Monday, January 23, 2023

පක්ෂය හැරුණු කොට මිනිසුන්ගේ ආකල්ප වෙනස් වී තිබේ ද?

 මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන මැතිවරණය එළැඹෙන මාර්තු නව වැනිදා පැවැත්වීම සඳහා දින නියම කර ඇති පසුබිමක මැතිවරණය සඳහා ඉදිරිපත්වන සියළු පාර්ශව මේ වනවිට ඒ වෙනුවෙන් ලකලැහැස්ති වෙමින් සිටිති. එසේම එම පාර්ශවවලට සහය දක්වන පුරවැසියන් ද විවිධ මාධ්‍ය ඔස්සේ තමන්ගේ අදහස් දක්වමින් සිටියි. තමන් විශ්වාසය තබා ඇති දේශපාලන කණ්ඩායමේ ඉදිරි ජයග්‍රහණය වෙනුවෙන් ඔවුනොවුන් එකිනෙකා ගැටෙමින් අදහස් පළකරමින් සිටියි.


මෙම මැතිවරණය වෙනත් මැතිවරණවලට වඩා සැබවින්ම වැදගත් එකකි. රට මුහුණ දුන් දැවැන්තම ආර්ථික-දේශපාලන අර්බුදයෙන් පසුව මහජන මතය ව්‍යවස්ථානුකූලව උරඟා බැලෙන ප්‍රථම අවස්ථාව මෙය වන බැවින් මෙමඟින් නිරූපණය වන්නේ සැබෑම මහජන මතය බවට අනුමාන කළ හැකිය. ලෝකයේම අවධානය දිනාගත් පුරවැසි අරගලයකින් පසුව ඔවුන්ගේ මතයේ හැසිරීම නැවත වතාවක් කුමන ආකාරයෙන් නිරූපණය වනු ඇත්දැයි බැලීමට මෙය කදිම අවස්ථාවකි.

වර්තමානයේ ආණ්ඩු බලය හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය මුහුණ දෙන තීරණාත්මකම මැතිවරණය ද මෙය වනු නිසැකය.එක් පාර්ශවයක් බලයේ රැඳී සිටීම අරමුණු කරගෙනත් අනෙක් පාර්ශවය බලය ලබාගැනීම අරමුණු කරගෙනත් මෙවර තරඟ බිමට පිවිසෙයි.


පොදුජන පෙරමුණ කෙරෙහි මහජනතාව තුළ වූ විශ්වාසය දැඩි ලෙස පළුදු වී ඇති පසුබිමක මේ වන ජාතික ජන බලවේගය වටා යම්කිසි ජන ඒකරාශී වීමක් දක්නට හැකිය. පොදුජන පෙරමුණ සතුව තිබූ ඡන්දවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ජාතික ජන බලවේගය වටා එකතු වී තිබීමත්, කුළුදුල් ඡන්දවලින් බොහොමයක් ද ඔවුන් වෙත ආකර්ෂණය වීමේ පසුබිමක් නිර්මාණය කොට තිබේ. සමගි ජන බලවේගය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලබාගත් ඡන්ද ප්‍රතිශතයේද මෙවර සුළු වෙනසක් විය හැකි බවට අනුමාන කළ හැකි අතර සුළු ජනකොටස්වල වැඩි සහයෝගය ඔවුන් වෙත ලැබෙනු ඇතිබව සිතිය හැකිය.කෙසේවෙතත් සමාජ මාධ්‍ය තුළින් නියමාකාරයෙන් පුරවැසි මතය නිරූපණය නොවුනත් යම් ආකාරයක පූර්ව නිගමනයකට පැමිණීමට එතුළින් හැකියාව ලැබේ.මෙම මැතිවරණයෙන් ලැබෙන අවසාන ප්‍රතිපලය කුමක් වුවත් එය ලාංකීය සමාජය තුළ පවතින දේශපාලනමය බෙදීම තවදුරටත් තහවුරු කරන ප්‍රතිපලයකි.


මේ අතරවාරයේ බොහොමයක් පිරිස් ස්වාධීනව අදහස් පලකිරීමට බොහෝ වෙහෙසක් ගනියි. ස්වාධීනව පසුවීම තරම් නිවට දේශපාලන ක්‍රියාවක් තවත් නැති තරම්ය.අනෙක් අතට එය ප්‍රයෝගික නැත. ඕනෑම පුද්ගලයෙකුට මතයක් ඇත.වරෙක ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා ස්වාධීන මන්ත්‍රීවරුන් හඳුන්වා දී ඇත්තේ ඔලු තුනේ බුරුවන් ලෙසය. එබැවින් වැරදි හෝ නිවැරදි තම මතය විශ්වාස කිරීමට හෝ ප්‍රකාශ කිරීමට තරම්වත් කොඳු නාරටියක් දේශපාලන සත්ත්වයෙකුට තිබිය යුතුය. අනෙක් අතට පුරවැසියෙකු ලෙස ඔහුගේ හෝ ඇයගේ වටිනාකම ඔපවත් කරන ඡන්ද අයිතිය භාවිතා නොකර සිටීම ද නොකළ යුත්තකි.


