Friday, July 29, 2022

මෛත්‍රීපාල කථානායක ධූරය ඉල්ලයි

 



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ සර්ව පාර්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේදී එයට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සහය ලබාදීමට නම් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස තමාට පාර්ලිමේන්තුවේ කථානායක ධුරය ලැබිය යුතු යැයි මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම්දී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරය තුළද සාකච්ඡා කර ඇති අතර එහිදී සමාජික මන්ත්‍රීවරුන් විවිධ අදහස් දක්වා ඇති අතර බොහෝදෙනා සර්ව පාක්ෂික ආණ්ඩුවට සහය දැක්විය යුතු යන මතයේ සිට අදහස් දක්වා ඇති බවද වාර්තාවේ.

කෙසේ වෙතත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ලෙස සර්ව පාක්ෂික ආණ්ඩුව සහභාගී නොවුනද එහි මන්ත්‍රීවරුන් බහුතරය පෞද්ගලිකවම හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවට සහභාගීවීමට කැමත්ත පලකර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.


- C/S


Sunday, July 24, 2022

ගෝටාභය නැවත දිවයිනට?

 ජනතා විරෝධතා හමුවේ පළා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නුදුරේදීම යළි ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

මේ දිනවල සිංගප්පූරුවේ සිටින හිටපු ජනාධිපතිවරයා මඳ අසනීප තත්ත්වයකින් පසුවන බව වාර්තා වන අතර අතර ඊට අදාළ ව සිදු කරන ප්‍රතිකාරවලින් පසුව ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත අතර ඔහුට අවශ්‍ය ආරක්ෂාව ඇතුළු පහසුකම් සැලසීමට රජය පියවර ගනු ඇති බව රජයට සමීප ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

හිටපු ජනාධිපතිවරයා තමන් පදිංචිව සිටි මිරිහාන නිසට පැමිණීමට නියමිත අතර ඔහු ගේ පැමිණීමෙන් පසුව රජය විසින් ජනාධිපතිවරයා වෙත නීත්‍යනුකූල ව හිමිකම් ලබන නිල නිවස ආරක්ෂාව වාහන සහ කාර්ය මණ්ඩලය ලබා දීමට සැලසුම කර ඇති එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය 14 වැනිදා සිංගප්පූරුවට පැමිණි ගෝඨාභය රජජපක්ෂ මහතාට දින 14ක කෙටි කාලීන වීසා බලපත්‍රයක් නිකුත් කළ බව සිංගප්පූරුවේ ආගමන විගමන සහ මුරපොළ පරීක්ෂා අධිකාරිය පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේය. ඒ අනුව ඔහු ලබන 28 වැනිදා පැමිණෙන්නේද එසේ නැතිනම් ඔහුට තවදුරටත් වීසා දීර්ඝ කර ගැනීමට කටයුතු කරන්නේද යන්න පැහැදිළි නැතත් ඔහුට ශ්‍රි ලංකාවේ හිමි විය යුතු වරප්‍රසාද ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිටත් අවධානය යොමු කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජූලි මස 09 වැනිදා ඇති වූ දැවැන්ත මහජන විරෝධය හමුවේ පසුගිය 12 වැනිදා රාත්‍රියේ ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් යානයකින් මාලදිවයින බලා පිටත් ව ගිය අතර එහි සිට සිංගප්පූරුවට ගොස් සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත එවීමට කටයුතු කළේය.



Saturday, July 23, 2022

ගෘහස්ථ රැස්වීම් සඳහා මුහුණු ආවරණ අනිවාර්‍ය කරන්න

 *ගෘහස්ථ එක් රැස්වීම් සදහා මුව ආවරණ අනිවාර්‍ය කරන්න* 


*කොවිඩ් PCR පරීක්ෂණ පහසුකම් වහා ලබා දෙන්න* 


නව COVID-Omicron ප්‍රභේදය ලෙස ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරසය විවිධ නිවැරදිව හඳුනා ගැනීමට පහසු අපහසු ප්‍රභේදයකි. ශ්‍රී ලංකාව තුල මේවන විට කොවිඩ් පරීක්ෂණ සිදු කිරීම අතිශය ලෙස සීමා කර ඇති බැවින් හා ඒ සදහා අත්‍යාවශ්‍ය ප්‍රතික්‍රීයක හිගකම හේතුවෙන් බරපතල ව්‍යාප්තියක් අපේක්ෂා කල හැකිය. එසේම ප්‍රභේද පිළිබද පරීක්ෂණ සිදු නොකෙරෙන බැවින්, පැතිර යමින් තිබෙන ප්‍රභේද පිළිබදවද නිශ්චිතව කිව නොහැක.


මේ මොහොතේ සෞඛ්‍ය සේවාව පවතින අවධානම්, අවිධිමත් සහ සැලසුම් සහගත නොවන වටපිටාව යටතේ, අවම තරමින් ගෘහස්ථ ඒකරාශී වීම් සදහා පමණක් හෝ මුඛ ආවරණ පැලදීම අනිවාර්ය නොකලහොත්, නැවත අති විශාල කොවිඩ් රැල්ලකට මුහුණදීමට සිදු වනු නොඅනුමානය. 


නව COVID-Omicron වෛරසයේ රෝග ලක්ෂණ ලෙස කැස්සක් හෝ උණට වඩා සන්ධි වේදනාව, හිසරදය, බෙල්ලේ වේදනාව, ඉහළ සිරුර පිටුපස වේදනාව, නියුමෝනියාව වැනි රෝග ලක්ෂණ ප්‍රකට බව පර්යේෂකයෝ පෙන්වා දෙති.


එම පර්යේෂණ වලට අනූව, මෙම ප්‍රදේයෙහි භායානක බව, ඩෙල්ටා ප්‍රභේදයට වඩා පස් ගුණයකින් පමණ වැඩි වන අතර මරණ අනුපාතය ද ඩෙල්ටාවට වඩා වැඩි බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත. එසේම රෝගය දරුණු ලෙස වර්ධනය වීමට අඩු කාලයක් ගත වන අතර සමහර විට පැහැදිලි රෝග ලක්ෂණ නොමැත. වෛරසය ප්‍රජාව තුළ පැතිරී පෙනහළු වලට කෙලින්ම ආසාදනය වන අතර, එය වෛරස් නියුමෝනියාවට තුඩු දෙන අතර පසුව උග්‍ර ශ්වසන පීඩනය ඇති කරනු ලබන බව පැවසේ.


කරුණාකර ප්‍රවේශම් වන්න, ජනාකීර්ණ ස්ථාන වලින් වළකින්න, විවෘත ස්ථානවල පවා මීටර් 1.5 ක දුරක් තබා ගන්න, ද්විත්ව ස්ථර ආවරණයක් පළඳින්න, සුදුසු මුව ආවරණ පළඳින්න, සහ සෑම කෙනෙකුටම රෝග ලක්ෂණ නොමැති විට (කැස්ස හෝ කිවිසුම් යාම) වේලාව නිතර නිතර අත් සෝදන්න. සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රජයේ නීති එනතුරු නොසිට, ස්වයං ආරක්ෂාව සලසා ගන්න.


රවී කුමුදේශ් 

සභාපති 

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය


සති දෙකකින් සර්වපාක්ෂික ආණ්ඩුවක්


 

අමාධ්‍ය ධූර 30කින් සමන්විත නව කැබිනට් මණ්ඩලයක්  සහිත සර්ව පාක්ෂික ආණ්ඩුවක් තව සති දෙක්ක තුළ පිහිටුවීමට නියමිතව ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තු ඡන්දයේ දී රනිල් වික්‍රමසිංහට පක්ෂව ඡන්දය දුන්  විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් ද කැබිනට් මණ්ඩලයට සම්බන්ධ කරගෙන මෙම ආණ්ඩුව පත් කරගැනීමට නියමිතව තිබේ.

ජනාධිපති රනිල්  වික්‍රමසිංහ නිර්මාණය කරන සර්ව පාක්ෂික ආණ්ඩුවට සහයෝගය ලබා දෙන බව පාර්ලිමේන්තුවේ වැඩිම බලයක් සහිත,  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත් කරගත් පොදු ජන පෙරමුණ ප්‍රකාශ කර තිබේ.

