස ගත හැකිය. එම ලක්‍ෂ 50න් ඒ මහා මැතිවරණයේ දී පොහොට්ටුවේ මන්ත්‍රීවරු 131 පත් වූහ. ශ්‍රීලනිප පත් වූ මන්ත්‍රීවරු 14දෙනා සමඟ එය 145ක් විය. මේ සංඛ්‍යාවන් අනුව ගත් කළ පොහොට්ටුවෙන් පත් වූ එක් මන්ත්‍රීවරයෙකු හට ඡන්ද 40000ක පමණ පදනමක් තිබු බව පෙනේ. එහෙත් ඉන් හරි අඩක්ම ඉවත් කොට ඒ එක් එක් මන්ත්‍රීවරයෙකු සතු ඡන්ද පදනම 20000ක් බවට උපකල්පනය කළහොත් පොහොට්ටුවේ මන්ත්‍රීවරු 103ක් රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දිමට එක්ව සිටින නිසා 2020 මහා මැතිවරණයේදී පොහොට්ටුව ලබා ගත් ඡන්ද වලින් ලක්‍ෂ 20ක් රනිල් වික්‍රමසිංහ මහතාට එක්ව තිබේ. ඒ අනුව වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ 41ක් දක්වා වැඩි වෙයි. පොහොට්ටු පක්‍ෂයෙන් ඉතිරි වූ ඡන්ද ප්‍රමාණයෙන් තවත් ලක්‍ෂ 05ක් පමණ සජිත් ප්‍රේමදාස මහතා ලබාගනු ඇත. ඒ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් මිළග විපක්‍ෂ නායක පදවිය නාමල් රාජපක්‍ෂ මහතාට ලබා දෙන බවට වන කටකතා හේතුවෙනි. 2022 මැයි 09 දින ජවිපෙ මෙහෙයවූ තුන්වන කැරැල්ල නිසා පිඩාවටපත් වූ පොහොට්ටු පාක්‍ෂකයින් කිසිවෙකු අනුර කුමාර මහතාට ඡන්දය දීමට පෙළඹෙන්නේ නැත. එහෙත් රැල්ලට හසුවී සිටින පොහොට්ටු පක්‍ෂයේ නාගරික පීඩිත පන්තියේ තරුණ ඡන්ද ලක්‍ෂ 2ක් පමණ අනුර කුමාර මහතාට හිමි වනු ඇත. ඒ අනුව සජීත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ 31 දක්වාත් අනුර කුමාර මහතාගේ ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ 11 දක්වාත් ඉහළ යනු ඇත.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලය තහවුරු කරගෙන සිටින නිමල් සිරිපාල පාර්ශවය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට තිරණය කර ඇති නිසා ශ්‍රීලනිපයේ ස්ථාවර ඡන්ද ලක්‍ෂ 18න් ලක්‍ෂ 10ක් රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇත. එහි දයාසිරි පාර්ශවය සමග ඡන්ද ලක්‍ෂ 05ක් තිබෙන්නේ යැයි ද පවතින රැල්ලට අනුව ජවිපෙට ද ඉන් ලක්‍ෂයක් ලැබෙන්නේ යැයිද උපකල්පනය කළ හොත් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ 51 දක්වාත් සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ 36 දක්වාත් අනුර කුමාර දිසානායක මහතාගේ ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ 11දක්වාත් ඉහළ යනු ඇත.
