Tuesday, December 23, 2025

සිරිමාවෝ දියනියගේ ඇතුල් පැත්ත



මේවා ඇත්තද, බොරුද කියල ඕන කෙනෙක්ට හොයල බලන්න පුළුවන්.


                ************************


සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ චනිත්මාගේ සිදුවීම සම්බන්ධයෙන් මාගේ උණන්දුව තිබුණේ එහි ජාතික වැදගත්කමට පමණයි.


හුදෙකලා සිදුවීම සහ සම්මානයකට සැබෑ හිමිකරුවා කවුද වැනි ළදරු ප්‍රශ්න සාකච්ඡා කිරීම කාලය කා දැමීමක් විතරයි.


නමුත් මේ සිදුවීමෙන් හෙළි වූ ශ්‍රී ලංකාවේ සිදුවෙන තවත් ජාතික අපරාධයක් ගැන අප සාකච්ඡා කළ යුතුයි.


එනම් බලවත් තාත්තාලාගේ, විශේෂයෙන්ම ක්‍රීඩාවට සම්බන්ධ පියවරුන්ගේ දරුවන්ට ක්‍රීඩාවකදි ලැබෙන විශේෂ වරප්‍රසාද සහ ඒ හේතුවෙන් අනෙක් ක්‍රීඩකයන්ට සිදුවන කැපිල්ල.


සචිත් පතිරණ. ක්‍රීඩා සමාජ මට්ටමටවත් පැමිණිය යුතු නැති ක්‍රීඩකයෙක්.


හැබැයි ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළා. ඒ ඔහුගේ පියා ජානක පතිරණ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පොරක් නිසා.


මධ්‍යම පළාතේ ක්‍රිකට් ලොක්කා ජානක. ඔහුට ක්‍රිකට් නිලවරණයේ ඡන්ද 9 ක් හිමියි. ඔහු ශම්මි - තිලංග පාර්ශවයේ බල කණුවක්.


දැන් සචිත්, ජාතික සංචිත වල පුහුණුකරුවෙක් වී මසකට මිලියන ගණනින් වැටුප් ලබනවා.


ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ගොඩ් ෆාදර්, ලුවී කරුණාරත්න ගේ දරුවන්ට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ විශේෂ වරප්‍රසාද හිමි වුණා.


ඔවුන්ගේ තරගයට සිටි ක්‍රීඩකයන් ගණනාවක් කපා දැමුණා.


දැන් මේ සිරිමාවෝ විද්‍යාලයේ ආන්දෝලනාත්මක චරිතය, චනිත්මා සිනාලි.


ස්කොෂ් ජාතික පුහුණුකරු, චන්දන මහේෂ් ගේ දියණිය චනිත්මා.


චනිත්මා ඇය ජාතික ශූරිය වූ බවත් ඇය කොමන්වෙල්ත් තරගාවලිය සදහා සහභාගී වූ බවත් ආඩම්බරයෙන් ප්‍රකාශ කළා.


නමුත් ඇය කොමන්වෙල්ත් තරගාවලියට සහභාගි වුණේ කොහොමද ?


එය සාකච්ඡා කළ යුතුම මාතෘකාවක්.


වසර තුනක් පුරා පිට පිට ශ්‍රී ලංකාවේ ජාතික ස්කොෂ් ශූරිය වූයේ ෆාතූම් ඉසදීන්. 


වයස අවුරුදු 27 ක තරුණියක්.


ඇය තමයි එවකට ජාතික ශූරිය. 2019 සිට 2022 දක්වාම ජාතික ශූරිය.


2022 ජූලි - අගෝස්තු එංගලන්තයේ බර්මින්ග්හැම් නුවර පැවැති පොදුරාජ්‍ය මණ්ඩල තරග සදහා නිතරගයෙන්ම සුදුසුකම් ලැබිය යුත්තේ ඇය.


හැබැයි ස්කොෂ් සංගමය හෙවත් චනිත්මාගේ තාත්තා චන්දන මහේෂ්, ජාතික ශූරිය සිටියදීම සුදුසුකම් ලැබීමේ තරගාවලියක් සංවිධානය කළා.


නමුත් වෙනසක් සිදුවූයේ නැහැ.


සුපුරුදු පරිදි සුදුසුකම් ලැබීමේ තරගාවලියේදීත්, අවසන් තරගයේ දී ෆාතූම් ඉසදීන්, ඉතාම පහසුවෙන් චනිත්මා පරාජය කළා.


ඒ තරගයේ විනිසුරු තීරණ පැහැදිලිවම චනිත්මාට වාසිදායකව ලබා දුන් බව තරගය බලපු උදවිය කියනවා.


එහෙම පසුබිම පවා ෆාතූම් ඉසදීන් පහසුවෙන්ම තරගය ජයග්‍රහණය කළා.


ඉතින් තර්කයකින් තොරවම පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට යන්න ඕන ෆාතූම් ඉසදීන්.


නමුත් මොකක්ද වුණේ ?


පුහුණුකරුවන්ගේ විශේෂ අභිමතය පරිදි පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට යැව්වේ චනිත්මා.


කවුද පුහුණුකරුවා ?


ඇයගේ පියා, ස්කොෂ් ජාතික පුහුණුකරු චන්දන මහේෂ්.


එතැනදී ඇති වූ සිත්තැවුල නිසා ජාතික ශූරිය ෆාතූම් ඉසදීන් මාස ගණනාවක් ක්‍රීඩාව අත්හැර හිටියා.


ඇය පුහුණුවීම් සහ ක්‍රීඩාව අත්හැරියා.


එය අතිශය සාධාරණයි.


චනිත්මා සහ ඇගේ පියා විසින් අසාධාරන ලෙස උදුරාගනු ලැබුවේ ඇයගේ අවස්ථාව.


මේ මුස්ලිම් තරුණියක්. ඔවුන් මෙවැනි ක්‍රීඩා වලට එන්නේ නොයෙක් බාධා මැද.


නමුත් ඒ සියලූම බාධා මැද ඇය ජාතික ශූරිය වුණා. සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජය ගත්තා.


ලෝක ස්කොෂ් ශ්‍රේණිගත කිරීම් ශ්‍රී ලාංකික ක්‍රිඩිකාවක් ලැබූ ඉහළම ශ්‍රේණිගත කිරීම් ලැබූ ක්‍රීඩිකාව 


නමුත් අවසානයේ ස්කොෂ් ජාතික පුහුණුකරුවා, ඔහුගේ දුව තරගාවලියට අරන් ගියා.


අපි සාෆියා යමීක් ගැන කතා කරනවා. වාසනාවට සාෆියාට බලවත් පියෙකුගේ දුවෙක් සම්මුඛ වුණේ නැහැ.


එම නිසා අද ඇය ශූරියක්. අප සැවොම ඇයගේ නම දන්නවා.


නමුත් ෆාතූම් ඉසදීන් එතරම් වාසනාවන්ත වුණේ නැහැ.


ඔබ ඇයගේ නම දන්නේ නැහැ.


චනිත්මා පාසල් වේදිකාවේ ඇයට සිදු වූ අසාධාරණයක් ගැන කතා කළා.


එවැනි සිදුවීම් ගැන අපට උණන්දුවක් නැහැ.


නමුත් රට නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වන ජාතික නියෝජනය ගැන කතා කිරීමේ අයිතියක් සහ වගකීමක් අපිට තිබෙනවා.


චනිත්මා.


ඔබ අද ඔබේ පාසලේ සම්මානයකට උරණ වී, වේදිකාවේ කතා කළා.


හැබැයි ඔයා තාත්තාගේ බලයෙන් උදුර ගත්තු ෆාතූම් ඉසදීන්ගේ අවස්ථාව ගැන ඔයාට දුක හිතුනේ නැත්ද ?


ඔයාගේ තාත්තා ස්කොෂ් ජාතික සංගමයේ බලවත් චරිතයක්. ජාතික පුහුණුකරුවා.


ඔහුගේ බලයෙන්, වෙනත් තරුණියකගේ අවස්ථාව උදුරා ගනිද්දි ඔයාට ලැජ්ජා හිතුනේ නැත්ද ?


ඔයා කොමන්වෙල්ත් යද්දි, හිත රිදිලා, කලකිරිලා, ක්‍රීඩාවත් අතෑරපු ජාතික ශූරිය එහෙම නැත්නම් 'ඩීසර්විං චැම්පියන්' ගැන ඔයාට වරදකාරී හැඟීමක් ඇති වුණේ නැත්ද ?


අදටත් ස්කොෂ් තරගාවලි වලදී ඔයාට විශේෂ විනිසුරු තීරණ ලැබිලා, ජය ගනිද්දී ඔයාට ලැජ්ජ හිතෙන්නේ නැත්ද ?


එදා ඒ විදියට වෙන ළමයෙක්ගේ අවස්ථාව හොරකම් කරගෙන කොමන්වෙල්ත් ගියපු, චනිත්මා තරගාවලියේ විශේෂ ජයග්‍රහණයක් නොලබා නැවත ලංකාවට ආවා.


සමහර විට ජාතික ශූරිය ෆාතූම් ඉසදීන්, ඒ තරගාවලියට සහභාගී වුණා නම් ප්‍රතිඵලය වෙනස් වීමටත් තිබුණා.


එහිදී පරාජය වුණේ චනිත්මාවත්, චන්දන මහේෂ්ගේ දුවවත් නෙවෙයි.


