Monday, October 17, 2022

කාන්තා හිංසනය නැති කිරීමට නම් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන ප්‍රජාත්‍රන්ත්‍රවාදී යාන්ත්‍රණයක් අවශ්‍යයි - CBK

 


 


 

 

කාන්තා සහ ළමා හිංසනය පිටුදැකීමට නම් ප්‍රජාත්‍රන්ත්‍රවාදය සහ මානව නිදහස මනා ලෙස ක්‍රියාත්මක වීම අතිශ්‍ය වැදගත් බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.

කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති “නිදහස උදෙසා කාන්තාවෝ” සංවිධානය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය මේබව පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ,

“අපේ කාන්තාවන්ගෙන් 25% ක් පමණ ශාරීරික හෝ ලිංගික හිංසනයට ලක්වෙනවා. ඒහා සමානවම දරුවනුත් ඒ විදිහටම ලිංගික අපයෝජනයට ලක්වෙනවා.  රාජ්‍ය යාන්ත්‍රණය මේ සම්බන්ධයෙන් බොහෝ ප්‍රදේශවල නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා සිවිල් සංවිධාන මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා ඉන්නවා.  මෙවැනි සිද්ධියක් සිදුවුනාම ක්‍රියාතමක වීම බොහොම වැදගත්. නමුත් එවැනි සිදුවීම් සිදුවෙන එක වළක්වාගන්නයි අපි කටයුතු කළ යුතු වෙන්නේ.  ඒ වගේම මෙහි තිබෙන මූලික හේතුව අපි හදුනාගන්න අවශ්‍යයි. ඒක අපේ සමාජයේ පතුලටම කිදා බැස තිබෙන ප්‍රශ්නයක්. අධ්‍යාපනය උසස් අධ්‍යාපනයේදී ඒ සම්බන්ධයෙන් කෙරෙන ඉගැන්වීම් මේ ප්‍රශ්නය විසඳන්න ගොඩක් ඉවහල් වෙනවා. ඒ වගේම සමාජීය සහ දේශපාලන ප්‍රචන්ඩත්වය පිළිබඳව අවධානය යොමුකරලා මේ ප්‍රශ්නයට විසඳුම් සොයාන්න වෙනවා.

මේකට තිබෙන සරලම උත්තරය තමයි ප්‍රජාත්‍රන්ත්‍රවාදය සහ මානව නිදහස. ඒ වගේම නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන ප්‍රජාත්‍රන්ත්‍රවාදී යාන්ත්‍රණයක් ඒ සඳහා අවශයයි. ඒකට තවත් අරගල කිහිපයක් කරන්න අවශ්‍ය වෙනවා. මෙහෙම කිව්වාම මාව අත්අඩංගුවට ගන්නේ නැතිවෙයි කියලා මම හිතනවා.” යැයි පැවසුවාය.

“නිදහස උදෙසා කාන්තාවෝ” (Women For Freedom)   සංවිධානය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක වන සංවිධානයක් වන අතර  කාන්තාවන්ට සිදුවන ප්‍රචන්ඩත්වය වළක්වා ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වේ.

අධ්‍යාපන, නීතිය සහ සමාජීය කාරණා සම්බන්ධයෙන් කාන්තාවන් සවිබල ගැන්වීමද එම සංවිධානය මගින් සිදුකරයි. දැනට ශ්‍රීලංකාවේ ක්‍රියාත්මක කාන්තාවන් සම්බන්ධයෙන් කටයුතු කරන සිවිල් සංවිධාන සමඟ එකතුව ලංකාවේ කාන්තාවන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකිරීම බලාපොරොත්තු වන බව  “නිදහස උදෙසා කාන්තාවෝ” (Women For Freedom)   සංවිධානය මෙහිදී සඳහන් කළේය.































