Friday, December 30, 2022

මෝදි මැතිණියගේ අහාවය පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමය ශෝකය පළ කරයි

 ලෝවට මහා ආදර්ශමත් උත්තම පුරුෂ මාතාවක් වූ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි මැතිතුමන්ගේ මෑණියන් වූ  හීරාබෙන් මෝදි මැතිණියගේ අහාවය  පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සිය බලවත් හෘදයාංගම ශෝකය පළ කරයි.

 


ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති   දඹදිව සාංචි චේතියගිරි විහාරාධිපති හා ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ මෝදි මාතාවගේ  අභාවය පිළිබඳ ශෝක ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ ,

" වයස අවුරුදු 99 ක් ආයු වළඳා  අභාවප්‍රාප්ත වූ හීරාබෙන් මෝදි මාතාව රටට ලෝකයට වැඩදායි දරුවන් බිහි කරලීමේ උත්තුංග ආදර්ශය ලබා දුන් ගෞරවනීය භාරත මාතාවක් බවයි.

ඇය කිසිවිටෙකත් තම   පුතුනුවන් මහා ඉන්දියාවේ

අගමැති බව නොසැලකූ ,එම වරප්‍රසාදයන් තම ජීවිතයේ කොටසක් කර නොගත්,තමා  ගතකළ සාමාන්‍ය ජීවිතයෙන්  මතකට හෝ ඔබ්බට නොගිය මහා ආදර්ශමත් මාතාවකි.

ඇයගේ ඒ නිහතමානිත්වයට ඉන්දියානුවන් පමණක් නොව ලෝකවාසී ජනතාව ද මහත් ගෞරවයෙන් සැලකූහ.

ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි  අගමැති තුමන් සිය  මෑණියන්ගේ අභාවයේ දී ප්‍රාර්ථනා කළ පරිදිම  "මහිමාන්විත ශතවර්ෂයක් දෙවියන් වහන්සේගේ පාමුල රැඳේවා" යන්න අපිදු ඇයට ප්‍රාර්ථනා කරමු.

බුදු දහමට අනුව අපි ඇයට නිවන් සුව පතමු.

 

පූජ්‍ය බානගල උපතිස්ස

සභාපති

ශ්‍රී ලංකා මහාබෝධි සංගමය

Thursday, December 29, 2022

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත්කරනවාට සජිත් විරුද්ධයි?

 


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බාධාකිරීම් හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් සාමාජිකයින් පත්කිරිම කල්දැමීට සිදුව ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් සාමාජිකයින් පත්කිරීම අග්‍රාමාත්‍යවරයා කතානාකවරයා සහ විපක්ෂ නායකවරයාගේ ඒකඟතාවයෙනි.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් සංඛ්‍යාව 10 කි. එයින් සිවිල් සාමාජිකයින් සංඛ්‍යායාව 03 කි.  සිවිල් සාමාජිකයින් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ඊයේ(29දා) පාර්ලිමේන්තු සංකීරණයේදී සාකච්ඡාවක් පැවති නමුත් එයද එකඟතාවයකින් තොරව අවසන්වී ඇත.

 මේවනවිට මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අවසන්වී ඇති අතර ඒ් සඳහා සාමාජිකයින් පත්කිරීමටනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්විය යුතුය. මැතිවරණ කොමිසමට නව සාමාජිකයින් පත්කිරීමට සමගි ජනබලවේගය විරුද්ධ වීම හේතුවෙන් විපක්ෂ නායකවරයා මේ සඳහා ඒකඟතාවය ලබානොදී ඇත.

 

රතු තටු විදහා මත්තලට පැමිණි ගුවන් කුරුල්ලා


සංචාරකයින් 412 කු රැගත්  බෝයිං 777 වර්ගයට අයත් රෙඩ් වින්ග්ස් රුසියානු ගුවන් යානය අද පෙරවරුවේ මත්තල ගුවන් තොටුපළට පැමිණියේය.