ශ්‍රී ලංකා ක්‍රීඩිකාව. නුසුදුසු ක්‍රීඩිකාවක්, තාත්තාගේ බලයෙන් ජාත්‍යන්තර තරගාවලියකට ගිහින් පැරදුණේ අපේ රට. 


එය ජාතික අපරාධයක්.


ස්කොෂ් සඳහා ජාත්‍යන්තර තරගාවලි වල ශ්‍රී ලංකාවට නියෝජනයක් හිමිවන්නේ සැබෑ ලෙසම ජාතික ශූරයන්ට මිසෙක, ස්කොෂ් යනු චනිත්මාගේ පියාගේ බූදලයක් නොවෙයි.


(වර්තමානයේ යථාර්තය අනුව නම් එය චනිත්මාගේ පියාගේ බූදලයක්)


2022 ජූලි මාසයේ සිට ශ්‍රී ලංකාවට දක්ෂ ස්කොෂ් ශූරියක් අත්හැරුණා. ඒ ෆාතූම්.


ඉන්පසුව ඇය කවදාවත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණියේ නැහැ.


චනිත්මාලා අද කිරුළු පළදින්නේ, එවන් දක්ෂයන් ඔවුන් අතින්ම විනාශ කළ සුසාන භූමියක.


මේ ශ්‍රී ලංකාවේ ස්කොෂ් ක්‍රීඩාවේ පමණක් සිදුවන අපරාධයක් නොවෙයි.


බොහෝ ක්‍රීඩාවන් වල පුහුණුකාර සහ බලවත් පියවරු තමන්ගේ දරුවන් ක්‍රීඩාවෙන් ඉදිරියට ගෙන එනවා.


අනෙක් ක්‍රීඩකයන් කපා දමනවා.


විදෙස් සංචාර තමන්ගේ දරුවන්ට ලබා දෙනවා.


විවිධ තාක්ෂණික සහ විනිසුරු උපක්‍රම යොදවමින් සැබෑ දක්ෂයන් පරාජය කරනවා.


තමන්ගේ දරුවන් ඉදිරියට ගෙන එනවා.


තිත්ත යථාර්තය නම් සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ චනිත්මාත් එලෙස , පියා විසින් ඉදිරියට ගෙන ආ ක්‍රීඩිකාවක්.


මේ සියල්ල හෙළිවූයේ ඇය රටේ මාතෘකාවක් වූ නිසා.


එසේ නොවන්නට හෙට දිනයේත්, ස්කොෂ් ජාත්‍යන්තර තරගාවලි වල සැබෑ සුදුස්සන් සිටියදී චන්දන මහේෂ් සිය දියණියට අවස්ථාවන් ලබා දිය හැකියි.


කෙසේ වෙතත් සැබෑ ජාතික ශූරිය වී දැඩි අසාධාරණයන්ට මුහුණ දුන්, පසුව ක්‍රීඩාව සහ රට ගැන කළකිරුණු ෆාතූම් ඉසදීන්ගෙන්, මා ශ්‍රී ලංකාවම නියෝජනය කරමින් සමාව අයදිනවා.


2022 වසරේ දී ඔබ ගැන හඬ නැගීමට නොහැකි වූවාට අපට සමාවෙන්න.


එමෙන්ම චනිත්මාගේ ආන්දෝලනාත්මක කතාව නිසා, රටට සැඟව තිබූ මේ ජාතික අපරාධය හෙළිවීම ගැන මා චනිත්මාට ස්තූතිවන්ත වෙනවා.


මේ තමයි ශ්‍රී ලංකාවේ බොහෝ සැඟවුණු ක්‍රීඩා වල තිත්ත යථාර්තය.


දක්ෂයන්ට වඩා පවුලට සහ සබදතා වලට තැන ලැබෙන අපේ ක්‍රීඩාව.


                       -  සචින්  රත්වත්තේ 


Thursday, December 11, 2025

ස.ජ.බ දෙහිවල බල අරගලයෙන් මරික්කාර් පරදා චන්න දිනයි

 




දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ පුරප්පාඩු වී තිබූ මන්ත්‍රී ධූරය සඳහා සමගි ජන බලවේගයේ දෙහිවල ආසන සංවිධායක චන්න විකුම් දෙසැම්බර් 11 (අද) නුගේගොඩ නාලන්දාරාම විහාස්ථානයේ දී ජූජ්‍ය තිනියාවල පාලිත ස්වාමීන්වහන්ස ඉදිරිපිට දී  දිවුරුම් දුන්නේය.


පසුගිය පලාත් පාලන මැතිවරණයේ දී දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාව ජාතික ජනබලවේගය ජයග්‍රහණය කළ අතර එහෙදී සමගි ජන බලවේගය සඳහා ලැයිස්තු මන්ත්‍රීධූර 10ක් ලැබුණු නමුත් සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර්ගේ පෞද්ගලික කෝන්තරයක් මත දෙහිවල ප්‍රධාන සංවිධායක චන්න විකුම් හට මන්ත්‍රී ධූරය මේ දක්වා නොදි වෙන පුද්ගලයෙකුට දීමට තිබූ සූදානම ව්‍යර්ථ වී ඇත්තේ දෙහිවල ප්‍රදේශවාසීන් විසින් එම විපක්ෂ නායකවරයා වෙත යැවූ දහස් සංඛ්‍යාත ලිපි නිසාවෙනි.


කෙසේ වෙතත් මෙම මන්ත්‍රී ධූරය දීමට විරුද්ධව තවමත් පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් විසින් යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන

 ලදී.

Saturday, February 22, 2025

රජිව් ශර්මා හෙළිකළ රාජපක්ෂලාගේ ගැහිල්ලේ තරම

 




මේ දිනවල ලංකාවේ තිරගත වන අලූත්ම චිත්‍රපටය වී ඇත්තේ රජහොරුයි. මේ කියන්නට යන්නේ චිත්‍රපටයේ රජහොරු ගැන නොව ඉන්දියාවේ මාධ්‍යවේදියෙකු වන රජීව් ශර්මා විසින් අනාවරණය කර ඇති ශ්‍රී ලංකාවේ සිටින රජහොරු ගැනය. රජිව් ශර්මාට අනුව ශ්‍රී ලංකාවේ සාරය උරා බොන රජහොරු බවට පත්වී ඇත්තේ රට පාලනය කරන රාජපක්ෂ පවුලය.

රාජපක්ෂ පවුල විසින් චීන ව්‍යාපෘතිවලින් කොමිස් ගිලින ආකාරය රජීව් ශර්මා විසින් 2012 ඔක්තෝබර් මස 25 වෙනි දින www.southasiaanalysis.org/node/1022 නම් වෙබ් අඩවිය මගින් අනාවරණය කර ඇත.

රජීව් ශර්මා අනාවරණය කරන ආකාරයට චීනය විසින් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන සෑම ආයෝජනයකින්ම රාජපක්ෂ පවුලට 10% - 15% ත් අතර කොමිස් මුදලක් හිමිවේ. 2015 වන විට පවුලට ලැබීමට ඇති ස්ථාවර කොමිස් මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.2 සිට 1.8 ත් අතර ප්‍රමාණයකි.

මෙම කොමිස් ගිලගැනීම සඳහා වූ රාජපක්ෂ පවුලේ වෙනම සමාගමක් ගොඩනගාගෙන ඇත. ඒ ගේට්වේ ඉන්ඩස්ටී්‍රස් නම් සමාගමකි. මෙම සමාගමේ සභාපතිවරයා වන්නේ ප්‍රභාත් නානායක්කාරය. මෙම ව්‍යාපාරයේ අනෙක් පාර්ශ්වකරුවා වන්නේ ඩිල්ෂාන් වික්‍රමසිංහය ඩිල්ෂාන් වික්‍රමසිංහ යනු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ සොහොයුරෙකු වන නිශාන්ත වික්‍රමසිංහගේ පුතාය. නිශාන්ත වික්‍රමසිංහ යනු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති වරයාය. රාජපක්ෂ පවුලට අයත් මෙම ව්‍යාපාරයේ තවත් කොටස්කරවෙකු වී 

 ඇත්තේ බන්දුල වීරවර්ධන නමැති පුද්ගයෙකි. බන්දුල වීරවර්ධන යනු ශ්‍රී ලංකාවේ ඉපිද බි්‍රතාන්‍යයේ පුරවැසි භාවය ලබාගත් පුද්ගලයෙකි.

ඩිල්ෂාන් හා ප්‍රභාත් යන දෙදෙනාට අයත් සමාගමක් ලෙස පිහිටුවා ඇති තවත් ආයතනයක් වන්නේ ඇසෙට් නෙට්වර්ක් පුද්ගලික සමාගම හා ඇසෙට් හෝල්ඩින් පුද්ගලික සමාගම යන සමාගම් දෙකය. ඇසෙට් හෝල්ඩින් සමාගම් මැදිහත්වීම මත සිදුකරන ත්‍රිකුණාමල වරාය හා ජැටිය ව්‍යාපෘතිය සඳහා බිලියන පහක මුදල් වැයකර ඇත. ඕස්ටේ්‍රලියාවේ මිචෙල් සමාගමද ඉහත ගනුදෙනුවට සම්බන්ධ කරගෙන ඇත.

අක්කර 1200 ක් පුරා විහිදුන මෙම ව්‍යාපෘතිය ඩොලර් බිලියන 02 ආයෝජනයක් ලෙසද හැඳින්වේ. අදියර තුනකින් නිමකිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ඩොලර් මිලියන 700 ක මුදලක් 

 ලබාගැනීමට 2011 පෙබරවාරි 23 වන දින ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබාගෙන ඇත.

