Friday, April 5, 2024


 නිදහස් පක්ෂය නැවත නිදහස්.. ද්විපාක්ෂික දේශපාලනය ක වගකීම.- සුභාෂිනී විස්පර්


ශ්‍රී ලංකාවේ පක්ෂ ක්‍රමය බහු විධය. දැනට ලියාපදිංචි පක්ෂ 86 ක් පවතී. එයින් එකම එක පක්ෂයකට වත් තනිව බලයට ඒමට හෝ තනිව ආණ්ඩු හැදීමට නොහැකිය. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිරි ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂයන්  විය. මේ වටා ගොඩ නැගෙන සංධාන මගින් විටින් විට රට පාලනය කරනු ලැබිණි. දක්ෂිනාංශික මාවත එක්සත් ජාතික පක්ෂය සමගත් වාමාංශික පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගත් සංධාන ගත විනි.මේ සම්ප්‍රදාය බිදෙන්නට වන්නේ මහින්ද රාජපක්ෂ යුධ විරුවකු වීම හා සරත් ෆොන්සේකා එයට අයිතිය කීමට පැමිණීමත් සමගය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1951 දී බිහි වන විට එහි සමාරම්භක සාමාජිකයකු වූ මගේ පියා තරුණයෙකි. එතැන් පටන් ඔහුගෙන් පක්ෂය ගැන ඉගෙන ගත් දේ බොහෝය.සිරිමාවෝ ගේ ප්‍රජා අයිතිය අහිමි කරන තුරු උද්යෝගී පාක්ෂිකයකු වූ ඔහුට නැවත තම පක්ෂය ගැන හය්යක් එන්නේ CBK ගේ ගේ නැවත ආගමනය ය. ඒ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහෝ දේශපාලනඥයන්, හා පක්ෂ කිහිපයක් බිහි කල දේශපාලඥයන් ට සෙවන හා දැනුම සපයා තිබුණු මධ්‍යස්ථානය විය. හොරගොල්ල යනු වලව්වක් පමණක් නොව 88-89  භීෂණයේදී ජවිපෙ සමාජිකයන්ගේ ජිවිත සියගණනක් බේරා ආරක්ෂා කරගත් තැනක් විය. කව්රුන් හෝ පක්ෂයෙන් ඉවත්ව යමින් වැඩෙමින් සිටියදී වුව ආපසු එන්නට ඒ හැමෝටම මහා ගෙදරක් තිබුණි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.


සෝදා පාළුවුනු සිරි ලංකාවේ දේශපාලන නායකත්වයන්ගේ අඩුව පිරවුණේ දේශපාලනයට සුදුසුම චරිත වලින් නොවේ.මේ ගැටළුව නිදහස් පක්ෂයටත්, එක්සත් ජාතික පක්ෂයටත් එක ලෙසම බලපෑවේය. නායකත්ව අර් බුධයන් හා දේශපාලන ගේම් නිසා එක්සත් ජාතික පක්ෂයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මුහුණ දුන්නේ එකම ඉරණමකටය. CBK ගේ දේශපාලන ගමන අවසන් කිරීමට සැකසුණු සියළු කරුණු හමුවේ රාජපක්ෂලා පක්ෂයේ බලය අල්ලා ගත්තද නිදහස් පක්ෂය තුල සිටින බුද්ධිමත් හා මද්‍යස්ථ ප්‍රජාව රාජපක්ෂ කරණයට සමස්ථ වශයෙන් නමා ගත හැකි නොවීම හා 2015 දී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වීම යන කරුණු හා ඔහු පක්ෂයේ සබාපති වීමත් සමග රාජපක්ෂ ලා ප්‍රතිවාදීන් වීම නිසාම පක්ෂයෙන් තවත් විශාල පක්ෂයක් බිහි කර ගැනීමට ඔවුන්ට සිදු විය. 

