Tuesday, October 11, 2022

ටීචර්ලා නටන එක ගැන නෙමෙයි ළමයි කනබොන හැටි ගැන හිතමු

 

 

 

 


 

ආර්ථික අර්බුදයත් එක්ක මුළු ලෝකයටම ආහාර අර්බුදයකුත් ඇවිත් තිබෙනවා. ලෝකයේ සෑම රටකටම මේ අර්බුදයේ බලපෑම දැනිලා තිබෙන නිසා  ඔවුන් දැනටමත් ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ආරම්භකරලා තියෙනවා.  කොහොම උනත් 2023 අවසන් වෙනකම් ආහාර අර්බුදය ලෝකයටම බලපායි කියලා තමයි දැනට ලෝක ආහාර වැඩසටහන අනාවැකි පළකරලා තියෙන්නේ.

කොවිඩ් වසංගතය , දේශගුණික බලපෑම්, යුධමය ගැටුම් , කෘෂිකර්මය බිදවැටිම වගේම ජීවන වියදම ඉහල යාම මෙයට බලපානවා. මේ නිසාම බොහෝ රටවල් අනිකුත් රටවලට ආහාර අපනයනය කිරීම නවත්වලා තිබෙනවා. මොකද තමන්ගේ රටට අවශ්‍ය ආහාර ප්‍රමාණය ගබඩා කරගන්න ඔවුන් දැන් මහන්සි වෙනවා.

අපේ රට තුළත්  ආහාර අර්බුදයක් ඇති වේගෙන එනවා. කෘෂිකර්මාන්තය බිදවැටීම , පොහොර කෘෂි රසායන අවශ්‍ය අවස්ථාවල නොතිබීම වගේම ඉන්ධන නොමැතිකම නිසා මේ ප්‍රශ්නය තවත් උග්‍රවෙලා තිබුණා.  කොහොම උනත් මේ අර්බුදයෙන් ගොඩ ඒමට ආර්ථික ආරක්ෂාව වගේම ආහාර ආරක්ෂාව ඇති කරන්න රජය දැන් කටයුතු කරගෙන යනවා.  

ඒ වෙනුවෙන් ආහාර බැංකුව (food bank) සහ ප්‍රජා මුළුතැන්ගෙය (community kitchen) සංකල්ප සාර්ථකව කරගෙන යන්න රාජ්‍ය සේවයෙන් වැඩි පිරිසක් යොදවන්න රජය දැනටමත් කටයුතු කරලා තියෙනවා.

ප්‍රජා මුළුතැන්ගෙය (community kitchen) සංකල්පය ඇති වුණේ අරගලයත් එක්ක. අරගලයේ යෙදුනු තරුණ තරුණියෝ  ඔවුන්ගේ සංකල්පයක් විදිහට ප්‍රජා මුළුතැන්ගෙය (community kitchen) සංකල්පය අත්හදා බැලුවා.  ඒක සාර්ථක වුණ නිසා තැන් කිහිපයකම ප්‍රජාවත් එකතුකරගෙන ප්‍රජා මුළුතැන්ගෙය  ක්‍රියාත්මත කරන්න තරුණ තරුණියෝ කටයුතු කළා. ආහාර සොයාගන්න අපහසු අයට උදව්වක් වශයෙනුයි ඔවුන් ඒක කලේ. ඔවුන් තවදුරටත් ඒ වැඩපිළිවෙල කරගෙන යනවා. මේ වැඩපිළිවෙල සාර්ථක නිසා රජය ඒක පිළිඅරගෙන තිබෙනවා. රජයේ නිලධාරීන් යොදවලා ප්‍රජා මුළුතැන්ගෙය (community kitchen) සංකල්පය සාර්ථකව පවත්වමින් කුසට ආහාර නැතිව ඉන්න ළමයින්ගේ බඩගින්න නිවන්න ඔවුන් දැනටමත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ මොකද මේවෙද්දි හරියට කන්න බොන්න නැති ළමයි ගොඩක් ඉන්නවා. මේවගේ පාසල් හොයලා ඔවුන්ට ආහාරපාන ලබාදෙන්න ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා වු ඒකාබද්ධ යාන්ත්‍රණයකුත් පිහිටවලා දැන් වැඩ පටන් අරගෙන තිබෙනවා. ඇත්තටම ටීචර්ලා නටන එක ගැන නෙමෙයි ළමයි කනබොන හැටි හොයලා බලලා විසඳුම් දෙන එන එක තමා ආණ්ඩුවේ වගකීම වෙන්න ඔන.

 

 

Monday, October 3, 2022

සේවකයන් ලක්ෂ දෙකක් මහ පාරට වැටෙන අවදානමක්

විදුලි බිල ඉහළ යෑමත් සමග බොහෝ ආයතන පවත්වාගෙන යෑමට නොහැකිවීම නිසා සේවක සේවිකාවන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මහපාරට වැටීමේ අවදානමක් මතුව ඇතැයි සේවක වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති. විදුලි බිල ඉහළ යෑමත් සමග අසීමිත පාඩුවක් ලැබීම නිසා ආයතන රැසක් වැසීයාමේ තර්ජනයකට මුහුණදී සිටින බවද ඔවුහු සඳහන් කරති. කොවිඩ් පැතිරීමත් සමග ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන්ද සේවකයෝ සහ විවිධ වෘත්තිකයෝ ලක්ෂ 5කට වැඩි පිරිසක් මහ පාරට වැටුණහ. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයෙහි හෝටල්, අවන්හල් සහ විලා නිකේතන වැසීයාමේ තර්ජනයට මුහුණ දී ඇති ප්‍රධාන ස්ථාන බව ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ උපසභාපති ප්‍රියන්ත තිලකරත්න මහතා පැවසීය. ආර්ථික අර්බුදය හේතුවෙන් රට පුරා තරු පහේ හෝටල්, විලා, ගෙස්ට් හවුස් ඇතුළු සංචාරක නිකේතන දස දහසකට වැඩි සංඛ්‍යාවක් දැනටමත් වැසී ගොස් ඇතැයි ද ඔහු සඳහන් කළේය. හෝටල් පවත්වාගෙන යෑම සඳහා විදුලි බිලට සහනයක් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත. රජය සූර්ය පැනල (සෝලා) වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා හෝටල් වහල සැපයීමට සූදානම් බවද එම සංගම් නියෝජිතයෝ පවසති. ආර්ථික ගැටලු හේතුවෙන් ඇතැම් ආයතන සිය සේවකයන් ඉවත් කිරීමට සහ අඩු කිරීමට විවිධ වැඩසටහන් දැනටමත් හඳුන්වාදී ඇත. මේ අතර ජීවන වියදම වැඩිවීම හේතුවෙන් ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් විදේශ රැකියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙන බවත් 2020 වසරේ පමණක් ශ්‍රමිකයන් 53,711 දෙනකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවත් කම්කරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. විදේශගත වූ ශ්‍රමිකයන් සංඛ්‍යාව පසුගිය 2021 වසරේදී එක්ලක්ෂ විසිඑක් දහස් හත්සිය අනූ පහක් දක්වා වැඩි වී ඇත

Thursday, September 29, 2022

මුල්‍ය විනයක් පවත්වාගෙන යාම පළාත් පාලන ආයතන වලට කොතරම් වැදගත්ද?