රජීව් ශර්මාගේ ලිපියට අනුව රාජපක්ෂලා විසින් ලොවපුරා ප්‍රබල සමාගම් සමග එක්ව ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇත. ඉන් එකක් වන ඕස්ටේ්‍රලියාවේ මිචෙල් සමාගමය. මෙම මූල්‍ය සමාගම මිචෙල් ගෘෘප් ඕස්ටේ්‍රලියා සැල්වා කෝපරේෂන්, ඇසෙට් හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ් යන උප සමාගම් 04 කින් යුක්තය. මෙහි මුදල් ලබාගැනීමේ ප්‍රමුඛ කාර්ය කර ඇත්තේ ප්‍රභාත් නානායක්කාරය. ඒ රාජපක්ෂ පවුලේ අවශ්‍යතාවය මතය.

චීනය සමග මේ සැඟවුණු ගනුදෙනු ආරම්භ කර ඇත්තේ 2005 බන්දුල වීරවර්ධනගේ මාර්ගයෙනි. ආරම්භය චන්ද්‍රිකා ආණ්ඩුව තෙක් දිවයයි. එවකට චීන සමාගම් සමග කටයුතු කළ ශ්‍රී ලංකා නියෝජිතයා වූයේ බන්දුල වීරවර්ධනය. ඔහු ගනුදෙනු කළ සමාගම බහමා සෙල්වීර ටේ්‍රඩින් ලිමිටඩ්ය. මහින්ද රාජපක්ෂ බලයට පැමිණීමත් සමග මොහු චීන සමාගමක් සමග කෙලින්ම සම්බන්ධ වී ඇත. මොහුගේ නමින් චීන සබඳතා ගොඩනගා ගත්තද පසුව ඔහුට එම කාර්යයෙන් ඉවත්කොට එම කාර්ය සඳහා ප්‍රභාත් නමැත්තා පත්කොට ඇත. මොහු මෙම ව්‍යාපාර ඇරඹීමට පෙර ප්‍රභාත් නානායක්කාරට තිබී ඇති වත්කම් ප්‍රමාණය සේවකයන් 200 ක් සේවය කළ zමවුටන්් ජීන්Z නම් තේ වත්තය. මේ වන විට ගණනය කළ නොහැකි තරම් වත්කම් ප්‍රමාණයක් ප්‍රභාත් නානායක්කාර නමට ඇත. චීන ආයෝජන මත පාලම් හා මාර්ග ඉදිකිරීමේදීද ප්‍රධාන කොටස්කරුවන් බවට පත්වී ඇත්තේ ප්‍රභාත් හා ඩිල්ෂාන් සංයෝගයය. රාජපක්ෂ පවුලේ සමාගම් හරහා රාජපක්ෂ පවුලට පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ චීන ව්‍යාපෘතිවලින් කොමිස් මුදල් ලැබී ඇත්තේ මේ ආකාරයෙනි.

හම්බන්තොට වරායෙන් අමෙරිකානු ඩොලර් මිලියන 360 කි. දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ඩොලර් මිලියන 200 කි. මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 252 කි. හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණ ව්‍යාපෘතියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 76.5 කි. ත්‍රිකුණාමලය වරාය ව්‍යාපෘතියෙන් කොමිස් කොපමණද යන්න සඳහන් කර නැත. ඒ අනුව 2005 - 2015 කාලය තුළ බිලියන 1.2 සිට බිලියන 1.8 ක් දක්වා වූ කොමිස් මුදලක් රාජපක්ෂ පවුලට ලැඛෙන්නේ චීන ආයෝජනවලින් පමණකි. ශර්මා සඳහන් කරන්නේ චීනය විසින් මේ ආකාරයෙන් රාජපක්ෂ පවුලට කොමිස් ලබාදෙන්නේ ශ්‍රී ලංකාවේ දේශීය වෙළඳපොළ තමන් සතුකර ගැනීමටය.

කුරහන් සාටකගේ ග්‍රාමීය ආරෝපණයේ හයියෙන් බලයට ආ මහින්ද රාජපක්ෂගේ පාලනය ශර්මා විසින් හඳුන්වා ඇත්තේ සර්වපිත්තල පාලනයක් ලෙසය. ලැජ්ජාසහගත පවුල් පාලනයක් ගෙන යන මහින්ද රාජපක්ෂගේ පාලනය ශර්මා විසින් සමකර ඇත්තේ ලෝකයේ සිටි දූෂිතම පාලකයන් වන සුකර්තෝ, බූතෝ හා මුගාබේගේ පාලනයටය.

පසුගිය කාලය තුළ මහින්ද රාජපක්ෂ විසින් ආශ්චර්ය ලෙස ශ්‍රී ලාංකිකයන්ට පෙන්නූයේ හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය, මොරගහකන්ද ව්‍යාපෘතිය, මත්තල ගුවන්තොටුපළ යන ව්‍යාපෘතිය. ශ්‍රී ලංකාවේ තවත් පරම්පරා ගණනක් ණය කාරයන් බවට පත්කරමින් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිවලින් 10% - 15% ත් අතර මුදලක් ගොස් ඇත්තේ රාජපක්ෂලාගේ සාක්කුවලටය. කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පැවැරුණේද චීනයටය. එයින් ලැබූ කොමිස් මුදල කොතෙක්ද යන්න ශර්මා විසින් අනාවරණය කර නැත. එම ලිපිය කටුනායක අධිවේගී මාර්ගය තැනීමට පෙර සකස්වූවක් බැවිනි.

රටේ ජනාධිපතිවරයා ලෙස 2005 දී 

 මහින්ද රාජපක්ෂට බලය ලබාදුන්නේ කප්පරක් බලාපොරොත්තු ඇතිවය. බලයට පත්වූ වහාම මහින්ද රාජපක්ෂ විසින් සිදුකරන ලද්දේ ආරක්ෂක ලේකම්වරයා ලෙස අමෙරිකාවේ සිටි තම සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ පත්කිරීමය. ඉන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් හිස්වූ වහාම එම මන්ත්‍රීධුරය වෙනුවෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කරන ලද්දේ තම සොහොයුරා වන බැසිල් රාජපක්ෂය. ඔහුගේ වැඩිමල් සොහොයුරා වන චමල් රාජපක්ෂ කථානායකාවරයා ලෙස පත්කරනු ලැබිණි කථානායකගේ පුත් ශෂින්ද්‍ර රාජපක්ෂ ඌව පළාත් මහා ඇමැතිවරයා ලෙස පත්කෙරිණ. ඔහුගේ වැඩිමල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ගත්තේය. එම මැතිවරණයෙන්ම ඔහුගේ පවුලේ ඥාතියෙකු වන හේමාල් ගුණසේකරද පාර්ලිමේන්තුවට ගත්තේය. ඒ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ භාර්යව වන ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගේ සොහොයුරා වන අ. පො. ස. සාපෙළවත් සමත් නැත ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස පත්කෙරිණ. වර්තමානයේ ප්‍රධාන රාජ්‍ය ආයතන බොහෝමයක ප්‍රධාන තනතුරු දරන්නේ රාජපක්ෂ පවුලේ ඥාතීන්ය.

ශ්‍රී ලාංකිකයන්ගේ හිස මත යෝධ ණය බරක් පටවමින් රාජපක්ෂලා රට ගිලින ආකාරය ශ්‍රී ලාංකිකයන්ට නොතේරුණාට විදේශිකයන්ට එය හොඳින් පෙනීගොස් ඇත. මාධ්‍යවේදී රජීව් ශර්මා සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාව රාජපක්ෂලාගේ මකර සෙවනැල්ලට හසුවී ඇත්තේ ශ්‍රී ලාංකිකයන් රාජපක්ෂලාගේ සර්ව පිත්තල ලෝකයට රැවටී ඇති නිසාය.(lankairida)

Tuesday, September 10, 2024

දිනන්නේ කවුද?

දිනන්නේ කවුද?

මෙවර ජනාධිපතිවරණය මෙරට දේශපාලනයේ තීරණාත්මක සංධිස්ථානයක් වන බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබේ. කවුරු දිනුවත් කවුරු පැරදුණත් මෙය මෙරට දේශපාලඥයින් රැසකගේම දේශපාලන ගමන අවසන් කරන්නක් වනු ඇත. එමෙන්ම මේ ජනාධිපතිවරණයේ තවත් විශේෂ කරුණක් වන්නේ මෙහි ප්‍රධාන අපේක්‍ෂකයින් ලෙස නම් කියවෙන සිව්දෙනාම වසර 10කට වැඩි කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කලා පමණක් නොව මෙරට කැබිනට් ආමාත්‍යවරුන් ලෙස ද සේවය කළ වුන් වීමය. ඒ අතර රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂයේත් අනුර කුමාර මහතා ජ.වි.පෙ සහ ජාතික ජන බලවේගයේත් සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේත් නායකත්වය දරන අතර නාමල් රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පදවිය දරයි. එමෙන්ම මෙරට ජනාධිපති පදවිය වසර 10ක් දැරූ ඔහුගේ පියා වන මහින්ද රාජපක්‍ෂ මහතා එම පක්‍ෂයේ නායකත්වය දරයි. මේ අනුව මෙම අපේක්‍ෂකයින් සිය ප්‍රචාරක වේදිකාවල මොන බේගල් ඇද බෑවත් ඔවුන්ගේ පාර්ලිමේන්තු ජිවිතය සහ කැබිනට් අමාත්‍යවරුන් ලෙස රටට හා ජනතාවට ඉටු කළ සේවාවන් පිළිබඳව සොයා බලා ඒ අනුව තම ඡන්දය භාවිතා කිරීමට ජනතාවට අවස්ථාව තිබේ. 