කෙටි කලකින් සෝඩා බෝතලයක් වී දේශපාලන ගේම් මතින් බලයට විත් දැන් පැවැත්ම උදෙසා සටන් කරන්නට වී සිටින තැනට පොහොට්ටුව පත් වී තිබේ. ඒ අනුව රටේ බිහි වූ මහජන පක්ෂය හා පොදු ජන පෙරමුණ වැනි සුවිශාල පක්ෂ වලට පදනම හා මුලීක සෙවන සැපයුවේ සිරි ලංකා නිදහස් පක්ෂයය.එක්සත් ජාතික පක්ෂය එක් වරක් ලලිත් ගාමිණි වෙන් වීම සමගද තවත් වරක් සජබය වෙන් වීම සමගද මේ අවස්ථාවන්ට මුහුණ දෙන ලදී. එහෙත් ඒ පක්ෂ දෙකටම රටේ බලය ලබා ගැනීමට නොහැකි විය.


මා එයින් කීමට උත්සාහ කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිරි ලංකාවේ ජන සමාජයේ තදින්ම මුල් බැසගත් ගත් දේශපාලන මතවාදයේ මහා ගෙදර බව අපට වැටහිය යුතු බවය. මැද මාවතක සිටි පක්ෂය රාජපක්ෂ කරණයෙන් ලැබුවේ පසුගාමී බවකි. අනෙක් අතින් 2014 සිට එහි නායකත්වය පක්ෂය අවගමනයට ගෙන ගියේය. පක්ෂය ගොඩ නැගීමට වඩා එහි නායකයන්ට තිබුණේ පෞද්ගලික දේශපාලන පැවැත්ම ගැන ප්‍රශ්නය. දේශපාලන අර් බුධ වලට මුහුණ දීමේදී නිදහස් පක්ෂයේ පාදම ගැලවී ගොස් ග්‍රාම්‍ය බල අරගල වල සිටින චරිත කිහිපයකට එහි පරිපාලන බලය හිමි විය. ඉදින් ඇමති කම් වලට පක්ෂය මාරුකරමින් පක්ෂය ජිවත් වීමේ මාර්‍ගයක් බවට පත් කරගත්තා මිස මහා දැවැන්ත සෙවන සැපයු වෘක්ෂය යලි ගොඩ නැගීමට අවශ්‍ය කථිකාවත ගිලිහි යන ලදි. පක්ෂය ගොඩ නැගිමකට වඩා කඩා බිඳ දැමීමක් සිදු විය.


ගිය සතියේ සිට පක්ෂ සභාපති සිරිසේන මහතා පුවත් මවන්නට විය. පාස්කු ප්‍රහාරය ගැන අලුතින් ප්‍රහාරයක් සමාජයට පතිත කරන ලදී. ඒ ප්‍රහාරයත් සමග රටට දැයට හිතැති මැද මාවතේ පාක්ෂික යා තවත් පක්ෂය ගැන කල කිරි ඇති මොහොතක ඊයේ සබාපති ධුරය ගැන වාරණ නියෝගයක් ලැබී තිබුණි. පක්ෂයේ හැරගිය හෝ  නැවත ගොඩ වීමට අපේක්ෂාවෙන් එහෙත් දැනට සිටින නිලධාරීන් සමග එකතු වීමට නොහැකිව සිටි නිහඬ පිරිස් අවදි වූ බවක් පෙනුනි. වට්ස් ඇප් කණ්ඩායම් සක්‍රිය විය.මැසෙන්ජර් කණ්ඩායම් සක්‍රිය විය.ඇමතුම් හුවමාරු වෙන්නට පටන් ගත්තෝය. ඔවු.. ඔවුන් ගේ පක්ෂය වසර 10 ක අවගමනයෙන් පසු නැවත නිදහස්‌ වන ලකුණු පහල වීමෙන් ඔවුන්  අවදි වී සිටියහ.