 

 

 

Thursday, October 13, 2022

සිස්ටම් වෙනස් කරන්න - සෘජු බදු වැඩි කරන්න

 


 රජය විසින් සිදුකළ ආදායම් බදු සංශේධනය  මේ මස 01 දා සිට ක්‍රියාත්මක වන අතර මාසික ආදායම රුපියල් ලක්ෂයක ඉක්මවන පුද්ගලයින්ගෙන් බදු අයකිරීමට නියමිතය.

නව පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ඔක්තෝබර් පළමුවනදා සිට ලබන වසරේ මාර්තු 31 වනදා දක්වා මාස 06 තුළ ආදායම රුපියල් ලක්ෂ 6 ඉක්මවන සෑම පුද්ගලයෙකුගෙන්ම ආදායම් බදු අයකර ගැනීමට යෝජනා කර ඇත.

ඒ අනුව 2022 ඔක්තෝබර් 01 වනදා සිට 2023 මාර්තු 31 දක්වා ඉදිරි මාස 06 හි ආදායම රුපියල් ලක්ෂ 6ක් හෝ ඊට අඩු නම් ඔවුන් ආදායම් බදුවලින් නිදහස් වේ.

මුල් රුපියල් ලක්ෂ 6 හැර මාස 06 හි ආදායම රුපියල් ලක්ෂ 6 සීමාව ඉක්මවන්නේ නම් එහිදී පළමු රු.250,000 සඳහා 6% ක බදු මුදලක් අයකිරීමට යෝජිතය.

මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් 250,000 සිට රුපියල් ලක්ෂ 5 අතර ආදායම පවතින පුද්ගලයෙකුගෙන් රුපියල් 15,000ක මුදලක් සහ මුල් ලක්ෂ 5 සීමාව ඉක්මවා තවත් රුපියල් ලක්ෂ දෙකහමාරක් දක්වා 12% ක ආදායම් බද්දක් අයකරගැනීමට යෝජනා වී තිබේ.

මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් ලක්ෂ 5ත් රුපියල් හත්ලක්ෂ පනස්දහසත් අතර ආදායම පවතින පුද්ගලයෙකු රුපියල් 45,000ක මුදලක් සහ අතිරික්තව උපයන රුපියල් ලක්ෂ 5 දක්වා සියයට 18ක් ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජිතය.

මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් හත් ලක්ෂ පනස්දහසේ සිට රුපියල් ලක්ෂ 10ත් අතර ආදායම පවතින පුද්ගලයෙකු නම් රුපියල් 90,000ක මුදලක් සහ  අතිරික්තව උපයන රුපියල් හත්ලක්ෂ පනස්දහසක මුදලින් 24% ක් ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජිතය.

මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් ලක්ෂ 10ත් රුපියල් දොලොස්ලක්ෂ පනස්දහසත් අතර ආදායම පවතින පුද්ගලයෙකු නම් රුපියල් 150,000ක මුදලක් සහ අතිරික්තව උපයන රුපියල් ලක්ෂ 10 දක්වා 30% ක් ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජනා වී තිබේ.

මුල් රුපියල් ලක්ෂ 6 හැර එතැන් සිට රුපියල් දොලොස් ලක්ෂ පනස්දහසට වැඩි ආදායමක් පවතින පුද්ගලයෙකු නම් රුපියල් 225,000ක මුදලක් සහ රුපියල් දොලොස් ලක්ෂ පනස්දහසේ සීමාව ඉක්මවා උපයන මුදලින් 36% ක් ආදායම් බදු ලෙස අය කරගැනීමට යෝජිතය.

මෙම ආදායම් පනත් සංශෝධන කෙටුම්පත මේවනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් ලංකාවේ බදු අය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ මේවනවිට දැඩි කතාබහට ලක්ව ඇති අතර වක්‍ර බදු අයකිරීම වෙනුවට සෘජු බදු අයකිරීම වැඩි කළ යුතු බව බොහොදෙනාගේ අදස වී තිබේ.

