Monday, December 5, 2022

කිසි විටෙක ශ්‍රීලනිපය හැරයන්නේ නැහැ - CBK



තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත් හැර සමගි ජන බලවේගයට සම්බන්ධ වූ බවට ශ්‍රීලනිප ඇතැම් නායකයන් පළ කරන දහ්ස් සාවධ්‍ය බවත් තමා කිසි විටෙක ශ්‍රීලනිපය හැර නොයන බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය අවධාරණය කරයි. 

මාධ්‍ය  නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කරන්නේ ඇය මිය යන්නේ ද ශ්‍රීලනිපාක්ෂිකයෙකු ලෙස බවයි. ඒ නිවේදනය මෙසේ ය. 


"මා එක්සත් ජාතික පක්‍ෂයට හෝ සමගි ජන බලවේගයට එකතු වූ බවට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරති.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැර දමා වෙනත් කිසිදු පක්‍ෂයකට එකතු නොවන බව මම නැවත නැවත අවධාරණය කරමි.

මා ඉපදුනේ ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ය. හැදී වැඩුණේ ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ය. විවිධ පහර කෑම් වලට ලක් වූයේ ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙනි. අවසානයේ මා මිය යාමට බලාපොරොත්තු වන්නේ ද ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෙකු ලෙසිනි.

විවිධ වැරදි ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉතාමත් දුර්වල තත්ත්වයට පත්ව තිබේ. ඒ නිසා බණ්ඩාරනායක දර්ශනය අගය කරන, පැහැදිලි දර්ශනයක් මත කටයුතු කරන මම, ඒ දර්ශනය පිළිගෙන ඊට අනුගත දේශපාලනයක නියුතු වන ඕනෑම දේශපාලන කණ්ඩායමකට උපදෙස් ලබා දීමට නොපැකිළි වෙමි.

මේ මොහොතේ අප දේශය මුහුණු දෙන ජාතික අර්බුද දෙකක් වන රටේ පවතින ළමා මන්ද පෝෂණ තත්ත්වය සමනය කිරීම සහ ජනවාර්ගික ගැටළුවට ස්ථිර සාර විසඳුම් ලබා දීම යන අවස්ථාවන් හි දී පමණක් රටේ වගකිව යුතු ජ්‍යෙෂ්ඨ නායිකාවක ලෙස ඊට මාගේ උපදෙස් ලබා දෙමි.

වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකයින් විසින් සිය අවස්ථාවාදී පටු වාසි වෙනුවෙන් පක්‍ෂ ප්‍රතිපත්ති අමු අමුවේ පාවා දෙන විට සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් වෙනුවෙන් නිර්මල බණ්ඩාරනායක ප්‍රතිපත්ති රැක ගැනීමට අදත්, හෙටත් මතුවටත් අඛණ්ඩව කැපවන බව අවධාරණය කරමි.

පරිවාස සහ ළමාරක්ෂක ක්ෂේත්‍රයේ ගැටලු සොයාබැලීමට ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදය රැස්වෙයි

 


මෙරට පවතින පරිවාස සහ ළමාරක්ෂක ක්ෂේත්‍රයේ ගැටලු සොයාබැලීම සදහා ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදයසහ පරිවාස හා ළමාරක්ෂණ සේවා පළාත් කොමසාරිස්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

එම සංසදයේ සභාපතිනිය වන පාර්ලිමේන්තු මන්ත්‍රීනි   රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්   පැවති මෙම රැස්වීමට පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නාමල් ලියනගේ මහතා ඇතුළු කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. එසේම දිවයින පුරා සිටින පරිවාස හා ළමාරක්ෂණ සේවා පළාත් කොමසාරිස්වරු මාර්ගගත තාක්ෂණය (Online) ඔස්සේ රැස්වීම සමග සම්බන්ධ වූහ.

 මෙහිදී දිවයිනේ සියලු පළාත්වල පරිවාස හා ළමාරක්ෂණ සේවා කොමසාරිස්වරු සිය ගැටලු සහ යෝජනා සංසදය වෙත ඉදිරිපත් කළ අතර අදාළ යෝජනා සතියක් ඇතුළත ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදයටමෙන්ම එහි පිටපතක් අදාළ අමාත්‍යාංශයටද ලිඛිතව ලැබීමට සලස්වන ලෙස රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය උපදෙස් දුන්නාය.

