Friday, November 25, 2022

කවුද මේ ඩීන් ඩියම් - සහන් තෙන්නකෝන්

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය බදාදා දිනයේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් අතරතුර අරගලය හා සම්බන්ධ උද්ඝෝෂණ ආදිය පිළිබඳව මෙන්ම ඒවා සංවිධානය කරන දේශපාලන ව්‍යාපාර පිළිබඳවත් මෙසේ අදහස් දැක්වීය.


“ඕන තරම් පෙළපාලි යන්න, මම හිට්ලර් වගේ කියලා කෑ ගහන්න. හැබැයි එකක් කියන්නම් පෙළපාලි යද්දි පොලිසියෙන් අවසර අරගෙන යන්න. පාරේ එක පැත්තකින් යන්න අනිත් වාහනවලට යන්න ඉඩ දෙන්න. ඒත් හිතනවානම් තව අරගලයක් කරන්න. පාරේ යනවනම් පර්මිට් නැතිව ඒක නවත්වනවා. ඒක පොලීසියට කියලා තියෙන්නේ.  ආණ්ඩුව වෙනස් කරන්න අරගලයක් තව ඇතිකරනව කියලා සමහරු කියනවා. මම ඒකට ඉඩ දෙන්නේ නෑ. හමුදාව යොදවනවා. හදිසි නීතිය දානවා. එහෙම කරන්න ඉඩ දෙන්නේ නෑ. ඩීන් ඩියම්ලට ඉඩක් නෑ මේ රටේ."


මෙම ප්‍රකාශයත් සමඟම කාගෙත් අවධානය සහ උනන්දුව යොමුවූ කාරණයක් වූයේ කවුද මේ ඩීන් ඩියම් යන්නයි. ඩීන් ඩියම් යනු 1950 දශකය අග භාගයේ සිට 1960 දශකය මුල් භාගය තෙක් වියට්නාමය පාලනය කළ ඒකාධිපති නායකයෙකි.ඉතින් හදිසියේම ජනාධිපතිවරයා උපහැරණයට ගත් ඩීන් ඩියම් කවුරුදැයි අපි විමසා බලමු.


ඩීන් ඩියම් ප්‍රකටව සිටින්නේ දැඩි කොම්යුනිස්ට් සහ යටත්විජිත විරෝධියෙකු ලෙසය. ඔහු තුළ පැවති දැඩි කොම්යුනිස්ට් විරෝධී අදහස් නිසාම ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල සහයෝගය ඇතිව ඔහු 1954 වර්ෂයේ දී වියට්නාමයේ අගමැති ධූරයට පත්වනවා. අවුරුද්දක් ඇවෑමෙන්, එනම් 1955 වර්ෂයේදී විවිධ කුමන්ත්‍රණ රාශියකට පසුව එවකට වියට්නාමයේ පාලකයා වූ බාඕ ඩායි බලයෙන් ඉවත් කර ඔහු වියට්නාමයේ පළමු ජනාධිපතිවරයා බවට පත්වනවා. වියට්නාමයේ ප්‍රමුඛ පෙළේ කතෝලික පවුලකට දාව උපත ලබන ඩීන් ඩියම්ගේ එක් සහෝදරයෙක් වූ ඩීන් තක් එරට කතෝලික සභාවේ අගරදගුරුවරයා විය. ඔවුන් ඒ තරමටම දැඩි ආගමික පසුබිමකින් පැවත එන්නන්.එම නිසාම ඩීන් ඩියම්ට බලයට පැමිණීමට එරට කතෝලික පල්ලියෙන් මහත් සහයෝගයක්‌ ලැබුණි.ඩීන් ඩියම් බලයට පැමිණි මුල් කාලයේ ඇමෙරිකාව සමඟ ඉතා හොඳ මිත්‍රත්වයක් පවත්වාගෙන යාමට ඔහුට හැකිවිය.කෙසේ වෙතත් ඩීන් ඩියම්ගේ පාලනය කාලයත් සමඟ දැඩි ඒකාධිපති ස්වරූපයක් ගන්නවා. විශේෂයෙන්ම මැතිවරණ කල් දැමීම, බෞද්ධාගමිකයන්ට සිදුවන හිංසාවන් ආදිය නිසාම එතෙක් ඔහුට ලැබුණු බටහිර සහයෝගයත් නැතිවෙනවා.