කථිකාචාර්ය මලින්ද අලහකෝන්  මහතා යූටියුබ් නාලිකාවක් වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ ලංකාවේ  බදු අයකිරීමේ ක්‍රමවේදය වෙනස් කළ යුතු බවය. දැනට 18% ට ව පවතින වක්‍ර බදු අයකිරීම 80% දක්වා වැඩිකළ යුතු බවද හෙතෙම  සම්බන්ධයෙන් මෙසේ පවසා තිබුණි.

“ලංකාවේ බදු ක්‍රමය බැලුවොත් 82෴ ක් වක්‍ර බදු 18෴ ක් සෘජු බදු. ඒක අතිශය අමානුෂික ක්‍රමයක්.  හිතන්න මම දවසකට රුපියල් 10,000 ක් හොයනවා.  ඒ කියන්නේ මම මාසෙකට ලක්ෂ 03 ක් හොයනවා. මධ්‍යම පාන්තික මනුස්සයෙක්. ඔයා දවසකට හොයන්නේ රුපියල් 1000 යි. මාසෙකට 30,000 යි. හොදටම දුප්පත් මුනුස්සයෙක්.

සීනි කිලෝ එකක් තියෙනවා රුපියල් 100 යි. ඔයත් ගන්නවා කිලෝ එකක් මමත් ගන්නවා කිලෝ එකක්. මට 10,000 ක් ලැබුණා කියලා සීනිකිලෝ 10  ක් ඔනේ නැහැනේ.  මේ සීනි කිලෝ එකෙන් රජය රුපියල් සීයක බද්ධක් ගහනවා. ඒ කියන්නේ වක්‍ර බදු (VAT වගේ). ඒ බද්ධත් ගෙවලා රුපියල් 200 ට සීනී කිලෝ එකක් ඔයා ගෙදර ගෙනියනවා. මාත් රුපියල් 200 ට සීනි කිලෝ එක ගෙනියනවා. ඔයාගේ බදු බර 10% යි නමුත් මගේ බදු බර 1% යි . ඒක හොඳද? . පට්ටම වැරදියි.  රජයට ලැබෙන්නේ රුපියල් 200 යි. ඒක වෙනුවට ඔයාගේ ආදායමෙනුත් 5% ක් රජය අරගන්නවා. ඒකියන්නේ රුපියල් 50 ක් රජයට දීලා සීනි කිලෝ එක රුපියල් 100 ට අරගෙන ගෙදර යනවා.  දැන් ඔයාගේ සම්පුර්ණ වියදම රුපියල් 150 යි. මමත් මගේ ආදායමෙන් 5% රජයට දෙනවා ඒ කියන්නේ රුපියල් 500 ක්. දැන් අපි දෙන්නගෙම බදු බර සමානයි. නමුත් රජයෙ ආදායම කීයද?. රුපියල් 550. ඒ කියන්නේ වක්‍ර බදු වලට වඩා සෘජු බදු වලින් රජයේ ආදායම සම්පුර්ණයෙන් දෙගුණ කරගන්න පුළුවන් උනා. සෘජු බදු වැඩිපුර තියෙන්න ඔන උනත් ලංකාවේ සෘජු බදු තියෙන්නේ 18 % යි.  නමුත් හරි නම් 80% ක් සෘජු බදු වෙලා 20% ක් වක්‍ර බදු වෙන්න ඔන. මේ වෙනස්කම් කරන්නනම් ඒ මතය භුමියේ තියෙන්න ඔන”.යැයි ඔහු පැවසුවා.

 

Wednesday, October 12, 2022

සිස්ටම් චේන්ජ් එක බදු සංශෝධනයෙන්ම පටන් ගමු





 ආණ්ඩුවේ බදු ගහන එක ගැන ආයෙත් වැඩි කතාබහක් ඇතිවෙලා තියෙන්නේ ආදායම් බදු වැඩිකිරීමත් එක්ක. මාසෙක පඩිය ලක්ෂයකට වඩා ගන්න අයට මේ මාසේ පළවෙනිදා ඉදන් බදු අයකර ගන්න බදු පනත සංශේධනය කරල තියෙනවා.