රාජ්‍ය ආයතන හෝ පෞද්ගලික ආයතන හෝ තනි පුද්ගල ව්‍යාපාර හෝ මේ කිසිවක් වේවා එහි සාර්ථකත්වය රදා පවතින ප්‍රධාන සාධකයක් ලෙස මුල්‍ය විනයක් පවත්වාගෙන යාම පෙන්වා දිය හැකියි. මුල්‍ය විනයක් පවත්වාගෙන යාමට නොහැකි නම් මේ කුමන ආකාරයේ ආයතනයක් උවද සාර්ථකත්වය කරා යාමට දැඩි අපහසුතාවයක් දැරීමට සිදුවේ. පෞද්ගලික ආයතන හා සැසදීමේදී රාජ්‍ය ආයතන මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකළ යුතු තවත් කරුණක් වන්නේ මහජන මුදල් භාවිතයෙන් ඔවුන් සිය කටයුතු සිදුකරන බැවිනි. මේ හේතුවෙන් දැඩි මුල්‍ය විනයක් පවත්වාගෙන යාමට එම ආයතන බැදී සිටියි. මෙම තත්වය සාර්ථක කරගැනීමට පසුවිපරම් කර බැලීමේ ක්‍රමයක් ලෙස විගණනය හදුන්වාදී ඇති අතර බොහෝ රාජ්‍ය ආයතන විගණනය දකින්නේ තම හතුරකු ලෙසයි. රාජ්‍ය ආයතනයන් වසරක් තුළ සිදුකර ඇති මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් මුල්‍ය විගණනයක් කළ යුතු අතර ඇතැම් ආයතන එම මුල්‍ය විගණනය සඳහාද කැමැත්තක් නොදක්වයි. කෙසේවෙතත් අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු , පළාත් ආයතන මෙන්ම පළාත් පාලන ආයතන ද විගණනය සඳහා බැදී සිටියි. 

විගණනය වු කලී සංවිධානයක් තුල කෙරෙන ස්වාධීන තක්සේරුවකි. කළමණාකරන ඒකකයේ සියළු මට්ටම් වෙතින් ඉටුකෙරෙන සේවාවන් හා කාර්යයන් සමාලෝචනය කිරීම, මැන බැලීම, ඇගයීම හා අභ්‍යන්තර පාලන ක්‍රමයේ සිද්ධි දායකත්වය සම්බන්ධයෙන් වාර්තා කිරීමද එයට අයත් වේ. වැරදි හා වංචා වැලැක්වීම සඳහා ආයතනය තුළ ක්‍රියාත්මක වන අභ්‍යන්තර සෝදිසි හා පාලන ක්‍රමය, සැකසීම සාර්ථක දැයි සොයා බැලීම ද එමඟින් සිදුකරයි. එමෙන්ම ගිණුම් හා වෙනත් වාර්තා වල විශ්වසනීයභාවය නිශ්චය කිරීම හා යොදාගෙන ඇති පිළිගත් ගිණුම්කරණ පිළිවෙත් මගින් නිවැරදි මූල්‍ය ප්‍රකාශනයක් පිළියෙල කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයේදැයි සොයා බැලීම මෙන්ම කාර්ය මණ්ඩලයට පවරා ඇති වගකීම්, ඉටුකිරීමෙහි ලා ඔවුන්ගේ කාර්ය සාධනයේ ගුණාත්මකභාවය ඇගයීම. ආයතනයේ වත්කම් සියළුම ආකාරයේ අලාභහානිවලින් කොතරම්දුරට ආරක්ෂා වේදැයි සොයා බැලීම මේ යටතේ සිදුකරේ. ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන අතරින් ඉතා ඉහල මට්ටමේ මුල්‍ය විනයක් පවත්වාගෙන යන ආයතන කිහිපයක් ඇති අතර කුලියාපිටිය නගර සභාව ද ඒ අතරින් එකකි. 

එසේ උවද කුලියාපිටිය නගර සභාවේ 2021 වර්ෂයේ මුල්‍ය විගණනයේදී රුපියල් ලක්ෂ 20 ආසන්න මුදලක් වියදම් කිරීම පිළිබඳ ගැටලු සහ මුදල් ගණුදෙනු කිහිපයක් පිළිබඳ අපැහැදිලිතාවන් හදුනාගෙන තිබේ. ඒහැරුණු විට ඔවුන් ඉතිරි කටයුතු සාර්ථකව ඉටුකර තිබිම විශේෂත්වයකි. කුලියාපිටිය නගර සභාවේ හදුනාගත් අඩුපාඩු මෙසේය, 


 ගෙවීම් වචුවර් වල අඩුපාඩු 

 රජයේ මුල්‍ය කටයුතු සිදුකිරීමේදී යම් පිළිවෙලක් ඇති අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ දක්වා ඇත. ඒ අනුව වවුචර් ගෙවීම් සිදුකිරීමේදී ගෙවන ලදී යන මුද්‍රාව වවුචරය මත තැබීම මෙන්ම ගෙවන නිලධාරීයා විසින් කෙටි අත්සන යෙදීම සිදුකළ යුතුය. එමෙන්ම චෙක් පත් අංක සටහන් කරගැනීම , මුදල් හෝ ගෙවීම් භාරගත් බවට අත්සනක් යෙදීම් ආදී කරුණු අනිවාර්ය කරුණු ය. එසේ උවද 2021 වසරට අදාළව කුලියාපිටිය නගර සභාව විසින් සිදුකළ ගෙවීම් බොහොමයක ඉහත ගැටලු ඇති බව හදුනාගෙන තිබේ. එමෙන්ම නගර සභාවේ දෛනික ගෙවීම් වලට අදාළව 2021 ජුලි මස රුපියල් 116,316 ක මුදලක් ගෙවීම සම්බන්ධයෙන් අත්සන් හෝ කුවිතාන්සි ලබාගෙන නොමැති බව අනාවරණය වී ඇත. 

 ත්‍රීරෝද රථ ගාස්තු 


 නගර සභා සීමාවේ ත්‍රීරෝද රථ සඳහා මසකට රුපිල් 350 ක් අයකරගත යුතු බවට 2020 නොවැම්බර් මස 20 දින රජය මගින් ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරතිබේ. ඒ අනුව උවද කුලියාපිටිය නගර සභාවේ ත්‍රීරෝද රථ 164 ක් ලියාපදිංචි වී ඇති අතර ඒ වෙනුවෙන් 2021 වර්ෂයට අදාළව රුපියල් 688,800 ක් අයවිය යුතුව තිබිණ. එසේ උවද අදාළ වර්ෂය සඳහා අයවී ඇත්තේ රුපියල් 15,750 ක මුදලක් පමණි. අය විය යුතු මුදල් අයකරගැනීමට නගර සභාව කටයුතු කර නොමැති අතර ත්‍රීරෝද රථ සංගම්වල භාණ්ඩාගාරික විසින් අදාළ මුදල් මාසිකව අයකර ඇති බවද මේ සම්බන්ධයෙන් කර ඇති විගණනයේදී අනාවරණය වී ඇත. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නගර සභාවේ මතය විමසීමේදී නාගරික ලේකම් එච්.එම්.පී.කේ හේරත් මහතා පැවසුයේ පසුගිය වසරේ කොවිඩ් උවදුර පැවති බැවින් ත්‍රීරෝද රථ යථාපරිදි ධාවනය වීමක් සිදුනොවු බවයි. එබැවින් ගාස්තු ගෙවීමද යථාපරිදි ඔවුන් සිදු නොකළ බවද ඇතැමුන් ධාවනයෙන් ඉවත් වු බවද හෙතෙම සදහන් කළේය. ධාවනයෙන් ඉවත්වු ඇතැම් රථ ගෙවීම ප්‍රතික්ශේප කර ඇති බවද ලේකම්වරයා පැවසීය. කෙසේඋවද ජනතාව සහ නගර සභාව අතර ගැටුමක් ඇති නොවන ආකාරයට එවැනි ගැටලු විසඳාගැනීමට කටයුතු කරන බවද හෙතෙම මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් කළේය. 