ඩීන් ඩියම් පාලන සමයේ එරට විශාලතම ඉඩම් හිමියා වූයේ කතෝලික පල්ලියයි.ඇතැම් කතෝලික පූජකවරු පෞද්ගලික හමුදා පවත්වාගෙන යාමට තරම් බලවත් විය.එපමණක් නොව සිවිල් සේවයේ මෙන්ම හමුදාවේද ඉහළ තනතුරු සඳහා කතෝලිකයන් පත් කිරීම සිදුකෙරුණි. ඉඩම් බෙදීම, ව්‍යාපාර සහනාධාර, බදු සහන ආදිය සියල්ලම කතෝලිකයන්ට පමණක් හිමිවිය. විදේශ සහනාධාර ආදිය ද කතෝලිකයන්ට හිමිවිය. මෙවැනි කාරණා නිසා බහුතරයක් වූ බෞද්ධ ප්‍රජාව දැඩි ලෙස පීඩාවට පත්වූ අතර ඔවුන්ට බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනය පවා නීතියෙන් තහනම් විය.1963, මැයි මස එම තහනමට විරුද්ධව විරෝධය පලකළ නිරායුධ බෞද්ධයන් 9 දෙනෙකු ඩීන් ඩියම් රෙජීමය විසින් ඝාතනය කෙරිණි. තවද එම වසරේම ජූනි මස එම විරෝධතා ව්‍යාපාරය මැද බෞද්ධ භික්ෂුවක් ගිණි තබාගෙන සියදිවි හානි කරගැනීම ඩීන් ඩියම්ට එරෙහි විරෝධය උත්සන්න කළේය.ඩීන් ඩියම්ගේ මෙම වියරුව අවසානයට පත්වන්නේ 1963 වර්ෂයේ නොවැම්බර් මස ඇමරිකාවේ CIA සංවිධානයේ සහය ඇතිව සිදුවන හමුදා කුමන්ත්‍රණයකිනි. එහිදී අල්ලා ගැණෙන ඔහු සහ ඔහුගේ ඥාතීන් පසුව ඝාතනය කෙරිණි.


මීළඟට අවධානය යොමුකළ යුතුවන්නේ  මෙවැනි චරිතයක් ජනාධිපතිවරයා තම ප්‍රකාශය සඳහා ඈඳා ගැනීමෙන් ඔහුට අදහස් කරන්නට අවශ්‍ය වූයේ කුමක්ද යන්නයි.පසුගිය කාලය පුරාවට සිදුවූ දේශපාලන සංසිද්ධි එකිනෙක විමසා බලන විට, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය අන් කවරදාටත් වඩා දේශපාලනික වශයෙන් ක්‍රියාකාරීව සිටිනු පෙනෙයි. ඇතැම් තැනක කතෝලික පල්ලියේ සහයෝගය කුමාර් ගුණරත්නම් ප්‍රමුඛ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙත ලැබෙන බවටද කසුකුසුවක් පවතියි. විශේෂයෙන්ම අප්‍රේල් 21 පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවල පවතින මන්දගාමීත්වය නිසාම ඒ වෙනුවෙන් සාධාරණයක් පවතින රජයෙන් බලාපොරොත්තු නොවිය හැකි බව කාඩිනල්වරයා දිගින් දිගටම ප්‍රකාශ කිරීම ද, ඔහු ඇතුළු කතෝලික පල්ලිය වර්තමානයේ පවතින රජය පෙරලා දමා අළුත් පාලනයක් ස්ථාපිත කිරීම පිළිබඳව අදහසක එල්බ ගෙන සිටින බවට කදිම ඉඟියකි.අරගලයේ පාර්ශව සඳහා පවතින මහජන ප්‍රසාදය ඒ වෙනුවෙන් යොදාගැනීමට ඔවුන් උත්සුක වනවා වන්නට පුළුවනි.


