Monday, August 22, 2022

රංගන ලක්මාල් අත් අඩංගුවට


 

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන ලක්මාල් දේවප්‍රිය අත්අඩංගුවට ගෙන ඇත. අද (22) පෙරවරුවේ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් රංගන අත්අඩංගුවට ගත් බව සමාජවාදී ශිෂ්‍ය සංගමය ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව රංගන ලක්මාල් දේවප්‍රිය කොළඹ කොටුව පොලිසිය භාරයට ගත් බවයි එම සංගමය වැඩිදුරටත් කියා  සිටියේය.

මේ අතර, ජූලි මාසයේ පැවති මහජන විරෝධතා අතරතුර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා ලද දෙවන පුද්ගලයා වන චමින්ද කැලුම්ප්‍රිය අමරසිංහ කුරුඳුවත්ත පොලිසියට භාර වීමෙන් පසු අද   අත්අඩංගුවට ගෙන තිබේ.

 

චමින්ද කැලුම්ප්‍රිය අමරසිංහ ගාලු මුවදොර විරෝධතාවයේ යෙදී සිටි දනිෂ් අලි සමඟින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළුවන්නේ    ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ අතරතුරය.

Sunday, August 21, 2022

භූමි තෙල් මිල ඉහළට

 

අද මධ්‍යම රාත්‍රියේ  සිට ලංකා භූමිතෙල් ලීටරය මිල රුපියල් දෙසීය පනස් තුනකින්( 253) ඉහළ දමා ඇත.

භූමිතෙල් ලීටරයක් සඳහා මෙතෙක් පැවති මිල රුපියල්   රුපියල් අසූ හතකි.

නව මිල වැඩිවිමත් සමග භූමිතෙල් ලීටරය මිල්  රුපියල් තුන්සිය හතලිහකි (340)  කි.


Thursday, August 18, 2022

ජනපති "ජැකා" බලන්න මහරෝහලට යයි.




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන හදිසියේම කොළඹ ජාතික රෝහල වෙත පැමිණියා. ඒ හදිසි අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගධරයෙකු, සිනමාවේදියෙකු සේම, ඉතිහාසඥයෙකුද වන ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් විමසීම සඳහායි. 


රෝහල වෙත පැමිණි ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වෙත ජැක්සන් ඇන්තනී වෙත ඉක්මන් සුවය  ප්‍රාර්ථනා කළ අතරම ඇන්තනී මහතාගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා යම් උපකාරයක් අවශ්‍ය නම් වහාම තමන් දැනුවත් කරන ලෙස එහිදී ඉල්ලා සිටියා. 


වෛද්‍ය ප්‍රතිකාර සේම ආගමික හා ආධ්‍යාත්මික ආශිර්වාදයද ඉතා වැදගත් බැවින් ජැක්සන් ඇන්තනී මහතාට සෙත් පතා ආගමික ආශිර්වාද වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කරන ලෙසද, ඊට සිය උපරීම සහාය ලබාදෙන බවද ජනාධිපතිවරයා එහිදී ඇන්තනී මහතාගේ පවුලේ සාමාජිකයින්ට ප්‍රකාශ කලා. 


ඉන් අනතුරුව ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා හමුවූ ජනාධිපතිවරයා රෝහලේ අනෙකුත් රෝගීන්ට අවශ්‍ය, දැනට හිඟතාවය සහිත ඖෂධ කඩිනමින් සැපයීමට ක්‍රියාකරන බව පොරොන්දු වූ අතර දිවයින පුරා රෝහල් වල බෙහෙත් හිඟයෙන් පීඩාවට පත්ව සිටින රෝගීන්ගෙ ජීවිත සම්බන්ධයෙන් තමාට විශාල වගකීමක් ඇති බවද ප්‍රකාශ කර තිබේ. 


රෝහලෙන් පිටතට පැමිණීමේදී ජනාධිපතිවරයා විසින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණ සිටි රෝගීන්ගෙන්ද සුවදුක් විමසා සිටියා.