මොස්කව් සිට පැමිණි මෙම ගුවන් යානය රැසියාවේ ජාතික ගුවන් සමාගමට අයත් ඒකකි. අද සිට සතියට ගුවන් ගමන් වාර දෙකක් මොස්කව් සහ මත්තල අතර පියාසර කිරීමට නියමිතව ඇති බව ගුවන්තොටුපොළ කළමණාකරු පැවසීය.

සිරිසේන කෑගැහුවට වැඩක් නැහැ - පක්ෂෙ තියෙන්නේ අපි ලඟ

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවනවිට කොටස් කිහිපයකට කැඩී ගොස් ඇති අතර නිදහස් පක්ෂ මුලස්ථානයේ ඉතිරිව ඇති මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයේ  පිරිස ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. මේ අතර විවිධ පාර්ශව විසින් ශ්‍රිලනිප සභපති ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපය විවේචනයට ලක්වෙමින් තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිබෙන්නේ තම කණ්ඩායම අතේ මිස ශ්‍රී.ල.නි.ප බෝඩ් එකේ හෝ ඩාලි පාරේ ගොඩනැගිල්ලේ නොවෙන බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙසැම්බර් 31 දින 60 වන වරටත් කතරගම කිරිවෙහෙර අබියස පවත්වන  පිරිත් පිංකම පිළිබඳව දැනුවත් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව කීය.

මෙම මාධ්‍ය හමුවට පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාද සහභාගී විය.

මෙහිදී ප්‍රශ්නයක් නැගූ මාධ්‍යවේදියෙක් විමසූයේ ශ්‍රිලනිප  පිරිත් පිංකම පිරිසක් විසින් ආක්‍රමණය කරන ලද බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් මහලේකම්වරයා ප්‍රකාශයක් කර ඇති බවයි.

ඊට පිලිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කීවෙි ශ්‍රිලනිප මහලේකම්වරයා එම කාරණය පිළිගැනීම ම හොඳ දෙයක් බවයි.

 

Wednesday, December 28, 2022

මෙරට පළමු කාෂි රසායනාගාරය නැගෙනහිරින් ඇරඹෙයි

 

කාර්මික තාක්ෂණ ආයතනය සහ නැගෙනහිර පළාත් සභාව එක්ව මෙරට  ප්‍රථම වතාවට ISO ප්‍රමිතියෙන් යුතු කෘෂි තාක්ෂණ රසායනාගාරයක් ඇති කිරීම සදහා වන අව‌බෝධතා ගිවිසුමට අත්සන් තැබිම  පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

ආණ්ඩුකාරවරිය විසින් ක්‍රියාවට නංවන  ලද දැයට හිතැති තිරසර කෘෂි සංස්කෘතිය නමැති  ව්‍යාපෘතියට සමගාමිව මෙම නව රසායනාගාරය ඉදිකෙරෙණු ඇති.

එම ගිවිසුමට අත්සන් කිරීම සිදුවුයේ  නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්. රත්නායක සහ කාර්මික තාක්ෂණික ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් ජේ.කේ.ආර්.රාධිකා සමරසේකර අතරය.

මෙම නව රසායනාගාරය හරහා කාබනික පොහොර සහ යෙදවුම්, බීජ සහ රෝපණ ද්‍රව්‍ය, කෘෂිකාර්මික ආහාර සහ පස් නියැදි පරික්ෂාව සිදු කෙරෙන අතර එම සහතික සදහා දේශිය සහ  විදේශිය වටිනාකමක් ලබාදිමද විශේෂත්වයකි.