ආගමික කල්ලියක උදව්වෙන් බලයට පත්ව පසුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන අඹමල් රේණුවක විශ්වාසය නොතිබූ ඩීන් ඩියම් වැනි ඒකාධිපතියෙකුට මෙරට බිහිවීමට ඉඩ නොදෙනවා යන්නෙන් ජනාධිපතිවරයා අදහස් කරන්නේ ඇතැම් විට මෙම තත්ත්වය විය හැකිය. තවද ඩීන් ඩියම් සහ එම පාර්ශව අතර පවතින බොහෝ සමානතා මෙම උදාහරණයෙහි පවතින නිවැරදි බව තවත් තීව්‍ර කරයි.ඩීන් ඩියම්ද බලයට පැමිණීමට පෙර සිටම බලය ඩැහැගැනීම නොයෙක් ආකාරයේ උත්සාහයන් දැරුවේය. අවසානයේ ඔහුට බලය ලබාගැනීමට උපකාර කළේ කතෝලික පල්ලියයි.බලයට පැමිණි පසුව ප්‍රජාතන්ත්‍ර විරෝධීව මැතිවරණ නොපවත්වා ඒකාධිපතියෙකු ලෙස කටයුතු කළේය.මෙරටෙහි ද ඇතැම් පාර්ශව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විශ්වාස නොකරන බව එළිපිට පැවසීම පසුගිය දිනවලදී දැකගැනීමට හැකිවිම ඩීන් ඩියම්ලාගේ අවතාර අප අතරද සිටින බවට නිදසුන්ය.


ආගම පැවතිය යුත්තේ පෞද්ගලික වසමේය.අතීතයේ පටන්ම ආගම සහ දේශපාලනය එකිනෙක පටලවා ගැනීමෙන් රටක්‌ ලෙස අපිට බොහෝ දෑ අහිමි විය.ව්‍යාජ දේශප්‍රේමය සහ ආගමික භක්තිය මිනිසුන්ගේ ඇස් බැඳ තැබීය.රටක උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් යම් ආගමක් රාජ්‍ය ආගම ලෙස පිළිගැනීම සිදුනොකළ යුතු වන්නේ එබැවිනි. වැදගත්ම කරුණ නම් සියලු ලබ්දීන්වලට වඩා ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින් පවතින බව අප විසින් තේරුම්ගත යුතුවීමයි.ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන්නා අන් සියළු ආගම්වලට ගරු කරයි.ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස නොකරන්නා අන්‍යන්ගේ අයිතීන්වලට ගරු කරන්නේ නැත.එබැවින් ඩීන් ඩියම් පන්නයේ, ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස නොකරන පාලකයන් සහ ඩීන් තක් වැනි ආගමික නායකයන් එක්ව සාදා ගන්න අශුද්ධ සන්ධානයන් තුළින් පුරවැසියන් වෙත යහපතක් සිදුකරනු ඇතිද යන්න ප්‍රශ්න කළ යුතුය.


Thursday, November 24, 2022

ගල් අගුරු ප්‍රසම්පාදනය පෞද්ගලික අංශයට දුන්නොත් වඩා කාර්යක්ෂම වේවි - කාංචන

 


රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය නිවැරදි වේලාවට ලබාගැනීම අපොහොසත් වී ඇති බවත් ඇතැම්විය අඩුම මිලට ගැනීමටද නොහැකි බව බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අද(25දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගල්අගුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවයා මේබව පැවසු අතර ගල්අගුරු ප්‍රසම්පාදනය පෞද්ගලික අංශයට ලබාදුන්නහොත් මීටවඩා කාර්යක්ෂමව අඩු මුදලට ගල්අගුරු ලබාගැනීමට හැකිවනු ඇති බවද අමාත්‍යරයා කීවේය,