 බලපත්‍ර සහ තැන්පත් ගාස්තු 

 2021 වර්ෂය සඳහා නගර සභා බල ප්‍රදේශයේ හදුනාගත් ව්‍යාපාර 1034 ක් පවතී තිබුණද එයින් ව්‍යාපාර 247 ක් සඳහා බලපත්‍ර ගාස්තු ලබාගැනීමට නගර සභාව කටයුතු කර නොතිබුණි. එමෙන්ම 2021 වර්ෂයේ දෙසැම්බර් 31 දිනට තැන්පත් ශේෂ වන ලංසු ඇප, ගිවිසුම් ආරක්ෂිත ඇප, මිශ්‍ර තැන්පත්, නගර ශාලා තැම්පත්, රැදවුම් මුදල් තැම්පත්, ටෙන්ඩර් තැන්පත්, කඩ කාමර, කොන්ත්‍රාත් ගිවිසුම් ආදියෙන් රුපියල් 8,584,537 ක තැන්පත් ශේෂ මුදල් සම්බන්ධයෙන්ද නගර සභාව නිසිපරිදි කටයුතු කර නොමැති බව අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන්ද නගර සභාවේ මතය විමසීමේදී නාගරික ලේකම් එච්.එම්.පී.කේ හේරත් මහතා සඳහන් කළේ කොඩිව් උවදුර පැවති පසුගිය වසරේ සියලු නීතිරීතී අකුරට අනුගමනය කිරීමේ හැකියාවක් නොතිබු බවය. අලුතින් ව්‍යාපාර ආරම්භකළ ඇතැමුන්ට කෝවිඩ් උවදුර හේතුවෙන් සිය ව්‍යාපාර කරගෙන යාමට නොහැකි වූ අතර ඔවුන් ව්‍යාපාර නවතා දමා ඇති බවද එවැනි පුද්ගලයින් බලපත්‍ර ගාස්තුව ගෙවා නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේය. කෙසේවෙතත් සාධාරණ හේතු නොමැතිව බලපත්‍ර ගාස්තු ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයින්ගෙන් එම මුදල් අයකරගැනීමට මෙන්ම උසාවියේ නඩු පැවරීමටද නගර සභාව කටයුතු කළ බවද ලේකම්වරයා කීවේය. එමෙන්ම කුලියාපිටිය නගර සභාව තුළ අභ්‍යන්තර විගණන ඒකකයක් ස්ථාපිත කර ඇති බවද ඒ අනුව නගර සභාවේ සෑම කටයුත්තකදීම මුල්‍ය විනය පවත්වාගෙන උත්සහ කරන බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය. නගර සභාව සැමවිටම ජනතාව වෙනුවෙන් කටයුතු කරන ආයතනයක් බැවින් ජනතාවගේ පැත්තේ සිට තීරණ ගැනීමට කටයුතු කරන බවත් කෙසේ වෙතත් ජනතා මුදල් නිසි පරිදි පරිහරණය කිරීමට කැපවී සිටින බව කුලියාපිටිය නගර සභාවේ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. වාර්ෂික මුල්‍ය විගණනයට අනුව නගර සභාව විසින් සිදුව ඇතැයි ප්‍රකාශ කරන අඩුපාඩු දුර්වලතා එලෙස හදුනාගැනීමට සහ පිළිගැනීමට නගර සභාව කටයුතු කිරීමත් ඒවාට විසඳුම් සෙවීම කඩිනම් කිරීමත් රාජ්‍ය ආයතනයක් ලෙස පැසසීමට ලක් කළ යුතු තත්වයකි. විගණනය සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවාට බොහෝ රාජ්‍ය ආයතන අකමැති අතර එසේ උවද කුලියාපිටිය නගර සභාව විගණනය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය සතුටුදායකය. එසේ උවද නගර සභාවේ මුල්‍ය විනය තවදුරටත් සාර්ථකව පවත්වාගෙන යාමට නගර සභාවේ සභාපතිවරයා ඇතුලු දේශපාලන නායකත්වයද ලේකම්වරයා ප්‍රමුඛ පරිපාලන නායකත්වයේ කැපවීමද දැඩි අවශ්‍යතාවයකි. 