Tuesday, August 16, 2022

දයාසිරි ශ්‍රීලනිප නායකත්වයට


 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නායකයා දයාසිරි ද? 

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ ඉතාමත් බරපතල අන්දමේ මතභේදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවක් වාර්ථා වේ.  මෙයට හේතු වී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන සහ දයාසිරි ජයසේකර අතර පක්ෂ නායකත්වය සඳහා පවතින බල පොරයයි. 


මේ වන විට පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ දයාසිරි ජයසේකර පක්ෂ මෆ්හ්හ්‍යම කාරක සභාව තුල තම බලය ස්ථාපනය කරගෙන ඇති බවයි. සිරිසේනට වඩා ඔහුට මධ්‍යම කාරක සභිකයන් පිරිසක් සිටින බවත්, ඒ අනුව ඉදිරි මධ්‍යම කාරක සභා රැස්වීමක දී දයාසිරි ජයසේකර පක්ෂ සභාපතිත්වයට පත්කිරීමට සූදානමක් පවතින බවත් වාර්ථා වේ. 

බොහෝ විට එළඹෙන සැප්තැම්බර 03 වන දිනට පෙර මෙම වෙනස්කම සිදුවනු ඇති බවට විශ්වාසදායක ආරංචි මාර්ග පවසයි.

Sunday, August 14, 2022

සංග්‍රාම කුමරිය

                                               සහන් තෙන්නකෝන් විසිනි.



ලෝකයේ බොහෝ රටවල්වලට තමන්ටම ආවේණික වූ විදේශ ප්‍රතිපත්තියක් ඇත. ඕනෑම රටක එම ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමේදී එරට විදේශ ඇමතිවරයාට සුවිශේෂී ස්ථානයක්‌ හිමිවේ. ලෝක බලවතා ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ නම් එරට රාජ්‍ය ලේකම්වරයා එම වගකීම් දරයි. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ධූරය ලෝකයට විශාල බලපෑමක් කළ හැකි තනතුරක්‌ ලෙස සැලකිය හැකිය.


සාමාන්‍යයෙන් වර්ණභේදය වැනි අදහස් ඇමෙරිකානු සමාජය තුළි දැකිය නොහැකි යැයි පැවසුවද සැලකිය යුතු තරමක් එම අදහස් සමාජයට බලපෑමක් කරමින් තිබූ අවදියක, එක් තරුණ කළු ජාතික කාන්තාවක් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කිරීමම පුදුමයට කරුණකි. 

හිටපු ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්. බුෂ්ගේ පාලන අවදියේ එම තරුණිය රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සෝවියට් හා නැගෙනහිර ආසියාවේ දේශපාලන උපදේශක ලෙස,සෝවියට් දේශයේ බිඳවැටීමටත් ජර්මනියේ එක්වීමටත් අමෙරිකාවේ බලපෑම පසුපස සිටි ශක්තිය වූවා ය .


තම පියාට ලබාදුන් සහයෝගය තමාටද ඇයගෙන් ලැබේයැයි යන විශ්වාසය මත ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් විසින් ඇයව ඔහුගේ ජාතික ආරක්ෂක උපදේශක තනතුරට පත් කළ අතර එම ධූරය ඇමෙරිකා එක්සත් ජනපදයේ ධුරාවලියේ අභ්‍යන්තර වශයෙන් වැදගත් තීරණ ගන්නා බලවත් තනතුරක්‌ ලෙස සැලකේ. ජාතික ආරක්ෂාව පිළිබඳව ගන්නා සියලු තීරණවලදී ඇමෙරිකා ජනාධිපතිවරයාට උපදේශනය සපයන්නේ ඔහු /ඇය විසිනි.එබැවින් ලෝකයේ බලවත්ම පුද්ගලයාට පවා උපදෙස් දියහැකි තනතුරක බලය හා වරප්‍රසාද අවබෝධ කරගැනීම පුළුවනි .