එසේම මේ යෝජනා විෂය භාර අමාත්‍යවරයා වන ජනාධිපතිවරයාට  ඉදිරිපත් කර  කඩිනමින් විසදුම් ලබා දීම සදහා ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදය  මැදිහත් වන බවද ඇය   පැවසුවාය.

න්දිත දරුවන්ට නෛතික කටයුතු සදහා දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීමට සිදුවීමේදී ඇතිවන අපහසුතාව මගහරවා ගැනීමට පරිවාස නිලධාරීන්හට සාම විනිසුරු පත්වීම් ලබා දීමේ අවශ්‍යතාව පිළිබදව මෙහිදී සාකච්ඡා විය. සංසදයේ සභාපතිනිය මෙහිදී පවසා සිටියේ මේ පිළිබදව අධිකරණ අමාත්‍යතුමා සමග සාකච්ඡා කොට මීට අදාළ පියවර ගැනීමට කඩිනමින් මැදිහත් වන බවයි.

පරිවාසගතවන දරුවන් සමාජගත කිරීමේදී පවතින ගැටලු පිළිබදව පළාත් කොමසාරිස්වරු මෙහිදී සංසදය දැනුවත් කළහ.  මේ අනුව පරිවාසගත දරුවන් සමාජයට වැඩදායි පුරවැසියන් ලෙස හැඩගැස්වීම සදහා වැඩපිළිවෙලක් සකස් කරන ලෙස සංසදය පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.  එසේම විශේෂ වෘත්තීය පුහුණු වැඩසටහන් හරහා මෙම දරුවන් පුහුණු ශ්‍රමිකයන් ලෙස සමාජගත කිරීම සදහා ද යෝජනා ඉදිරිපත් කරන ලෙස දන්වන ලදී.

මාධ්‍ය තුළ වින්දිත දරුවන් නිරාවරණය වීම වැළැක්වීමේ අවශ්‍යතාව ද  මෙහිදී සාකච්ඡා විය. මීට අදාළ නෛතික විධිවිධාන සහිත පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට අධිකරණ අමාත්‍යතුමා සංසදයට දැනුම් දී  ඇති   බවත් එම කටයුතු සදහා මැදිහත් වන බවත් විජේරත්න මහත්මිය පැවසුවාය.

 

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට මෙන්ම  පරිවාස පළාත් කොමසාරිස්වරුවන්ට අදාළ වන පරිදි   ක්‍රියාකාරී සැලැසුම් ද්විත්වයක් පිළියෙල කරන ලෙසද සංසදයේ සභාපතිනිය විසින්  මෙහිදී උපදෙස් දෙන ලදී.

 

එසේම පරිවාසගතවන දරුවන් මෙන්ම දරුවන් පරිවාසගත වීම වැළැක්වීම සදහා ඉදිරි වසර පහක් සදහා ජාතික වැඩපිළිවෙලක් සකස් කරන ලෙස  ද සංසදය අදාළ  අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.

 

පරිවාසගත දරුවන්ගේ පෝෂණය සහ ආරක්ෂාවට අදාළ ගැටලු පිළිබදව ද නිරතුරුව අවධානය යොමුකළ යුතු බවද සභාපතිවරිය මෙහිදී අවධාරණය කළාය.

 

තවද  පරිවාස හා ළමාරක්ෂක ක්ෂේත්‍රයේ ගැටලු සහ ප්‍රගතිය පිළිබදච සාකච්ඡා කිරීම සදහා මාස හයකට වරක් ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදයහා පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර රැස්වීමක් පැවැත්වීමට අපේක්ෂා කරන බවද සංසදයේ සභාපතිවරිය පැවසීය.

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන  වීරසුමන වීරසිංහ,  රාජිකා වික්‍රමසිංහ හා   මංජුලා දිසානායක යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Sunday, December 4, 2022

වාමාංශික ව්‍යාපාරය කම්කරුවාගේ අයිතිය අරගෙන හිටිය නිසා කම්කරුවා හැමදාමත් දුප්පත් වුණා - මනුෂ

 






 

කම්කරුවා ආරක්ෂා කිරීමට නම් ව්‍යවසායකයා සුරක්ෂිත කළ යුතු බවත්, රට ගොඩනගන ගමන කඩාකප්පල් කරන රැලි වලට අහු නොවනා ලෙසත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