 සටහන - චාමර සම්පත්

පංචමහා බලවේගයේ නිර්මාතෘ බණ්ඩාරනායක

======================================== ​​​ඔහු නමින් සොලමන් ඩයස් බණ්ඩාරනායකය. ඉපදුණේ 1899 ජනවාරි 08 වනදා කොළඹ මෝදර “එලි හවුස්” මන්දිරයේය. පියතුමන් මෙරට දේශීය නායකයා ලෙස එංගලන්ත අධිරාජ්‍යය පිළිගත් මහ මුදලි සොලමන් ඩයස් බණ්ඩාරනායකය. මව මෙරට ප්‍රතාපවත් ප්‍රභූ පවුලකින් පැවැතුණු ඩේසි ඇසිලින් ඔබේසේකර විය. ඉපදී සති කිහිපයකින් සිදු කෙරුණු බෞතිස්ම මංගල්‍යයේදී ඔහුගේ ආගමික පීතෘත්වය හිමි වූයේ එවකට ලංකාවේ අග්‍රාණ්ඩුකාරවර ශ්‍රීමත් වෙස්ට් රිජ්වේ මැතිදුන්ටය. එහෙයින් බෞතිස්ම මංගල්‍යයෙන් පසු ඔහුගේ නම සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක විය. ඔහුට බාල සහෝදරියන් දෙදෙනෙකි. ලොකු නංගී ඇනා පොලොස්තිනා වූ අතර පවුලේ බඩ පිස්සිය වූයේ ඇලෙක්සැන්ඩ්‍රා කොර්නේලියා පොඩි නංගීය. ​​​ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ සිසුවකු ලෙස 1915 වසරේ දෙසැම්බරයේ දී පැවැති කේම්බිජ් සීිනියර් විභාගයට පෙනී සිටි ඔහු එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයන් වූ රටවල් සියල්ලෙන්ම පළමුවැනියා ලෙස එම විභාගය සමත් විය. අනෙක් විෂයයන්ට අමතරව ඉංග්‍රිසි, ග්‍රීක, ලතින් සහ ප්‍රංශ භාෂාවන්ද ඔහු විශිෂ්ට ලෙස සමත්ව තිබුණි. 1919 වසරේදී ඔහු සිය උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුලු විය. ඔක්ස්ෆර්ඩ් හි එකළ තිබූ වර්ණ භේදය හා ආසියානු විරෝධය නිසා වසර 2 1/2 ක් පමණ ගතවන තුරු ඔහුට අධ්‍යාපන කටයුතු හැර විශ්වවිද්‍යාලයේ කිසිදු බාහිර ක්‍රියාකාරකමක් සඳහා ඉඩක් නොලැබුණි. බොහෝ උත්සාහ කිරීම්වලින් පසුව ඔක්ස්ෆර්ඩ් හි සතිපතා පැවැත්වෙන විවාදයකට සහභාගී වන්නට 1921 නොවැම්බර් 17 දින ඔහුට අවස්ථාව හිමි විය. ලැබුණු විනාඩ් 15 ක කාලය තුළ කරන ලද කරුණු දැක්වීමේදී ඔහුගේ වටිනාකම විශ්ව විද්‍යාලයට අවබෝධ කර දෙන්නට ඔහු සමත් විය. ඔක්ස්ෆර්ඩ් හි “ආසියාවේ රිදී සීනුව” ලෙස විරුදාවලී ලැබූ ඔහු එතැන් සිට ඔක්ස්ෆර්ඩ් හි සතිපතා පැවැත්වෙන විවාදයන් සඳහා නැතිවම බැරි කථිකයකු විය. ​​​ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුරට පත් වූ ප්‍රථම ආසියාතිකයා වීමේ ගෞරවය ද දිනා ගනිමින් 1923 දී ඊට පත් වූයේ ඡන්ද 171 ක් ලබා ගනිමිනි. ඒ ඔහුගේ ආසන්තම ප්‍රතිවාදියා වූ එංගලන්ත ජාතික ආර්.සී. මැතිව්ස් ඡන්ද 146 කට සීමා කරමිනි. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ උපාධියේ අවසන් විභාගයෙන් සහ බැරිස්ටර් විභාගයෙන් ද විශිෂ්ට ලෙස සමත් වූ ඔහු, සිය උසස් අධ්‍යාපනය නිමා කර, බැරිස්ටර්වරයෙකු ලෙස 1925 පෙබරවාරි 24 දින යළි සිය මව්බිමට පැමිණියේය. ​​​ඔක්ස්ෆර්ඩ් සරසවියේ ගත කළ වසර කිහිපය තුළ ලෝකය පුරා හමා යමින් තිබූ සමාජවාදයේ සුළඟ ඔහුගේ ද ගත සිත වෙළා ගෙන තිබුණි. සරසවිය තුළ පැවති වර්ණ භේද වාදය සහ ආසියානු විරෝධය ඔහු දේශපාලනය කෙරෙහි වඩාත් නැඹුරු කරවීය. බ්‍රිතාන්‍යයන් ඔවුන්ගේම රට තුළත්, ඔවුන්ගේ පාලනය යටතේ තිබූ තම රට ඇතුලු යටත් විජිතයන්වලත් කටයුතු කළ ආකාරය පිළිබඳව ඔහුගේ විරෝධය ද එල්ල වෙමින් තිබුණි. තම රටේ ජීවත් වන අහිංසක ජනතාව ඉංග්‍රීසි අධිරාජ්‍යයෙන් බේරා ගනිමින් තම මව්රටට අනන්‍ය වූ පාලන ක්‍රමයක් මගින් රටත්, ජනතාවත් නගා සිටුවීම ඔහුගේ චින්තනය විය. එහෙත්, එකළ බොහෝ අධිරාජ්‍ය විරෝධීන් මෙන් සම්ප්‍රදායික සමාජවාදය පිළිබඳව ද ඔහු දැඩිව විශ්වාස නොකළේය. ඔහුට අවශ්‍ය වූයේ අධිරාජ්‍යවාදයෙන්, ධනවාදයෙන් සහ සමාජවාදයෙන් ද යහපත් දේ ලබා ගනිමින් ඒවා තම මව්බිමේ සංස්කෘතියට සරිලන සේ ගලපා ගනිමින් රටේ ජනතාව ආකල්පමය වශයෙන් ශක්තිමත් කිරීමය. ​​​යුක්තිය, සාධාරණය, සාමය, සමගිය, සංහිඳියාව, වගකීම, එකමුතුකම, නීතියේ ආධිපත්‍යය, සාමානාත්මතාවය සහ එකිනෙකා කෙරෙහි ගෞරවාන්විත වීම ඔහුගේ හිත තුළ නිතර නිතරම පෙරළි කළ සමාජ වගකීම් විය. රටත්, ජනතාවත් සුඛිත මුදිත කිරීමට නම් මේ සියලු කරුණුවලින් පෝෂිත ජනතාවක් බිහිකිරීම පළමු පියවර බව සිතූ ඔහු එය ජනතාවට දැනෙන ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීමට නිතර වෙහෙස විය. මේ සිතිවිලි හෙවත් බණ්ඩාරනායක චින්තනය ඔහු මුල්වරට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ 1925 පෙබරවාරි 25 දින තමන් පිළිගැනීම සඳහා අත්තනගල්ල ජනතාව කළගෙඩිහේනේදී පැවැත්වූ රැස්වීම අමතමිනි. අප යටත් කරගෙන සිටි සුදු අධිරාජ්‍යය විසින් මෙරට දේශීය රාජ්‍ය නායකයා ලෙස පිළිගෙන තිබූ මහමුදලිතුමන්ගේ පුතණුවන් වූ 26 වියැති තරුණ බණ්ඩාරනායක එහිදී පැවසුවේ “මට හැමවිටම හිතෙන්නේ මා ද ඔබගෙන් කෙනෙකු ලෙසිනි. කිසියම් දෛවපෝගත සිදුවීමකින් මට ඔබ අතර විශේෂ තැනක් හිමිවන්නේ නම් ඒ ඔබගේ නායකයෙකු ලෙස නොව, සේවකයෙකු හැටියට බව හොඳින් හිත්වල තබා ගන්න” යනුවෙනි. ​​​අධිනීතිඥවරයෙකු ලෙස හැමවිටම ඉංග්‍රීසි බැරි දුප්පත් ජනතාවට ඉංග්‍රීසි විනිසුරුවන් වෙතින් යුක්තිය හා සාධාරණත්වය ලබාදීමට උනන්දු වූ ඔහු, අලුත්කඩේ අධිකරණයේ “දුප්පතාගේ අද්වකාත්” ලෙස විරුදාවලිය ලැබීය. මේ කාලය තුළ ලංකාවේ නිදහස් සටනට කර උර දුන් ඔහු ඉදිරිපත් කළ අදහස් නිදහස් සටනට දායක වූ බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක් විය. 1926 දෙසැම්බර් 14 වෙනිදා පැවති කොළඹ මහනගර සභාවේ මරදාන කොට්ඨාශයේ අතුරු මැතිවරණයට තරග කළ කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රතිවාදියා ලෙස ඉදිරිපත් වූයේ තරුණ බණ්ඩාරනායක නීතිඥවරයාය. සීමිත පිරිසකට පමණක් ඡන්ද බලය හිමිව තිබූ, වරාය හා දුම්රිය කම්කරුවන්ගෙන් පිරුණු මරදාන කොට්ඨාශය සඳහා කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ මහතාට එරෙහිව තරග වැදීම බණ්ඩාරනායකගේ මෝඩකමක් බව බොහෝ දෙනාගේ මතය විය. එහෙත්, ඡන්ද ප්‍රතිඵලය පිටවන විට ගුණසිංහ මහතා වැඩි ඡන්ද 615 කින් පරාජය කරමින් තරුණ බණ්ඩාරනායක ජයගෙන තිබුණි. ​​​ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ 1931 වසරෙහිදී සර්වජන ඡන්ද බලය ලැබීමත් සමඟම බිහි වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වේයන්ගොඩ කොට්ඨාශ මන්ත්‍රීවරයා ලෙස නිතරගයෙන් පත් වූ බණ්ඩාරනායක සිය අත්දැකීම් සමග වර්ධනය වූ බණ්ඩාරනායක චින්තනය තවදුරටත් ශක්තිමත් කරගැනීමට එහිදී ද උනන්දු විය. එවකට ලෝකයේ පැවති ධනවාදී සහ සමාජවාදී කඳවුරු දෙකෙන්ම යහපත් දේ ලබාගනිමින් ඒ කඳවුරු දෙකටම මැදින් රටේ සංස්කෘතිය හා බද්ධ කළ හැකි දේශීය වැඩපිළිවෙලක් මගින් රටත්, ජනතාවත් දියුණුවට පත් කිරීම ඔහුගේ අරමුණ විය. වසර ගණනාවක් තිස්සේ ඔහු පුවත්පත් හා සඟරාවලට ලියූ විවිධ ලිපි සහ විවිධ මාතෘකා යටතේ ඔහු පැවැත්වූ ප්‍රසිද්ධ දේශන පිළිබඳව අධ්‍යයනය කරන විට එය ඉතා පැහැදිලි වෙයි. ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙකු මෙන්ම, එහි පළාත් පාලනය පිළිබඳව විධායක කාරක සභාවේ සභාපතිවරයා හෙවත් ඇමතිවරයා ලෙසත් රට ගොඩනගන්නට, ජනතාව පෙළන දරිද්‍රතාවය අවම කරන්නට ඔහු හැකිතාක් වෙර දැරුවේය. සෞඛ්‍යය, අධ්‍යාපනය සහ කෘෂිකර්මය වැනි ජනතාවට වැදගත් ක්ෂේත්‍රයන් ශක්තිමත් කිරීමට රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ද ඔහු දැරූ උත්සාහය ඉතා විශිෂ්ටය. ​​​පරිපූර්ණ සමෘද්ධිමත් සමාජයක් බිහි කිරීමට නම් එහි විනය, නිරෝගීකම, දැනුම, ආහාර හා ශ්‍රමය යන කරුණු අත්‍යාවශ්‍ය අංගයන් බව ඔහුගේ දැනුමෙන් සහ ප්‍රායෝගිකත්වයෙන් ඔහු හඳුනාගෙන තිබුණි. 1951 ජූලි 09 දින පැවති සිංහල මහා සභාවේ සුප්‍රසිද්ධ මාදම්පා සම්මේලනයේදී එකී පදනම මත සකස් කෙරුණු යෝජනා 07 ක් ඒකමතිකව සම්මත කෙරුණි. එම යෝජනා පිළිබඳව රජයේ ප්‍රතිචාරය අනුව ඉදිරි පියවර ගැනීමට තීරණය විය. මෙම යෝජනා පිළිගැනීමෙන් රටට සිදුවන යහපතට වඩා තම දේශපාලන බලපරාක්‍රමයට සිදුවන හානිය ගැන සිතූ ඩී.එස්. සේනානායක අගමැතිවරයා එම යෝජනා 07 ම ප්‍රතික්ෂේප කළේය. එහෙයින්, තම කණ්ඩායම සමග රජයෙන් ඉවත් වීමට තීරණය කළ බණ්ඩාරනායක ඇමතිවරයා 1951 ජූලි 12 දින පැවති අයවැය විවාදය ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය අමාත්‍ය පදවියෙන් සහ සභානායක පදවියෙන් ද ඉවත්ව විපක්ෂයේ අසුන් ගත්තේය. ​​​බණ්ඩාරනායක ඇමතිවරයාගේ මේ විපක්ෂයට යාම සමහර දෙනා පවසන්නේ ඩී.එස්. සේනානායක මහතාගේ අභාවයෙන් හිස් වූ අගමැති පදවිය නොලැබුණු නිසා ඔහු විපක්ෂයට ගිය බවය. එහෙත්, ඩී.එස්. සේනානායක අගමැතිවරයාගේ හදිසි මරණය සිදුවන්නේ බණ්ඩාරනායක මහතා විපක්ෂයට ගොස් මාස 08 කටත් පසුව 1952 මාර්තු 22 දිනය. ඒ වනවිට බණ්ඩාරනායක මහතා සිය සභාපතීත්වයෙන් යුතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පිහිටුවා මාස 06 කටත් වඩා ගත වී තිබුණි. ​​​1951 සැප්තැම්බර් 02 දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමෙන් බණ්ඩාරනායක මහතා බලාපොරොත්තු වූයේ වසර ගණනාවක් පුරා තම සිතෙහි වර්ධනය වෙමින් තිබූ දේශපාලන න්‍යාය හෙවත් බණ්ඩාරනායක චින්තනය රටට වැඩදායක දේශපාලන ප්‍රතිපත්තියක් ලෙස සක්‍රීය කිරීමට බව පැහැදිලිය. සමාජයේ දියුණුව සඳහා අත්‍යවශ්‍ය අංගයන් ලෙස ඔහු දුටු විනය, නිරොගීකම, දැනුම, ආහාර සහ ශ්‍රමය යන පංචාංගය ජනතාවට වඩාත් සමීප කර එහි වැදගත්කම අවබෝධ කරදීමට නම් එම කරුණු සිය දේශපාලන වැඩපිළිවෙල තුළ සජීවිකරණය කළයුතු බව ඔහු සිතුවේය. ඒ සඳහා මෙරට සාමාන්‍ය ජනතාවට වඩාත් සමීප සජීවි චරිත ඔහු තෝරා ගත්තේය. ඒ අනුව විනය නිරූපණය සඳහා එකළ සමාජයේ වඩාත්ම විනයවත් පිරිස ලෙස සැලකුණු බෞද්ධ භික්ෂුව තෝරා ගත් ඔහු, නිරෝගීකම වෙනුවෙන් ගමේ වෙද මහතා තෝරා ගත්තේය. දැනුම වෙනුවෙන් ගුරුවරයාත්, ආහාර වෙනුවෙන් ගොවියා සහ ශ්‍රමය නිරූපණය සඳහා කම්කරුවාත් ඔහුගේ තේරීම විය. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පදනම යනු සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය බව පැවසූ ඔහු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් යටතේ මෙම පංච මහා බලවේගය ශක්තිමත් කරමින් රට සමෘද්ධිමත් කරන බව ද පැවසීය. ​​​“මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම” බව සිය ජීවිතයේ පරමාදර්ශය කර ගත් ඔහු 1956 අප්‍රේල් 12 දින භාර ගත් අගමැති පදවිය හෙබවූ වසර 3 1/2 කටත් අඩු කාලය තුළ එය ජනතා සේවය සඳහාම කැප කළේය. බස් ජනසතුව, තෙල් ජනසතුව, මැයි දිනය නිවාඩු දිනයක් කිරීම, සේවක අර්ථසාධක අරමුදල පිහිටුවීම, රටේ විශ්ව විද්‍යාල පද්ධතිය දෙගුණයක් කිරීම, සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කිරීම ඔහු කළ ජනතා සේවාවන්ගෙන් අංශු මාත්‍රයක් පමණි. මේ අතරින් සිංහලය රාජ්‍ය භාෂාව කිරීම පිළිබඳව බොහෝ දෙනා අද ඔහුට නිර්දය ලෙස පහර දෙති. ​​​සැබවින්ම එකළ ප්‍රභූ සහ වරප්‍රසාද ලත් පංතිවල ජනතාවට පමණක් සීමා වී තිබූ උසස් අධ්‍යාපනය සඳහා ගමේ දරුවන්ට පහසුකම් සැලසුනේ එමගිනි. ඔහු එදා සිංහලය රාජ්‍ය භාෂාව කිරීම නොවන්නට අදත් පාර්ලිමේන්තුවේ සිටින බොහෝ දෙනෙකුට සිදුවන්නේ “කපුටාස් හිට් ද ප්ලේන්” කීමට පමණි. මක්නිසාද ඒ වනතුරු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුනට සිංහලෙන් පාර්ලිමේන්තුව ඇමතීමට හැකි වූයේ කතානායකවරයාගේ පූර්ව අවසරය මත දිනකට විනාඩි 20 ක් පමණක් හෙයිනි. අනෙක් අතට සිංහලය රාජ්‍ය භාෂාව නොවූයේ නම් උසාවියකට යන ගැමියෙකුට සිදුවන්නේ ලෙනාඩ් වුල්ෆ්ගේ “බැද්දේගම” නවකතාවේ එන සිළිඳුට සිදුවූ දේමය. බොහෝ දෙනා අද කියන පරිදි සිංහලය රාජ්‍ය භාෂාවක් කිරීමෙන් ඉංග්‍රීසි ඉගෙනීමට කිසිදු බාධාවක් වූයේ නැත. එහෙත් ඉංග්‍රීසිය නොදැනීම නිසා ඉදිරියට යාමට නොහැකිව සිටි ගැමි දරුවනට සිය උපාධිය දක්වා මව් භාෂාවෙන් ඉගෙනීමට ඒ නිසා හැකි විය. එහෙයින්ම ගමක් පාසා වෛද්‍යවරුන්, නීතිඥවරුන්, පරිපාලන සේවා නිලධාරීන් ද බිහි විය. ​​​මෙම තත්ත්වය පිළිබඳව වෙනම කතා කළ යුතුය. පංච මහා බලවේගය කුමක්ද යන්න අවබෝධ කර නොගෙන එහි දේශපාලනික නිරූපණය පිළිබඳව පමණක් සිතා භික්ෂුව දේශපාලනයට ගෙන ආ බවට චෝදනා කරන අතරේ ඊට තරුණ හා රණවිරු බලවේග එක් කර සප්ත මහා බලවේගය කළ යුතු බවට කියන බුද්ධිමතුන් සිටින රටකි, මෙය. අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට පෑගි සිට සියවස් එකහමාරකට පමණ පසු, ඉන් යම් සහනයක් ලැබූ පසු සිය මව්බසින් රටේ පොදු කටයුතු කිරීමට එරෙහි වන රටකි මෙය. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ට දෙස් දෙවොල් තබමින් උන්ගේ මව්බස වන ඉංග්‍රීසියට මුල් තැන දෙන්නට කැසකවන රටකි ලංකාව. කරන්නට සැලසුම් කර තිබූ බවට සිතිය හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් සිංහල, දෙමළ, මුස්ලිම් සියල්ලන්ටම සම අයිතිවාසිකම් හා වගකීම් සහිත ලංකාවක්, බණ්ඩාරනායක චින්තනය අනුව ගොඩනගන්නට අඩුම තරමින් තවත් අවුරුදු 5 ක් වත් ඔහු ජීවත්ව සිටියේ නම් අපේ රට ගැන අද අපට ආඩම්බර විය හැකිව තිබූ බව මගේ විශ්වාසයයි.​ ​​​විශ්ව විද්‍යාලය ගැන අද බොහෝ දෙනා බොහෝ දේ කියති. විශ්ව විද්‍යාල ප්‍රජාව කියන කරන බොහෝ දේ ගැන ද අපි දන්නෙමු. එදා අපේ රටේ තිබූ විශ්ව විද්‍යාල පද්ධතිය දෙගුණයක් කිරීමෙන් පසු අවස්ථාවක විශ්ව විද්‍යාලය ගැන එතුමන් පැවසූ ස්වර්ණමය වදනකින් මෙය අවසන් කරමි. මෙය නිවැරදිව අරුත් ගන්වා ගතහොත් සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායකයන් ඉතා හොඳින් හඳුනා ගැනීමට ඕනෑම අයෙකුට හැකිවනු ඇත. ​​​“මිනිසා විසින් තනන ලද සියලුම රසායනාගාර අතරින් ඉහළම හා ඉතා වැදගත්ම රසායනාගාරය වන්නේ විශ්ව විද්‍යාලයයි.”​ මොන්ටේගු සරච්චන්ද්‍ර ශ්‍රී.ල.නි.ප. විධායක සභික / මනෝවිද්‍යා උපදේශක