අරගලය කරලා අපි ඉල්ලුවේ සිස්ටම් එකකට රට ගෙනියන්න කියලා. එහෙම සිස්ටම් එකකට රට අරගන යන්නනම් රටේ පුරවැසියන් විදිහට අපිත් ඒ සිස්ටම් එකට ඇතුලත් වෙන්න සූදානම් වෙන්න ඔන.  ඒකේ මුලිකම දෙයක් තමා සෑම පුරවැසියෙක්ම බදු ගෙවන්න කටයුතු කරන එක. 

එකතු කරන බදු සල්ලි ආයෙත් හොරා කයිද කියලා මිනිස්සු අතර ප්‍රශ්නයක් තිබෙනවා. ඒක සාධාරණයි. මොකද මෙච්චර කාලයකට අපිට තියෙන්නේ හොරා කාපු අත්දැකීම් නිසා. කොහොම උනත් අරගලයෙන් පස්සේ රටේ පාලනයට පුරවැසියන් විදිහට සක්‍රීයව දායක වෙන්න අපි කටයුතු කරන්න අවශ්‍යයයි. හොරා කන්න කලින් ඒක වළක්වා ගන්න අපි මැදිහත් වෙන්න ඔන.

ලෝකයේ දියුණු රටවල් සියල්ලගේම සෘජු බදු අයකිරීම වැඩියි. යුරෝපා රටවල ආදායම් බදු අයකරගැනීම සාර්ථකව කරනවා. අපිත් දියුණු වෙන්න අවශ්‍යනම් මේ වක්‍ර බදු අයකිරීම අඩුකරලා සෘජු බදු අයකිරීම වැඩිකරන්න ඔන. එතැනදී මිනිස්සුන්ගෙන් වගේම ඉහළ ආදායම් උපයන සමාගම් වලනුත් බදු අයකරගන්න ඔන.  සිස්ටම් එකකට රට යනවානම් ඒ හැමදේම හරියට කරන්න අවශ්‍යයි. එහෙම නැතිව එක සෙට් එකකට විතරක් බදු ගහලා රටක් දියුණු කරන්න බැහැ.

වක්‍ර බදු නිසා මේ රටේ අඩු ආදායම් උපයන, එදිනෙද පොඩි ව්‍යාපාර කටයුත්තකින් ආදායම් උපයන දුප්පත් මිනිස්සු මහ විශාල පීඩාවකට පත්වෙලා ඉන්නවා. ඒක හරිම අසාධාරණයි. ඇති හැකි අය වැඩියෙන් බදු ගෙවිය යුතුයි.  එතකොට තමයි නැති බැරි මිනිහගෙ කර මත පටවල තියන මහ දැවැන්ත බර නිදහස් වෙන්නේ. 

සාමාන්‍යයෙන් බදු ආදායමෙන් 40%ක් වත් සෘජු බදු වෙන්න ඕන. නමුත් ලංකාවේ  ප්‍රතිශතය 18% යි. ඒ කියන්නේ 82% වක්‍ර බදු.  කිරිපිටි,  පරිප්පු, හාල් මැස්සො විතරක් නෙමෙයි යට ඇදුමටත් බදු ගහලා තමයි ඒ 82% අරගෙන තියෙන්නේ.  අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕන. ඒ කියන්නේ සිස්ටම් චේන්ජ් කරන්න ඕන.