මේ තත්ත්වය එසේ තිබියේවා! මෙවර ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්‍ෂකයින් සිව්දෙනා අතරින් ලබන 22 වන විට මහජන ඡන්දයෙන් ඉදිරි පස් වසර සදහා මෙරට රාජ්‍ය නායකයා ලෙස පත් වූයේ කවුරුන්ද යන්න නිල වශයෙන් දැන ගැනීමට හැකි වනු ඇත. එහෙත් එලෙස පත්වන රාජ්‍ය නායකයා කවුරුන්ද යන වග ජොතිෂඥයින්සමාජ ක්‍රියාකාරීන්දේශපාලන පක්‍ෂ නායකයින්දේශපාලන විචාරකයින් සහ ඒ ඒ පක්‍ෂ වලට සහයෝගය දෙන්නන් විවිධ සමික්‍ෂණ සහ මහජන අදහස් යැයි කියමින් විවිධ කරුණු දක්වති. එහෙයින්ම ඉතා දිගු කලක් ලාංකේය දේශපාලනයේ ක්‍රියාකාරීව කටයුතු කළ අයෙකු ලෙස මා දකින ආකාරයට මේ ජනාධිපතිවරණයෙන් ජයගන්නා අපේක්‍ෂකයා කවුරුන්ද යන්න සොයා බැලිමට සිතුනු හෙයින් මෙලෙස මගේ අදහස් ප්‍රකාශ කරමි.

මේ ගණනයේ පදනම ලෙස මා තෝරා ගත්තේ මෙතෙක් අප අසන සමීක්‍ෂණයන්ට වඩා වෙනස් ක්‍රමවේදයකි. ඒ 2019 නොවැම්බරයේ දී පැවති ජනාධිපතිවරණයේ දී සහ ඉන් පසුව 2020 අගෝස්තුවේ පැවැති මහා මැතිවරණයේ දී වත්මන් අපේක්‍ෂකයින් සහ ඔවුන්ගේ දේශපාලන පක්‍ෂ විසින් ලබා ඇති ඡන්ද ප්‍රමාණයන් සහ අද වන විට එම ඡන්ද වල සිදුව ඇති මා දකින වෙනස්කම්ය.

2019 ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඡන්ද 69 ලක්‍ෂයක් ලබා තිබේ. එහි ප්‍රබලම ප්‍රතිවාදියා වු සජීත් ප්‍රේමදාස මහතා ඡන්ද 56 ලක්‍ෂයක් ලබා තිබේ. අනුර කුමාර මහතා ලබාගෙන ඇත්තේ ඡන්ද ලක්‍ෂ 04ක් පමණි. එම ජනාධිපතිවනරණයේ දී මෙරට ලියාපදිංචි ඡන්ද එක්කෝටි හැට ලක්‍ෂයක් වූ අතර ඉන් පාවිච්චි කළ ඡන්ද එක් කෝට් තිස් හතර ලක්‍ෂයක් (83.7%)ක් විය. එයිනුත් වලංගු ඡන්ද සංඛ්‍යාව වූයේ එක්කෝටි තිස් දෙලක්‍ෂ පනස් දහසක් (82.9%)ක් පමණි. ඉන් මාස 09කට පසුව පැවැති මහා මැතිවරණයේ දී රටේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව එක් කෝටි හැටතුන් ලක්‍ෂයකට ආසන්න වූ අතර එය ජනධිපතිවරණයට වඩා ඡන්ද දෙලක්‍ෂ හැත්තැ එක්දහසක වැඩි විමකි. එහෙත් එහිදී පාවිච්චි කළ ඡන්ද ප්‍රමාණය එක් කෝටි විසිතුන් ලක්‍ෂයක් (75.9%)ක් වූ අතර වලංගු ඡන්ද ප්‍රමාණය එක් කෝටි දහසය ලක්‍ෂයක් (71.3%) වූයේය. 

එම ජනධිපතිවරණයේ දී සහ මහා මැතිවරණයේ දී පාවිච්චි කළ ඡන්ද ප්‍රමාණය අතර වෙනස ඡන්ද දස ලක්‍ෂ පනස් දහසකි. ඒ අනුව එම ජනාධිපතිවරණයේ දී ඡන්දය දුන් එකොලොස් ලක්‍ෂයකට ආසන්න පිරිසක් මහා මැතිවරණයේ දී ඡන්දය පාවිච්චි කිරීමෙන් වැලකී ඇත. නැත්නම් රටේ රාජ්‍ය නායකයා හෙවත් විධායකය පත් කර ගැනීමට උනන්දු වූ මිනිසුන් ලක්‍ෂ 10කට වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු හෙවත් ව්‍යවස්ථාදායකය පත් කර ගැනීම සඳහා උනන්දුවක් දක්වා නැත. මෙහි විශේෂිත වන කාරණයක් වන්නේ ජනාධිපතිවරණයේ දී ජ.වි.පෙ.ඡන්ද අපේක්‍ෂයා ලැබු ඡන්ද ප්‍රමාණ පමණක් එම මහා මැතිවරණයේ දී ඡන්ද විසි හත් දහසකින් පමණ වැඩි වී ඇති අතර අනෙක් සියලු අපේක්‍ෂකයින් හෝ පක්‍ෂ ලැබූ ඡන්ද ප්‍රමාණය විශාල ලෙස අඩු වී තිබීමයි. ඒ අනුව උපකල්පනය කළ හැකි වන්නේ අනුර කුමාර මහතා ජනාධිපති කිරීමට අකමැති විසිපන්දහසකට වැඩි පිරිසක් ජ.වී.පෙ. තුළ ම සිට ඇති බවය. නොඑසේ නම් අනුර කුමාර මහතාට වඩා එම පාක්‍ෂිකයින් කැමති වෙනත් අපේක්‍ෂකයින් ජ.වි.පෙ. තුළ සිට ඇති බවය. 

2019 ජනාධිපතිවරණයේ දී පොහොට්ටු පක්‍ෂයේ අපේක්‍ෂකයා වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඡන්ද 6,924,255 ලබාගෙන ඇති අතර 2020මහා මැතිවරණයේ දී පොහොට්ටු පක්‍ෂය 6853690 ලබා තිබේ. ඒ අනුව එය ගෝඨාභය මහතාට වඩා ඡන්ද 70,565ක අඩු වීමකි. හෙවත් පොහොට්ටු පක්‍ෂට අකමැති එහෙත් ගෝඨාභය මහතාට කැමති හැත්තෑ දහසකි. එහි ප්‍රධාන ප්‍රතිවාදීයා වූ සජීත් ප්‍රේමදාස මහතා ඡන්ද 5,564,239ක් ලබාගෙන ඇති අතර ඔහු එජාප යට එරෙහි වෙනම පක්‍ෂයක් ලෙස සමගි ජන බලවේගය පිහිටුවා මහා මැතිවරණය තරඟ කරන විට එම පක්‍ෂය ලබා ඇත්තේ ඡන්ද 2,771,980ක් පමණී. එය ජනාධිපතිවරණයට වඩා ඡන්ද 2792259ක් හෙවත් ආසන්න වශයෙන් ලක්‍ෂ 28ක අඩු වීමකි. වෙනත් ආකාරයෙන් කියතොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ සහයෝගය නිසා සජීත් ප්‍රේමදාස මහතාට ඡන්ද ලක්‍ෂ 28ක් වැඩිපුර ලැබී ඇති බවකි. හෙවත් රනිල් වික්‍රමසිංහ මහතා සතුව ඡන්ද ලක්‍ෂ 28ක් තිබූ බවකි. ජ.වි.පෙ අපේක්‍ෂක අනුර කුමාර මහතා ජනාධිපතිවරණයේදී ඡන්ද 418,553ක් ලබාගෙන ඇති අතර මහා මැතිවරණයේ දී ඔහුගේ පක්‍ෂය ඡන්ද 445,958ක් ලබා ඇත. එය ඡන්ද 27405ක වැඩි විමකි. හෙවත් ඒ වනවිට අනුර කුමාර මහතාට අකමැති ජවිපෙ පාක්‍ෂකයින් විසිපන්දහසකට වැඩි පිරිසක් එම පක්‍ෂය තුළ සිට ඇති බවකි. 