මේ අතරවාරයේ ලෝකයත්, අමෙරිකාවත් සසලකළ සිදුවීමක් වූ 2001 සැප්තැම්බර් 11 අල් -කයිඩා සංවිධානය විසින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල කළ ගුවන් යානා ප්‍රහාරය ලෝකයේම ඉරණම කරපිට හරවන්නට විය. එවකට ජාතික ආරක්ෂාව භාර ප්‍රධාන පුද්ගලයා වූයෙන් ඇයටද මේ සිදුවීමේ කළු පැල්ලම් තවරාගැනීමට සිදුවිය. කෙසේ හෝ ඇය කිසිඳු විටෙක තම රටටත් ලෝකයටත් එරෙහිවූ ත්‍රස්තවාදයටත්, ඒවාට උදව් දෙන රාජ්‍යන්ටත්, ඒවායෙහි දුර්දාන්ත පාලකයන්ටත් සමාව ලබාදීමට කටයුතු නොකළාය. ඇගේ පිඹුරුපත් මත ඇමෙරිකානු හමුදා ඉරාකයත්, ඇෆ්ගනිස්ථානයත් ආක්‍රමණය කළහ. එහි ප්‍රතිපල ලෙස බුෂ්ගේත් ඇගේත් නාමයන් යුධ අපරාධකරුවන් ලෙස හංවඩු ගැසීය.


ඇගේ වෘත්තීය දිවියේ කූඨප්‍රාප්තිය සිදුවන්නේ ඇය 2005 දී අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ධූරයට පත්වීමෙනි.සියලු විරෝධතා පසෙකින් තබා ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා විසින් ඇයව එම ධූරයට පත්කරන්නේ ඇගේ හැකියාව පිළිබඳව ඔහු තැබූ අචල විශ්වාසයේ ප්‍රතිපලයක් ලෙසටය. ඇගේ සිව් අවුරුදු කාලය තුළ ඒකාධිපති, දුර්දාන්ත පාලකයන් විසින් ඩැහැගෙන සිටි බොහෝ රාජ්‍යයන්ට ප්‍රජාතන්ත්‍රවාදයේ හිරු රැස් වැටෙන්නට පටන් ගත්තේය. අන් කවර කාලයටත් වඩා අමෙරිකාවනු හමුදාවන් ශක්තිමත් විය.තවද ලෝක මාධ්‍ය විසින් ඇයව " Warrior Princess " ලෙස හඳුන්වා දුන්හ.ඇය එම වසරේදීම ලෝකයේ බලවත්ම කාන්තාව ලෙස සුප්‍රකට Forbes සඟරාව විසින් නම් කරනු ලැබීය.


ඇය තරම් විදේශ රාජ්‍යතාන්ත්‍රික සංචාරයන්හි නිරත වූ රාජ්‍ය ලේකම්වරයෙක් නැති තරම්ය. ඒ සෑම අවස්ථාවකම ඇමෙරිකානු සබඳතා ශක්තිමත් කිරීමටත්, භූ දේශපාලනික ලෝකය තුළ අමෙරිකානු සන්නාමය ඔසවා තබන්නටත් හැකි සියල්ලම ඈ ඉටුකළාය.2009 වසරේ ධූරයෙන් නික්ම යන ඈ තම ආණ්ඩුවට පසුව පැමිණි ඔබාමා පරිපාලනය විවේචනය කරන්නවත් තමන් පිළිබඳව පාරම් බෑමටවත් ගියේ නැත. ඇය රාජ්‍ය ලේකම් ධූරයෙන් විශ්‍රාම ගොස්, තමාගේ අත්දැකීම් ඉදිරි පරම්පරාව සමඟින් බෙදා ගැනීමට ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක් ලෙස සේවයට එක් වූයේ අමෙරිකානු දේශපාලනයේ මහත්මා ගතිය පෙන්නුම් කරමිනි.