මේ අතර ජනාධිපති අපේක්ෂකත්වයට තරග වැදුණු ඩලස් අලහප්පෙරුම   ඇතුළු පොහොට්ටුවේ  මන්ත්‍රීවරුන් 28ක්  පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත.

කළු ජූලිය සහ ලාංකීය බෙඩූඉන් චින්තනය



ශ්‍රී ලංකාව ගැන කියවන හෝ එහි ඉතිහාසය සහ දේශපාලන සංසිද්ධීන් අධ්‍යනය කරන පුද්ගලයෙකුට තිස්‌ වසරක සිවිල් යුද්ධයත් ඒ තුළින් සමාජයට ඇතිකළ බලපෑමත් අත්හළ නොහැකි මාතෘකාවක්‌ බවට පත්වන්නේ ශ්‍රී ලංකාවේ ගමන් මාර්ගය තීරණය කිරීමෙහිලා දශක තුනකට ආසන්න කාලයක් යුද්ධයෙහි වූ මැදිහත්වීම නිසාවෙනි. බොහෝ දෙනා යුද්ධය පිළිබඳව කතාබහ කලත් එය ඇතිවීමට බලපෑ සිද්ධි දාමයන් ගැන කතාකරන්නේ අල්ප වශයෙනි.


අදින් වසර 39 කට පෙර සිදුවූ දමිළ  විරෝධී ඝාතන රැල්ල නැතිනම් " කළු ජූලිය " එහි වචනයේ අර්ථයෙන්ම ලාංකීය දිනපොත්හි අඳුරුතම පරිච්ඡේදයක් ලෙස සටහන් වී ඇතිබවට සැක නැත. දමිළ ඊළාම් විමුක්ති සංවිධානය ( LTTE ) විසින් හමුදා නිලධාරීන් 13 දෙනෙකු ඝාතනය කළේ 1983 ජූලි 23 වෙනිදාය. ඒ වනවිට 13දෙනෙකු වැනි පිරිසක් එකවර ඝාතනය වීමත්, ඝාතනයට ලක්වූ සියල්ලන්ම සිංහල ජාතිකයන් වීමත්,ඔවුන් දමිළ තරුණයන් අතින් ඝාතනය වීමත් හේතුකොටගෙන පසුවදා රට පුරා දමිළ විරෝධී රැල්ලක් නිර්මාණය වී තිබුණි. අගනුවරින් පටන්ගෙන පසුව රට පුරා දමිළ ජාතිකයන් සමූල ඝාතනය කිරීමේ වියරුව වසංගතක්‌ මෙන් පැතිර ගියේය.එවකට රාජ්‍ය බලය හෙබවූ යුඇන්පී ආණ්ඩුව මෙකී භීෂක උන්මාදය කෙරෙහි දැක්වුයේ ඉතා උදාසීන ප්‍රතිපත්තියකි. ආණ්ඩුවේ නායකයන් දෙපිරිස සන්සුන් කරනවා වෙනුවට දෙපාර්ශවයේම තරුණයන්ට අවි ගැනීමට ආරාධනා කළේය.ජනාධිපතිගේත් අගමැතිගේත් සහචර ආණ්ඩුවේ ප්‍රභලයන්ගේ ආධාර ලැබූ මැර කල්ලි පිස්සු බල්ලන් මෙන් දේපල විනාශ කරමින්, දේපලවලට පමණක් නොව මිනිසුන්ටද ගිනිතබමින් හැසිරුණහ.




සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම,දේශපාලන ආධාර ලැබූ මැරයන් විසින් ආසියාතික දැනුම් ගබඩාවක් වූ යාපනය මහජන පුස්තකාලය ගිනිබත් කිරීමත් වැනි කෙනෙහිලිකම් දමිළ තාරුණ්‍ය අවි ගැනීමට පෙළඹවීය. සිංහල මෙන්ම දමිළ දේශපාලඥනයන් විසින් දිගින් දිගටම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සාමාන්‍ය දමිළ ජනතාවගේ සිහින, ආශාවන් අපයෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාවලියක්‌ තුළින් තම අයිතිවාසිකම් දිනාගත හැකියි යන මතය තුළ ඔවුන් තැබූ විශ්වාසය බිඳදැමීය. අවසානයේ නියපොත්තෙන් කැඩිය හැකිව තිබූ දේ පොරොවෙන්වත් කපා දැමිය නොහැකි තත්ත්වයට පත්වූයේ තම අයිතිවාසිකම් අහිමිකිරීමේ කලකිරීමෙන් හා ඉච්ඡාභගංත්වයෙන් ආවේගශිලීව සිටි ප්‍රභාකරන් වැනි දහස් ගණනක් සිංහල දමිළ තරුණයන් තිස්‌ අවුරුද්දක කාලකන්නි යුද්ධයකට ඇදදමමිනි.




