Saturday, January 28, 2023

බලය බෙදීම හීනයක් ද? -සහන් තෙන්නකෝන්

 බලය බෙදීම හීනයක් ද?


ශ්‍රී ලංකාවේ පවතින ජනවාර්ගික ගැටළුවටත්, එහි ප්‍රතිපලයක් ලෙස නිර්මාණය වූ තිස්‌ අවුරුදු සිවිල් යුද්ධයටත් විසඳුම් සෙවීම වෙනුවෙන් මෙතෙක් පැවති සියළුම රජයන් විවිධාකාර වූ උත්සාහයන් ගෙන ඇත. ඇතැම් ඒවා පිටුපස මෙම ගැටළුවට සාර්ථක විසඳුමක් ලබාදීම සඳහා වූ පිරිසිදු චේතනාවද, තවත් ඒවා පසුපස ජනප්‍රියවාදී දේශපාලන අරමුණුත් තිබූ බව පැහැදිලිය.


මෙම ජනවාර්ගික ගැටළුවට ලිහීමට ගෙනෙන ලද ප්‍රථම ව්‍යවස්ථාමය ක්‍රියාවලිය 13 වන ව්‍යවස්ථා සංශෝධනයයි.1987 දී එවකට රජිව් ගාන්ධි සහ ජේ.ආර්. ජයවර්ධන විසින් එළැඹි ඉන්දු-ලංකා ගිවිසුමේ ප්‍රතිපලයක් ලෙසයි මෙම සංශෝධනය ශ්‍රී ලංකාවේ දෙවන ජනරජ ව්‍යවස්ථාවට ඇතුළත් වන්නේ.ඉන්පසුව 2000 වර්ෂයේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් "පැකේජය" නමින් හැඳින්වූ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් එවකට විපක්ෂය සහ ආණ්ඩුවේම ඇතැම් ජාතිවාදී පිරිස් විසින් එම උත්සාහය ව්‍යර්ථ කරන ලදී.13 වන සංශෝධනයටත් වඩා පුළුල් ලෙස ජනවාර්ගික ගැටළුව ආමන්ත්‍රණය කිරීමට එහිදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය කටයුතුකර තිබුනත් අවාසනාවකට එය පාර්ලිමේන්තුවේදී සම්මත නොවීය.


13 වන ව්‍යවස්ථා සංශෝධනය විසින් පළාත් සභා පිහිටුවීම මඟින් ශ්‍රී ලංකාවේ බොහෝ වෙනස්කම් සිදුවිය.ආණ්ඩුකාරවරු පත්වීම, පළාත්බද මහාධිකරණ ඇතිකිරීම,පළාත් සභාවට වෙන්වූ විෂයපථයන් ප්‍රකාශ කිරීම ආදිය ඒ අතර විය. 13 වන ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වාදීමත් සමඟ එතෙක් ඒකීය රාජ්‍යයක්‌ ලෙස හැඳින්වූ ශ්‍රී ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යයක් ද යන්න පිළිබඳව කතිකාවක් ඇතිවිය. තවද මෙය බලහත්කාරී ඉන්දීය මැදිහත්වීමක් ලෙසත් ඇතැම්හු හැඳින්වූහ. කෙසේ වෙතත් මෙකී සියළුම වාද විවාද මධ්‍යයේ 1987 නොවැම්බර් 14 දින සිට අද දක්වාම මෙම ව්‍යවස්ථාව සංශෝධනය මෙරට දේශපාලන කරළිය උණුසුම් කරමින් සිටී.


13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට තර්ජනයක්‌ යැයි පවසන්නේ ඉතිහාසය නොදන්නා අයවලුන් වේ. ශ්‍රී ලංකාවේ ඒකීයභාවය 1987 දී යම් පරිවර්තනයකට ලක්වූයේ මෙම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ මුල් දිනයේ පටන්ය. තවද ඒකීය ආණ්ඩුක්‍රමයක්‌ සඳහා ලොව පැවති හොඳම සම්භාව්‍ය උදාහරණය වූ මහා බ්‍රිතාන්‍යයේ ටෝනි බ්ලෙයාර් ආණ්ඩුව විසින් 1999 දී ස්කොට්ලන්තය හා වේල්සය වෙත බලය බෙදාහැරීමට කටයුතු කළේය.එතැන් පටන් එවැනි රාජ්‍ය මාදිලීන් ඒකීය රාජ්‍යවල පරිවර්තනයන් ලෙස හැඳින්වේ. 


නිදහසින් පසු අවුරුදු 75 ක්‌ ගෙවෙන තැනදී නැවත වතාවක් බලය බෙදීම යන මාතෘකාව එළියට පැමිණෙන්නේ මෙම ජනවාර්ගික ගැටළුවට විසඳුම් සෙවීමට (කුමන හෝ අරමුණකින් ) ජනාධිපතිවරයා ගෙනයන සාමූහික ප්‍රයත්නය නිසාවෙනි. ජනාධිපතිවරයා විසින් උතුරේ සහ දකුණේ සියළු දේශපාලන පක්ෂවලට මේ සඳහා එක්වීමට ආරාධනා කර ඇති පසුබිමක මේ සඳහා ඔවුන් විසින් ලබාදෙන සහයත් එකී පාර්ශවයන් මෙම ප්‍රශ්නය දෙස අතීතයේ සිට දක්වන ආකල්පයත් විමසා බැලිය යුතුය.