“විගණකාධිපතිට යටත් කරලා තියෙන රජයේ ප්‍රසම්පාදනය තමයි තිබෙන ලොකුම හොරකම. ඒකට ඉදිරිපත්කරලා තියෙන මාර්ගෝපදේශ පත්‍රිකා හදලා තියෙන්නේ සැපයුම්කරුවො දෙන්නෙක් තුන්දෙනෙක්ට එන්න පුළුවන් විදිහට විතරයි. අනිත් අයට ඉල්ලුම්කරන්නවත් බැහැ.  ගල්අගුරු ප්‍රසම්පාදනය පෞද්ගලික අංශයට දුන්නොත් ඒක අපි කරනවාට වඩා ඉක්මනට අඩුවෙන් කරන්න පුළුවන්. බඩුටිකත්ඉක්මණින් ගෙන්න පුළුවන්. හැබැයි රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කිව්වාම නිලධාරීනුත් අපහසුතාවයට පත්වෙනවා. අවම මිල ගණන්වලටත් වඩා වැඩියෙන් තමයි ගන්න වෙන්නේ.

ඒ වගේම විදුලිය සම්බන්ධ ප්‍රශ්නයක අපි ඉන්නේ. ඒ නිසා ගාස්තු අඩුකරන්න හෝ විදුලිය නොමිලයේ  දෙන්න බැහැ. මොකද දැන් තියෙන්නේ අපිට මුදල් නැති නිසා අවශ්‍ය ඉන්ධන ගන්න බැරි ප්‍රශ්නයක්. මේ නිසා රජයේ ගොඩනැගිල වලට ආගමික සිද්ධස්ථාන සහ තෝරාගත් ගොඩනැගිලි වලට සුරියපැනල  ලබාදීමට අපි කටයුතු කරනවා.යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 

හිටං හුටං කියන දේවල් අපිට අදාළ නැහැ - ගහලා එළෙව්වත් අපි පක්ෂය දාලා යන්නේ නැහැ

 

 

 

“ගහලා එළෙව්වත් අපි පක්ෂය දාලා යන්නේ නැහැ.  පක්ෂයට රිංගපු අවස්ථාවාදීන් පක්ෂය පාවා දුන්නා” යැයි නිදහස් පක්ෂයේ මතුව තිබෙන අර්බුධකාරී තත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට  මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. එමෙන්ම තමන් ආණ්ඩුවට සහාය පළකළ ද කිසිදා පක්ෂය අත්හැර නොයන බව ආණ්ඩුවට සහාය පළකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු ද එහිදී ප්‍රකාශ කළහ.  

ආණ්ඩුවට සහාය පළකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජන කරන මන්ත්‍රිවරුන් 09 දෙනෙකු කොළඹදී මෙම  විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා - "මේ පිරිස නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් තියෙනවද? පක්ෂයට රිංගපු අවස්ථාවාදීන් පක්ෂය පාවා දුන්නා. පක්ෂ මාරු කළ අය අද අපිට චෝදනා කරනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ගැන. මුල්ම අදහස නිදහස් පක්ෂයෙන්. ඇමතිකම් ගත්ත නිසා සාමාජිකත්වය තහනම් කළාලු. තවම දැනුම්දීලා නැහැ ඒ ගැන. ගහලා එළෙව්වත් අපි පක්ෂය දාලා යන්නේ නැහැ"

රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර - "හිටං හුටං කිව්වේ දයාසිරි. එහෙම කියපු අය ලේකම් කරලා පක්ෂය විනාශ කළා. පක්ෂයේ සභාපති ඇමතිකම් ගැන ඇහුවේ දයාසිරිලා, ශාන්ලා සාකච්ඡාවට ගියේ. මහවැලි ඇමතිකම බලාපොරොත්තු වුණා. ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති යටතේ තියාගත්තා. මහවැලියේ වැලි කපන්නද දන්නේ නැහැ. තවත් කෙනෙක් ක්‍රීඩා අමාත්‍යංශය ඉල්ලුවා. නොලැබුණු නිසා දැන් හිතේ අමාරුවෙන් ඉන්නේ. මේ අයගේ පැටිකිරියේ ඉතුරු ටික හෙට කියනවා."

