Friday, April 5, 2024

 ශ්‍රිලනිපය තුල අනීතික මෙහෙයුමක්


ශ්‍රිලනිපය ඇතුලේ ඇතිවෙලා තියන අභයන්තර අර්බුදය දවසින් දවස උඩු දුවමින් තියනවා.අර්බුදය විසදෙන්න නම් ශ්‍රිලනිපය ආයෙත් Reset කරන්නම ඕනි.ඒ වගකීම කොයිවෙලේ හරි පක්ෂ විධායක සහාවට,සමස්ථ ලංකා කාරක සභාවට පැවරෙයි.සමහරවිට ඒ ගන්න තීරණ පක්ෂ සම්මේලනයකින් අනුමත කරගන්නත් වෙයි.කොහොම උනත් ඒ ක්‍රියාවලිය අද හෝ හෙට සිද්ධවෙන එකක් නෙවෙයි.


ඒකට යම් කාලයක් ගතවෙනවා. ඒක නිසා දැනට බෙදීමකට ලක්වෙලා තියන ශ්‍රිලනිප පාර්ශව දෙකම අධිකරණය විසින් දීලා තියන නියෝගවලට අනුව කටයුතු කරන්න ඕනි.පහුගිය 30 වෙනිදා ශ්‍රිලනිප සභාපති මෛත්‍රී විසින් නීති විරෝධී සහ සදාචාර විරෝධී විදිහට පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති මහින්ද අමරවීරත්,පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායකත්, ශ්‍රිලනිපය භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්නත් එයලා දරපු පක්ෂ තනතුරුවලින් අයින් කලා.


හැබැයි දුමින්දලා ඒ වෙලාවේ මෛත්‍රීගේ තීන්දුවත් එක්ක රණ්ඩු වෙවී හිටියේ නෑ.එයාලා කළේ තමන්ට උන අසාධාරණයට පිහිටක් ඉල්ලමින් අධිකරණයට ගිය එකයි. ඇත්තටම ඒක හරි.එයාලා අධිකරණයට ගිහින් එයාලා තනතුරුවලින් ඉවත් කිරීමට එරෙහිව වාරණ නියෝගයක් අරන් ආවා.දැන් ඒ අධිකරණ තීන්දුව පිලිගන්න ශ්‍රිලනිපයේ සියලු නායකකාරකාදීන් බැඳී සිටිනවා.


ඒ තීන්දුවට අනුව එයාලට ශ්‍රිලනිප ව්‍යවස්ථාවෙන් සහ කාර්යපටිටාටිය යටතේ ඒ තනතුරුවලට පැවරුණු වගකීම්වල නිරත වෙන්න පුළුවන්.ඒක සදහා නීතිමය බලයක් එයාලට තියනවා. හැබැයි ඒ සීමාව රැකගෙන වැඩ කරන්න එයාලත් දැනගන්න ඕනි.ඒ වගේම ගිය 04 වෙනිදා ශ්‍රිලනිප උපදේශිකා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මෛත්‍රීට තවදුරටත් ශ්‍රිලනිප සභාපතිධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් තවත් වාරණ නියෝගයක් ගත්තා.


ඒ වාරණය නියෝග ගැනීම වෙනුවෙන් චන්ද්‍රිකා අධිකරණයට වාර්තා කරපු කරුණු  ශ්‍රිලනිප පාක්ෂිකයන්ට ඉතාමත් සංවේදී ඒවා.දැන් අප්‍රියෙල් 18 වෙනකම් මෛත්‍රීට ශ්‍රිලනිප සභාපතිධූරයේ කටයුතු කරන්න බෑ.ඒ නියෝගයත් ශ්‍රිලනිප නායකකාරකාදීන් පිලිගන්න ඕනි.මෛත්‍රී අප්‍රියෙල් 18 වෙනකම් ඉන්නම ඕනි.එදාට වාරණය දික් වෙන්න පුළුවන්, නොවෙන්නත් පුළුවන්.එදා වෙනකම් මෛත්‍රීගේ වචනවලින්ම කිව්වොත් ශීලාචාර විදිහට ඉන්න ඕනි.


මොකද මේ වෙලාවේ තමන්ගේ කොටස වෙන්කර ගන්න කවුරු හරි දඟලනවා නම් ඒක ශ්‍රිලනිපයේ ඉදිරි පැවැත්ම හිත සුව පිණිස වෙන්නේ නෑ.ඒ වගේම ඒ ක්‍රියාමාර්ග මේ දිලා තියන අධිකරණ තීන්දුවලට පරස්පර විරෝධී වෙන්න පුළුවන්. ඒවා නැවත අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වෙන්නත් පුළුවන්.අනික ඔය ක්‍රියාමාර්ග අවසානයේ ශ්‍රිලනිපය නැවත එකතු කරන්න බැරි තැනට තල්ලුවෙලා තියෙන්නත් පුළුවන්.


ඒක නිසා මේ සියලු අධිකරණ තීන්දුවලට ගරු කරමින් කටයුතු කිරීම කාගේත් වගකීමක්.පක්ෂය ඇතුලේ ගැටුමක් නිර්මාණය නොවෙන විදිහට කටයුතු කිරීම පක්ෂයේ සෞඛ්‍යටත් හොදයි. නැත්තං වෙන්නේ හිර ගෙදර වගේ ශ්‍රිලනිප මූලස්ථානයට පොලිස් ආරක්ෂාව දාගෙන බංකර් ටයිප් එකට දේශපාලනයක් කරන්න. කොහොම උනත් දැනටත් අනීතික ක්‍රියාමාර්ග ‍රියාමාර්ග ගණනාවක් සිද්ධ වෙන බව රටේ රාළ බළකායට ශ්‍රිලනිප අභයන්තර ආරංචි මාර්ගවලින් තොරතුරු ලැබෙනවා.


