Monday, December 26, 2022

පිල් පවුරු වළලු බිඳ දමා





 සොයුරු සොයුරියනේ

සකල දේශවාසී

දෙදරා ගිය රට යළි ඉදි කරනුව

පිල් පවුරු වළලු බිඳ දා

පටු හටන් ගැටුම් නවතා

විය යුතුය ඒකරාශී


බිලිපූජා ගන්නට වියරු වැටී

ආවත් ජල දළ රළ රකුසන්

ගිනිබිය රෝබිය දිය කඳුරු විදා 

අළු දූලි කළත් අප සොයුරන්

ඒ දූලි මතින් නැගිටිමු අලුතින්

ගොඩනගමු අපේ රට සොයුරු සොයුරියනේ


පුදදුන් පණනල දස දහස් ගණන්

මිහිදන් වී ඇති මේ පොළොවේ

හෙට වෙනුවෙන් මල් ඵල හිසින් දරා

සුහුඹුල් තුරුවැල් යලි මතුවේ

නොවැටෙමු දෙදණින් අපි දිවිහිමියෙන්

රැකගනිමු අපේ රට සොයුරු සොයුරියනේ


සොයුරු සොයුරියනේ....


මෙම ගීතය කණ නොවැකුණ ශ්‍රී ලාංකිකයෙක් නැති තරම්.අදින් වසර 18 කට පෙර සමස්ථ ශ්‍රී ලංකාවම උඩු යටිකුරු කළ ඒ ඛේදජනක සිදුවීම වෙනුවෙනුයි මෙම ගීතය ලියවුනේ.වටිනා වූ මනුෂ්‍ය ජීවිත දහස් ගණනක් අහිමි කරමින් ගොඩබිමට ඇදුණු ඒ ප්‍රචණ්ඩකාරී රළ විසින් අපට සිදුකරනු ලද තුවාලයන්හි වේදනාවන් අමතක කිරීමට ජාතියක් ලෙස අපිට හැකියාවක් කිසිදා නොවනු ඇත. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත මෙම ගීතය පළමුවෙන්ම ගායනය කෙරෙන්නේ සුනාමි ඛේදවාචකයෙන් මියගිය සහෝදර සහෝදරියන් සිහිකිරීම වෙනුවෙන් 2004 වසරේ දෙසැම්බර් 31 දින පැවැත්වුණු අධිෂ්ඨාන පූජාවක් අවසානයේදී ය. එම අධිෂ්ඨාන පූජාව සඳහා සර්වාගමික පූජක උතුමන්ලා වගේම එවක ජනාධිපතිව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ ඇතුළු පිරිස් කිසිඳු දේශපාලන භේදයකින් තොරව සහභාගී වීම මෙහි සුවිශේෂීත්වය තවත් තීව්‍ර කළේය."ජාතිය ගොඩනැගීමේ ගීතය" ලෙස නම් වුණු මෙම ගීතය සැබෑ ලෙසම බලාපොරොත්තු සුන්වී බිඳ වැටී ගිය දේශයෙහි බලාපොරොත්තු අවදි කරවන ගීතයක් විය.


මෙම ගීතය තුළින් ලබාදෙන පණිවිඩය මනාව තේරුම් ගත හැකිවේනම් එය අන් කවරදාටත් වඩා වර්තමානයට උපකාරී වේ යැයි හැඟේ.එදා ජාතියක් ලෙස දරුණු ස්වභාවික ව්‍යවසනයකට මුහුණ දුන් අපි වර්තමානයේ අපේම පිරිස් විසින් නිර්මාණය කළ දරුණු "ආර්ථික සුනාමියකට" හසුව සිටිමු. එදා 2004 දී අපි මුහුණ දුන් සුනාමිය එක්වරම පැමිණ සැණෙකින් මහා විනාශයක් කොට පහව ගියත්, මෙම ආර්ථික සුනාමිය එසේ එක්වරම පහව යාමට සූදානමක් නැත.ඇතැම් විට එය අපිට සිදුකරන බලපෑම දශක ගණනක් තරම් විය හැකිය.


මෙම ආර්ථික සුනාමියෙන් ගොඩ ඒමට හැකිවන්නේ පාට පක්ෂ භේද අත්හළ සාමූහික ප්‍රයත්නයකින් පමණක් බව සියලු දෙනා තේරුම් ගත යුතුය. වගකීම එකිනෙකා වෙත පවරමින් වගකීමෙන් වියුක්ත වෙමින් චෝදනා කිරීම වෙනුවට රට වැටී ඇති අගාධයෙන් ගොඩට ගැනීමට සියලු දෙනාගේ සහයෝගය ලබාදීම එකී පාර්ශවවල යුතුකම වන්නේය. දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී ආත්මාර්ථයන් පසෙකලා බහුතරය වෙත සුබදායී ප්‍රතිපල ලැබෙන අයුරින් කටයුතු කිරීමට දේශපාලන අධිකාරිය කටයුතු කළ යුතුය. දේශපාලන කුහකත්වය තුළින් පාලනය කරනු ලබන දේශපාලන ධාරාවන් වටහා ගතයුතු සත්‍යය මෙයයි. රටක්‍ ලෙස මෙම සාමූහික වගකීම තේරුම් ගැනීමට අපොහොසත් වීම නිසා ඉතිහාසය පුරාම අප වෙත පැමිණි ස්වර්ණමය අවස්ථාවන් රාශියක් අපි විසින්ම විනාශ කර දැමීමේ දරුණු ප්‍රතිපල අපි අත්විඳිමින් සිටින්නෙමු.නැවතත් එම වැරැද්ද අපි ඉටු කිරීමට සැරසෙමින් සිටින්නේ නම් ඊටත් වඩා අවාසනාවක් ඉදිරි පරම්පරාව ලෙස අපි වෙත උරුම නොවෙනු ඇත.


