Wednesday, November 16, 2022

සාංචි මහාබෝධි මහෝත්සවය

 


 
සාංචි චේතියගිරි  මහා විහාරය කේන්ද්‍ර කරගනිමින් වාර්ෂිකව පවත්වන සාංචි මහාබෝධි මහෝත්සවය මෙවර 26 සහ 27 යන දෙදින උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ  සභාපති හා සාංචි චේතියගිරි විහාරාධිපති  අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

ඉන්දියානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්  ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා 1851සාංචි නටබුන්වල කරන ලද ගවේශණයක දී සොයාගත්  සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක  මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා තැන්පත් කර 1952 සාංචි චේතියගිරි විහාරය ඉදිකර තිබේ.

එවකට බෝපාල් පාලක නවාබ්තුමා පරිත්‍යාග කළ ඉඩමක ඉදිකළ මෙම විහාර ගර්භයෙ  තැන්පත් කර ඇති අග්‍ර ශ්‍රාවක ධාතූන්  වහන්සේලා වසරකට වරක් එම විහාර ගර්භයෙන් විහාර මන්දිරයට වැඩම කර මහජනයාට වන්දනාමාන කිරීමට අවස්ථාව සලසාදීම  මහාබෝධි මහෝත්සවයේ ප්‍රධාන කාර්ය බව පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මධ්‍ය ප්‍රදේශ් රජයේ සංචාරක හා සංස්කෘතික අමාත්‍ය ඌෂා තකූර් (Usha Thakur) මහත්මිය  සහභාගී වන බවත්,මධ්‍යප්‍රදේශ් රජයේ සෞඛ්‍ය හා මහජන සෞඛ්‍ය පිළිබඳ අමාත්‍ය වෛද්‍ය ප්‍රභූරාම් චෞද්‍රි මහතා (Dr.Prabhuram Choudhary) සහ මධ්‍ය ප්‍රදේශ අතිරේක පොලිස්පතිනි අනුරාධා ශංකර් සිංග් මහත්මිය ද සහභාගි වන බව සාංචි චේතියගිරි විහාරාධිකාරි බානගල විමලතිස්ස හිමියෝ පවසති.

ඉන්දියාවේ නවදිල්ලි ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා මෙවර සාංචි මහාබෝධි මහෝත්සවයේ සුවිශේෂී ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගී  වන බව ද විමලතිස්ස හිමියෝ පවසති.

ඊට අමතරව වියට්නාමය ,තායිලන්තය ,සිංගප්පූරුව ,ජපානය සහ ශ්‍රී ලංකාව  යන රටවල බෞද්ධ සැදැහැවතුන් ද ඉංදියාවේ සෑම ප්‍රාන්තයකින්ම බෞද්ධ සැදැහැවතුන් ද මෙවර සාංචි මහබෝධි මහෝත්සවයට  සහභාගිවීමට නියමිත බව සාංචි විහාරවාසී උඩුගම තපස්සි  හිමියෝ පවසති.






No comments:

Post a Comment