 බොහෝ දෙනෙකුට ප්‍රශ්න තිබුනේ නිලධාරීන් සමග පෞද්ගලිකව නොවේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධව වන්දි ගෙවීමට නියම වූ අධිකරණ නියෝගයක් ලැබී තිබුණත් සිරිසේන පක්ෂයෙන් ඉවත් නොකිරීම ගැනය. ලෝකයේ ඕනෑම රටක මෙවැනි තීන්දුවකින් පසු සියළු තනතුරු වලින් ඉල්ලා අස්වීම කෘතහස්ත දේශපාලඥයකුගේ වගකීමය. ඔහු මන්ත්‍රී ධුරය මෙන්ම පක්ෂ තනතුරු වලද රැඳෙමින් සිටියේ විශාල මානසික අරගලයක බව ඔහුගේ ප්‍රකාශ හා ශරීර භාෂාව අධ්‍යනයේදී වැටහෙයි. කෘතහස්ත මිනිසුන් එවැනි නායකයකු සිටින  තැනකට ගොඩ වන්නේ නැත. 


 දිගුකාලින පාක්ෂිකයකු මෙන්ම පක්ෂයට සේවයක් කල අයකු වුවද ,පසුව එම අරමුණින් විවිධ හේතු නිසා  වියුක්ත වූවද  පක්ෂ සභාපතිත්වය දැරු සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිය යුතු වන්නේ  දැන් ඔබ විශ්‍රාම ගත යුතු බවය. ඔබ විසින් වගකීම පැහැර හැරී පාස්කු ප්‍රහාරයන් වැළක්වීමේ වගකීම ගැන මට ඇත්තේ අපුලකි. එහෙත් එය ඔබට වඩා ආරක්ෂක විශේසඥයන් ,උපදේශකයන්, හමුදා පති වරුන්, බුද්ධි අංශ ප්‍රධානීන් රටේ ආරක්ෂක ඇමති වශයෙන් ආරක්ෂාව වෙනුවෙන් ම වැටුප් ලැබූ, රජයේ මුදලින් අධ්‍යාපනය ලැබූ , විදේශ පුහුණු ලැබූ  සැම වෙතම බෙදී යා යුතු වගකීමක්ද වන්නේය. ඒ වගකීම ඔහුට පමණක් ම පැවරීම මුග්ධ කමක් වුවත් ඔහු ඒ වගකීම ගැන පසුතැවෙන බව ඔහුගේ පැවැත්මෙන් හෙළි වේ. 


එසේ නම් ඔබ විශ්‍රාම යාමෙන් මහා පක්ෂයක්,දේශපාලන බලවේග ගොඩ නගමින් රටේ බලය වැඩි පුර දරා සිටීමට පාදක වූ පක්ෂය මෙන්ම ලොව පළමු අගමැතිනිය බිහි කල පක්ෂයද වන නිදහස් පක්ෂය ඔබෙන් නිදහස ලැබිය යුත්තේ මේ මොහොතේය. ඒ මොහොත පමා වුවත් දැන් වුවද එය සිදු වන්නේ නම් රටට යහපතකි. මා එසේ කියන්නේ ඕනෑම රටක දක්ෂිනාංශික හා ඊට විරුද්ධ මාවතක දේශපාලන ප්‍රවාහයන් පැවතිය යුතු බව විශ්වාශ කරන නිසාවෙනි.  ලෝකයේ සියළුම දියුණු රටවල් එසේය. අපි එහි අච්චාරුවක් වීම නිවැරදි කරගත යුතුය.  දියුණු ප්‍රජාතන්ත්‍ර වාදයක් ගොඩ නැගිය හැක්කේ එවිටය. පක්ෂ 86 ක් ලියාපදිංචි කර ගැනීමට ඉවහල් වූ ජඩ දේශපාලනය අපි ප්‍රතික්ෂේප කරමු. ජනගහනයෙන් ලක්ෂ දෙකහමාරකට පක්ෂයක් තිබේ. ඉදින් රටක බෙදීම මෙතරම් සියුම් නම් රටක් ගොඩ ගන්නේ කෙලෙසද?  රටේ ප්‍රශ්නය නම් සාමුහික දේශපාලන මානසිකත්වයේ බෙදීම් වැඩි වීමය. ලංකාව නැවත ද්විපක්ෂ ක්‍රමයකට අනිවාර්‍යයෙන්ම නොයන්නේ නම් කල්පයකට හෝ දේශපාලන අර් බුද්ධ වලින් මිදිය නොහැකිය.