 ඒවගේම තමයි බදු අයකර‍ගෙන ඒ බදුවලින් මොනවද කරන්නේ කියන විනිවිදභාවයත් තියෙන්න ඔන. ඒ විනිවිදභාවයෙන් කටයුතු කිරීම ආණ්ඩුවේ  වගකීමක්. බදු අයකර ගැනීමේදී  පහුගිය ආණ්ඩු වගේම මේ ආණ්ඩුවත් කටයුතු කළොත් ජනතා විශ්වාසය නැතිවෙලා යාවි. ඔනෙම රටකට පැහැදිලි බදු ප්‍රතිපත්තියක් තියෙන්න ඔන. ඒක සාධාරණය  එකක් වෙන්න අවශ්‍යමයි.  සාධාරණ බදු ප්‍රතිපත්තියකට විරුද්ධ වෙන්න අපිට අවශ්‍ය නැහැ.

පාර්ලිමේන්තුවේ ඉන්න 225ම හොරු කියලා හිතලා බදු අයකිරීමට විරුද්ධ වෙන්න එපා. ඔබ ජන්දය දීලා පාර්ලිමේන්තු යවපු පුද්ගලයා  හොරෙක් නම් මීළඟ මැතිවරණයේදි ඔහුව පරාජය කරන්න.  හැබැයි අද දවසේ මේ බදු  පැනවීමට විරුද්ධ වෙලා රට පරාජය කරන්න එපා. 

මේ වැටුන රට අපිම එකතු වෙලා ගොඩගමු. සිස්ටම් චේන්ජ් එක බදු සංශෝධනයෙන්ම පටන් ගමු

මහ කන්නයට අවශ්‍ය පොහොර ලැබේ





 මහ කන්නය සඳහා යූරියා පොහොර බෙදාහැරීම ඇරැඹූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

රජයට අයත් කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම විසින් මෙලෙස පොහොර බෙදා හැරීම ආරම්භ කර තිබේ.

වී වගා කර සති දෙකක් ඇතුළත යුරියා පළමු පොහොර ප්‍රමාණය යෙදිය යුතු හෙයින් මේ වනවිට  දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පොහොර බෙදා හැරීම අරඹා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව සැප්තැම්බර් මස 29 සිට ඔක්තෝබර් 10 දක්වා කාලයේ  කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් දිස්ත්‍රික්ක 07කට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 11,283.86ක් බෙදා හැර තිබේ. එමෙන්ම ලංකා පොහොර සමාගම විසින් බෙදා හැර ඇති ප්‍රමාණය මෙට්‍රික් ටොන් 11,698කි. 

මෙවර මහ කන්නයේ වී වගා කිරීමට යෝජිත බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 814,678.43ක් බවත් එම බිම් ප්‍රමාණය මහ කන්නයේ  වී වගා කරන බිම් ප්‍රමාණයෙන් සියයට 100ක් බවද කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

මෙවර මහ කන්නයේ ද පසුගිය යල කන්නයේ මෙන් කිලෝ ග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර මිටියක් රුපියල් 10,000ක මුදලකට ගොවීන්ට ලබා දීමට පියවර ගෙන තිබෙන බවත්   හෙක්ටෙයාර් එකක් සඳහා  කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත පොහොර  ප්‍රමාණය මෙවර  ගොවීන් වෙත නිකුත් කිරීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මහ කන්නයේ කුඹුරු වගා කිරීම ඇතැම් දිස්ත්‍රික්කවල ආරම්භව පවතින අතර බොහෝ දිස්ත්‍රික්කවල වගාව ආරම්භ කෙරෙනුයේ ඔක්තෝබර් තුන්වන සතියේ සිටය. 

Tuesday, October 11, 2022

ටීචර්ලා නටන එක ගැන නෙමෙයි ළමයි කනබොන හැටි ගැන හිතමු

 

 

 

 


 

ආර්ථික අර්බුදයත් එක්ක මුළු ලෝකයටම ආහාර අර්බුදයකුත් ඇවිත් තිබෙනවා. ලෝකයේ සෑම රටකටම මේ අර්බුදයේ බලපෑම දැනිලා තිබෙන නිසා  ඔවුන් දැනටමත් ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ආරම්භකරලා තියෙනවා.  කොහොම උනත් 2023 අවසන් වෙනකම් ආහාර අර්බුදය ලෝකයටම බලපායි කියලා තමයි දැනට ලෝක ආහාර වැඩසටහන අනාවැකි පළකරලා තියෙන්නේ.