සුද්දන්ගේ දේශයක ඉපිද, හැදී වැඩී ලෝකයේ බලවත්ම කාන්තාව තෙක් ඇය පැමිණි ගමනේ ඇයට ආශීර්වාදයක්‌ වූයේ නම් ඒ ඇගේ අධ්‍යාපනයත්, අධිෂ්ඨානයත්ය. ලෝකයට යුධ අපරාධකාරියෙක් වී උපන් රටට වීරවරියක් වූ ඇයගේ ජීවිතය සැබවින්ම ආකර්ෂණීය, ආදර්ශවත් එකකි. ලෝකයේ සර්ව සම්පුර්ණ පිරිසිදු චරිත සොයන්නට නොමැති වගත් අපි බොහොමයක් අළු චරිත ඇත්තන් වගත් මතක තබා ගත යුතුය. අවසානය ඇයගේ වචනවලින් ම ඔබ‍ට යමක් කියමි.


" අමෙරිකාවෙදී වැදගත් වෙන්නේ ඔබ එන්නේ කොහෙන්ද කියන එක නෙමෙයි. ඔබ අවසානයේ යන්නේ කොතනටද කියන එක. "


ඇයගේ එම වචන අමෙරිකාවට පමණක් නොව ලෝකයේ ඕනෑම තැනකට වලංගු බවත් කිවයුතුය.


ඇය කොන්ඩලීසා රයිස්.


#sahantwrites 

15.08.2021

Thursday, August 4, 2022

හැඳි නොගා හොදි හදමු...!




සිවිල් අධ්‍යාපනයත් මිලිටරි අධ්‍යාපනයත් මිශ්‍ර කිරීම උත්සාහ කිරීම තුළින් වත්මන් රජය බලාපොරොත්තු වන්නේ කුමක්දැයි නොදනිමු. නමුත් දන්නා කාරණයක් නම් අන් කාටත් වඩා මිලිටරි උන්මාදයක් පසුපස මේ ආණ්ඩුව ගමන් කරන බවයි.ශ්‍රී ලංකාවට ආරක්ෂක විශ්වවිද්‍යාලයක් අවශ්‍ය බවත්, අධ්‍යාපනය ලැබීම මානව අයිතියක් වූ ලෝකයක හමුදා සොල්දාදුවෙකුට වුවද ගුණාත්මක, ඔවුන්ට විශේෂ වූ ක්ෂේත්‍ර පිළිබඳව නිසි අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව සලසා දිය යුතු බවත් අපි දනිමු. නමුත් එයට මිලිටරි නොවන වෙනත් ඕනෑම අයෙකු සම්බන්ධ කරගත හැකිය යන්නෙන් අදහස් වන්නේ සිවිල් සමාජයේ පුද්ගලයන්ටද එවැනි මිලිටරි නීතීන් මත ක්‍රියාකෙරෙන විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබිය හැකි බවයි.


පාසල්වල නීතී රීතින් තිබේ. ගුරුවරු විදුහල්පතිවරු දරුවන්ට දඬුවම් දෙයි. එය සාමාන්‍ය විය හැකිය. නමුත් කිසිදු රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක එලෙස ශිෂ්‍යන් මත අනවශ්‍ය අයුරින් නිදහස සීමාකරන නීතී පනවා නැත. ඔවුන්ට අවශ්‍ය පරිදි කොණ්ඩය, ඇඳුම ආදිය තබාගැනීමේ හැකියාව පවතී. අවශ්‍ය වෙලාවක ගමනක් බිමනක් යාමට නිදහස ඇත.රැවුල කොණ්ඩය වැවීමට තරම්වත් නිදහසක්‌ නොමැති මිලිටරි ගුහාවක ( නමින් විශ්ව විද්‍යාලයක් වූ ) සිරවී, අදහස් සිරගත කොට නිර්මාණශීලීත්වය සහ මානුෂියත්වය මරාදමා මොටකළ විද්‍යාර්ථයන් බිහිවීමත් පසුකාලීනව ඔවුන් සිවිල් සමාජයට පැමිණ විස්කම් පාන ආකාරය කෙසේ වේදැයි සිතීමත් අපහසුය.