 අපේ රටේ ආරම්භයේදී පැවතී  දිව්ත්ව දේශපාලන ප්‍රවාහය කැඩී  බිඳී ,බෙදීම් සහිතව ආගම් වලට ,ජාතින් වලට ,  කුල වලට පක්ෂ බිහිවෙන්නට පටන් ගැනීමම මේ දේශපාලනය අච්චාරුවක් වීමට බලපාන ලදී. සිදු විය යුතුව තිබුනේ බලලෝභී ලෙස , වියපත් වීත් තමන් හා තමන්ගේ දරු මුණුපුරන් වෙනුවෙන් පක්ෂය ,ආසනය, රඳවා ගෙන දේශපාලනය කිරීම නොවේ. අලුත් වීමය. ගෝලීය පක්ෂ දෙස බලා  නවීකරණය වීමය. ජාත්‍යන්තර වීමය. එක්සත් ජාතික පක්ෂය නම් ජේ ආර් ගේ,රනිල්ගේ  ලෝක දේශපාලන බාවිතාව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළුම බණ්ඩාරනායකවරුන්ගේ ලෝක දේශපාලන බාවිතාව උදුරා දැමුණු ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලනය  ගැන අප ලැජ්ජා විය යුතුය. අප සුනාමි හොරුන්ට ලෝකයට මුහුණ දෙන්නට බැරිවීම භාර ගත්තේ යුද්ධය අවසන් කිරීමට ලෝකය එරෙහි වූ බවය. විමල් විරවංශ ලාගේ පච ලොරිවලින් සැකසුනු ජනමතය ලෝකයේ ප්‍රධාන රටවල් 32 ක් හා යුරෝපා සංගමයේ රටවල් 28 ක් කොටි සංවිධානය තහනම් කර තිබු බව ජනතාවට කිවේ නැත. අපි ලෝකයේ වසා දැමුවේ සුනාමි ආධාර හොරකම් මිස යුද්ධය අවසන් කිරීම නොවේ. ත්‍රස්ත සංවිධාන වලට නිත්‍යානුකුල ආණ්ඩු ක්‍රියා  මාර් ග ගත යුතුය. ඒවාට යුධ අපරාධ පරීක්ෂණ තිබු පමණින් ඒවායෙන් 100% අපි වැරදි කරුවන් වන්නේ නැත. මේ ප්රෝපගන්දා ව අපගේ සියළු ගෝලීය දේශපාලන හරයන් මුළු ගන්වා රට විනාශයට ගෙන ගියේය. ඒ ගමන් මග නවතාලන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා එක්සත් ජාතික පක්ෂයට නොහැකි වීම ගැන ස්වයං විවේචනයකට කාලය පැමිණ තිබේ.


 එපමනක් නොව නොසැලකිලිමත් දේශපාලන බාවිතාව විසින්  ඔවුන් මේ රටේ පැවැත්ම තීරණාත්මක කරන ප්‍රධාන පක්ෂ දෙකම පවුල් හා පරම්පරා වශයෙන් ප්‍රාදේශීය දේශපාලනය තුල පවා විනාශ කරගත්තේ  එම පක්ෂ සංස්කෘතිය තුල මනෝභාවයන් හැඩගසා ගත් උගත් බුද්ධිමත් ජනතාවද අසරණ කර කලකිරවිමෙන්ය.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ,එක්සත් ජාතික පක්ෂයත් පොදුවේ මුහුණ දෙන මේ නවීකරණය නොකිරීමේ  අර් බුධය නිසාම මධ්‍යස්ත තරුණ නායකත්ව ප්‍රජාව අසරණ වී ඇත. ඔවුන් පක්ෂ දේශපාලනය ප්‍රතික්ෂේප කරන්නේ කැපිලි කෙටිලි වලට මුහුණ දීම හැර හරවත් දේශපාලනයක් කිරීමට මේ ප්‍රවාහයන් දෙක තුල ඉඩ මකා දැමීම තුලිනි. අරගලය කියා සිටි දෙය මේ පක්ෂ දෙක වටහා ගත්තේදැයි නොදනිමි. ඥාති සංග්‍රහ වලින් තොර තරුණ නායකයන්ට ඉඩ දීම අරගලයේ එක් අපේක්ෂාවකි. නව පක්ෂ සන්කෘතියක් අවශ්‍ය වන්නේ එබැවිනි.