කළු ජූලියෙන් ඇරඹියේ දහස් ගණනක් ජීවිත සහ දේපළ විනාශයක් පමණක් නොවේ. එයින් සිදුවූ සංස්කෘතික පරිහානියට මිලක්‌ නියම කරන්නට බැරිය. උතුරුකරයත් දකුණුකරයත් අතර වූ සබැඳියාවේ පාලම් සිය ගණනක්


කළු ජූලියෙන් අවහිර කරන ලදී. පෙර නොවූ පරිදි සීහල දමිළ බෙදීමක් ඇතිවිය. උතුරේ නෑයන්ට දකුණේ නෑයන් තහනම් විය. දකුණේ මිනිසුන්ට පොංගල් බතෙහි රස ද උතුරේ මිනිසුන්ට කැවුම් රස ද බෙදුම්වාදය විසින් අමතක කරවීය.අදටත් කළු ජූලිය විසින් ශ්‍රී ලංකා භූමියේ වැළලූ කාලකන්නි ජාතිවාදයේ සක්‍රීය බිම් බෝම්බ සිංහල, දමිළ, මුසල්මානු සහෝදර ජනතාව බිලි ගැනීමේ ආශාවෙන් සැඟවී සිටින බවද කිව යුතුය.




ජරාජීර්ණ දේශපාලනයත්, අධම දේශපාලකයනුත් විසින් සියල්ලන් සතුටෙන් ජීවත් වූ දේශයක් බලය, උද්දච්චකම සහ අවුරුදු දෙදහස් පන්සීයක ඊනියා, හණමිටි දේශමාමකත්වය සමඟ එක්වී යළි ගොඩගත නොහැකි ලෙස වලපල්ලට ඇද දමා අවුරුදු 39ක් ගතවන තැන අප සිටින්නේ කොහිදැයි යන්න පිළිබඳව ඔබ‍ට අවබෝධයක් ඇත්දැයි මම ප්‍රශ්න කරන්නට කැමැත්තෙමි.




මගේ මතය නම් තවමත් ජාති, ආගම්, කුල, පක්ෂ ආදියට බෙදී කුළල්කාගන්නා ගෝත්‍රික සමාජීය ලක්ෂණ අප වෙතින් තවමත් පෙන්නුම් කෙරෙන බවයි.ගුණාත්මකබවින් යුතු නූතනත්වය කැටි වූ අධ්‍යාපන ක්‍රමයක්‌ හා ගෝත්‍රික එඬේර චින්තනයෙන් බැහැර වූ පුළුල් සමාජ ක්‍රමයක් තුළින් ළඟාකරගන්නා දැඩි සමාජ ප්‍රතිසංස්කරණයක්‌ මත කළු ජූලිය වැනි අමිහිරි අත්දැකීම් මින් මතු පරම්පරාවලට අත්විඳින්නට නොවන තත්වයක් උදාකරලීම අපගේ වගකීමක් විය යුතුය. එයින් පමණක්ම මතුවට වේලුපිල්ලේ ප්‍රභාකරන්ලා වැනි ලේ පිපාසිතයන් ( සිංහල අය ද ඇතුළුව ) බිහිවීම නවතිනු ඇත.කුට්ටුමනී වැනි තරුණයන්ගේ යහපත් ජීවිත සුරක්ෂිත වනු ඇත. එපමණක් නොව බලය විසින් නිර්මාණය කරනු ලබන ඝාතක සංස්කෘතීන් අහෝසි වී යනු ඇත.