ජනතා විමුක්ති පෙරමුණ 13 වන ව්‍යවස්ථා සංශෝධනයට එකල දැඩිව විරුද්ධව ක්‍රියාකළේය.එදා ජවිපෙ 1987 දී ජේ.ආර්. ජයවර්ධන රජය ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරන විටදී ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව රට පුරා දැවැන්ත ප්‍රචණ්ඩකාරී ක්‍රියාපිළිවෙතක්‌ අනුගමනය කළේය. එපමණක් නොව විජය කුමාරතුංග සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රමුඛ මහජන පක්ෂය සාමය වෙනුවෙන් උතුරුකරයට තම දෑත් දිගුකල විට විජය කුමාරතුංග තම දරු දෙදෙනා ඉදිරිපිට ඝාතනය කළේ ඔවුන්මය. ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ද්‍රවිඩ ඊලමට පක්ෂ වාමාංශිකයන් නම් කළේ තුන්වන සතුරු හමුදාව ලෙසිනි. ඒ අනුව තුන්වන සතුරු හමුදාව අතුගා දැමීම දේශප්‍රේමි අරගලේම කොටසක් බවට 1988 ජනවාරි 25වැනිදා නිකුත් කළ නියෝගයක සඳහන් විය. මීට අමතරව නන්දන මාරසිංහ, ගාමිණී මැදගෙදර යන අයද ඝාතනය විය.තවද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය එල්ටීටීඊ සංවිධානය කෙරෙහි විශ්වාසය තබා සුනාමි සහන මණ්ඩලය ස්ථාපිත කොට අරමුදල් උතුරේ සංවර්ධනය වෙනුවෙන් යෙදවීමට පියවර ගත්විට, චන්ද්‍රිකා උතුර කොටින්ට දෙනවා යැයි පවසා ජාතිවාදී අන්තයක පිහිටා එය ව්‍යර්ථ කළේද මේ කණ්ඩායමය. අද උතුරට බලය බෙදන වැඩසටහන තම දේශපාලන කුහකත්වය වෙනුවෙන් ආපසු හැරවීමට උත්සාහ කරන්නේද ඔවුන්ය. වේදිකාවේ ජාතික සංහිදියාව ගැන කටමැත දොඩවමින් සිටින බොහෝ පාර්ශවයන් ප්‍රයෝගිකව එය සිදුකිරීමට අකමැති බවයි මෙයින් පෙනෙන්නේ.


සමගි ජන බලවේගය ද කටයුතු කරන්නේ මීට නොදෙවෙනි ආකාරයටය. පසුගිය මහමැතිවරණයේ සිට උතුරේ දේශපාලන පක්ෂවල සහයෝගය සජබය ප්‍රමුඛ කඳවුර වටා ඒකරාශී වී සිටී. කවුරුත් දන්නා පරිදි උතුරේ ද්‍රවිඩ දේශපාලන කණ්ඩායම්වලට ජනවාර්ගික ගැටළුව සඳහා පිළියම් සෙවීමට කිසිම දිනෙක කිසිඳු අවශ්‍යතාවයක් නොතිබුණු අතර හිඟන්නාගේ තුවාලය මෙන් ඔවුන් එම තත්ත්වය පෞද්ගලික දේශපාලන වාසිය වෙනුවෙන් දිගින් දිගටම පවත්වාගෙන යාම සිදුකරයි. එම පාර්ශවයන්ගේ දේශපාලන ඉතිහාසය මෙන්ම අනාගතය ද මුළුමනින්ම මෙමත රැඳී පවතින බව ඔවුන් විසින් මනාව තේරුම්ගෙන ඇති හෙයින් මෙම ගැටළුවට කල්පවත්නා විසඳුමක් ලබාදීමට ඔවුන්ගේ සහයෝගය ලැබේවිද යන්න ගැටළුවකි.සජිත් ප්‍රේමදාස විසින් සුළුතරය වෙත ආමන්ත්‍රණය කිරීමට දරණ ප්‍රයත්න සියල්ල පිටුපස ඇත්තේ  ව්‍යාජ දේශපාලන අරමුණක් මිස ඉන් එහාට ගිය පරාර්ථකාමී එකක් නොවන බවයි.


ජාතිවාදය කරපින්නා ගත්, ඒ මතින් බලයට පැමිණි පොදුජන පෙරමුණ පවා දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට එකඟ වීම පුදුමයට කරුණක් නොවේ. පොදුජන පෙරමුණ දැන් සිටින්නේ දේශපාලනිකව බංකොලොත් මට්ටමකය. පොදුජන පෙරමුණ දැන් කරමින් සිටින්නේ එල්ලීමට පිදුරු ගසක් සෙවීමයි. රනිල් වික්‍රමසිංහ පොදුජන පෙරමුණ මතින් තම දේශපාලන උවමනාවන් මුදුන්පත් කරවාගනිමින් සිටිය ද බලය බෙදීම වැනි තීරණාත්මක සංධිස්ථානයකදී ඊට එරෙහිව නැඟී සිටීමට තරම් බලයක් මේවන විට පොදුජන පෙරමුණ සතුව නැති වීම නිසා මේ සඳහා එකඟවීමට සිදුවීම ඔවුන් මතවාදීව ලබන විශාලතම පරාජයකි.පොදුජන පෙරමුණේම අප්‍රකාශිත ආධාරකරුවන් වන ඩලස්-විමල්-උදය පාර්ශවය (මට පෙනෙන පරිදි ) මේ සම්බන්ධයෙන් දරණ මතයේ කිසිදු වෙනසක් පෙනෙන්නට නැත.මෛත්‍රීපාල සිරිසේන යම්තාක් දුරකට මේ සඳහා ප්‍රගතිශීලිව කටයුතු කරන බවට සිතාගත හැක්කේ ඔහුගේ පාලන සමයේ ද රජය (හමුදාව ) සතු ඉඩම්වලින් බොහොමයක් නැවත ජනතාව වෙත ලබාදීම, ජාතික සංහිදියා කාර්යාංශය ස්ථාපිත කිරීම වැනි මෙම ගැටළුවට සම්බන්ධ පියවර කිහිපයක් ගැනීමට ඔහු කටයුතු කළ බැවිනි.