වාමාංශික ව්‍යාපාරය කම්කරුවාගේ අයිතිය අරගෙන හිටිය නිසා කම්කරුවා හැමදාමත් දුප්පත් වුණා මිස මොඩර්න් ඩිජිටල් වැඩ්ඩෙක් නොවුණු බවත්, කම්කරුවා පොහොසත් කිරීමට නම්, ව්‍යවසායකයා ආරක්ෂා කරගත යුතු බවත් පැවසූ අමාත්‍යවරයා මේ ලෝක ආර්ථික අර්බුදයේ දී ලංකාව මේ තරම් බරපතල විදියට කඩා වැටෙන්න හේතුව වුණේ ව්‍යවසායකයන් ආරක්ෂා නොකරපු නිසා. හැමදාම නීති අරගෙන ඇවිත්, නීතිවලින් කම්කරුවා ආරක්ෂා කරන්න උත්සාහ ගත්තා. ඒත් ඇත්තටම අද කම්කරුවා ආරක්ෂිතද? ව්‍යසායකයා ශක්තිමත් නම් කම්කරුවා ආරක්ෂිතයියනුවෙන් ද පැවැසීය.

අමාතවරයා මෙසේ පැවසූයේ  කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ අයවැය විවාදයට එක් වෙමිනි. එහි දී වැඩිදුරටත් කතා කළ අමාත්‍යවරයා මෙසේ ද පවසා සිටියේ ය.

අපි මේ ඉන්නේ ක්‍රෝනි කැපිටලිසම් මත පදනම්වූ ආර්ථිකයක. ඒ තමයි ගජමිතුරු ධනවාදය.  මෙන්න මේ නිසා තමයි සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක් මත පදනම්වූ නව ආර්ථික ක්‍රමවේදයක් අය වැය හරහා අරගෙන ඇවිත් තියෙන්නේ. මේක මෙච්චර කල් ඉදිරිපත් කළා වගේ නිකම්ම නිකම් හුදු අය වැයක් නෙමෙයි. මේ අය වැය කියන්නේ අය වැයක් ඇතුලේ සිදුවෙන සිස්ටම් චේන්ජ් එකක්.

ගොඩක් අය කැමැති නෑ මේක භාර ගන්න. ගොඩක් රෙද්ද අස්සේ මහත්තයලනේ ඉන්නේ. රෙද්ද අස්සේ කලිසම ඇඳගෙන ඉන්නවා, හැබැයි උඩින් රෙද්ද ඇඳන් ඉන්නවා. රෙද්ද පෙන්ගෙන ඉන්නවා. කලිසම අඳින්න ඕනෑ. හැබැයි පෙන්නන්නේ වෙන දෙයක්.

මෙතෙක් කල් අය වැයක් ඉදිරිපත් කළාට පස්සේ තිබුණේ ඒකත් එක්ක බැදුන වැඩපිළිවෙලක්. මේ අය වැයත් එක්ක බැදිලා තියෙන්නේ නිකම්ම නිකම් වැඩ පිළිවෙලක් නෙමෙයි. මේකත් එක්ක බැදිලා තියෙන්නේ සමාජ සහ ආර්ථික පරිවර්තනයක්. සෝෂල් ඇන්ඩ් ඉකොනොමික් ට්‍රාන්ෆමේෂන් එකක්.

  විවෘත ආර්ථිකය අසාර්ථකයි කියලා අපි කියන්නේ ඇයි? අපි එහෙම කියන්නේ මෙන්න මේ ක්‍රෝනි කැපිටලිසම් නිසා. සංවෘත ආර්ථිකයේ ඉදලා විවෘත ආර්ථිකය දක්වා එකවර එන්න අපිට බැරි වුණා. සංවෘත ආර්ථිකයේ කොටස් අපිට අතහැර ගන්න බැරිවුනා. ආර්ථිකය විවෘත වුනේ කුඩා කණ්ඩායමකට විතරයි. ඒ කුඩා කණ්ඩායම තමයි රටේ ආර්ථිකයේ විශාල කොටසක් අත්පත් කරගන්තේ. විවෘත ආර්ථිකය අසාර්ථක වෙන්න එක හේතුවක් තමයි මේක. ඒ වගේ විවෘත ආර්ථිකයේ අසාර්ථකත්වයන් තිබෙන නිසා තමයි අපි ඒ ක්‍රමවේදයන් මේ අය වැය හරහා වෙනස් කරන්නේ.

රටට අහිමිකළ ඩොලර් බිලියන 53 ක්

 


රටේ මුල්‍ය ගණුදෙනු සහ ව්‍යාපාරික අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීමට විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද(05දා) පාර්ලිමේන්තුවට යෝජනා කළේය.