එතෙක්,සිංහල සින්දු කියන උතුරේ කිරිල්ලියන්ට ද මරතොන්ඩි රටා අඳින දකුණේ කිරිල්ලියන්ට ද දිනෙක එකම එක නිදහස් අහසක පියාසැරීමට හැකිවේවායැයි  ප්‍රාර්ථනා කරමු.ප්‍රර්ථනාවන් ප්‍රාර්ථනාවන් ලෙසම මියැදීමට ඉඩ නොතැබීමට වැඩ කරමු, සිතමු, බලගැන්වෙමු...!




#sahantwrites

Thursday, July 21, 2022

අරගලකරුවන් අමතක කරන්න එපා. රනිල්ට කියයි.

 සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ අපේක්ෂාවන් සාර්ථකව ඉටු කිරීමට නම් දේශපාලන සහ සිවිල් සමාජ නායකයින් පුළුල් පාලන රාමුවක් තුළ රාජ්‍යා පාලනයට සම්බන්ධ කරගත යුතු බව හිටපු ජනාධිපතිනි  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය පවසයි. 

පෙර පැවති දුර්දාන්ත පාලනය ප්‍රජාතන්ත්‍රවාදී ව පෙරලා දැමීමට බලපෑ ප්‍රධානතම හේතුව බහුතර ජනතාවගේ ක්‍රියාකාරී සහයෝගය සහ ආශිර්වාදය මත තරුණ ක්‍රියාකාරිකයන්ගේ අසම සම ක්‍රියාදාමය බව වික්‍රමසිංහ ජනාධිපතිතුමා අමතක නොකරණු ඇතැයි තමා විශ්වාස කරන බව ද එතුමිය තව දුරටත් පවසයි. 

හිටපු ජනාධිපතිනිය මේ අදහස් පළ කළේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳ ව සුබ පැතුම් පනිවිඩයක් නිකුත් කරමිනි.


සම්පූර්ණ  පනිවිඩය මෙසේ ය. 

මෙරට 8 වන විධායක ජනාධිපති ලෙස පාර්ලිමේන්තු ඡන්දයෙන් තේරී පත් වූ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මාගේ සුබ පැතුම් පිරිනමමි.


ඔහුට රාජ්‍ය පාලනය භාර ගැනීමට සිදු වූයේ අප රට පෙර නොවූ විරූ අන්දමේ අභියෝග රාශියකට මැදිව පවතින අවස්ථාවක දී ය. 


පෙර පැවති දුර්දාන්ත පාලනය ප්‍රජාතන්ත්‍රවාදී ව පෙරලා දැමීමට බලපෑ ප්‍රධානතම හේතුව බහුතර ජනතාවගේ ක්‍රියාකාරී සහයෝගය සහ ආශිර්වාදය මත 

තරුණ ක්‍රියාකාරිකයන්ගේ අසම සම ක්‍රියාදාමය බව වික්‍රමසිංහ ජනාධිපතිතුමා අමතක නොකරණු ඇතැයි මම විශ්වාස කරමි. 


මේ මහා ජනතා බලවේගයේ යහපත් අපේක්ෂාව වූයේ පාලකයා තමන්ගේ සුබසිද්ධිය සඳහා කටයුතු කරනවා වෙනුවට ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන, නීතියේ ආධිපත්‍ය, අවංක බව, යහපාලනය රජයන, පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමයි. 


මෙය ඉතාමත් අසීරු කර්තව්‍යයක් බව අපි දනිමු. 


සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ අපේක්ෂාවන් සාර්ථකව ඉටු කිරීමට නම්, දේශපාලන සහ සිවිල් සමාජ නායකයින් පුළුල් පාලන රාමුවක් තුළ රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගත යුතුයැයි මම විශ්වාස කරමි. ඒ සඳහා වත්මන් පාලන ක්‍රමවේද අභිබවා යමින් නව ආයතන සහ පාලන ක්‍රමවේද නිර්මාණය විය යුතු වේ. ඒ, අප ඉතිහාසයේ මේ තීරණාත්මක අවස්ථාවේ උදාර හදවතක් සහ දූරදර්ශී දර්ශනයක් සහිත නායකයන් අප රටට අවශ්‍ය බැවිනි.


මගේ දේශයේ සුබ සිද්ධිය වෙනුවෙන් මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සුභාශිංසන පිරිනමමි."