යම්හෙයකින් මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව පාර්ලිමේන්තුවේදී බරපතල ලෙස විරෝධයක් පැනනගින්නේ ඉහත පැවසූ විමල්-වාසු-ගම්මන්පිල පාර්ශවයෙනි. 2005 සිටම පසුගාමී දේශපාලන මාර්ගයක ගමන් කරන අතුරලියේ ද මේ වෙනුවෙන් සුභවාදී ස්ථාවරයක පසු නොවන බවයි සර්ව පාක්ෂික හමුවේදී දක්නට ලැබුණේ. ඔහුට අමතරව සරත් වීරසේකර සහ ගෙවිඳු කුමාරතුංග ද ප්‍රසිද්ධියේ ම තමන්ගේ අකමැත්ත ප්‍රකාශය කළේය. සරත් වීරසේකර සහ ගෙවිඳු කුමාරතුංග සිංහල බෞද්ධ මදය ඔවුන් සෑම විටම විකාරරූපී අන්තයක ස්ථානගත කරවීම පෙර කර්මයකි.මේ කුලකයේම සිටින් වර්ගවාදී භික්ෂුන් ද බලය බෙදීමට එරෙහිව යුධ ප්‍රකාශ කොට ඇත. සාර්ථක බලය බෙදීමක් යනු මෙම රැළෙහි මහන්තත්වය බිඳ හෙළීමකි.


මේ අතර මෙම ගැටළුව කෙරෙහි ඉන්දියානු ආකල්පය ද තීරණාත්මක සාධකයකි. ඉන්දිරා ගාන්ධිගේ සිට පත්වූ බොහෝ ඉන්දීය රජයන් ශ්‍රී ලංකාවේ මෙම ජනවාර්ගික ගැටළුව දෙස ඉතා බලවත් අවධානයකින් යුතුව කටයුතු කළෝය. දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද එහි ප්‍රතිපලයකි. බොහෝවිට ඉන්දීය මධ්‍යම රජයන් තමිල්නාඩු දේශපාලනය කෙරෙහි දක්වන සංවේදීබවත් මෙයට හේතුවිය. පසුගිය සතියේ සිදුවූ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර්ගේ පැමිණීම ද මේ අවස්ථාවේ වැදගත් වන්නේ එබැවිනි.විශේෂයෙන්ම මෙරට ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ඉන්දියාව දැඩි අවධානයකින් පසුවීම නිසාද මෙම බලය බෙදීමේ ක්‍රියාවලිය සාර්ථක කරගැනුමට ඉන්දියාවේ සහයෝගය ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එසේම යුද්ධය අවසාන වූ අවධියේ ඉන්දියාව 13+ ආකාරයේ බලය බෙදීමක් පිළිබඳව කිසිසේත්ම බලාපොරොත්තු නොවන බව මන්මෝහන් සිං අගමැතිවරයා පැවසූ බව පවසන එවක මෙරට විදේශ අමාත්‍යවරයා වූ රෝහිත බෝගොල්ලාගම පවසන්නේ තමිල්නාඩු දේශපාලනයට යම් බලපෑමක් විය හැකි බැවින් ඉන්දියාව පවා උතුර දැඩිව බලවත් කරන ප්‍රතිසංස්කරණයකට යාමට කැමති නැති බවයි.කෙසේවෙතත් උතුරේ දේශපාලන පක්ෂවල හැසිරීමට ප්‍රබල බලපෑමක් ඉන්දියාවට කළ හැකිබව අමතක නොකළ යුතුය.


1987 සිට අද දක්වා ශ්‍රී ලංකා ජනරජයේ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් බවට පත්ව ඇති 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකරන්නේ නම් එය අහෝසි කළ යුතුය. බලතල බෙදීම යනු උතුරට පමණක් ලොකු හැන්දෙන් බෙදීමක් නොවේ. බොහෝ අය සිතන්නේ බලය බෙදීම යනු රට බෙදීම හෝ උතුරට ඊලම ලබාදීම යනුවෙනි. සුළුතරයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින බොහෝ අන්තවාදී දේශප්‍රේමින්ද ඔවුන්ට හිමි ව්‍යස්ථාපිත අයිතීන් ලබාදීමට මැලිවීම තුළින් පෙනෙන්නේද දේශප්‍රේමී ලේබලයෙන් පෙනී සිටින බොහෝ අය සැබෑවටම දේශප්‍රේමීන් නොවන වර්ගවාදීන් බවයි. ඉතින් එවැන්නන් පිරි දේශයක බලය බෙදීම යථාර්තයක්‌ වේවිද?


#sahantwrites

27.01.2023


Thursday, January 26, 2023

සිරිසේන හොර රහසේ රනිල් හමුවෙයි


 හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා හදීසියේ ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුන ගැසී තිබේ. මේ හමුවේ අරමුණ වී ඇත්තේ මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චූධිතයෙකු ව සිටින සිරිසේනට විරුද්ධව අපරාධ නඩු ගොනු කිරීම වළක්වා ගැනීමයි. 