Tuesday, September 27, 2022

ජීනිවා යෝජනා පරද්දන චෝදනා

සැප්තැම්බර් මස 12 වැනි දින ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය ඔක්තෝබර් මස 7 වැනිදායින් නිමා වේ. එහෙත් මෙම සමුළුව ආරම්භ වීමට දින හයකට පූර්වයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව ප්‍රසිද්ධ කරනු ලැබිණි. එම වාර්තාව පිළිබඳව ලෝකයේ මෙතෙක් නොවූ විරූ සාකච්ඡාවක් ඇති විය. මෙවැනි වාර්තාවක් පිළියෙළ කිරීමේදී අදාළ රටෙහි විදේශ අමාත්‍යාංශයෙන් තොරතුරු විමසීම සාමාන්‍ය ක්‍රියා පිළිවෙතයි. පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරුන් කිහිපදෙනකු විටින් විට පත් වුවද ඔවුනට අවශ්‍ය තොරතුරු අමාත්‍යාංශයේ නිලධාරීන් සපයන්නට ඇත. එහෙත් මගේ මතය අනුව, ලංකාවෙන් ලබාදෙන ලද තොරතුරු මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය එතරම් දුරට සැලකිල්ලට ගෙන නොමැත. මෙම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු, එහි මුඛ්‍ය දේශනය නියෝජ්‍ය මහකොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කරනු ලැබීය. පිටු 16 කින් සමන්විත අදාළ වාර්තාවෙහි 71 හා 72 හි ඡේද මගින් ලංකාවට අදාළ නිර්දේශ ඉදිරිපත් කර ඇත. එහි 72 G හි ඇතුළත් නිර්දේශය තරමක් භයානක එකකි. ශ්‍රී ලංකාව ආර්ථික අපරාධ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කිරීමට මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය අපේක්ෂා කරන බවත් එහි සඳහන්ය. එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉතිහාසය ඇතුළත මින් පෙර සිදුනොවුණු දෙයකි. එනම්, මානව හිමිකම් ක්ෂේත්‍රයෙන් ඔබ්බට ගිය කාරණයක් ගැන පළමු වරට අවධානය යොමුකර තිබීමය. ආර්ථික අපරාධ සිදුකරන ලැදැයි සඳහන් කර තිබුණද, එසේ කර ඇති ආර්ථික අපරාධ මොනවාද සහ නිශ්චිත කාලපරාසය මේ ආදී කිසිවක් ගැන සඳහනක් නැත. එය විවෘතව තබා ඇත. ආර්ථිකය සම්බන්ධ කාරණයේදී ශ්‍රී ලංකාව නියමු ව්‍යාපෘතියක් වශයෙන් යොදාගෙන තිබෙන බවත් කවුන්සිලයෙහි සෙසු සාමාජික රටවල් අරබයා ද එවැනි යෝජනා ගෙන ඒමේ ඉඩක් ඇති බවත් මගේ නිරීක්ෂණයයි. එක්සත් ජාතීන්ගේ 1966 ආර්ථික සමාජයීය සහ සංස්කෘතික අයිතිවාසිකම් සම්මුතියට ශ්‍රී ලංකාව ද අස්සන් තබා ඇත. එම සම්මුතිය යටතේ ආර්ථික අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ සොයාබැලීමට කමිටුවක් පිහිටුවා තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම් කඩ වී ඇත්නම් අදාළ කමිටුවට ඒ ගැන සොයා බැලීමේ හැකියාව තිබිණි. එහෙත් එසේ නොකර සෘජුවම අදාළ චෝදනාව මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාවට ඇතුළත් කර තිබේ. අප මේ තත්ත්වය වඩාත් බැරෑරුම්ව සැලකිය යුතු අතර ප්‍රතිචාර ද දැක්විය යුතුය. අදාළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය විසින් ලබාදෙන ලද ප්‍රතිචාරය ගැන සෑහීමකට පත් විය නොහැකිය. ප්‍රතිපත්තිමය ප්‍රතිචාරයක් ලබා දීමට ශ්‍රී ලංකාව අපොහොසත් වූ බව මගේ අදහසයි. මානව හිමිකම් කවුන්සිලය රැස්වීමට ආසන්න කාලයේදී පිළිතුරු වාර්තාව සැකසීම ප්‍රමාණවත් නැත. ඒ සඳහා කල්තියා සූදානම් විය යුතුය. අවශ්‍ය විමර්ශන කර ආර්ථිකය කඩාවැටීමට බලපෑ හේතු කවරේද යන්න නිශ්චිතව අප විසින් ඉදිරිපත් කරනු ලැබිය යුතුව තිබිණි. අපේ පැත්තෙන් ආර්ථිකය හැසිරවීම සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙන බව පැහැදිලිය. එය අප පිළිගත යුතුය. අදාළ ආර්ථික අපරාධ යන චෝදනාව ප්‍රතික්ෂේප කිරීම පමණක් ප්‍රමාණවත් නැත. ඒ අරබයා ඉදිරිපත් කරන දත්ත සාක්ෂි ශක්තිමත් ඒවා විය යුතුය. මානව හිමිකම් කවුන්සිලයේදී රුසියාව, චීනය, කියුබාව ආදී රටවල සහයෝගය ලැබෙන නිසා අපට එරෙහිව ඉදිරිපත් වන යෝජනාවලින් ආරක්ෂා විය හැකිය යන පූර්ව උපකල්පනය ඇතිව ලංකාව කටයුතු කරන බව පෙනේ. එය වෙනම කාරණයකි. එහෙත් දැන්වත් නිශ්චිත ආර්ථික සැලැස්ම අපි සකස් කර ගත යුතු වෙමු. මූලික මානව හිමිකම් උල්ලංඝනය වීම්වලට වඩා මේ වන විට ලෝකය ලංකාව සම්බන්ධයෙන් කතා කරන්නේ එහි සිදුව ඇතැයි කියන ආර්ථික අපරාධ ගැනය. 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ සිදුකරන ලද අත්අඩංගුවට ගැනීම් ගැන ද ප්‍රශ්න කර තිබේ. එසේ අත්අඩංගුවට පත්වූවන් ත්‍රස්තවාදීන් වන්නේ ද යන්නත් ප්‍රශ්න කර ඇත. එම පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර 15 හා 16 වශයෙන් අත්අඩංගුවේ තබාගෙන සිටින සැකකරුවන් සිටින බව අප අමතක නොකළ යුතුය. එසේ අත්අඩංගුවේ තබා ගත නොහැකිය. එය සම්පූර්ණ වරදකි. එම සැකකරුවන්ට එරෙහි විමර්ශන අවසන් කර නඩු පැවරිය යුතුය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට 2022 අප්‍රේල් මස 1 වැනි දින සංශෝධනයක් ගෙන එන ලදී. එම සංශෝධනය ප්‍රකාරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයකුට අවශ්‍ය ප්‍රවේශය ගැනීමටත් ඒ ඔස්සේ ඉදිරියට යෑමටත් සැකකරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇත්නම් ඊට වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමටත් නීතිමය අවකාශය නිර්මාණය කර තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට 2022 දී සිදු කළ සංශෝධනය ඇසුරින් නව ජාතික ආරක්ෂක පනතක් සකස් කරන්නේ නම් එය යහපත්ය යන ස්ථාවරයේ මම සිටිමි. ඒ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරුවන් සිදුකරන පාපෝච්චාරණ ඔවුන්ට එරෙහි නඩුවල සාක්ෂි වශයෙන් යොදාගැනීමේ හැකියාව තිබෙන නිසාය. මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පරණ එකකි. නූතනයේදී ත්‍රස්තවාදය පැමිණෙන්නේ අවි ආයුධවලින් පමණක් ම නොව අන්තර්ජාලය නවීන තාක්ෂණය ඔස්සේද එය පැමිණිය හැකිය. මේ පනතින් එම ක්ෂේත්‍ර ආවරණය වන්නේ නැත. එසේම මේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන් දින 90 ක කාලයක් රඳවා තබා ගත හැකි අතර මගේ අදහස අනුව, එම කාලය දින 14 ක් දක්වාවත් අඩු කළ යුතුය. ඉන්පසු සැකකරුවන් සම්බන්ධ ඉදිරි කටයුතු මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවේ සිදු කළ යුතුය. එහිදී අපට බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආදර්ශයට ගත හැකිය. එම පනත ප්‍රකාරව අත්අඩංගුවට ගන්නා සැකකරුවන් දින 14 ක් රඳවා තබා ගැනීමෙන් පසු අධිකරණය හමුවට ඉදිරිපත් කෙරේ. අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ජර්මනිය ඇතුළු රටවල් හතක් එකතු වී 1/46 යෝජනාවට එහා ගිය යෝජනාවක් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට නියමිතය. එනම්, ඉකුත් 12 වැනි දින ඉදිරිපත් කළ ලිඛිත වාර්තාවෙහි ඇතුළත් 72 වැනි වගන්තියෙහි අන්තර්ගත කරුණු අතරින් කරුණු 18 ක් ගෙන මේ යෝජනාව සම්මත කිරීමට එම රටවල් උත්සාහ කරයි. එම යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වුවහොත් එය ජයග්‍රහණය කිරීමට නම් අප මූලික කරුණු කිහිපයක් සපුරා තිබිය යුතුය. චීනය, කියුබාව, සහ මැදපෙරදිග රටවල් අප වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමට ඉඩ තිබේ. එහෙත් ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ජපානය වැනි රටවල් ඡන්දය නොදී සිටි අවස්ථාවල අප පරාජයට පත් වූ අවස්ථා තිබේ. මෙවර සැසිවාරයේදී මේ යෝජනාව සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුවහොත් ශ්‍රී ලංකාව පරාජයට පත් වේ. 