Thursday, July 14, 2022

රනිල් පොළඟෙක්

'මානවම්ම‘ පැරදු Netflix බලන වික්‍රමසිංහගේ මැරතන් ධාවනය


එජාප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වසර 27 මාස 6 ක මැරතන් ධාවනයකින් පසුව රාජ්‍ය නායකත්වයට අද පත්වන්නේය. 


‘මානවම්ම‘ කුමාරයා අවුරුදු 24 ක් උත්සහ කර, 659 වසරේ දී ‘දාඨෝපතිස්ස‘ නමින් ලංකාවේ රජවුණු බව ඉතිහාස කතාවල තියෙනවා. මේ කතාව ජනගත වුනේ, රනිල් වික්‍රමසිංහ රූපවාහිනී සාකච්ඡාවක දී මේ ගැන කියූ නිසාමයි.

 

රාජ්‍යත්වය පතා වැඩිම කාලයක් කැපවීම් කරපු ලංකාවේ නායකයා ලෙස ‘මානවම්ම‘ වෙනුවට ‘රනිල් වික්‍රමසිංහ‘ අද සිට පත් වෙනවා. දවස් පහකට ද, දහයකට, වසර දෙකකට ද යන්න කියන්නට නොහැකියි. 


රනිල් ගන්නේ ඩීසල් නැති, පේට්‍රල් නැති, දෙවැනි තෙල් නැවට ගෙවාගන්න සල්ලි නැති රටක්.  මේ පැයේ ක්‍රියාකාරීව ඉන්න දේශපාලනඥයින්ගෙන් බහුතරයක් ඔහුට මතවාදීව පමණක් නොව, මාරාන්තික විරෝධතාවයක ඉන්න මොහොතක. ඕනෑම ගොඩනැගිල්ලක්, විනාඩි කිහිපයකින් අත්පත් කර ගන්නට සමත් අරගලකරුවන් සිටින යුගයකය. 


2005 දි වරක් LTTE න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ ගැන මෙහෙම කිව්වා.


" මහින්ද රාජපක්ෂ කියන්නේ නාගයෙක්. ඔහු වේගයෙන් පිඹියි. පෙණය පුප්පයි. ඉන්පසු ඔබට දෂ්ට කරයි. ඉතින්, ඔබට ඔබේ ආත්මාරක්ෂාව සඳහා බේරෙන්න යම් කාලයක් තිබෙනවා.


හැබැයි රනිල් වික්‍රමසිංහ කියන්නේ පොළඟෙක්. ඔබට පේන්නෙ ඔහු නිදි වගෙයි. සමහර විට මැරිලා වගේ. එහෙම පෙන්නුවත් නොසිතූ මොහොතක සැණෙකින් ඔහු පැන ඔබට දෂ්ට කරාවි. එවිට ඔබට බේරෙන්න තිබෙන අවස්ථා හරිම අඩුයි. "


රනිල්ගේ දේශපාලනය ගැන අපිට අලුතෙන් ලියන්නට දෙයක් නැත.  පහුගිය සමයේ දේශපාලනිකව පොඩි විවේකයක් ලබාගත් රනිල් දැන් Netflix බලා, අලුත් පොත්පත් කියවා  නව දැනුමෙන් සන්නද්ධ වී පැමිණ තිබේ. 


මින් පෙර සෑම අවස්ථාවකදීම ඔහු අංක 2 විය. එය බොහෝ විට ඔහුගේ අසාර්ථක භාවයට හේතුව වන්නට විය හැක. අද ඔහු අංක 01 වී ඇති නමුත් පෙර අවස්ථා සියල්ලටම වඩා දරුණු  වටපිටාවක පළමුවෙනියා වීම අතිශය භයානකය.


අරගල, හදිසි නීතිය, ඇඳිරි නීතිය, සාගතය, පෝලිම්, ආර්ථික අර්බුද මැදින් හැමදාම රනිල් අගමැති විය. 


අද ඔහු ඒ සියල්ලම මැදින් රාජ්‍ය නායකත්වයට පත් වි තිබේ!   


වාර්තා වෙන අන්දමට එළඹෙන 20 වනදා ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනොත් මන්ත්‍රීවරු 225න් 132 කට වැඩි ප්‍රමාණයකගේ ජන්දයෙන් මේ රටේ විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වීමටත් නියමිතව තිබේ.


හන්දියේ කඩ පිළේ, බෝක්කු අයිනේ කම්මැලිකමට කල් මැරීමට දාම් අදින ලද ක්‍රීඩකයින්ව, හොදින් සිතා බලා චෙස් අදින රනිල් වික්‍රමසිංහ සමඟ සටනට යැවීම අරගලකරුවනුත්, දේශපාලන පක්ෂත් නොකල යුතු දෙයකි. ඒ වෙනුවට චෙස් දන්න පිරිසක් පෙරට පැමිණිය යුතුව තිබේ. 


එය බොහෝ දෙනෙකුට වටහාගත හැකි යයි මම නොසිතමි. 



උපුටා ගැනීමකි.


No comments:

Post a Comment