දැන් අපි 2024 ජනාධිපතිවරණයේ එම ඡන්ද බෙදී යා හැකි ආකාරය බලමු. මෙවර ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව එක්කෝට් හැත්තැ එක් ලක්‍ෂ හතලිස් දහසකි. එය පසුගිය මහා මැතිවරණයේ ද ීපැවති ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව වන එක් කෝටි හැටතුන් ලක්‍ෂයට වඩා ඡන්ද ලක්‍ෂ 08ක වැඩිවීමකි. එම අලුත් ඡන්ද ලක්‍ෂ අටෙන් ඡන්ද ලක්‍ෂ 4  1/2ක් ජ.වී.පෙ.ට ලැබෙන්නේ යැයි ද අනෙක් ප්‍රතිවාදින් වන රනිල් වික්‍රමසිංහසජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්‍ෂ වෙත ලක්‍ෂය බැගින් සහ අනෙකුත් අපේක්‍ෂකයින් සියලු දෙනා අතර ඉතිරි පනස්දහසද බෙදියනු ඇතැයි සිතමු. ඒ අනුව අනුර කුමාර මහතාට පසුගිය මහා මැතිවරණයේ  ජ.වී.පෙ. ට ලැබුණු ස්ථාවර ඡන්ද ලක්‍ෂ 4 1/2 සමග ඔහුගේ ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ 09ක් වේ. සජීත් ප්‍රේමදාස මහතාට පසුගිය මහා මැතිවණයේ දී ලැබුණු ඡන්ද ලක්‍ෂ 27න් ඔවුන් සමග එක්ව තරග කළ අනෙක් පක්‍ෂ සදහා ලක්‍ෂ දෙකක් ඉවත් කළ හොත් ඔහුගේ ස්ථාවර ඡන්ද ලක්‍ෂ 25ත් සමග ඔහුගේ ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ 26ක් වේ. 2019ජනාධිපතිවරණයේ දී සජීත් ප්‍රේමදාස මහතාට ලබා දුන් 2020 මහා මැතිවරණයේදී ඔහුට ලබා නොදුන් ඡන්ද ලක්‍ෂ 28න් වෙනත් පක්‍ෂවල ඡන්ද සඳහා ලක්‍ෂ 08 ඉවත් කළ හොත් ඉතිරි වන ලක්‍ෂ 20ක ඡන්ද ප්‍රමාණය එජාප යේ නිත්‍ය ඡන්ද ලෙස සැලකිය හැකිය. එම ලක්‍ෂ 20ක ඡන්ද ප්‍රමාණය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇත. 

එජාපය 2020 මහ මැතිවරණයේ දී ලබාගත්තේ ඡන්ද 250000ක් බවත් මා මුලින් කී ඡන්ද විසි ලක්‍ෂය රනිල් මහත්මාට ලැබෙන්නේ නම් ඒ මහ මැතිවරණයේ දී එම ඡන්ද ප්‍රමාණය එජාපයට ලැබිය යුතු බවත් කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් 2020 මහා මැතිවරණය වන විට එක්සත් ජාතික පාක්‍ෂකයින් රනිල් වික්‍රමසිංහ මහතා ගැන තිබු දැඩි අප්‍රසාදය නිසා එහි දී ඔවුන් එජාපයට ඡන්ද දීමෙන් වැළකි සිටියද අද වන විට ඒ තත්ත්වය වෙනස් වී එක්සත් ජාතික පාක්‍ෂකයින් රනිල් වික්‍රමසිංහ මහතා ගැන අඩම්බර වන බවක් පැහැදිලිව පෙනේ. ඒ අනුව එජාපයේ ස්ථාවර ඡන්ද ලක්‍ෂ 20 මේ මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇත. ඒ අනුව ඔහුගේ ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ 21ක් වේ. පවතින තත්ත්වයන් හමුවේ නාමල් රාජපක්‍ෂ මහතා උපරිම වශයෙන් ඡන්ද ලක්‍ෂ 05ක පමණ ප්‍රමාණයේ නතර වන හෙයින් මෙම විග්‍රහයේදී මින් ඉදිරියට එතුමන් පිළිබඳව අවධානය යොමු නොකරමි. 

මිළගට මා සලකා බැලුවේ 2020 මහා මැතිවරණයේ දී පොහොට්ටු පක්‍ෂය ලබා ගත් ලක්‍ෂ 68 පිළිබඳවයි. එහි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඡන්ද ලක්‍ෂ 18ක් ඇතුළත් විය. එය අඩු කළ විට පොහොට්ටුවේ ස්ථාවර ඡන්ද ලක්‍ෂ 50ක් ලෙස ගත හැකිය. එම ලක්‍ෂ 50න් ඒ මහා මැතිවරණයේ දී පොහොට්ටුවේ මන්ත්‍රීවරු 131 පත් වූහ. ශ්‍රීලනිප පත් වූ මන්ත්‍රීවරු 14දෙනා සමඟ එය 145ක් විය. මේ සංඛ්‍යාවන් අනුව ගත් කළ පොහොට්ටුවෙන් පත් වූ එක් මන්ත්‍රීවරයෙකු හට ඡන්ද 40000ක පමණ පදනමක් තිබු බව පෙනේ. එහෙත් ඉන් හරි අඩක්ම ඉවත් කොට ඒ එක් එක් මන්ත්‍රීවරයෙකු සතු ඡන්ද පදනම 20000ක් බවට උපකල්පනය කළහොත් පොහොට්ටුවේ මන්ත්‍රීවරු 103ක් රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දිමට එක්ව සිටින නිසා 2020 මහා මැතිවරණයේදී පොහොට්ටුව ලබා ගත් ඡන්ද වලින් ලක්‍ෂ 20ක් රනිල් වික්‍රමසිංහ මහතාට එක්ව තිබේ. ඒ අනුව වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ 41ක් දක්වා වැඩි වෙයි. පොහොට්ටු පක්‍ෂයෙන් ඉතිරි වූ ඡන්ද ප්‍රමාණයෙන් තවත් ලක්‍ෂ 05ක් පමණ සජිත් ප්‍රේමදාස මහතා ලබාගනු ඇත. ඒ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් මිළග විපක්‍ෂ නායක පදවිය නාමල් රාජපක්‍ෂ මහතාට ලබා දෙන බවට වන කටකතා හේතුවෙනි. 2022 මැයි 09 දින ජවිපෙ මෙහෙයවූ තුන්වන කැරැල්ල නිසා පිඩාවටපත් වූ පොහොට්ටු පාක්‍ෂකයින් කිසිවෙකු අනුර කුමාර මහතාට ඡන්දය දීමට පෙළඹෙන්නේ නැත. එහෙත් රැල්ලට හසුවී සිටින පොහොට්ටු පක්‍ෂයේ නාගරික පීඩිත පන්තියේ තරුණ ඡන්ද ලක්‍ෂ 2ක් පමණ අනුර කුමාර මහතාට හිමි වනු ඇත. ඒ අනුව සජීත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ 31 දක්වාත් අනුර කුමාර මහතාගේ ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ 11 දක්වාත් ඉහළ යනු ඇත. 

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලය තහවුරු කරගෙන සිටින නිමල් සිරිපාල පාර්ශවය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට තිරණය කර ඇති නිසා ශ්‍රීලනිපයේ ස්ථාවර ඡන්ද ලක්‍ෂ 18න් ලක්‍ෂ 10ක් රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇත. එහි දයාසිරි පාර්ශවය සමග ඡන්ද ලක්‍ෂ 05ක් තිබෙන්නේ යැයි ද පවතින රැල්ලට අනුව ජවිපෙට ද ඉන් ලක්‍ෂයක් ලැබෙන්නේ යැයිද උපකල්පනය කළ හොත් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ 51 දක්වාත් සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ 36 දක්වාත් අනුර කුමාර දිසානායක මහතාගේ ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ 11දක්වාත් ඉහළ යනු ඇත. 

ඉහතින් දැක්වූ ඡන්ද සියල්ලම පාහේ සිංහල බෞද්ධ හෝ සිංහල කතෝලික ඡන්ද වෙයි. මෙවර ඡන්ද හිමි නාමලේඛණය අනුව උතුර හා නැගෙනහිර පළාත් වලට අයත් යාපනයවන්නිත්‍රිකුණාමලයමඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්ක පහේ ලියාපදිංචි ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ 22කි. එයින් 2020ට පසු ලියාපදිංචි වූ අලුත් ඡන්ද ලක්‍ෂ 03ක් අතහැරිය හොත් (මෙම අලුත් ඡන්ද සමස්තයක් ලෙස ප්‍රධාන අපේක්‍ෂකයින්ට බෙදෙන ආකාරය මීට පෙර ගණන් ගන්නා ලදී) එම දිස්ත්‍රික්ක 05 මුළු ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ 19කි. එයිනුත් අම්පාර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වල සිංහල ඡන්ද ලක්‍ෂ 02ක් ඉවත් කළ හොත් උතුර නැගෙනහිර ද්‍රවිඩමුස්ලිම් ඡන්ද ලක්‍ෂ 17කි. මෙයින් ඡන්ද ලක්‍ෂ 09ක් රනිල් වික්‍රමසිංහ මහතා ලබාගන්නා අතර සජිත් ප්‍රේමදාස මහතා ලක්‍ෂ 04ක් සහ අනුර කුමාර මහතා ලක්‍ෂ 1 1/2 ක් ලබා ගන්නා බව උපකල්පනය කළ හැකිය. එවිට රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ප්‍රමාණය ලක්‍ෂ 60ක් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද ප්‍රමාණ ලක්‍ෂ 40ක් අනුර කුමාර මහතාගේ ඡන්ද ප්‍රමාණ ලක්‍ෂ 12 1/2ක් දක්වාත් ඉහළ යනු ඇත. 

මේ වනවිට ප්‍රධාන අපේක්‍ෂකයින් ලබා ගන්නා ඡන්ද වල එකතුව එක්කෝටි දහතුන් ලක්‍ෂයක් වෙයි. රටේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව එක් කෝටි හැත්තැ එක් ලක්‍ෂයක් වන අතර ඉන් 83%ක් ඡන්දය පාවිච්චි කළ හොත් පාවිච්චි වන ඡන්ද ප්‍රමාණය ඡන්ද එක් කෝටි හතලිස් දෙලක්‍ෂයකි. ඉන් ඡන්ද ලක්‍ෂ 2ක් අවලංගු ඡන්ද ලෙස සැලකුවහොත් වලංගු ඡන්ද සංඛ්‍යාව එක් කෝටි හතලිස් ලක්‍ෂයකි. ප්‍රධාන අපේක්‍ෂකයින් තිදෙනා මේ වනවිට ලබා ඇති ඡන්ද සංඛ්‍යාව වන එක්කෝටි දහතුන් ලක්‍ෂයක් අඩු කළ විට ඉතිරිය ලක්‍ෂ 27කි. එයින්ද නාමල් රාජපක්‍ෂ ඇතුලු අනෙක් අපේක්‍ෂකයින් සඳහා ලක්‍ෂ 07ක් ඉවත් කළ හොත් පාවෙන ඡන්ද ලෙස ලක්‍ෂ 20ක් පවති. 

