Saturday, May 7, 2022


 හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් ක්‍රියාත්මක වනවා.


Ranil Go Home ලෙස සටහන් කරන ලද විරෝධතා පුවරු අතැතිව මෙම විරෝධතාකරුවන් වික්‍රමසිංහ මහතාට විරෝධය පලකරනවා.


පසුගියදා පාර්ලිමේන්තුවේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කළේ නියෝජ්‍ය කතානායකවරයා තේරීමේ ඡන්දය පැවැත්වීමට පෙර පාර්ලිමේන්තු සභාගර්ඝය තුළ මන්ත්‍රීවරුන් ළඟට ගොස් රංජිත් සියඹලාපිටිය මහතාට සහය පලකරන්නැයි වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටි බවයි.


ඔහු චෝදනා කර සිටියේ වික්‍රමසිංහ මහතාට බලයේ සිටි කාලයේ පටන්ම රාජපක්ෂවරුන් සමඟ ඩීල් එකක් පවතින බවයි.

Friday, May 6, 2022


 පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාට ප්‍රහාරයක් එල්ලවී ඇතැයි වාර්තා වනවා.


පාර්ලිමේන්තුවෙන් පිටත රැදීසිටින විරෝධතාකරුවන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලවීමත් සමඟ පාර්ලිමේන්තු සභා ගර්බය තුළ උණුසුම් තත්ත්වයක් හටගත්තා.


එහිදී සමගි ජනබලවේගය පක්ෂයේ චමින්ද විජේසිරි මහතා එල්ල කළ පහරක් වේත්‍රධාරීවරයා හට වැදී ඇති බවයි වාර්තා වන්නේ.


කතානායකවරයා පාර්ලිමේන්තුව එළැඹෙන 17 වැනිදාට කල්තබා පිටව යෑමත් සමඟ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාගේ කාමරයට කඩා වැදුණා.


ඔවුන් විශ්වාසභංගයට දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා දිගින් දිගටම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බලපෑම් එල්ල කළද කතානායකවරයා එය ප්‍රතික්ෂේප කළා.

 ගාලුමෝදර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන උද්ඝෝෂණය සම්බන්ධයෙන් පොලීසිය ඉදිරිපත් කිරීමට සූදානම් වූ ඉල්ලීමක් සලකා බැලීමෙන් කොළඹ මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉවත්ව තිබෙනවා.


කොටුව පොලීසිය විසින් කරන ලද එම ඉල්ලීම අද (06) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබූවා.


එහිදී කොටුව පොලීසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ශවීන්ද්‍ර වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම අරගලය හා සම්බන්ධ නඩු දෙකක් මේ වන විට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත්වී ඇති බව සඳහන් කළා.


එබැවින් එම ඉල්ලීම සලකා බැලීමට සූදානම් නම් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට තමන් පියවර ගන්නා බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළා.


කෙසේවෙතත් අදාළ ඉල්ලීම කුමක්දැයි විවෘත අධිකරණයේදී සදහන් වූයේ නැහැ.


රජයේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් අරගලයේ නියුතු පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විරෝධය පළකර සිටියා.


දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා තමන් එම ඉල්ලීම සලකා බැලීමෙන් ඉවත් වන බවත් එය වෙනත් මහෙස්ත්‍රාත්වරයෙකු හමුවට යොමු කරන බවටත් නියෝග කළා.



 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පලකරමින් ‘නන්දෙට ජංගියක්’ විරෝධතා ව්‍යාපාරය මේ වන විට ආරම්භ වී තිබෙනවා.


පාර්ලිමේන්තුව අසළ පොලීසියෙන් අටවා ඇති යකඩ වැටෙහි මේ වන විට විවිධ වර්ගයේ යට ඇඳුම් එල්ලමින් ජනතාව සිය විරෝධය දක්වමින් සිටිනවා.


“ජනතාවට ජංගි අන්දර ලැජ්ජා නැති ආණ්ඩුවට ජංගියකින් විරෝධය පාමු ” යන තේමාව ඔස්සේ අදාළ විරෝධතාවය ක්‍රියාත්මකයි.


මෙම විරෝධතාවය අදට යෙදෙන No Pants Day යන ලෝක සංකල්පයට සමගාමීව පැවැත්වෙනවා


 දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන හල්වලින් බාල වර්ගයේ පෙට්‍රල් හමුවී තිබෙනවා.


අදාළ පෙට්‍රල් ජලයට සමාන පැහැයක් ගන්නා අතර කිසිදු ගන්ධයක් නිකුත් නොවීම විශේෂත්වයක්.


රියදුරන් චෝදනා කරන්නේ පෙට්‍රල්වලට අමතරව මෙහි විශාල ප්‍රමාණයකින් ජලය ඇති බවයි.


මෙම පෙට්‍රල් ලබාගත් රියදුරන්ගේ වාහන රැසක් මේ වන විට අක්‍රීය තත්ත්වයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.


ගාල්ල, කුරුණෑගල, මාතර, අනුරාධපුරය, නාරම්මල ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මෙම බාල පෙට්‍රල් පිළිබදව මේ වන විට වාර්තාවී තිබෙනවා.

Thursday, May 5, 2022


 පාර්ලිමේන්තුවේ ස්වාධීනව විපක්ෂයේ අසුන්ගත් මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් ඊයේ (05) භාර දී තිබෙනවා.


ඒ, ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ සිය මතය දක්වමින්.


එම ලිපිය මගින් මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ වත්මන් ආණ්ඩුව පිළිබඳ සාතිශය බහුතර ජනතාවට කිසිදු විශ්වාසයක් නොමැති බැවින් එය ඉල්ලා අස්විය යුතු බවද එසේ නොවන්නේ නම් ඉවත් කළ යුතු බවද සිය විශ්වාසය බවයි.


නමුත් විශ්වාසභංග යෝජනාවක් bහරහා ආණ්ඩුව ඉවත් කිරීමෙන් පසු රට පාලනය කරන ක්‍රමවේදය පිළිබඳ සමගි ජන බලවේගයට අදහසක් තිබිය යුතු බව ඔවුන් විසින් ප්‍රශ්නර කර තිබෙනවා.