මම ශ්‍රී ලංකාවේ දේශපාලනය අන්තවාදී ප්‍රවාහයන් ගෙන් මිදී මධ්‍යස්ත ප්‍රවාහයක සංවර්ධන ඉලක්ක කරා යන මාවතක් වෙනුවෙන් පෙනී සිටිමි. ඒ මාවත  ආර් ථික වෙනස්කම් සහිතව ඉදිරියට ගෙන  ආවේ ප්‍රධාන ප්‍රවාහයන් වන එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය. 1971 න්  ආරම්භ වූ භූ දේශපාලන හා සමාජවාදී අන්ත වාදයත් එල් ටි ටි ඊ අන්තවාදයත්, රාජපක්ෂ ග්‍රාමය චෞරවාදයත්  මේ ප්‍රවාහයන් දෙකම  සුනු විසුණු කරමින් රට ද අගාධයට ගෙන ගිය බව අප පිළිගත යුතුය. එසේ වීමට හේතුව ඒ අර් බුධ කළමනාකරණය කිරීමට වඩාත් හොඳ ප්‍රවිශ්ටයක් ගැනීමට තිබුණු අපහසුතාය. අසමත් කම්ය. 70 දශකය ලෝකයෙන් තුනෙන් දෙකක් පමණ දිනපතා කුසගින්න සමග සටන් කරන ලදී. අද වන විට කොරියාව, චීනය ,ඉන්දියාව අප්‍රිකාව හා ඉතියෝපියාව පවා කුසගින්න ජයගෙන ඇත. අපට තවමත් නොහැකි වී ඇත.එදා කුසගින්නේ සිටි රටවල් අද ඩිගිටල් හතරවන යුගයේය. අපි තවමත් කෙකර ගාමු.අන්තවාදයන් තුනක් කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම හේතුවය.


සිරි ලංකා නිදහස් පක්ෂයට හා එක්සත් ජාතික පක්ෂය යන දෙකටම මේ මොහොතේ ජාතික වගකීමක් තිබේ. එහි නායකයන්ට ද එසේමය. ඒ පක්ෂ බලලෝභී දේශපාලනයෙන් මුදවා දක්ෂ, උගත් ,තරුණ හා ගෝලීය අත්දැකීම් ඇති පුරවැසියන් වෙත පක්ෂයන්  විවෘත කිරීමය. එමගින් මැද මාවතක රට ගෙන යාමය.  ඒ වගකීම පැහැර හැරීමෙන් විතැන් වන protest votes ගැන වගකීම ගැනීමය. ඒ වගකීම මේ මොහොතේ ගත යුතු දෙයකි. එවිට දේශපාලනය මඩ ගොහොරුවක් යයි දේශපාලනයෙන් විතැන් වී සිටින සුදුසු  පිරිස එකතු වූ යහපත් දේශපාලනයක් ගොඩ නැගීම කරනු ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය වෙනස් වීමෙන් පසු දේශපාලනයේ නව පරිච්චේදයක් ලියා තැබීමට සුදානම් බව අභ්‍යන්තර ප්‍රබෝධය කියා පායි. එය ඕනෑම මැද මාවතේ රටට හිතැති මිනිසකුගේ අපේක්ෂාවය. ඕනෑම අර් බුධයක් තුල විශාල හා පැහැදිලි අවස්ථාවන් පවතී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද එසේය. මෛත්‍රිපාල සිරිසේන මහතාටද මේ අර් බුධය තුල අවස්ථාවන් තිබේ.ඒ දේශපාලන පිටිය තුල විහිළුවක් නොවී ගෞරවාන්විතව විශ්‍රාම යාමටය. 

No comments:

Post a Comment