අනුර කුමාර මහතාට ලබාදෙන සියලු ඡන්ද මේවනවිටත් තීරණය කර හමාරය ඔහුට පාවෙන ඡන්ද ලැබෙන ප්‍රවනතාවත් නැත. කෙසේ වෙතත් ඔහුට පාවෙන ඡන්ද වලින් ලක්‍ෂ 02ක් ලැබෙන්නේ යැයි උපකල්පනය කළ හොත් ලක්‍ෂ 15 දක්වා ඉහළ යයි. එමෙන්ම ඉතිරි පාවෙන ඡන්ද ලක්‍ෂ 18න් බහුතරයක් ලැබිමේ සම්භාවිතාව රනිල් වික්‍රමසිංහ මහතාට ඇති හෙයින් ඔහුට ඉන් ලක්‍ෂ 10ක් සහ සජීත් ප්‍රේමදාස මහතාට ලක්‍ෂ 08ක් වෙන් කළ විට අවසාන ප්‍රතිඵලය වනුයේ රනිල් වික්‍රමසිංහ මහතා ලක්‍ෂ 70ක්සජීත් ප්‍රේමදාස මහතා ලක්‍ෂ 48ක් සහ අනුර කුමාර මහතා ලක්‍ෂ 15ක් ලෙස සැලකිය හැකිය. එක් කෝටි හතලිස් ලක්‍ෂයක් වන වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් ඉතිරි වන ලක්‍ෂ 07ක ප්‍රමාණය නාමල් රාජපක්‍ෂ ඇතුලු ඉතිරි අපේක්‍ෂකයින් වෙත බෙදි යනු ඇත. 

ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වතාවට ඡන්ද බෙදියාමේදී විපක්‍ෂයේ ප්‍රධාන අපේක්‍ෂකයින් දෙනෙකු සිටිමේ වාසිය ආණ්ඩුවේ අපේක්‍ෂකයා වන රනිල් වික්‍රමසිංහ මහතා හිමි කරගන්නා අතර ඔහුගේ වැඩි ඡන්ද ප්‍රමාණය ඉහළ අගයක් ගනියි. එමෙන්ම ඉතිහාසයේ පළමු වතාවට ස්වාධින අපේක්‍ෂකයකු ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා ලෙස මතු විමද ඔහුට වාසියක් වනු ඇත. 

මේ ගණනය කිරීමේ දී අවධානයට ලක් වූ ප්‍රධාන කරුණු අතර ආණ්ඩුවේ අපේක්‍ෂකයාට එරෙහිව විපක්‍ෂයේ ප්‍රධාන අපේක්‍ෂකයින් දෙදෙනකු මතු වීමආණ්ඩුවේ අපේක්‍ෂකයා ස්වාධින අපේක්‍ෂයකු වීමඔහු කෙරෙහි ජනතා විශ්වාසයක් ඇති වෙමින් තිබිමවිපක්‍ෂයේ අපේක්‍ෂකයින් දෙදෙනාම යෝජනා මිස ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ඉදිරිපත් නොකිරීමවිපක්‍ෂයේ සටන් පාඨවල ඇති දියාරු බවමුහුණට මුහුණ සංවාද සදහා විපක්‍ෂයේ අපේක්‍ෂකයින් ඉදිරිපත් නොවීමආණ්ඩුවේ අපේක්‍ෂයා පිළිබද බිම් මට්ටමේ නිහඩ සහයෝගයක් පළ වීම සහ විපක්‍ෂයේ ප්‍රධාන අපේක්‍ෂකයින් පිළිබද විශ්වසනීයත්වයක් ඇති නොවීම ආදිය ප්‍රමුඛ විය. 

1981 අංක 15 දරණ ජනාධිපතිවරයා පත් කර ගැනීමේ පනතෙහි 9 (03) උපවගන්තියට අනුව ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකුගේ ඇප මුදල රාජ්‍ය සන්තක නොවීමට නම් ඔහු එකි ජනාධිපතිවරණයේ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 1/8ක් ලබා ගත යුතුය. ඒ අනුව මෙවර වලංගු ඡන්ද සංඛ්‍යාව එක්කෝටි හතලිස් ලක්‍ෂයකට ආසන්න විය හැකි බැවින් ඇප මුදල් රාජ සන්තක නොවීමට නම් අපේක්‍ෂකයෙකු අවම වශයෙන් ඡන්ද ලක්‍ෂ 17 සීමාව ඉක්ම විය යුතුවේ. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා සහ සජීත් ප්‍රේමදාස මහතා හැර වෙනත් අපේක්‍ෂකයෙකුට මෙම සීමාව ඉක්මවා යෑමට නොහැකි වන බව පෙනෙයි. ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට රට පාලනය කළ පක්‍ෂයක අපේක්‍ෂයෙකුගේද ඇප මුදල් රාජ සන්තක වීම අපට දැකිය හැකි වනු ඇත. 

මෙම තොරතුරු හෝ මෙම ගණනය කිරීම් එලෙස විය නොහැකි බවට කිසියම් අයෙකු කියන්නේ නම් කුණුහරුප හෝ වැල්වටාරම් නොමැතිව සැබෑ සංඛ්‍යා ලේඛන සහ දත්ත සහිතව කරුණු ඉදිරිපත් කිරීමේ අයිතිය ඕනෑම අයෙකුට තිබෙන බවත් මේ පිළිබඳව කිසියම් ගැටලු තිබේ නම්තවදුරටත් පැහැදිලි කළ හැකි බවත් ප්‍රකාශ කරමි.

 

මොන්ටේගු සරච්චන්ද්‍ර

මනෝ විද්‍යා උපදේශක සහ 

දේශපාලන විශ්ලේෂක




Saturday, August 24, 2024

මංගල මතක

 මංගල සමරවීර වියෝ වී අදට තෙවසරකි. තෙවසරක් ඇවෑමෙන් වුවද ඔහුව මතක් කරන අය බොහෝය. අන් කවරදාටත් වඩා, රට දේශපාලන වශයෙන් බංකොලොත් වී ඇති පසුබිමක, මංගල විසින් ඉතිරි කර ගිය රික්තකය පිරවීමට දේශපාලන පිටියේ කිසිවෙකු සොයාගැනීමට නොහැකි ව ඇත. මංගල විසින් විශ්වාස කළ, ක්‍රියාවට නැංවූ දේශපාලන-ආර්ථික දර්ශනයෙහි තිබු ප්‍රයෝගිකත්වය සහ සාර්ථකත්වය මෙන්ම එහි අවශ්‍යතාවය පසුගිය අවුරුදු දෙකේදී තව තවත් අපිට පසක් විය. දේශපාලනය දේශපාලනය ලෙසම දැකීමට ඔහු තුළ තිබු අසහාය ශක්තිය බොහෝ අවස්ථාවල මෙරට දේශපාලන ගමන් මාර්ගයේ කක්ෂය තීරණය කිරීමට බලපෑ බව නොරහසක්. එවැනි වටපිටාවක ඔහු අප අතර නොමැති වුවත් 2024 ජනාධිපතිවරණය එළිපැත්තේ සිට මංගලගේ දෘෂ්ටිවාදය කියවීම සැබෑවටම අවශ්‍ය කරුණක්.


සමගි ජන බලවේගය නිර්මාණය කිරීමේ ප්‍රමුඛ කාර්යභාරයක් මංගල විසින් ඉටුකළත්, කල්යත්ම රටට අවශ්‍ය නායකත්වය සැපයීමට සජබ අසමත් වනු ඇතැයි ඔහු පුරෝකථනය කළා විය හැකිය. එයින් පසු මංගල තමන්ගේම ගමනක් ඇරඹීම මතවාදී ලෙස අතරමන් වී සිටි මෙරට බොහෝ දෙනෙක්ට අස්වැසුමක් විය. ලාංකීය දේශපාලනයේ දක්ෂිණංශය සහ වාමාංශය බිඳවැටී තිබූ අවධියක මංගල ශ්‍රී ලංකාව කෙරෙහි නවමු මාර්ගයක් විවෘත කිරීමට උත්සාහ කළ බව අපි දුටුවෙමු. ඇතැම් විට මංගල තුළින් අපි දුටුවේ ලංකාව තුළ අප ද

දකින අවසන් සැබෑ ලිබරල් මිනිසා විය හැකිය. ඇතැම් වකවානු තුළ ඔහු සම්ප්‍රදායික දේශපාලන සංස්කෘතියේ ජීවමාන ලක්ෂණයක් වුවත්, බොහෝ අවස්ථාවල ඔහු අන් අය මෙන් එම සංස්කෘතියේ සදාකාලික ගොදුරක් බවට පත්වුයේ නැත.