ඉහතින් දැක්වූ ඡන්ද සියල්ලම පාහේ සිංහල බෞද්ධ හෝ සිංහල කතෝලික ඡන්ද වෙයි. මෙවර ඡන්ද හිමි නාමලේඛණය අනුව උතුර හා නැගෙනහිර පළාත් වලට අයත් යාපනය, වන්නි, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්ක පහේ ලියාපදිංචි ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ 22කි. එයින් 2020ට පසු ලියාපදිංචි වූ අලුත් ඡන්ද ලක්‍ෂ 03ක් අතහැරිය හොත් (මෙම අලුත් ඡන්ද සමස්තයක් ලෙස ප්‍රධාන අපේක්‍ෂකයින්ට බෙදෙන ආකාරය මීට පෙර ගණන් ගන්නා ලදී) එම දිස්ත්‍රික්ක 05 මුළු ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ 19කි. එයිනුත් අම්පාර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වල සිංහල ඡන්ද ලක්‍ෂ 02ක් ඉවත් කළ හොත් උතුර නැගෙනහිර ද්‍රවිඩ, මුස්ලිම් ඡන්ද ලක්‍ෂ 17කි. මෙයින් ඡන්ද ලක්‍ෂ 09ක් රනිල් වික්‍රමසිංහ මහතා ලබාගන්නා අතර සජිත් ප්‍රේමදාස මහතා ලක්‍ෂ 04ක් සහ අනුර කුමාර මහතා ලක්‍ෂ 1 1/2 ක් ලබා ගන්නා බව උපකල්පනය කළ හැකිය. එවිට රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ 60ක් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද ප්‍රමාණ ලක්‍ෂ 40ක් අනුර කුමාර මහතාගේ ඡන්ද ප්‍රමාණ ලක්‍ෂ 12 1/2ක් දක්වාත් ඉහළ යනු ඇත.
මේ වනවිට ප්‍රධාන අපේක්‍ෂකයින් ලබා ගන්නා ඡන්ද වල එකතුව එක්කෝටි දහතුන් ලක්‍ෂයක් වෙයි. රටේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව එක් කෝටි හැත්තැ එක් ලක්‍ෂයක් වන අතර ඉන් 83%ක් ඡන්දය පාවිච්චි කළ හොත් පාවිච්චි වන ඡන්ද ප්‍රමාණය ඡන්ද එක් කෝටි හතලිස් දෙලක්‍ෂයකි. ඉන් ඡන්ද ලක්‍ෂ 2ක් අවලංගු ඡන්ද ලෙස සැලකුවහොත් වලංගු ඡන්ද සංඛ්‍යාව එක් කෝටි හතලිස් ලක්‍ෂයකි. ප්‍රධාන අපේක්‍ෂකයින් තිදෙනා මේ වනවිට ලබා ඇති ඡන්ද සංඛ්‍යාව වන එක්කෝටි දහතුන් ලක්‍ෂයක් අඩු කළ විට ඉතිරිය ලක්‍ෂ 27කි. එයින්ද නාමල් රාජපක්‍ෂ ඇතුලු අනෙක් අපේක්‍ෂකයින් සඳහා ලක්‍ෂ 07ක් ඉවත් කළ හොත් පාවෙන ඡන්ද ලෙස ලක්‍ෂ 20ක් පවති.
අනුර කුමාර මහතාට ලබාදෙන සියලු ඡන්ද මේවනවිටත් තීරණය කර හමාරය ඔහුට පාවෙන ඡන්ද ලැබෙන ප්‍රවනතාවත් නැත. කෙසේ වෙතත් ඔහුට පාවෙන ඡන්ද වලින් ලක්‍ෂ 02ක් ලැබෙන්නේ යැයි උපකල්පනය කළ හොත් ලක්‍ෂ 15 දක්වා ඉහළ යයි. එමෙන්ම ඉතිරි පාවෙන ඡන්ද ලක්‍ෂ 18න් බහුතරයක් ලැබිමේ සම්භාවිතාව රනිල් වික්‍රමසිංහ මහතාට ඇති හෙයින් ඔහුට ඉන් ලක්‍ෂ 10ක් සහ සජීත් ප්‍රේමදාස මහතාට ලක්‍ෂ 08ක් වෙන් කළ විට අවසාන ප්‍රතිඵලය වනුයේ රනිල් වික්‍රමසිංහ මහතා ලක්‍ෂ 70ක්, සජීත් ප්‍රේමදාස මහතා ලක්‍ෂ 48ක් සහ අනුර කුමාර මහතා ලක්‍ෂ 15ක් ලෙස සැලකිය හැකිය. එක් කෝටි හතලිස් ලක්‍ෂයක් වන වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් ඉතිරි වන ලක්‍ෂ 07ක ප්‍රමාණය නාමල් රාජපක්‍ෂ ඇතුලු ඉතිරි අපේක්‍ෂකයින් වෙත බෙදි යනු ඇත.
ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වතාවට ඡන්ද බෙදියාමේදී විපක්‍ෂයේ ප්‍රධාන අපේක්‍ෂකයින් දෙනෙකු සිටිමේ වාසිය ආණ්ඩුවේ අපේක්‍ෂකයා වන රනිල් වික්‍රමසිංහ මහතා හිමි කරගන්නා අතර ඔහුගේ වැඩි ඡන්ද ප්‍රමාණය ඉහළ අගයක් ගනියි. එමෙන්ම ඉතිහාසයේ පළමු වතාවට ස්වාධින අපේක්‍ෂකයකු ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා ලෙස මතු විමද ඔහුට වාසියක් වනු ඇත.
මේ ගණනය කිරීමේ දී අවධානයට ලක් වූ ප්‍රධාන කරුණු අතර ආණ්ඩුවේ අපේක්‍ෂකයාට එරෙහිව විපක්‍ෂයේ ප්‍රධාන අපේක්‍ෂකයින් දෙදෙනකු මතු වීම, ආණ්ඩුවේ අපේක්‍ෂකයා ස්වාධින අපේක්‍ෂයකු වීම, ඔහු කෙරෙහි ජනතා විශ්වාසයක් ඇති වෙමින් තිබිම, විපක්‍ෂයේ අපේක්‍ෂකයින් දෙදෙනාම යෝජනා මිස ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ඉදිරිපත් නොකිරීම, විපක්‍ෂයේ සටන් පාඨවල ඇති දියාරු බව, මුහුණට මුහුණ සංවාද සදහා විපක්‍ෂයේ අපේක්‍ෂකයින් ඉදිරිපත් නොවීම, ආණ්ඩුවේ අපේක්‍ෂයා පිළිබද බිම් මට්ටමේ නිහඩ සහයෝගයක් පළ වීම සහ විපක්‍ෂයේ ප්‍රධාන අපේක්‍ෂකයින් පිළිබද විශ්වසනීයත්වයක් ඇති නොවීම ආදිය ප්‍රමුඛ විය.
1981 අංක 15 දරණ ජනාධිපතිවරයා පත් කර ගැනීමේ පනතෙහි 9 (03) උපවගන්තියට අනුව ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකුගේ ඇප මුදල රාජ්‍ය සන්තක නොවීමට නම් ඔහු එකි ජනාධිපතිවරණයේ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 1/8ක් ලබා ගත යුතුය. ඒ අනුව මෙවර වලංගු ඡන්ද සංඛ්‍යාව එක්කෝටි හතලිස් ලක්‍ෂයකට ආසන්න විය හැකි බැවින් ඇප මුදල් රාජ සන්තක නොවීමට නම් අපේක්‍ෂකයෙකු අවම වශයෙන් ඡන්ද ලක්‍ෂ 17 සීමාව ඉක්ම විය යුතුවේ. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා සහ සජීත් ප්‍රේමදාස මහතා හැර වෙනත් අපේක්‍ෂකයෙකුට මෙම සීමාව ඉක්මවා යෑමට නොහැකි වන බව පෙනෙයි. ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට රට පාලනය කළ පක්‍ෂයක අපේක්‍ෂයෙකුගේද ඇප මුදල් රාජ සන්තක වීම අපට දැකිය හැකි වනු ඇත.
මෙම තොරතුරු හෝ මෙම ගණනය කිරීම් එලෙස විය නොහැකි බවට කිසියම් අයෙකු කියන්නේ නම් කුණුහරුප හෝ වැල්වටාරම් නොමැතිව සැබෑ සංඛ්‍යා ලේඛන සහ දත්ත සහිතව කරුණු ඉදිරිපත් කිරීමේ අයිතිය ඕනෑම අයෙකුට තිබෙන බවත් මේ පිළිබඳව කිසියම් ගැටලු තිබේ නම්, තවදුරටත් පැහැදිලි කළ හැකි බවත් ප්‍රකාශ කරමි.
මොන්ටේගු සරච්චන්ද්‍ර
මනෝ විද්‍යා උපදේශක සහ
දේශපාලන විශ්ලේෂක
No comments:
Post a Comment