මේ හමුවේ දී ජනාෆ්හ්හිපතිවරයාගෙන් සිරිසේන ඉතා බැගෑපත්ව ඉල්ලා තිබෙන්නේ තමා සිරගත නොකරන ලෙසයි. ඒ වෙනුවෙන් තමා ඕනෑම සහායක් ලබා දීමට ද සිරිසේන, වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පොරොන්දු වී තිබේ.  

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය මේ වන තෙක් අනාවරණය වී නොමැති අතර බොහෝ විට මේ හේතුවෙන් සිරිසේනට එරෙහිව නීතිපති හරහා අපරාධ නඩු ගොනු නොවනු ඇත. 

Monday, January 23, 2023

ක්‍රියාත්මක කිරීමට අමතක වු තිරසර සංවර්ධන යෝජනා






තිරසර සංවර්ධන අරමුණු ඉටුකර ගැනීම සඳහා ක්‍රියාත්මකවීමේ දී කුලියාපිටිය නගර සභාව ඒ සම්බන්ධයෙන් අඩු දායකත්වයක් දක්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2030 වර්ෂය වන විට සපුරාගැනීම සඳහා ලෝකය පුරා රටවල එකඟතාවයෙන් තිරසර සංවර්ධන අරමුණු හදුන්වා දුනි. එම අරමුණු ඉටුකරගැනීම සඳහා ශ්‍රී ලංකාව ද දායක වෙමින් සැලසුම් සකස් කර තිබේ. ඒ අනුව මෙරට රජය අමාත්‍යාංශ 43   , පළාත් සභා 09 මෙන්ම පළාත් පාලන ආයතන 335 ම තිරසර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය කරුණකි. කුලියාපිටිය නගර සභාව ද යෝජනා ක්‍රියාත්මක කරන්නේ මෙම ජාතික වැඩ පිළිවෙල යටතේය.



තිරසර සංවර්ධනය


තිරසර සංවර්ධනය යන්නෙන්  අර්ථ දැක්වෙන්නේ අනාගත පරම්පරාවන්ට තමන්ගේ අවශ්‍යතා සපුරාලීමේ හැකියාවට හානි නොවන ලෙස වර්තමානයේ අවශ්‍යතා සපුරාලන සංවර්ධනය පිළිබඳව  ය.  තිරසර සංවර්ධනය යනු පාරිසරික, සමාජයීය හා ආර්ථික යන ත්‍රිත්ව මානයන් සුසංයෝජනය වූ, දිගුකාලීන, තිරසර සමෘද්ධියක් ලබා ගැනීම සඳහාවූ ඒකාබද්ධ ප්‍රවේශයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.


තිරසර සංවර්ධන ඉලක්ක මොනවාද?


ලෝකයේ සියලු දෙනාටම යහපත් අනාගතයක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණෙන් ඉදිරිපත් කළ තිරසර සංවර්ධන  සැලැස්මක් 2015 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම සාමාජිකයෝ අනුමත කළහ. ඒ අනුව ඉදිරි වසර 15 තුළ අන්ත දුප්පත්කම තුරන් කිරීමට, අසමානතාවයට හා අයුක්තියට එරෙහිව සටන් කිරීමට සහ අපේ පෘථිවිය ආරක්ෂා කිරීමට ඔවුන් සැලසුම්  සකස් කළහ. මෙම “ 2030 න්‍යාය පත්‍රයෙහි” මූලික කරුණු වනුයේ, තිරසර සංවර්ධන ඉලක්ක 17 (SDGs) වන අතර   කිසිවෙක් මග නොහැරෙන ලෙස, සියලුම ජාතීන්ට මෙය අදාළ කර තිබේ.  මෙම අභිලාෂයන් සපුරාලීම සඳහා  ශ්‍රී ලංකාව පනතක් හරහා එය නීතියක් බවට පත්කළ අතර තිරසර සංවර්ධන සභාවක්ද ස්ථාපිත කර තිබේ.


රටතුළ යෝජනා ක්‍රියාත්මක වීම


තිරසර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රය මගින්  දුප්පත්කම තුරන් කිරීම, පෘථිවිය ආරක්ෂා කිරීම සහ සෑම තැනකම සෑම කෙනෙකුගේම ජීවිත හා අනාගත අපේක්ෂාවන් වැඩිදියුණු කිරීම සඳහා රජයේ සියලුම ආයතන විවිධ යොජනා සහ ව්‍යාපෘතීන් ක්‍රියත්මක කරනු ලබයි.

ඒ අනුව රජයේ ආයතන , පළාත් සභා මෙන්ම පළාත් පාලන ආයතනද වර්ෂයක් තුළ තිරසර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන ආකාරය යෝජනා සහ වියදම් ඇතුළත් ලේඛණයක් සම්මත කරගන්නා අතර එය වර්ෂය පුරාවට ක්‍රියාත්මත කරනු ලබයි.


කුලියාපිටියේ තත්වය


කුලියාපිටිය නගර සභාවද තිරසර සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට අදාළ යොජනා සහ වියදම් ලේඛණය අනුමත කරගෙන තිබු අතර එහි දුප්පත්කම තුරන් කිරීම සහ ගුණාත්මක ආහාර සැපයීම වෙනුවෙන්ද විශේෂ වැඩසටහන් හදුන්වාදී තිබුණි. එසේ උවද එම වැඩසටහන් වලින් බහුතරය ක්‍රියාත්මක කර නොමැත. වැඩසටහන් කිහිපයක් පමණක් ක්‍රියාත්මක කිරීමට නගර සභාව සමත්ව තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිත කරමින් ලබාගත් තොරතුරු විශ්ලේෂණයේදී මෙම කරුණු අනාවරණය විය.