දුමින්ද දිසානායක - "දින 52 ආණ්ඩුවේ අපි කවුරුත් දන්නේ නැතිව.. මහින්ද මහත්තයා අගමැති කළා. එදා මහින්ද මහත්තයා හොඳයි. අපිටත් පක්ෂය ඇතුළේ තිබෙන අර්බුදය තමා අවුල."

ප්‍රශ්න - "ඔබතුමා වගකීමෙන් කියනවද, ඔබතුමා ආණ්ඩුවට එකතුවෙන්න හදන්නේ ඇමති ධුරයක් ගන්න නොවෙයි කියලා ?"

"වගකීමක් භාර දුන්නොත් මම ඒක ඉටු කරනවා. 225ටම වගකීම් භාරදෙන්න"

ප්‍රශ්න - "ඔබතුමන්ලාගේ ඒකායන බලාපොරොත්තුව චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය එක්ක කටයුතු කිරීමද ?"

"පැහැදිලිව නැහැ. අවශ්‍ය හරි දේ සිදු කිරීම මිස නායකයින් පසුපස යාම නොවෙයි."

රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, "පළමු 11 දෙනාගේ කණ්ඩායමනේ මේ ඉන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ"

ප්‍රශ්න - "දැන් මේ ටීම් එක දාලා ගස්සන්න පුළුවන්ද ?"

"පුළුවන්.. පුළුවන් මොනවද කියන්නේ, හොඳ බැට්ස්මන්ලා ඉන්නවා, බෝලර්ස්ලා ඉන්නවා."

 

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, "ඔය දෙන්නට පුළුවන්නම් කියන්නකෝ කුරුණෑගල එක ප්‍රාදේශීය සභාවක් දිනලා පෙන්වන්න කියලා, ටැංකිවල ඉන්නවා ටැංකි සුද්ධකරන මාළුවෙක්. ටැංකි සුදා කියලා කියන්නේ, ඒ වගේම තමයි ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ සුදා සුද්ධ කරනවා. ACCOUNT එකත් එක්කම. ඒ ඔක්කොම සුද්ධ කරලා ටැංකි සුදා පක්ෂයත් සුද්ධ කරලා ඉවර කරන්න තමයි දැන් හදන්නේ. නයා මැරුණම අහිකුණ්ඨකයාට සෙනඟ එන්නේ නෑනේ, නයා නටවනකොටනේ සෙනඟ එන්නේ, මෙතන නයි ටික ඉන්නවා අහිකුණ්ඨකයෝ එතන ඉන්නවා."

ලෝක කුසලානයට සහභාගීවූ නිලධාරීන්ට දිනකට ඩොලර් 800ක් ගෙවලා...



පසුගිය ක්‍රිකට් තරඟාවලි දෙකකදීම තරඟාවලියේ වීරයා බවට පත්වී ඇති චාමික කරුණාරත්න ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වලදී දෙවන ස්ථානයේ පසුවන අවස්ථාවකදී ඔහු ජාතික කණ්ඩායමට තෝරා නොගැනීම පිළිබඳ ක්‍රිකට් තේරිම් කමිටුවෙන් ලිඛිතව විමසිමක් සිදු කරන ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය  රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුනනේය.

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී යම් ආගමික කල්ලියකට අයත් ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නා බවට මතයක් පවතින බවත්, පසුගිය කාලය තුළ දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ජාතික කණ්ඩායමට තෝරා නොගන්නේ උක්ත ආගමික මතවාදයට එකඟ නොවූ නිසා බවට රාවයක් පවතින බවද මන්ත්‍රීවරු පැවසූහ.