මංගලට ඔහු කෙරෙහි හොඳ ස්වයං කියවීමක්‌ /විවේචනයක්‌ විය. අද බොහෝ දේශපාලන වේදිකාවල සිටින පුද්ගලයන් තුළ නැත්තේ ද මෙයයි.එසේම මංගලට දිගුකාලීන දේශපාලන විශ්වාසයන් විය. ඔහු දේශපාලනයට පිවිසි 80 දශකයේ අගභාගයේ සිටම ඔහු තුළ රට වෙනුවෙන් සිහිනයන් විය. එහිදී ඔහු අත්හදා බැලූ, භාවිතයට ගත් දේශපාලන මෙවලම් ඇතැම් තැනක වෙනස් වුවද ඔහුට එක එල්ලයක් විය. බල දේශපාලනයේ කප්පිත්තෙකු වුවද තම අගයන් සිල්ලරට උකස් කිරීමට මංගල කටයුතු නොකළ බව මගේ අදහසයි. නමුත් වර්තමානය දෙස බලන විට ඩලස් අලහප්පෙරුම වැනි මංගල විසින්ම දේශපාලනයට ගෙන ආ උදවියගේ හැසිරීම මංගල ඔවුන්ගෙන් වෙනස් වන්නේ ඇයිදැයි තේරුම් කිරීමට ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය. වර්තමානයේ දී මාතරින් මංගලගේ උරුමය කරපින්නාගෙන දේශපාලනයට එන්නේ චංචලා ගුණවර්ධනයි. නමුත් ඇය අද තෝරාගෙන ඇත්තේ ද මංගල විසින් හැරගිය පාර්ශවයයි. මංගල අවිශ්වාස කළ දර්ශනයයි. 


මෙහිදී මංගල ජීවත් වී සිටියා නම් එක්ව සිටගනු ඇති බවට විශ්වාස කළ හැකි පාර්ශවයක්‌ තිබේද යන්නත් ප්‍රශ්න කළ යුතුය.මංගල අගය කරන ඇතැම් පිරිස් වලට ඔහු හා එකඟ නොවන කාරණා අතුරින් ප්‍රබලතම ගැටලුව වී තිබුනේ ඔහුගේ ආර්ථික දර්ශනයයි. ඔහු සෑම විටම ලංකාව ඇතුළු ආර්ථික වශයෙන් ඌණ සංවර්ධිත රටවලට වඩාත් උචිත ආර්ථික මාදිලිය වශයෙන් නව ලිබරල් ආර්ථික මොඩලය පිළිගත්තේය. පැහැදිලිවම වර්තමානයේ අපි මුහුණ දෙන ආර්ථික අර්බුදයට පසුබිම සකස් කළේ ද ඇතැම් ආණ්ඩු විසින් ආර්ථිකය තුළ බලවත් රාජ්‍ය මැදිහත්වීමක්‌ සිදුකිරීමට යාමයි. මංගල විශ්වාස කළ නිදහස් ජීවිතය අත්කර ගන්න අපි අසමත් වන්නේ නිදහස් ආර්ථිකයක් තනි පුද්ගයන්ට උරුම කරගැනීමට අවකාශය නොමැති නිසාවෙන්. වර්තමානයේ බලයේ සිටින, බලය ඉල්ලන බොහෝ දෙනෙක් සිදුකරන්නට උත්සාහ කරන්නේ ද පුද්ගලයන් රාජ්‍යයේ වහලුන් බවට පත්කරන වැඩපිළිවෙලයි. ලිංගිකත්වයේ සිට පාසල, රැකියාව, ඇඳුම පැළඳුම පවා රාජ්‍යය විසින් තෝරාදෙන ආර්ථික මොඩලයක වින්දිතයන් බවට පත්වීමට අපිට දැනටමත් සිදුවී ඇත. පෙනෙන සමාජවාදීන් මෙන්ම ලිබරල්වාදී වේෂයෙන් සිටින සමාජවාදීන් ද බොහෝ අවස්ථාවල ස්වයංපෝෂිත සුඛිත මුදිත යුතෝපියාවක් මවා ශ්‍රී ලංකාව නැවත වතාවක් ආර්ථික මඩගොහොරුවක ගිල්වා විනාශ කිරීමට අවශ්‍ය මතවාදී වේදිකාව සකසමින් සිටියි. මගේ පෞද්ගලික අදහස නම් වික්‍රමසිංහ, ප්‍රේමදාස හෝ දිසානායක තෝරාගැනීමට මත්තෙන් අපි තෝරාගත යුත්තේ තම පුද්ගලික නිදහසයි. එය ප්‍රයෝගික වීමට නම් ඔබ ආර්ථික නිදහස තෝරාගත යුතුව ඇත. ඔබ රාජ්‍යය මත යැපෙන්නෙක් වන තෙක් ඔබ පෙළෙන දේශපාලනික අඝාතයෙන් ඔබ සුව නොවනු ඇත. මංගල වැන්නවුන් අපිට කියන්නට උත්සාහ කළේ එයයි. 

සහන් තෙන්නකෝන්


#sahantwrites 

24.08.2024


Friday, August 16, 2024

 

සජිතෝකෝටිකය - සහන් තෙන්නකෝන්



ජනාධිපතිවරණයේ උණුසුම කාලයත් සමඟම වැඩිවෙත්ම මැතිවරණ වේදිකාවල සුපුරුදු පරිදි පොරොන්දු හඬතලන සද්දය ඇසේ. ඒ බොහෝ වේදිකාවල අසන්නට ලැබෙන්නේ රට වෙනුවෙන් ඉදිරිපත් වන ප්‍රතිපත්ති වෙනුවට ඡන්දය ඩැහැගැනීමේ අරමුණින් ඉදිරිපත්කරන වාගාලාප සහ අනෙකාට කරන අපහාසන්ය.මේ සියල්ලම ඉදිරි ජනාධිපතිවරණය ද වත්මන් සම්ප්‍රදායික ගෝත්‍රික දේශපාලන ක්‍රමයේ දිගුවක්ම පමණක් වනුඇති බවට සිතිය හැකිය.



ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා අතුරින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත වර්තමානයේ සැලකිය යුතු ජනතා ආකර්ෂණයක්‌ ලැබී ඇති බව ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය දෙස බලන කෙනෙකුට පෙනීයයි. විවිධ දේශපාලන කණ්ඩායම් සහ සිවිල් සමාජ සංවිධාන ඔහුවටා පෙළගැසෙමින් සිටින අතර එවැනි ඇතැම් අවස්ථාවල ඔහුගේ මැතිවරණ වේදිකාවල කෑමොර දෙන ප්‍රතිපත්තිවලට හාත්පසින්ම විරුද්ධ ඉතිහාසයක් සහිත පුද්ගල කණ්ඩායම් ද මේ වේදිකාවල අසුන්ගෙන සිටීම අපුල දනවන්නකි. 



ජනතාව විසින් රාජපක්ෂවරු දේශපාලනිකව ප්‍රතික්ෂේප කරඇති පසුබිමක, එම 'රාජපක්ෂවාදය' වෙනුවෙන් න්‍යායික පසුබිම සැකසූ න්‍යායාචාර්යවරුන් සෑම දෙනාම පාහේ ප්‍රේමදාස කඳවුරේ ද පුරෝහිතයන් ලෙස කටයුතු කරනු දක්නට ලැබෙයි. ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත්වන හොඳම කණ්ඩායම සිටින්නේ ඔහු සමඟය. එම කණ්ඩායම ශ්‍රී ලංකාව අශිලාචාර රාජ්‍යයක් බවට පත්කළ 'මහින්ද චින්තනය' ලියු ඩලස් අලහප්පෙරුමගේ සිට මහබැංකු හොරකම පිළිබඳව පොතක් ලියූ සුජීව සේනසිංහ, මත්පැන් ඉස්කාගාරයක් පවත්වාගෙන ගියබවට චෝදනා ලැබූ නලින් බණ්ඩාර, රාජ්‍ය දේපල අවභාවිතා කළ බවට චෝදනා ලැබූ නාලක ගොඩහේවා හරහා මධ්‍යම අධිවේගී මාර්ගය හරිම විදිහට හැදූ ලක්ෂ්මන් කිරිඇල්ල තෙක් විහිදී යන අත්දැකීම් බහුල කණ්ඩායමකි. කණ්ඩායමට නායකත්වය ලබාදෙන විපක්ෂ නායකවරයා පිළිබඳව ද ඇත්තේ මිශ්‍ර ප්‍රතිරූපයකි.



2022 ගෝඨභය රාජපක්ෂ ජනාධිපතිවරයා රාජ්‍ය බලය අතහැර පලයන්නට මත්තෙන් විපක්ෂ නායකවරයාට රජයක් පිහිටුවන්නට ආරාධනා කළ විට ඔහු පැවසුවේ රාජපක්ෂවරු හෝ ඔවුන්ට සහය දෙන කිසිඳු පාර්ශවයක් සමඟ ආණ්ඩුවක් පිහිටුවීමට ඔහු අකමැති බවයි. එසේ පවසා ලැජ්ජා විරහිතව රාජපක්ෂ රෙජිමය වෙනුවෙන් කවි ගී කතා ලියූ වන්දිභට්ටයන් සමඟ එකට හිටගන්නට තරම් ප්‍රේමදාස මහතාට ලැජ්ජාවක් නැතිවීම විමතිය දනවන්නක් නොවේ. රටේ අඳුරුතම හෝරාවේදී රටේ වගකීම භාරනොගෙන පලායාම ද මේ සමඟ එකට කියවිය යුතුය. ඔහු ඒ සඳහා ගෙනෙන 'මහජන වරමකින් යුතු ආණ්ඩුව' යන තර්කය, සජිත් ප්‍රේමදාස ඕනෑම කුණුගොඩක් සමඟ එකතුවීම ප්‍රයෝගික දේශපාලනය යැයි සාධාරණිකරණය කරන පිරිසේ අවධානයට නතු නොවී ද යන්න කුකුසකි. මන්දයත් ඒ අවස්ථාවේ ප්‍රයෝගිකව කළ යුතුව තිබුනේ ඡායා කැබිනට්ටුව ලෙස ආණ්ඩුබලය ලබාගෙන කටයුතු කොට ඉන්පසුව අවශ්‍යනම් මහමැතිවරණයක් වෙත යාමයි. එයින් පෙනී යන්නේ ප්‍රේමදාස කඳවුරේ 'ප්‍රායෝගික දේශපාලනය' යනු ස්වකීය දේශපාලන පැවැත්ම උදෙසාවන භාවිතයක් මිස ඔවුන් පවසන නිකැළැල් දේශපාලන සංස්කෘතියේ කොටසක් නොවන බවයි.