හෙට ඒ කියන්නේ අප්‍රියෙල් 06 වෙනිදා සියලුම ආසන සංවිධායකයන් සහ දිස්ත්‍රික් සංවිධායකයින් උදේ 9.30 ට පක්ෂ මූලස්ථානයට කැදවලා තියනවා. මේකත් හරියට 2022 මැයි 09 වෙනිදා මහින්ද අරලියගහ මන්දිරයට මැරයෝ කැදෙව්වා වගේ වැඩක්.මහින්ද ඒ අය කැදෙව්වේ ගෝල්ෆොස් අරගලයේ ඉන්න තමන්ට හතුරු පාර්ශවයට පහර දෙන්න.හෙට මේ කැදවීම වෙන්නේ තමන් පාක්ෂිකයන් අතර ගැටුමක් හදන්නද කියන සැකය රටේ රාළට නං තියනවා.


මේ වෙලාවේ කාටවත් අධිකරණ තීන්දුවලට උඩින් යන්න බෑ.මේ හදන්නේ මූලස්ථානය ඇතුලේ අධිකරණ තීන්දුවට අනුව කටයුතු කරන පිරිසත් එක්ක ගැටුමක් හදාගන්නද?ඒ ගැන සැක මතුවෙන්නේ හෙට ආසන සහ දිස්ත්‍රික් සංවිධායකයන් කැඳවන්න දැනුම් දීලා තියන විදිහෙනුයි.ආසන සහ දිස්ත්‍රික් සංවිධායකයන්ට එවලා තියන කෙටි පණිවිඩයේ තියෙන්නේ පක්ෂ මහ ලේකම්තුමාගේ උපදෙස් පරිදි කියලා.


එතකොට මේ සැකය තවත් වර්ධනය වෙනවා.පක්ෂ ලේකම් ඇඟ බේරගෙන යවන පණිවිඩයක්ද මේක.නැත්නම් පක්ෂ ලේකම් නොදැන වෙන දෙයක්ද මේක කියන සැකය මෙතන තියනවා.එහෙම නිල කැදවීමක් මේ වගේ වෙලාවක කරනවා නම් ඒක පක්ෂ ලේකම්ගේ සෘජු වගකීම යටතේ සිද්ධ වෙන්න ඕනි.දැන හෝ නොදැන මේ ක්‍රියාවලිය අධිකරණ ක්‍රියාවලියකට පරස්පරව සිද්ධ වෙන දෙයක්.


ඒක නිසා සාරතී නොදැන නං මේක වෙන්නේ ඒ ගැන මැදිහත් වෙන්න වෙයි.මෙතන අනීතික තත්වයක් බැලූ බැල්මට තියනවා.ඊළඟට ශ්‍රිලනිප කොළඹ දිසා සමුළුව හෙට හවස දෙකට කඩුවෙලදී පැවැත්වෙනවා.තවමත් ඒකේ ප්‍රචාරක කටයුතු සිද්ධ වෙන්නේ ශ්‍රිලනිප සභාපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් කියලා.මේක අධිකරණ තීන්දුවත් එක්ක කරන සෙල්ලමක්ද කියලත් එක වෙලාවකට හිතෙනවා.හෙට උදේ 09.30 ට මූලස්ථානයට රටේම ආසන සහ දිස්ත්‍රික් සංවිධායකයින් වගකීම් විරහිතව කැඳවන ගමන් හෙට මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිසා සමුළුවත් තියනවා.


ඇත්තටම මේ වගේ වෙලාවක මොනම පක්ෂ සංවිධාන හෝ ප්‍රචාරක කටයුත්තක් කරන එක පක්ෂයක් හැටියට සුදුසු නෑ. මෛත්‍රීට සභාපති විදිහට ඒ කටයුතුවලට සහභාගී වෙන්න බෑ. හැබැයි නිමල් සිරිපාලට,දුමින්දට, මහින්ද අමරවීරට,ලසන්ත අලගියවන්නට ඒ රැස්වීම්වලට තමන් දරන වගකීම් යටතේ සහභාගීවෙන්න පුළුවන්.මේක ගැටුමක් ඇති කරන්න කරන වැඩක්ද?


මෛත්‍රීට සභාපතිකම රැකගන්න අතේ පයේ හයියෙන්වත්,අනීතික ක්‍රියාමාර්ගවලින්වත් බෑ.ඒකට මෛත්‍රී කරන්න ඕනි තමන්ගේ නිර්දෝෂීභාවයට අධිකරණය ඉදිරියේ ඔප්පු කරලා ඉස්සෙල්ලාම අධිකරණයෙන් සහනයක් ලබාගැනීමයි.ඊට පස්සේ පක්‍ෂය ඇතුලේ තියන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අනුව බහුතර කැමැත්තෙන් නැවත තනතුරට පත්වීමයි.ඒ හැර උත්තරයක් මෛත්‍රීට නෑ.වෙන උත්තර හොයන්න ගියොත් මෛත්‍රී තවත් හිර වෙනවා.


හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මිට

රටේ රාළ.


No comments:

Post a Comment