5/51 නමින් කෙටුම්පත් කර ඇති නවතම යෝජනාව මේ වන විට සාමාජික රාජ්‍යවලට ලබා දී ඇත. එහි දළ සැකැස්ම මෙරට විදේශ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර තිබේ. මෙහිදී අප කළ යුත්තේ එක්කෝ මේ වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර අප කළ වැඩකටයුතු ඉදිරිපත් කිරීමය. ඒ සඳහා අපට තවම කල්වේලා තිබේ. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවෙහි (LLRC) අන්තර්ගත ප්‍රධාන නිර්දේශ 12 ප්‍රයෝජනයට ගැනීමට පිළිවන. එසේම මැක්ස්වෙල් පරණගම කොමිෂන් සභා වාර්තාවද යොදාගත හැකිය. නැතිනම් පාකිස්තානය හරහා අතුරු වාර්තාවක් ගෙන ඒම කළ යුතුය. අප කරන්නේ ඒ අවස්ථාවට පැලැස්තර විසඳුම් ඉදිරිපත් කිරීමය. එයින් බැහැරව ව්‍යවස්ථාදායකය ඇතුළත වසර 10 ක් සඳහා ජාතික මානව හිමිකම් සැලැස්මක් සකස් කළ හැකිය. එසේම යුද අපරාධ සහ ආර්ථික අපරාධ සිදුකර ඇත්නම් ඒ ගැන සොයා බැලීමට ජාතික පරීක්ෂණයක් සිදු කළ හැකිය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඒ අරබයා මුලපිරිය හැකිය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයෙන් ලංකාව සම්බන්ධයෙන් ගෙන එන වාර්තාවල අන්තර්ගත කරුණුවලින් අප භාර ගත යුත්තේ කවර ඒවාද යන්න සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපතිවරයා කොමිෂන් සභාවක් පත් කළ අතර එහි තොරතුරුද මේ සඳහා ඉවහල් කර ගත හැකිය. දෙමළ ඩයස්පෝරා සංවිධාන හයක තහනම ඉවත් කිරීමට ආණ්ඩුව ගත් තීරණය හොඳ එකකි. එසේම ත්‍රස්තවාදයට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ මුස්ලිම් සංවිධාන කිහිපයක තහනම ද ඉවත් කෙරිණි. එහෙත් මෙතෙක් ඒවායෙහි සහයෝගය ලංකාණ්ඩුවට ලැබී නොමැත. එම සහාය ලබා දීම වෙනුවෙන් දමිළ ඩයස්පෝරා සංවිධාන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇත. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ආදිය ඒ අතර වෙයි. පෙර වසරවල පැවැති මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරවලදී ඉන්දියාව ලංකාව සම්බන්ධයෙන් දැක්වූ අදහස් සහ මෙවර සැසිවාරයේදී පළ කළ අදහස් අතර පැහැදිලි වෙනසක් දැකිය හැකිය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වහාම ක්‍රියාත්මක කරන ලෙස මීට පෙර ප්‍රබල ලෙස ඉන්දියාව අවධාරණය කර නොතිබුණි. එහෙත් මෙවර එය දැඩිව අවධාරණය කළේය. පළාත් සභා මැතිවරණ පැවැත්වීම, ඉඩම් පොලිස් බලතල ලබා දීම, උතුරු පළාතෙන් හමුදාව ඉවත් කිරීම, ඉඩම් නැවත ලබා දීම නමැති කොන්දේසිවලට යටත්ව ලංකාවට ඉන්දියාවේ සහාය ලබා ගැනීමට සිදු වේ. ඉන්දියාවේ චෝදනාව වන්නේ 2009 දී සිවිල් යුද්ධය අවසන් කිරීමෙන් පසු මේ දක්වා උතුරු නැගෙනහිර දමිළ ජනතාවගේ ජීවිත යහපත් කර නොමැත යන්නය. එහෙත් අද වන විට එම ප්‍රදේශ සංවර්ධනය වී තිබේ. නිදහසේ ගමන් බිමන් යෑමට ඔවුන්ට පිළිවන. රැකී රක්ෂා පිරිනමා තිබේ. සාමාන්‍ය සිවිල් ජනතාවගෙන් විමසුව හොත් කළ යුත්තේ කුමක්ද කියා ඔවුන් පවසනු ඇත. උතුරේ ක්‍රියාත්මක දේශපාලන පක්ෂවලට ඡන්ද අවැසි බැවින් ඉන්දියාව පාවිච්චි කරන බව පෙනේ. හියුමන් රයිට්ස් වොච් ඇතුළු මානව හිමිකම් සංවිධාන හතරක් ලංකාව සම්බන්ධයෙන් දැඩි යෝජනාවක් සම්මත කළ යුතු බව ප්‍රකාශ කර තිබේ. එමගින් ඔවුන් ප්‍රධාන යෝජනා හතරක් ගැන අඟවයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින තරුණයන් වහා නිදහස් කිරීම, ඊට හේතු දැක්වීම සහ එම පනතට එරෙහිව ගෙන එන විකල්පය ඉදිරිපත් කිරීම පළමුවැන්නය. දෙවැන්න නම්, එම පනත යටතේ 2009 සිට අත්අඩංගුවේ රඳවා තිබෙන සැකකරුවන්ට එරෙහි නීති කටයුතු ආරම්භ කිරීම හෝ ඔවුන් නිදහස් කිරීමය. මැයි මස 9 වැනි දින අරගලයේ ක්‍රියාකාරීන්ට පහර දුන් පිරිස් අත්අඩංගුවට නොගැනීම සහ අවසාන වශයෙන් යුද්ධයේදී සමූල ඝාතන සහ යුද අපරාධ කළ බවට එල්ල ව ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පැවති විමර්ශනය ඉදිරියට ගෙන යෑම යනු සෙසු ඒවාය. මෙවර සමුළුවට ඉදිරිපත් කරන යෝජනාව සම්මත කිරීමෙන් පසු එය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදෙන කාලය මාස හයක් දක්වා අඩු කිරීම සහ එම වාර්තාව හේග් නුවර පිහිටි යුද අපරාධ අධිකරණය වෙත යොමු කිරීම යනාදී ක්‍රියාමාර්ග ඔවුන් දැඩි යෝජනාවක් යන්නෙන් අපේක්ෂා කරන බව මගේ අදහසයි. එහෙත් මෙහි දැඩි යෝජනා යන්නෙන් ඇඟවෙන යෝජනා විශේෂයක් නැත. සාමාන්‍ය පරිදි යෝජනාවක් සම්මත වනු ඇත. මෙවැනි යෝජනා කියුබාව, ඊශ්‍රායලය යන රටවලට එරෙහිව ද සම්මත කර ඇත. කෙසේවෙතත් එම යෝජනාවල අන්තර්ගත නිර්දේශ පිළිබඳ එම රටවල් කිසිදු අනුකූලතාවක් දැක්වූයේ නැත. මහා බ්‍රිතාන්‍යයේ හමුදා ඉරාකයේ සිදු කළ යුද අපරාධ අනාවරණය වූ පසු බ්‍රිතාන්‍යය කළේ වගකීමෙන් මිදවීමේ පනතක් සම්මත කොට චෝදනාවලට ලක්වූ අයට සම්පූර්ණ නිදහස ලබා දීමය. බලවත් රටවල් එසේ ක්‍රියා කළද එවැනි හැකියාවක් ලංකාවට නැත. හේතුව, එල්.ටී.ටී.ඊ. හිතවාදී දමිළ ඩයස්පෝරාව කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල සිට මේ කටයුතු මෙහෙයවන නිසාය. මේ තත්ත්වය සමථයකට ගෙන එන්නේ කෙසේද යන්න ගැන අප අවධානය යොමු කළ යුතුය. ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් හතක් අස්සන් තබා ඇති යෝජනාවට එරෙහිව ලංකාවේ විදේශ අමාත්‍යවරයා කළ ප්‍රකාශයේදී ආර්ථික අර්බුදය සමනය කරන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමාවලට යටත්ව භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරන බවත් ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාව ගොඩනැගීම අරබයා යාන්ත්‍රණයක් සකස් කරන බවත් අවධාරණය කළේය. එම අංශවලදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය නිරීක්ෂණය කරන ලෙස ද අමාත්‍යවරයා සාමාජික රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය. වෙසෙසින්ම ආර්ථික අර්බුදය හේතුවෙන් මානව හිමිකම් උල්ලංඝනය වීම්වලට එරෙහිව ජනතාවට ප්‍රතිවිරෝධතා දැක්වීමට අයිතිය තිබෙන බවද විදේශ අමාත්‍යවරයා ඔහුගේ කතාවේදී පිළිගත්තේය. අමාත්‍යවරයා එම අයිතිය පිළිගත්තද ඉකුත් සෙනසුරාදා දින පැවැති සාමකාමී උද්ඝෝෂණයේදී උද්ඝෝෂණකරුවන් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පිළිබඳ තොරතුරු මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ලෝකයට ගලා ගොස් තිබේ. යෝජනාව සම්බන්ධයෙන් ලංකාව පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන කරුණු ප්‍රායෝගික විය යුතුය. අධිආරක්ෂිත කලාප සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවද වැදගත්ය. ඊට අදාළ අන පනත් නිසි පරිදි උපයෝගී කරගෙන තිබේද යන ප්‍රශ්නය අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන මතු කරයි. විදේශ අමාත්‍යවරයාගේ විශිෂ්ට දේශනයෙහි අන්තර්ගත වූ හරබර වචන ප්‍රායෝගික තලයේදී ක්‍රියාත්මක වන්නේ ද යන්න ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 විසින් හොඳින් සලකා බලනු ලැබේ. විදේශ අමාත්‍යවරයාගේ කතාවෙන් ඡන්ද 24 ක් ලබාගත හැකි නම් අපට මෙම යෝජනාව ජයග්‍රහණය කළ හැකිය. එහෙත් තත්ත්වය ඊට වඩා වෙනස්ය. එබැවින් මෙවැනි සිදුවීම් මගින් අපට අවාසියක් සිදු වේ. මෙම යෝජනාවෙන් ලංකාව පරාජය වුවද එයින් විශාල බලපෑමක් සිදුවන්නේ නැත. ජනාධිපතිවරයා පොදු රාජ්‍ය මණ්ඩලීය මානව හිමිකම් අංශය හා එහි ලේකම්වරයා හමු විය. ඔවුන්ගේ ද සහාය ලබාගනිමින් හොඳ මානව හිමිකම් සැලැස්මකට යා හැකි නම් අපට මෙම යෝජනාව ජයග්‍රහණය කළ හැකිය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා උපුටාගැනීම - ලංකාදීප