දැනට දිවයිනේ  මෙවැනි රසායනාගාර 2ක් මහඉලුප්පල්ලම සහ ගන්නෝරුව කෘෂි  පර්යේෂණ ආයතන වල පිහිටා ඇති අතර කාර්මික තාක්ෂණ ආයතනයේ මැදිහත් විමෙන් සියලු පහසුකම් වලින් සපිරි ISO ප්‍රමිතියෙන් යුතු මෙවැනි රසායනාගාරයක් නොමැත. මේ අතර කාබනික කෘෂි නිෂ්පාදන  වලට රසායනාගාරයක සහතිකයක් තිබිමෙන් ජත්‍යන්තරය තුල ඉතා ඉහළ වටිනාකමක් ලැබෙන අතර ජත්‍යන්තර වෙළදපොළ ජයග්‍රහණය කිරීමේ පහසුවද සැලසේ.

යෝජිත නව රසායනාගාරය ඉදි කිරීමෙන් දැනට කෘෂි ‌බෝග බහුල වශයෙන්  වගා කෙරෙන උතුරු මැද සහ උතුරු පළාත් වල ගොවින්ට ද දුර බැහැර නොගොස් මේ හරහා පරීක්ෂණ කටයුතු සිදු කර ගැනීමටද හැකිවිම  විශේෂත්වයකි.

මෙහිදි අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය කියා සිටියේ අද රටේ විශාල ඩොලර් හිඟයක් පවතින බැවින් ගොවින්ට මෙමගින් ලබා ගන්නා වටිනා තත්ව සහතිකයක් මගින් සිය නිෂ්පාදන ජත්‍යන්තර වෙළදපොළට යවා රටට ඩොලර් ගෙන ඒමේ හැකියාව ඇතිවන බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අනුරාධා යහම්පත් මහත්මිය මෙසේද පැවසුවාය.

අපි දැන්  හිතන්න ඕනේ තවදුරටත් ණයට ඩොලර් අරගෙන අපේ ණය කන්ද තවත් ගොඩ ගහ ගන්නවද එසේත් නොමැති නම් අපේ නිෂ්පාදන මෙවැනි ක්‍රම හරහා පිටරට වෙළදපොළට යවලා ඩොලර් හිගයට මුණ දෙනවද කියන එකයි. ජත්‍යන්තර වෙළදපොළට අපේ නිෂ්පාදන යන්න නම් හොද තත්ව සහතිකයක් ඕනේ. ඒ්කට තමයි අපි මේ රසායනාගාරය නිර්මාණය කරන්නේ. කෘෂි තාක්ෂණය අපේ රටේ හොදටම මදි. ඒ නිසා තමයි අපේ  නිෂ්පාදන පිටරට වෙළදපොලට යන එක අඩු වෙන්නේ . අපි මේ මොනවා කිවුවත් යූරියා නැතුව වැඩ කරන්න බෑ කියන ගොවියෝ තාමත් ඉන්නවා. ඔවුන් මේ කරන්නේ අපේ දරුවෝ අසනීපකාරයෝ කරන එක. පරිසරය දූෂණය කරන එක. එසේ නොවි වැඩ කිරීමට අපි කටයුතු කළ යුතුයි.

නව රසායනාගාරය සදහා චීනයේ යුන්හාන් ප්‍රාන්තයේ කෘෂි විශ්ව විද්‍යාලයක් හා  සම්බන්ධ කිරීමට අපි ඉදිරියේදි කටයුතු කරනවා. මොනවා වෙනස් වුනත් මෙය ඉදිරියට ගෙන යන්න කොන්ද සහ උනන්දුව තියෙන්නම ඕනේ යැයි ද ආණ්ඩුකාවරිය වැඩිදරටත් කීවාය.

මේ අවස්ථාවට පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් අයි.ජී.කේ.  මුතුබණ්ඩා , ආණ්ඩුකාර ලේකම් ඒල්.පි.මදනායක ,ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් ඩී.ඒච්.ඒම්.ජයවර්ධන මහතා, ත්‍රිකුණාමල දිස්ත්‍රික් ගොවිසංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Tuesday, December 27, 2022

සංචාරකයෝ පොකුරු පිටින් ලංකාවට

 


ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබෙන අතර දෙසැම්බර් මාසයේ පමණක් හැත්තෑ දහසකට වැඩි සංචාරකයන් පිරිසක් රටට පැමිණෙමින් තිබේ.