සජබ රජයක අගමැති ධූරය අපේක්ෂාවෙන් සිටින මහාචාර්ය ජී. එල්. පීරිස් ද රාජපක්ෂ කඳවුරේ මෙන්ම ප්‍රේමදාස කඳවුරේ ද පුරෝහිත තනතුර දරණ බව පෙනෙයි. නීති විශාරදයෙක් ලෙස පෙනී සිටියත් මහාචාර්ය පීරිස් සැමදා තමන් රැඳී සිටින කඳවුරේ අනීතික වැඩපිළිවෙලක් වී නම් එය හිසනමා අනුමත කිරීමේ ඉතිහාසයක් ඇත. එම ඉතිහාසය පුරාවටම ඔහු පිල් මාරුකරමින් තම දේශපාලන පැවැත්ම ස්ථාවර කරගත්තා මිස කිසිඳු අවස්ථාවක ඔහුගේ පොත්වල, දේශනාවල තිබු අගයන් වෙනුවෙන් ප්‍රයෝගිකව පෙනීසිටියේ නැත. තමන් සමඟ එකට වසර ගණනාවක් ශිෂ්‍යාවක ලෙසත්, වෘත්තීය සගයෙකු ලෙසත් කටයුතු කළ ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය රාජපක්ෂවරුන්ගේ උදහසට ලක්වී අභූත චෝදනා නගා එම ධුරයෙන් එලවා දමනවිට අධි්කරණය විධායකය විසින් කෙලෙසන විට, මේ නීති විශාරදයා කලිසම් සාක්කු දෙකට අත්දෙක දමාගෙන මුනිවත රැක්කේ ඇයිදැයී විමසිය යුතුය. 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපති ධූරය ව්‍යවස්ථාපිත කිරීටයක් බවට පත්කරන විට උඩබලාගෙන සිටි ඔහු වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පමණක් විවේචනය කිරීම තුළින් පෙන්වන්නේ ඔහු ද මේ නිර්ලජ්ජිත දේශපාලන ක්‍රමයේ 'උගත්' ඩමියක් බවයි. ඔහුගේ අසහාය දේශපාලන පුත්‍රයා වන දයාසිරි ජයසේකර ද අද දේශපාලන වටවන්දනාවේ ගොස් එකම තැනකට පැමිණ තම දේශපාලන අනාගතය වෙනුවෙන් සටන් කිරීම දෛවොපගත සිදුවීමකි.



ප්‍රේමදාස කඳවුරේ සිට එළියට පැනගොස්, එම කඳවුර දැඩිලෙස විවේචනය කර නැවත එම කඳවුරටම එකතු වීමට තරම් හෘද සාක්ෂිය අඩපණ වී ගිය පාඨලි රණවක පිළිබඳව ඇත්තේ කණගාටුවකි. වරෙක ඔහු මෙරට නායකත්වය ඉසිලීමට තරම් ශක්‍යතාවයක් ඇති බවට අප විශ්වාසකලත් දැන් දැන් ඔහුගේ දේශපාලන කියවීම බෙලහීන වී ඇතිබව පෙනෙයි. කෙසේවෙතත් ඔහුගේ ලිබරල් නව්‍යවාදී දේශපාලන ප්‍රතිරූපය යටින් ඇති හෙළ උරුමය බිහිකළ සිංහල බෞද්ධ ජාතිකවාදී  පැරණි මිනිසා මතුවී පෙනෙයි. එහෙයින් මේ සජබච්චාරුවට රණවක ගෙනෙන්නේ අමුතුම රසයකි. ඇතැම් විට රණවක මහතා පාලන බලය ලබාගැනීමේ 'වික්‍රමසිංහ මොඩලය' අත්හදා බැලීමට කලගන්නවා විය හැකිය. සජිත් ප්‍රේමදාස ස්වභාවයෙන්ම දුර්වල නායකයෙකු බැවින් යම් හෙයකින් ඔහුට ගෝඨභය රාජපක්ෂගේ ඉරණම අත්වීමට වැඩි ඉඩක් ඇතිබව පුර්වනිශ්චය කරන රණවක මහතා එවැනි අවස්ථාවක නායකත්වය ලබාගැනීමට උත්සාහ කිරීමට කටයුතු කරන්නේ නම් එයා අසාර්ථක වීමට ඇති ඉඩකඩ බොහෝය.



සජිත් කඳවුරේ සිටින අනෙකුත් පිරිස දෙස බලන විටද ඔහු ළඟ සිටින්නේ හොඳම කණ්ඩායම බවට කිවහැකිය. නීතියේ ආධිපත්‍ය ගැන දේශනා පවත්වන රවුෆ් හකීම් අගවිනිසුරු බණ්ඩාරනායක ගෙදර යැවූ අධිකරණ ඇමතිවරයාය. රිෂාඩ් බතියුදීන්, සජබය රට වටේ 'හුස්ම' බෙදන විට වනාන්තර කාන්තාර කොට හුස්ම අහිමිකළ මිනිසාය. හැමදාම පිටිපස්සට ස්කූප් ගැසූ රාජපක්ෂවරුන්ගේ පිටිපස්සේ වැටී සිටි තිලකරත්න දිල්ෂාන් ද දැන් සජබ වේදිකාවේය. වියත් මගේ සිටි බොහොමයක් අද සජබ බුද්ධි මණ්ඩපයේ ය. සමගි ජන බලවේගයේ ආර්ථිකය මෙහෙයවීම භාරව ඇති ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් වැන්නවුන් හ‍ට දූෂණ චෝදනා එල්ලවී නැතත් ඔවුන්ගේ ප්‍රයෝගිකබව පිළිබඳව යහපාලන සමයේ ඇති අපැහැදිලි උරුමය ගැටළුකාරීය. එහෙයින් අපිට මිලදී ගැනීමට ඇත්තේ අලුත් බෝතල්වල බහා ලූ පරණ වයින්මය. 



බොහෝ දෙනෙක් රාජපක්ෂ රෙජිමය දකින්නේ ප්‍රේමදාස (ජ්‍යෙෂ්ඨ) රෙජිමයේ අනන්‍ය දිගුවක් ලෙසය. දේශපාලනය වෙනුවෙන් මල්වට්ටි උස්සන් පන්සල් යන දේශපාලන සංස්කෘතිය දායාද කළේ ප්‍රේමදාස ය. එය මහින්ද ඕනෑවටත් වඩා හොඳින් කළේය. ලිබරල් ආර්ථික මොඩලයට සුබසාධනවාදය මුහුකරමින් ආර්ථික විකෘතියක්‌ කළේ පියානෝය.දුප්පතාගේ හිතවතා කියමින් දුප්පතුන්ට දරිද්‍රතාවයේ රසය පෙන්වා දුන්නේ ඔහුය. ඔහුගෙන් පසුව පැමිණි කිසිඳු ජනාධිපතිවරයෙකුට එයින් මිදීමට නොහැකි විය. මහින්ද දැයට කිරුළ, මග නැගුම, දිවි නැගුම ලෙස ඉදිරියට ගෙන ගියේ එයයි. ආගම, කලාව, ව්‍යාපාරික ප්‍රජාව දේශපාලනය තුළ නිර්ලජ්ජිත ලෙස භාවිතා කිරීම ආරම්භකළේ ප්‍රේමදාස ය. ප්‍රේමදාස විසින් ආරම්භකළ ඝාතන සංස්කෘතිය ලසන්ත වික්‍රමතුංග,ප්‍රදීප් එක්නැලිගොඩ හරහා අදට යාවෙන්නේ ද එලෙසය. මේ සියල්ලටමත් වඩා හිසරදයක් වූ ආර්යා සින්ඩ්‍රෝමය බෝ වෙන්නේ ද ප්‍රේමදාස යුගයේ දිය. එනමුත් රාජපක්ෂවරුන් එලවා දමා එම සංස්කෘතියේම වෙනස් මුහුණුවරකට පණ දීම සිදුනොකළ යුතුය.



මෙම ජනාධිපතිවරණය සුවිශේෂි වන්නේ ආර්ථික අර්බුදය නිසාම නොවේ. රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ මෙන්ම දේශපාලන ප්‍රතිසංස්කරණ ද සිදුකිරීමට ශක්‍යතාවයක් සහිත නායකත්වයක් තෝරගැනීම කළයුතුය.  මූඪත්වය සහ මහන්තත්වය අභරණයක් නොකරගත් නායකයෙක් තෝරාගත යුතුය. කනට රස වාගාලාප වෙනුවට වැඩ කරන නායකයෙක් තෝරාගත යුතුය. තෝරාගැනීම ඔබ සතුය.