විවිධ තේමා යටතේ නගර සභාව ව්‍යාපෘතීන් හදුන්වාදී තිබුණි.  ඒ අනුව ,   සෑම ආකාරයකම දුගී බව අවසන් කිරීම , සාගින්න නැතිකර ආහාර සුරක්ෂිතතාවය හා යහපත් පෝෂක තත්ත්වයන් දිනාගැනීම , නිරෝගී ජීවිත සහතික කර සෑම වයසකම සිටින සියල්ලන්ගේම සුභසාධනය ප්‍රවර්ධනය කිරීම,  පරිපූර්ණ සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම  ,  ස්ත්‍රි පුරුෂ සමානාත්මතාවය ළඟා කර  සියළු කාන්තාවන් සහ ගැහැණු ළමුන් සවිබල ගැන්වීම සැමට ජලය හා සනීපාරක්ෂක පහසුකම් සැලසීම,  සියල්ලන් සඳහාම පෝෂිත පරිපූර්ණ සහ තිරසර කාර්මීකරණය ප්‍රවර්ධනය කර නව්‍යකරණය දිරිගැන්වීම. ආදිය විය. මේවායින් බහුතරය ක්‍රියත්මක කිරීමට නගර සභාව අපොහොසත් වී ඇත.


ක්‍රියාත්මක කර ඇති යෝජනා


සියළු තැන්හි පවතින දුගීබව සෑම ආකාරයකම දුගී බව අවසන් කිරීම යටතේ නගර සභාව යෝජනා දෙකක් පමණක් ක්‍රියාත්මක කර ඇති අතර විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් සහ අඩු ආදායම් පවුල්වල දරුවන් සඳහා පහසුකම් සැපයීම සිදුකර තිබේ.  නිරෝගී ජීවිත සහතික කිරීම යටතේ ප්‍රදේශවාසීන් දැනුවත්කිරීමක් සිදුකර ඇත. පරිපූර්ණ සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම සහ සැමට ජීවිත කාලය පුරා ඉගෙනීමේ අවස්ථා සැලසීම යටතේ යෝජනා කිහිපයක්ම ක්‍රියාත්මක කර ඇති අතර පාසල් සහ පෙරපාසල් සිසුසිසුවියන් ආවරණය වන ආකාරයට එම වැඩසටහන් සිදුකර තිබේ. පුස්තකාල සඳහා පොත් ලබාදීම , පෙරපාසල් සංවර්ධනය , සාහිත්‍ය රසාස්වාදය වැඩිදියුණුකිරීමේ යෝජනා ඒඅතර වේ. සැමට ජලය හා සනීපාරක්ෂක පහසුකම් සැලසීම යටතේ ප්‍රදේශවාසීන්ට ජලය ලබාදීමේ සියලු යෝජනා ක්‍රියාත්මක කර තිබීම විශේෂය.


ක්‍රියාත්මක නොවු යෝජනා


සුවිශේෂි යෝජනා රැසක් නගර සභාව විසින් සැලසුම් කර තිබුණද ඒවා ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් නගර සභාව විවිධ කරුණු දක්වයි. ඒ අතර ප්‍රධාන වශයෙන්ම දක්වන කරුණ වන්නේ ආර්ථික අර්බුදය සහ වියදම් සීමාකිරිමට සිදුවු බවය. ඉන්ධන අර්බුදය සහ පැවති දුෂ්කරතා හේතුවෙන් මෙම යෝජනා ක්‍රියත්මක කළ නොහැකි වු බව නගර සභාවේ සභාපතිවරයා ලේකම්වරයා ඇතුළු සියල්ල ප්‍රකාශ කරයි.

තිරසර සංවර්ධන යෝජනා යටතේ දිළිඳු කමින් නිදහස් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීම , කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම , අඩු ආදායම් පවුල් සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අනිවාර්යෙන් සිදුකළ යුතු කටයුතුය . අර්බුද සමයක සාමාන්‍ය ජනතාව තවදුරටත් අර්බුදයට පත්වන බැවින් මෙවැනි යෝජනා  ක්‍රියාත්මකවීම නවතා දැමීම සිදුනොකළ යුත්තකි.  නගර සභාව සඳහන් කරන්නේ ඉටුකිරීමට නොහැකි වු යෝජන 2023 වසර තුළ ඉටුකිරීමට කටයුතු කරන බවය.

එක්සත් ජාතීන් විසින් 2030 වන විට සපුරාගැනීමට  තිරසර සංවර්ධන යෝජනා හදුන්වා දුන්නේ එය සැබැවින්ම ලෝකයට අත්‍යවශ්‍ය දෙයක් වී ඇති බැවිනි. ක්‍රමාණූකූලව එම අරමුණුකරා ලගා නොවුනහොත් මෙම යෝජනා ද ලංකාවේ අනිකුත් යෝජනා මෙන් ලේඛණවල පමණක් ඇති යෝජනා බවට පත්වනු ඇත. එසේ උවහොත් තිරසර සංවර්ධනය ද සිහිනයක් පමණක් වනු ඇත.


-       - චාමර සම්පත් 


පක්ෂය හැරුණු කොට මිනිසුන්ගේ ආකල්ප වෙනස් වී තිබේ ද?

 මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන මැතිවරණය එළැඹෙන මාර්තු නව වැනිදා පැවැත්වීම සඳහා දින නියම කර ඇති පසුබිමක මැතිවරණය සඳහා ඉදිරිපත්වන සියළු පාර්ශව මේ වනවිට ඒ වෙනුවෙන් ලකලැහැස්ති වෙමින් සිටිති. එසේම එම පාර්ශවවලට සහය දක්වන පුරවැසියන් ද විවිධ මාධ්‍ය ඔස්සේ තමන්ගේ අදහස් දක්වමින් සිටියි. තමන් විශ්වාසය තබා ඇති දේශපාලන කණ්ඩායමේ ඉදිරි ජයග්‍රහණය වෙනුවෙන් ඔවුනොවුන් එකිනෙකා ගැටෙමින් අදහස් පළකරමින් සිටියි.


මෙම මැතිවරණය වෙනත් මැතිවරණවලට වඩා සැබවින්ම වැදගත් එකකි. රට මුහුණ දුන් දැවැන්තම ආර්ථික-දේශපාලන අර්බුදයෙන් පසුව මහජන මතය ව්‍යවස්ථානුකූලව උරඟා බැලෙන ප්‍රථම අවස්ථාව මෙය වන බැවින් මෙමඟින් නිරූපණය වන්නේ සැබෑම මහජන මතය බවට අනුමාන කළ හැකිය. ලෝකයේම අවධානය දිනාගත් පුරවැසි අරගලයකින් පසුව ඔවුන්ගේ මතයේ හැසිරීම නැවත වතාවක් කුමන ආකාරයෙන් නිරූපණය වනු ඇත්දැයි බැලීමට මෙය කදිම අවස්ථාවකි.

වර්තමානයේ ආණ්ඩු බලය හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය මුහුණ දෙන තීරණාත්මකම මැතිවරණය ද මෙය වනු නිසැකය.එක් පාර්ශවයක් බලයේ රැඳී සිටීම අරමුණු කරගෙනත් අනෙක් පාර්ශවය බලය ලබාගැනීම අරමුණු කරගෙනත් මෙවර තරඟ බිමට පිවිසෙයි.


පොදුජන පෙරමුණ කෙරෙහි මහජනතාව තුළ වූ විශ්වාසය දැඩි ලෙස පළුදු වී ඇති පසුබිමක මේ වන ජාතික ජන බලවේගය වටා යම්කිසි ජන ඒකරාශී වීමක් දක්නට හැකිය. පොදුජන පෙරමුණ සතුව තිබූ ඡන්දවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ජාතික ජන බලවේගය වටා එකතු වී තිබීමත්, කුළුදුල් ඡන්දවලින් බොහොමයක් ද ඔවුන් වෙත ආකර්ෂණය වීමේ පසුබිමක් නිර්මාණය කොට තිබේ. සමගි ජන බලවේගය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලබාගත් ඡන්ද ප්‍රතිශතයේද මෙවර සුළු වෙනසක් විය හැකි බවට අනුමාන කළ හැකි අතර සුළු ජනකොටස්වල වැඩි සහයෝගය ඔවුන් වෙත ලැබෙනු ඇතිබව සිතිය හැකිය.කෙසේවෙතත් සමාජ මාධ්‍ය තුළින් නියමාකාරයෙන් පුරවැසි මතය නිරූපණය නොවුනත් යම් ආකාරයක පූර්ව නිගමනයකට පැමිණීමට එතුළින් හැකියාව ලැබේ.මෙම මැතිවරණයෙන් ලැබෙන අවසාන ප්‍රතිපලය කුමක් වුවත් එය ලාංකීය සමාජය තුළ පවතින දේශපාලනමය බෙදීම තවදුරටත් තහවුරු කරන ප්‍රතිපලයකි.


මේ අතරවාරයේ බොහොමයක් පිරිස් ස්වාධීනව අදහස් පලකිරීමට බොහෝ වෙහෙසක් ගනියි. ස්වාධීනව පසුවීම තරම් නිවට දේශපාලන ක්‍රියාවක් තවත් නැති තරම්ය.අනෙක් අතට එය ප්‍රයෝගික නැත. ඕනෑම පුද්ගලයෙකුට මතයක් ඇත.වරෙක ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා ස්වාධීන මන්ත්‍රීවරුන් හඳුන්වා දී ඇත්තේ ඔලු තුනේ බුරුවන් ලෙසය. එබැවින් වැරදි හෝ නිවැරදි තම මතය විශ්වාස කිරීමට හෝ ප්‍රකාශ කිරීමට තරම්වත් කොඳු නාරටියක් දේශපාලන සත්ත්වයෙකුට තිබිය යුතුය. අනෙක් අතට පුරවැසියෙකු ලෙස ඔහුගේ හෝ ඇයගේ වටිනාකම ඔපවත් කරන ඡන්ද අයිතිය භාවිතා නොකර සිටීම ද නොකළ යුත්තකි.


මෙහිදී දේශපාලන කණ්ඩායම්වල සිදුව ඇති මතවාදී වෙනස්කම්ද ඡන්දදායක හැසිරීමට බලපෑම් ඇති කරනු ඇත.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන් විසින් දරන ලද ජාතිකවාදී ප්‍රතිපත්තියෙන් යම්තාක් දුරකට බැහැරව සිටියි. ජවිපෙ ප්‍රමුඛ පාර්ශවයද පෙර දැරූ මාක්ස්වාදී අදහස්වලින් වියුක්තව මැද මාවතක දේශපාලනය ගෙන යන බව පෙනීයයි. පසුගිය වසරේ සිදුවූ දේශපාලන සිද්ධීන් විසින් දේශපාලන පක්ෂවලට සහ ඒවායේ පැවැත්මට හා ව්‍යූවහයට සිදුකරන ලද බලපෑමේ ප්‍රතිපලයක් ලෙස ඒ ඒ දේශපාලන කඳවුරු තුළ මෙකී මතවාදී විපර්යාසයන් සිදුවී ඇති බව හැඟේ.දේශපාලන පක්ෂවල වෙනසක් සිදුවී ඇතත් පුරවැසියන් තුළ යහපත් පරිවර්තනයක්‌ සිදුවී නැති බව බොහොමයකගේ අදහසයි.