දේශපාලනය යනු ක්‍රීඩාවකි. මිනිස්සු එහි පිල් බෙදී ක්‍රීඩා කරති. ක්‍රීඩාවට තරඟය අත්‍යවශ්‍ය. නමුත් ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා වන්නේ තරඟය මතම නොවේ. කාට ක්‍රීඩා කිරීමට වුවද පිටිය අවශ්‍යයය. පිටිය විනාශ වෙන අවස්ථාවේදී පිටිය බේරා නොගතහොත් ක්‍රීඩා කිරීමට තැනක් නොමැති බවද මෙම ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයෝ මැනවින් අවබෝධ කරගත යුතුය. 

එහෙයින් පළමුව එක්ව පිටිය රැකගනිමු. පිටිය සකසා ගෙන ක්‍රීඩා කිරීම පසුව කළ හැකිය.


- සහන් තෙන්නකෝන්

Thursday, December 22, 2022

සිමිත කාලයකට ඡන්දෙ කල්දැමීම ප්‍රජාත්‍රන්ත්‍රවාදය හකුලාගැනීමක් නෙවෙයි

 



 










සිමිත කාලයකට ඡන්දෙ කල්දැමීම ප්‍රජාත්‍රන්ත්‍රවාදය හකුලාගැනීමක් නොවන බව ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි. පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව දිනමිණ පුවත්පත සමග සංවාදයකට එක්වෙමින්  ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා  මේබව පවසා ඇති අතර එම සංවාදය මෙසේය,

පළාත් පාලන ආයතනවල නිල කාලය අවසාන වෙමින් පවතින නිසා පළාත් පාලන මැතිවරණය සඳහා සූදානමක් පවතිනවා. මේ කාලය පළාත් පාලන මැතිවරණයක් සඳහා සුදුසු කාලයක්ද?

නිල වශයෙන් පළාත් පාලන මැතිවරණයක් සඳහා කාලය පැමිණ තිබෙනවා. මැතිවරණයක් කියන්නේ ප්‍රජාත්‍රන්ත්‍රනාදී ක්‍රියාදාමය තුළ අනිවාර්ය අංගයක්. නිසා ඡන්දයක් එපා කියලා කියන්න අපට බැහැ. ඒත් රට තුළ පැවති විවිධ අර්බුද සහ ගැටලු නිසා මීට පෙරත් පළාත් පාලන මැතිවරණ මාස හයක් අවුරුද්දක් වගේ කල් ගිය අවස්ථා තිබෙනවා.

මැතිවරණයක් පැවැත්වීම කොතෙක් දුරට රටේ පවතින අර්බුදකාරී තත්ත්වය ග්‍ර වීමට හේතුවක්ද කියන එක සලකා බැලිය යුතුයි. අපේ රටේ පළාත් පාලන ආයතන අවුරුදු තිහකට වැඩි කාලයක් ක්‍රියාත්මක වුණා. ඒත් ආයතනවලින් සිදු විය යුතු නිසි සේවය නිසි විදිහට ඉටු වුණාද කියන කරුණ සලකා බැලිය යුතුයි. පළාත් පාලන ආයතනයකට ලොකු වැඩ ප්‍රමාණයක් ග්‍රාමීය මට්ටමින් නාගරික මට්ටමින් කරන්න පුළුවන්. ඒත්, දේවල් හරියට ඉටු නොවුන බවයි මගේ පුද්ගලික මතය වගේම සමාජයේ සැලකිය යුතු ප්‍රමාණයක මතය. ආයතනයක නිල කාලය දිගු කරනවා නම්, ගැනත් අවධානය යොමු කළ යුතුයි. පළාත් පාලන ආයතනයකින් නිසි විදිහට වැඩ කරන්නේ නැති නම් එවැනි ආයතනයක් පවත්වා ගෙන යායුතු ආකාරය ගැන වෙනම අධ්යයනය කළ යුතුයි.

 

ඔබ කියන්නේ පළාත් පාලන මැතිවරණය නිශ්චිත කාලයකට කල් දමා ආයතන නිල කාලය දිගු කරනවා නම් එය නිසි ක්‍රමවේදයකට අනුව කළ යුතු බවද?