කොවිඩ් වසංගතය , දේශගුණික බලපෑම්, යුධමය ගැටුම් , කෘෂිකර්මය බිදවැටිම වගේම ජීවන වියදම ඉහල යාම මෙයට බලපානවා. මේ නිසාම බොහෝ රටවල් අනිකුත් රටවලට ආහාර අපනයනය කිරීම නවත්වලා තිබෙනවා. මොකද තමන්ගේ රටට අවශ්‍ය ආහාර ප්‍රමාණය ගබඩා කරගන්න ඔවුන් දැන් මහන්සි වෙනවා.

අපේ රට තුළත්  ආහාර අර්බුදයක් ඇති වේගෙන එනවා. කෘෂිකර්මාන්තය බිදවැටීම , පොහොර කෘෂි රසායන අවශ්‍ය අවස්ථාවල නොතිබීම වගේම ඉන්ධන නොමැතිකම නිසා මේ ප්‍රශ්නය තවත් උග්‍රවෙලා තිබුණා.  කොහොම උනත් මේ අර්බුදයෙන් ගොඩ ඒමට ආර්ථික ආරක්ෂාව වගේම ආහාර ආරක්ෂාව ඇති කරන්න රජය දැන් කටයුතු කරගෙන යනවා.  

ඒ වෙනුවෙන් ආහාර බැංකුව (food bank) සහ ප්‍රජා මුළුතැන්ගෙය (community kitchen) සංකල්ප සාර්ථකව කරගෙන යන්න රාජ්‍ය සේවයෙන් වැඩි පිරිසක් යොදවන්න රජය දැනටමත් කටයුතු කරලා තියෙනවා.

ප්‍රජා මුළුතැන්ගෙය (community kitchen) සංකල්පය ඇති වුණේ අරගලයත් එක්ක. අරගලයේ යෙදුනු තරුණ තරුණියෝ  ඔවුන්ගේ සංකල්පයක් විදිහට ප්‍රජා මුළුතැන්ගෙය (community kitchen) සංකල්පය අත්හදා බැලුවා.  ඒක සාර්ථක වුණ නිසා තැන් කිහිපයකම ප්‍රජාවත් එකතුකරගෙන ප්‍රජා මුළුතැන්ගෙය  ක්‍රියාත්මත කරන්න තරුණ තරුණියෝ කටයුතු කළා. ආහාර සොයාගන්න අපහසු අයට උදව්වක් වශයෙනුයි ඔවුන් ඒක කලේ. ඔවුන් තවදුරටත් ඒ වැඩපිළිවෙල කරගෙන යනවා. මේ වැඩපිළිවෙල සාර්ථක නිසා රජය ඒක පිළිඅරගෙන තිබෙනවා. රජයේ නිලධාරීන් යොදවලා ප්‍රජා මුළුතැන්ගෙය (community kitchen) සංකල්පය සාර්ථකව පවත්වමින් කුසට ආහාර නැතිව ඉන්න ළමයින්ගේ බඩගින්න නිවන්න ඔවුන් දැනටමත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ මොකද මේවෙද්දි හරියට කන්න බොන්න නැති ළමයි ගොඩක් ඉන්නවා. මේවගේ පාසල් හොයලා ඔවුන්ට ආහාරපාන ලබාදෙන්න ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා වු ඒකාබද්ධ යාන්ත්‍රණයකුත් පිහිටවලා දැන් වැඩ පටන් අරගෙන තිබෙනවා. ඇත්තටම ටීචර්ලා නටන එක ගැන නෙමෙයි ළමයි කනබොන හැටි හොයලා බලලා විසඳුම් දෙන එන එක තමා ආණ්ඩුවේ වගකීම වෙන්න ඔන.