එක් තැනකින් ඉවත් වී තවත් තැනකට එක්වීම, නැතිනම් ජනප්‍රියවාදී දේශපාලන රැල්ලට හසුවීම නිසා බහුතරයක් තම දේශපාලන කඳවුර වෙනස්කර ඇති නමුත් සැබවින්ම ඔවුන් මතවාදී වශයෙන් වෙනස් වී නැත.මීට හොඳම උදාහරණය පොදුජන පෙරමුණ බලයට ගෙන ඒමේ අරමුණින් ක්‍රියාත්මක වූ අජෙන්ඩාවේ ගොදුරු බවට පත්වූ ජාතිකවාදී පාර්ශව බොහොමයක් මේ අවස්ථාවේ ජනප්‍රිය ජාතික ජන බලවේගය වටා එකතු වීමයි. ජාතික ජන බලවේගයට එරෙහිව එල්ලවන විවේචනයන්ට එරෙහිව ආවේගශීලි වන බොහොමයක් පිරිස් මෙම පාර්ශවයේ වන අතර ඔවුන් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති හෝ දර්ශනය පිළිබඳව අවබෝධයකින් තොරව පසුවෙයි.


පුරවැසියන් බහුතරයක් දේශපාලන පක්ෂවලට සහයෝගය ලබාදෙන්නේ එම පක්ෂවල ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධයකින් තොරව බව මෙයින් පෙනීයයි.ඒ වෙනුවට ඔවුන් බොහොමයක් පුද්ගලවාදී දෘෂ්ටිකෝණයකින් බලා මැතිවරණවලදී තීරණ ගැනීම සිදුවෙයි.නිදහසින් පසු සියළුම මැතිවරණවල පොදු ලක්ෂණයකි මෙය.පුද්ගලයන් පමණක් නොව දේශපාලන පක්ෂ අතර සිදුවන සන්ධාන ගතවීම්වලදී ද සිදුවන්නේ මෙයයි.2005 න් පසු මෙරට සිදුවූ ගොන්-මීහරක් පන්නයේ දේශපාලන සන්ධාන මීට හොඳම උදාහරණයන්ය. එකිනෙකට සම්පුර්ණයෙන්ම වෙනස් දේශපාලන කඳවුරු සන්ධානගත වන්නේ පෞද්ගලික වාසියට මිස ප්‍රතිපත්තිමය තීරණ මත නොවන බව එයින් මනාව පැහැදිලි වේ.මෙම මැතිවරණයේදීත් එයින් වෙනස් ප්‍රතිපල අපේක්ෂා කළ නොහැකිවනු ඇත. අඩුවැඩි වශයෙන් සියලුම පාර්ශවයන්හි පවතින පුද්ගල කේන්ද්‍රීයත්වයත්, සමාජ සුබසාධන ප්‍රතිපත්ති මත පදනම් වූ මැතිවරණ පොරොන්දුත් පුරවැසියන් ඒ මත යැපෙන්නන් බවට පත්කර ඇත. කුළුදුල් ඡන්දදායකන් ද සෑම මැතිවරණයකදී මෙන්ම ජනප්‍රියවාදී කඳවුර වෙත ආකර්ෂණය වීමේ නියතය නිසාම අපේක්ෂිත අරමුණු ඉටුවීමේ සම්භාවිතාව ඉතා අඩු සේම සමාජ මාධ්‍යවල පුරවැසි හැසිරීමෙන් ද සියළුම පාර්ශවයන්හි දේශපාලන බුද්ධිය කුමන මට්ටමක පවතින්නේ ද යන්න පිළිබඳව තේරුම්ගත හැකිය. පක්ෂය හැරුණු කොට මිනිසුන්ගේ ආකල්ප වෙනස් වී ඇත්ද?


#sahantwrites

23.01.2023


Friday, January 20, 2023

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක්

 ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ඉන්දීය රජයෙන් සුබවාදී ප්‍රතිචාරයක්



 

 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළ කෙරිණි.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ‍විදේශ අමාත්‍යවරයා අතර හමුව අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර මෙහිදී ජනාධිපතිවරයා විසින් ඉන්දීය විදේශ අමාත්‍යවරයාව ඉතා සුහදශිලීව පිළිගනු ලැබීය.

 

මෙම නිල සාකච්ඡාවලට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා කොළඹ, පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී විශේෂ සාකච්ඡාවකට ද එක් වූහ.

 

දෙරට අතර දේශපාලන, ආර්ථික සහ සමාජයීය කරුණු රැසක් පිළිබඳ මෙන්ම ආයෝජන කටයුතු සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

 

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු පිළිබඳ විශේෂ අවධානයක් යොමු වූ අතර ඒ පිළිබඳ ඉන්දීය රජය පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් පළ විය.