මෙහිදී දේශපාලන කණ්ඩායම්වල සිදුව ඇති මතවාදී වෙනස්කම්ද ඡන්දදායක හැසිරීමට බලපෑම් ඇති කරනු ඇත.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන් විසින් දරන ලද ජාතිකවාදී ප්‍රතිපත්තියෙන් යම්තාක් දුරකට බැහැරව සිටියි. ජවිපෙ ප්‍රමුඛ පාර්ශවයද පෙර දැරූ මාක්ස්වාදී අදහස්වලින් වියුක්තව මැද මාවතක දේශපාලනය ගෙන යන බව පෙනීයයි. පසුගිය වසරේ සිදුවූ දේශපාලන සිද්ධීන් විසින් දේශපාලන පක්ෂවලට සහ ඒවායේ පැවැත්මට හා ව්‍යූවහයට සිදුකරන ලද බලපෑමේ ප්‍රතිපලයක් ලෙස ඒ ඒ දේශපාලන කඳවුරු තුළ මෙකී මතවාදී විපර්යාසයන් සිදුවී ඇති බව හැඟේ.දේශපාලන පක්ෂවල වෙනසක් සිදුවී ඇතත් පුරවැසියන් තුළ යහපත් පරිවර්තනයක්‌ සිදුවී නැති බව බොහොමයකගේ අදහසයි.


එක් තැනකින් ඉවත් වී තවත් තැනකට එක්වීම, නැතිනම් ජනප්‍රියවාදී දේශපාලන රැල්ලට හසුවීම නිසා බහුතරයක් තම දේශපාලන කඳවුර වෙනස්කර ඇති නමුත් සැබවින්ම ඔවුන් මතවාදී වශයෙන් වෙනස් වී නැත.මීට හොඳම උදාහරණය පොදුජන පෙරමුණ බලයට ගෙන ඒමේ අරමුණින් ක්‍රියාත්මක වූ අජෙන්ඩාවේ ගොදුරු බවට පත්වූ ජාතිකවාදී පාර්ශව බොහොමයක් මේ අවස්ථාවේ ජනප්‍රිය ජාතික ජන බලවේගය වටා එකතු වීමයි. ජාතික ජන බලවේගයට එරෙහිව එල්ලවන විවේචනයන්ට එරෙහිව ආවේගශීලි වන බොහොමයක් පිරිස් මෙම පාර්ශවයේ වන අතර ඔවුන් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති හෝ දර්ශනය පිළිබඳව අවබෝධයකින් තොරව පසුවෙයි.


පුරවැසියන් බහුතරයක් දේශපාලන පක්ෂවලට සහයෝගය ලබාදෙන්නේ එම පක්ෂවල ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධයකින් තොරව බව මෙයින් පෙනීයයි.ඒ වෙනුවට ඔවුන් බොහොමයක් පුද්ගලවාදී දෘෂ්ටිකෝණයකින් බලා මැතිවරණවලදී තීරණ ගැනීම සිදුවෙයි.නිදහසින් පසු සියළුම මැතිවරණවල පොදු ලක්ෂණයකි මෙය.පුද්ගලයන් පමණක් නොව දේශපාලන පක්ෂ අතර සිදුවන සන්ධාන ගතවීම්වලදී ද සිදුවන්නේ මෙයයි.2005 න් පසු මෙරට සිදුවූ ගොන්-මීහරක් පන්නයේ දේශපාලන සන්ධාන මීට හොඳම උදාහරණයන්ය. එකිනෙකට සම්පුර්ණයෙන්ම වෙනස් දේශපාලන කඳවුරු සන්ධානගත වන්නේ පෞද්ගලික වාසියට මිස ප්‍රතිපත්තිමය තීරණ මත නොවන බව එයින් මනාව පැහැදිලි වේ.මෙම මැතිවරණයේදීත් එයින් වෙනස් ප්‍රතිපල අපේක්ෂා කළ නොහැකිවනු ඇත. අඩුවැඩි වශයෙන් සියලුම පාර්ශවයන්හි පවතින පුද්ගල කේන්ද්‍රීයත්වයත්, සමාජ සුබසාධන ප්‍රතිපත්ති මත පදනම් වූ මැතිවරණ පොරොන්දුත් පුරවැසියන් ඒ මත යැපෙන්නන් බවට පත්කර ඇත. කුළුදුල් ඡන්දදායකන් ද සෑම මැතිවරණයකදී මෙන්ම ජනප්‍රියවාදී කඳවුර වෙත ආකර්ෂණය වීමේ නියතය නිසාම අපේක්ෂිත අරමුණු ඉටුවීමේ සම්භාවිතාව ඉතා අඩු සේම සමාජ මාධ්‍යවල පුරවැසි හැසිරීමෙන් ද සියළුම පාර්ශවයන්හි දේශපාලන බුද්ධිය කුමන මට්ටමක පවතින්නේ ද යන්න පිළිබඳව තේරුම්ගත හැකිය. පක්ෂය හැරුණු කොට මිනිසුන්ගේ ආකල්ප වෙනස් වී ඇත්ද?


#sahantwrites

23.01.2023


No comments:

Post a Comment