 

මේ අදහස් පළ වූයේ ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය  රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්    පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

පසුගිය ‍ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය සහිතව විදෙස්ගතවූ නිලධාරින් පිලිබඳ සොයා බැලිය යුතු බවට මෙහිදී අදහස් පළ විය. සියළු පහසුකම් සහිතව දිනකට ඩොලර් 800ක වියදම් මුදලක් එක් අයෙකු වෙත ගෙවා ඇති අතර නිලධාරීන් නොවන පිරිස්ද ඉහත පහසුකම් යටතේ සංචාරයට සහභාගී වී ඇති බවද මන්ත්‍රීවරු සඳහන් කළහ.

එමෙන්ම, T20, T10 සහ LPL තරඟාවලි පැවැත්වීමේදී මුදල් භාවිතය සම්බන්ධව විධිමත් නියාමනයක් ක්‍රිඩා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අවශ්‍ය බව මන්ත්‍රිවරු මෙහිදී පෙන්වා දුන්හ.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍ය  රෝහණ දිසානායක,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන සරත් වීරසේකර, කාවින්ද ජයවර්ධන, නලින් බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ජගත් සමරවික්‍රම, වීරසුමන වීරසිංහ, සම්පත් අතුකෝරළ, චින්තක මායාදුන්නේ, වරුණ ප්‍රියන්ත ලියනගේ, මොහොමඩ් මුසාම්මිල්, මුජිබර් රහුමාන් මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන නියෝජනය කරන නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Wednesday, November 23, 2022

සිරිසේන දාපු ලේකම් පිළිගන්නේ නැහැ - එජනිසයේ පක්ෂ කියයි




එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස තිලංග සුමතිපාල පත් කිරීමට ගෙන ඇති තීරණය තමන් පිළි නොගන්නා බව සන්ධානයේ හවුල්කාර පක්ශ ප්‍රකාශ කර තිබේ.

මහජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් තිස්ස ජයවර්ධන යාපා, ඊළාම්  ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහලේකම් ඩග්ලස් දේවානන්දාජාතික කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ඒ.එල්. එම් අතාවුල්ලා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම් අසංක නවරත්න හා දේශ විමුක්ති ජනතා පක්ෂයේ ප්‍රධාන ලේකම් කලංසුරිය ඇතුළු පිරිසකගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් ඔවුහු මේ බව පවසා ඇත.

පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති එහි මධ්‍යම කාරක සභා රැස්වීමේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයට තිලංග  සුමතිපාල පත් කළ බව එහි හවුල්කාර පක්ෂ ලෙස  තමන්ද දැනගත්තේ මාධ්‍ය ඔස්සේ බවද එම නිවේදනයේ සඳහන් වේ.

 එම ප්‍රවෘත්තිය පිළිබඳව තමන් විමතියට පත් වූ බවද එම නිවේදනයේ දැක්වේ. සන්ධානයේ මහ ලේකම්වරයාව සිටි මහින්ද අමරවීර එම තනතුරෙන් ඉවත් කිරීම පිළිබඳව හෝ නව ලේකම්වරයෙකු පත් කිරීම පිළිබඳව තමන්ට කිසිදු පූර්ව දැනුම්දීමක් සිදුකර නැතැයි ද එම නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 



ජනපතිගෙන් සියලු පක්ෂ වලට ආරාධනාවක්

 


 

මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික හමුවක් කැඳවන බවත් ඒ සඳහා සියලු පක්ෂවලට එක්වන ලෙසත් ජනාධපති රනිල් වික්‍රමසිංහ මහතා අද(23දා) පාර්ලිමේන්තුවේදී ආරාධනා කළේය.

අයවැය විවාදයෙන් පසුව එළැඹෙන සතියේ එම සාකච්ඡාව කැඳවන බවද ජනාධිපතිවරයා පොරොන්දු විය.