ඔව්, කොමසාරිස්වරයකු යටතට ආයතන පත් කරනවා නම් හෝ නිල කාලය දිගු කරනවා නම් එය හිතුමතේ කිරීම නොකළ යුතුයි. ඉදිරි වසරක හෝ මාස හයක කාලය තුළට නිශ්චිත වැඩසටහනක් මඟ පෙන්වීමක් තියෙන්න ඕනෑ. මම නම් යෝජනා කරන්නේ එවැනි නිසි වැඩපිළිවෙළක් තුළ වැඩකටයුතු කළ යුතු බවයි. එමඟින් පළාත් පාලන ආයතනවල අරමුණු නිසි ආකාරයට ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙනු ස්ථිරයි.

 

එහෙත් අද ඇති තත්ත්වය තුළ පළාත් පාලන මැතිවරණය කල් දැමීමක් සිදු වුවහොත් එහි පසුබිම ගැන ඔබේ විග්‍රහය පැහැදිලි කළ හැකිද?

නීතිය අනුව බැලූ බැල්මට මැතිවරණය පැවැත්විය යුතුයි.ඒක නීතියට අනුව හරි දෙයක්. ඒත් අපි රටේ තියෙන ප්‍රායෝගික තත්ත්වය ගැන සලකා බලන්න ඕනෑ අද රට තියෙන්නෙ ආර්ථික වශයෙන් හොඳ තත්ත්වයක නොවෙයි. නිසා මැතිවරණයක් පවත්වද්දි මූලිකව බලන්න ඕනෑ දෙයක් තියෙනවා. කරුණ තමයි අද රටේ ආර්ථික තත්ත්වය අනුව මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වටපිටාවක් ආර්ථික තත්ත්වයක් තියෙනවාද කියලා සොයා බැලිය යුතුයි. සාමාන්‍ය මැතිවරණයකට විශාල මුදලක් වියදම් වෙනවා. එහෙත් මේ මොහොතේ ඒවගේ මැතිවරණයකට වියදම් කරන්න මුදල් තියෙනවාද? මුදල් ප්‍රමාණය සොයා ගන්නේ කොහොමද? කියන එක ගැටලුවක්. දැන් තියෙන තත්ත්වය අනුව සල්ලි අච්චු ගහන්නත් බැහැ. මැතිවරණය නිසා දෛනිකව සිදු කරන රටේ වැඩ නවත්වන්නත් බැහැ. එනිසා මම පෙර සඳහන් කළා වගේ සීමිත කාලයක පළාත් පාලන මැතිවරණය කල් දමනවා නම් ආයතන විසුරුවා හැර කොමසාරිස්වරයකු යටතට පත් කරන්න පුළුවන්. මීට පෙරත් පළාත් පාලන මැතිවරණය කල් දැමූ අවස්ථාවල කොමසාරිස්වරු පත් කරනු ලැබ තියෙනවා. වගේම මැතිවරණය කල් දමනවා නම් පළාත් පාලන ආයතනවලට නිශ්චිත ඉලක්කයක් දෙන්න ඕනෑ ඉතිරි කාලය තුළ ඉටු කළ යුතු කාර්යභාරය පිළිබඳව. එහෙම වුණොත් අඳුර මැද රිදී රේඛාවක් දැක ගැනීමට හැකියාව ලැබේවි.

 

ඔබ අදහස් කරන මැතිවරණය පැවැත්විය යුතු කාලය ලෙස ඔබ දකින්නේ කොයි කාලයද.?

මම කියන්නේ නැහැ අවුරුදු ගණන් මැතිවරණ කල් දමන්න කියලා. මගේ මූලික අදහස තමයි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාවක් ඇත්තේම නැතිනම්, අයි.එම්.එෆ් ණය මුදල ලැබෙන තෙක්වත් මැතිවරණය පැවැත්වීම කල් දැමිය යුතුය යන්න.

 

ඒත් සමහරුන්ට පෙනෙන්න පුළුවන් මෙය ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දැමීමක් කියලා.

සාධාරණ හේතුවකට සීමිත කාලයකට මැතිවරණය කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දැමීමක් විදිහට හඳුන්වනවා නම් ඒක සුදුසු දෙයක් නොවෙයි. අප සෑම දෙයක් ගැනම මැදහත්ව කල්පනා කර අදහස් ප්‍රකාශ කිරීම තමයි වඩාත් හොඳ දේ වන්නේ.

  

රජය යෝජනා කර තිබෙනවා මැතිවරණයකට අපේක්ෂකයකු වියදම් කළ යුතු මුදල සීමා කළ යුතු යෝජනාවක්, ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද.?

මෙය ඉතාමත් හොඳ යෝජනාවක්, ඇත්තෙන්ම මේ යෝජනාව ක්‍රියාත්මක කළ යුතුව තිබුණෙ කලකට පෙරයි. ඒත් එවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වී හෝ උනන්දු වීම ගැන සතුට පළ කළ යුතුයි.