අයවැය කාරක සභා අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අපනයන හරහා මෙරට ලැබිය යුතු ඇමරිකන් ඩොලර් බිලියන 53 ක මුදලක් මහාපරිමාණ ව්‍යාපාරිකයින් විසින් රටට ගෙනැවිත් නොමැති බවය. රටේ ආර්ථිකය විනාශ කිරීමට කටයුතු කරන මෙවැනි පුද්ගලයින් පිළිබඳව හෙලිදරව් කළ යුතු බවද අමාත්‍යවරයා කීවේය.

එමෙන්ම මේ පිළිබඳ නිරන්තරයෙක් කතාකරමින් සිටිනවාට වඩා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම වැදගත් බවද අමාත්‍යවරයා සඳහන් කෙළේය.

ජනපතිගේ නිවස බව කියන - අසත්‍ය ඡායාරූපයක්

 


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වටකර සැලකිය යුතු උසකින් යුත් කම්බිරෝල් දමා ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය අසත්‍ය ඡායාරූපයක් බව සත්‍ය තොරතුරු විමර්ශන වෙඩ් අඩවි සඳහන් කර තිබේ.

එම ඡායාරූපය, මියන්මාරයේ වැසියන් අතර සමාජ මාධ්‍ය ජාල වල පසුගිය අප්‍රේල් මස සිට සංසරණය වී තිබූ ඡායාරූපයක් බවද එම වෙඩ් අවඩි සඳහන් කර ඇති .

ඒ අනුව ජනාධිපතිවරයාගේ නිවස බව සඳහන් කරමින් සංසරණය වන එය අසත්‍ය ඡායාරූපයක් බවද ඔවුන් තහවුරු කරයි.

එම ඡායාරූපයේ දැක්වෙන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසේ හෝ ජනපති නිල නිවසේ ඡායාරූපයක් නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය ද, පවසා සිටියේය.

Thursday, December 1, 2022

විපක්ෂයේ හැසරීම ගැන කතානායක කණගාටුවෙයි

 





 

විපක්ෂයේ  මන්ත්‍රීවරුන් ඇතැම් වෙලාවට පාර්ලිමේන්තුවේ කාලය නාස්තිකරමින් නිශ්පල කතා කියමින්  අශෝබන ආකාරයට හැසිරීම පිළිබඳ කණගාටුවන බව කතානායක මහින්ද අබේවර්ධන මහතා අද(02) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාරලිමේන්තුවේ උදෑසන මන්ත්‍රීවරුන්ගේ විවිධ ප්‍රකාශ හේතුවෙන් අයවැය විවාදය පැවැත්වීමට කාලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මන්ත්‍රීවරුන්ට කතාකිරීමට කාලය අහිමිවන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පැවසීය. එමෙන්ම මන්ත්‍රීවරුන්ට කතාකිරීමට කාලය ලබාදෙමින් කාලය කළමණාකරය කිරීමට කථානායකවරයා‍ලේ අවධානය යොමුකරන්න ලෙස හෙතෙම ඉල්ලා සිටියේය.

එහිදී ඇතිවුයේ මෙවැනි සංවාදයකි

කතානායක  - මේ සිද්දිය දෙපැත්තෙන්ම සිදුවෙනවා

ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා - කාලය කළමනාකරණය කරගන්න ඔනේ අපි නෙවෙයි මුලාසනය.

කතානායක - නමුත් මන්ත්‍රීතුමා බලහත්කාරයෙන් නැගිටලා කතාකරනවා. ඒක වළක්වගන්න ඔබතුමාලා කටයුතු කරන්නේ නැහැ. ඒගැන කණගාටුවට කාරණයක්. ඔබතුමාගේ කණ්ඩායම පාලනය කිරීම මගේ වගකීම නෙවෙයි ඔබතුමාගේ වගකීම.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතැම්වෙලාවට හැසිරෙන ආකාරය ඉතාම අශෝබනයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතාකරන එක වැරද්දක් නෙවෙයි. නමුත් මේ හැසිරෙන විදිහ අශෝබනයි

 

ලකෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා -අපි ඔබතුමා එක්ක තරහක් නැහැ. මේක අපේ වැරද්දක් නෙවයි.

කතානායක - පාර්ලිමේන්තුව තියෙන්නේ කතාකරන්න. ඒකේ වැරදක් නැහැ. නමුත් පල්හෑලි කතාකරන්න ගියාම තමා මේ සිද්ධිය වෙන්නේ. ඔබතුමාගේ  කණ්ඩායමෙන් තමා ඒක සිදධ වෙන්නේ