කොහොමත් ලංකාවේ පවතින්නේ ගොපලු-ගව අධ්‍යාපන ක්‍රමයක් බැවින් යම් දෙයක් නිවැරදිව සිදුකරන තෙක් කෙවිටෙන් පහරදෙනු ලැබේ. "හැඳි නොගා හදන හොද්දත්, නොගහ හදන දරුවාත් එකයි "යැයි යම් අවලම් දාර්ශනිකයෙක් පවසා ඇති අතර  තවත් යමෙක් "අපි අද මේ වගේ තැන්වල ඉන්නේ අපේ ගුරුවරු අපිට ගහපු නිසා"යැයි පවසයි. ලංකාවේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය මෙවැනි ශ්‍රේෂ්ට වදන්වලින් පණලබා ඇත. ලංකාවේ දියුණුවේ රහස එම අධ්‍යාපනය බව අපි විශ්වාස කරමු.


කාලයක් ලංකාවේ පාසල්වල විදුහල්පතිවරුන්ට මිලිටරි පට්ටම් ප්‍රදානය කෙරිණි. දරුවන් ගුරුවරුන්ට බිය වූයේ ගෞරවය නිසා නොව කර්නල් පට්ටමට වූ බිය නිසාය. එවැනි ගෝත්‍රික අධ්‍යාපන වැඩපිළිවෙලවල්ද මෙරට ක්‍රියාත්මක විය. ඒවායෙන් පණ ලැබූ ඇතැම් අය ශිෂ්‍යයන්ගේ කන පැලූ අවස්ථාද ඕනෑ තරම් ඇත.


කාලයක් උතුරේ අධ්‍යාපනය මිලිටරි නියාමනයකට ලක්විය යුතුයි පැවසු ලේකම්වරයෙක් දැන් එය මුළු රටටම කරන්නට යන බව පෙනේ. ඔවුන් එය සාධාරණීකරණය කිරීමට මිලිටරිවාදය තුළ නොමැති විනයක් මවා පෑමට උත්සාහ කරයි . මැතකදී සිවිල් ආරක්ෂක බලකායේ පුද්ගලයෙක් යකැදුරෙක් සේ පෙනී සිට මවත් දියණියත් දූෂණය කළ බව මාධ්‍යවල පලවිය.හමුදාවේ එම විනයගරුක පුහුණුව ලැබූ විනයධර සොල්දාදුවන් අපරාදවලට හසුවූ අවස්ථා සෑම දිනකම පාහේ අසන්නට ලැබෙයි. එවැනි තත්ත්වයක මෙවැනි පුහු මතවාද දැන් දිරාපත් වී තිබෙන බව කිව යුතුය.


දඬුවමෙන් හෝ හමුදා බලයෙන් අපරාද නැවැත්වීමටත්, විනයගරුක සමාජයක් බිහිකිරීමටත් දත කනාවට වඩා දැන්වත් අනාගතයට ගැලපෙන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක්‌ තුළින් වඩාත් මානුෂීය, නීතිගරුක පුද්ගලයෙකු බිහිකළ හැකි සුන්දර අධ්‍යාපන පරිසරයක්‌ බිහිකිරීමට අවශ්‍ය සංකල්ප සිතා ඒවා ක්‍රියාත්මක කිරීම වටිනා බව සිතේ. මිලිටරියට එරෙහිව නොව මිලිටරීකරණයට එරෙහිව වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් නිර්මාණය විය යුතුය.


 එබැවින් දඬුවමෙන් නොව ආකල්ප තුළින් වඩාත් මානුෂිය සමාජයක් බිහිකිරීමට, ලංකාව ගොඩගැනීමට නම් හමුදා පාලනයක් අවශ්‍යයැයි සිතන -කාන්තාර ඔටුවන් -සියලු දෙනාට ආරාධනා කරමු.නමුත් ප්‍රශ්නය නම් කෙවිටට හුරුවූ ඔවුන් මෙය කෙසේ පිළිගනීවිදැයි යන්නයි.


#sahantwrites 

05.08.2021