මේ වසරේ රටට පැමිණි විදෙස් සංචාරකයින් පිරිස ලක්ෂ 07 සීමාව ඉක්මවා ගොස්  ඇති අතර මේ වසරේ (2022)  සංචාරකයින් ලක්ෂ 08 ක් පැමිණෙතැයි සංචාරක අමාත්‍යාංශය අපේක්ෂා කර තිබුණි. 2018 වර්ෂය අවසාන වන විට ලක්ෂ 19 වැඩි විදෙස් සංචාරකයින් පිරිසක් සංචාරය සඳහා ශ්‍රී ලංකාව තෝරාගෙන තිබුණි.

කෙසේවෙතත් මේ වනවිට සංචාරකයින්ගේ පැමිණීමේ ක්‍රමික වර්ධයනයක් පෙන්නුම් කරන බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

මේවසරේ දෙසැම්ර් 26 දින වන විට මෙරටට පැමිණි මුලු සංචාරකින් සීමාව 701331 කි. ඒයින් 49% ක් මුල් මාස හතර තුළ පැමිණ ඇති අතර ඒම සංඛ්‍යාව 348314 වේ.

මැයි සිට සැප්තැම්බර් මාසය අතර කාලය තුළ මාසිකව වාර්තා වී ඇත්තේ සංචාරකයින් 29 000 ත් 48 000 ත් අතර ප්‍රමාණයකි.

නොවැම්බර් මාසයේ සංචාරක පැමිණීම වැඩිවී ඇති අතර  පුද්ගයින් 59 759 ක් ඒලෙස පැමිණ  තිබේ.  දෙසැම්බර් මාසයේ  26 දින දක්වා සංචාරක පැමිණීම 73 314 ක් දක්වා වර්ධනය වී ඇත.

 

මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්

 

ඉන්දියාව - 119546

රුසියාව -86 990

එක්සත් රාජධානිය - 83818

ජර්මනිය -  54335

ප්‍රංශය - 35011

ඔස්ට්‍රේලියාව - 30020

කැනඩාව - 26343

අමරිකාව - 21662

මාලදිවයින - 17954

පෝලන්නතය - 15062

 

විදෙස් මාධ්‍ය වාර්තා

 

මේ වනවිට ශ්‍රී ලංකාව සංචාරය සඳහා සුදුසු රටක් බවත් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙසත් විවිධ විදෙස් මාධ්‍ය විසින් ලිපි සහ වැඩසටහන් මගින්  සංචාරකයින් දැනුම්වත් කරනමින් සිටියි. ඒමෙන්ම ලබන 2023 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පිරිස තවදුරත් ඉහළ යනු ඇතැයි රජය අපේක්ෂා කර ඇත.

 

රජයේ වැඩපිළිවෙළ

 

වැඩි වශයෙන් සංචාරකයින් රටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල රැසක් ලබන වසරේ ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම්කර ඇති අතර සංචාරකයින් සඳහා පහසුකම් සැපයීම ක්‍රමවත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

ඒමෙන්ම සංචාරක ආකර්ශනය දිනාගන්නා ඩිස්නිලෑන්ඩ් වැනි Theme park ලංකාව තුළ ස්ථාපිත කිරීමට  Sentosa හැදූ ජපන් සමාගම සාකච්ඡා කරන බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය.

ඒමෙන්ම මෙරටට සංචාරක ආකාර්ශනය වැඩි ප්‍රදේශ වල සංචාරකයින් සඳහා පහසුකම් සැපයීම් වැඩිදියුණු කිරීමට ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද අමාත්‍යාංශය සැලසුම් කර තිබේ