 

‍ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය පී.වී නරසිම්හ රාඕ මහතාගේ පාලනය ආරම්භ වූ 1991 වර්ෂයේදී ඉන්දියාවට ද අද ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අන්දමේ ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදුවූ බව සිහිපත් කළ ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඉන්දීය රජය එම අර්බුදය සමනය කර ගනු ලැබුවේ රජය සතු රන් සංචිත උකස් තැබීමේන් බව ද සිහිපත් කළේය.

 

එබැවින් අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳ මනා අවබෝධයක් ඉන්දියාවට ඇති බව පැවසූ ජයශංකර් මහතා ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් ආර්ථික ගැටලු විසඳා ගැනීමට ඉන්දීය රජයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙන බව පැවසීය.

 

අනතුරුව ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර පැවති හමුවේ දී ගිවිසුමකට අත්සන් තැබුණු අතර ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් මාර්ගගත තාක්ෂණය ඔස්සේ විවෘත කිරීම ද සිදු විය.

 

ඉන්දීය රජයේ සහාය මත මෙරට ක්‍රියාත්මක ඉහළ බලපෑමක් ඇති ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිවල (HICDP- High Impact Community Development Project ) සීමාවන් ඉහළ නැංවීමට අදාළ ද්වීපාර්ශ්වීය ගිවිසුමට මෙහිදී අත්සන් තැබිණි.

 

ශ්‍රී ලංකා පාර්ශ්වය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ගිවිසුමට අත්සන් තැබූ අතර ඉන්දීය පාර්ශ්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඊට අත්සන් තැබීය.

 

ඉන්දීය රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති රැසකට මඟ පෙන්වනු ලබන මෙම ගිවිසුමට 2005 වසරේ මැයි මාසයේදී අත්සන් තැබිණි. එහි තනි පුද්ගල ව්‍යාපෘති සීමාව ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක් වූ අතර එය ශ්‍රී ලංකා රුපියල් මිලියන 600ක් දක්වා දෙගුණ කිරීම අද අත්සන් තැබූ ගිවිසුම මගින් සිදු කෙරේ.

 

මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 2017 වස‍රේ ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයේ දී ඉන්දීය රජය සහ ජනතාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ත්‍යාගයක් ලෙස උඩරට නැටුම් සඳහා ඇකඩමියක් ඉදිකිරීමට මුල්ගල් තැබිණි. මහනුවර ඓතිහාසික දළදා මාළිගාව අසළ ඉදිකෙරුණු එම ඇකඩමිය මාර්ගගත තාක්ෂණය ඔස්සේ විවෘත කිරීම ද මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතින් සිදු විය.

 

ඉන්දියානු රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිය යටතේ වැඩ නිම කෙරුණු නිවාස 300ක් (ගාල්ල, මහනුවර, නුවරඑළිය – නිවාස 100 බැගින්) භාරදීම ද මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතින් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු කරනු ලැබීය.

 

නිවාස 60,000ක මෙම ව්‍යාපෘතියට අදාළ නිවාස 50,000ක ඉදිකිරීම් අවසන් කර තිබේ. වතුකරයේ ජනතාව වෙනුවෙන් නිවාස 4000ක ඉදිකිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒ යට‍තේ ඉදිකෙරුණු නිවාස 3300කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් ප්‍රතිලාභීන් වෙත ලබා දී අවසන්ය.

 

ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක “ආදර්ශ ගම්මාන නිවාස වැඩසටහන” යටතේ අනුරාධපුර සහ බදුල්ල දිස්ත්‍රික්කවල ඉදිකෙරුණු නිවාස ප්‍රතිලාභීන් ද වෙත ලබාදීම සංකේතවත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

 

විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රි, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ඉන්දීය රජයේ විශේෂ නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.







Monday, January 16, 2023

අඳුරු ජනවාරියට වසර දහයයි

 අඳුරු ජනවාරියට වසර දහයයි.


2013 වර්ෂය ශ්‍රී ලාංකීය දේශපාලන සහ අධිකරණ ඉතිහාසයේ නොමැකෙන සිද්ධීන් රැසක් සිදුවූ වසරක් ලෙස හැඳින්විය හැක. ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයට හා එහි පැවැත්මට ඉතා තීරණාත්මක බලපෑමක් කළ කාල වකවානුවක්‌ ලෙස එයා හැඳින්විය හැකි අතර අතර එම සිද්ධීන් කෙමෙන් මිනිසුන් වෙතින් අමතකව යන බැවින් ඒවා මෙලෙස ස්මරණය කිරීම වටී.


ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා අග්‍රවිනිශ්චයකාරවරිය වූ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව එවකට රාජපක්ෂ ආණ්ඩුව විසින් දෝෂාභියෝගයක් ගෙන ඒම, එහි ව්‍යවස්ථානුකූලභාවය හා මතභේදකාරී ආකාරයෙන් ඇයව ධූරයෙන් නෙරපා හැරීමත් නිසා සමස්ථ අධිකරණ ක්ෂේත්‍රයේම එකල උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය. 


 ආචාර්ය බණ්ඩාරනායක සතුව ඇත්තේ ඉතා ආකර්ෂණිය වෘත්තිමය ජීවිතයකි.ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නීති ශාස්ත්‍රාලය වන කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨධිපතිනියක වීමත්, එම විශ්වවිද්‍යාලයේම වැඩ බලන උපකුලපතිනියක වීමත්,1996 දී ශ්‍රී ලංකාවේ ලාබාලතම හා පළමු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය වීමත්,2011 වසර වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩිම කාලයක් ගතකර තිබූ විනිශ්චකාරවරයා වීමත්, අවස්ථා 11 කදී වැඩබලන  ලෙස පත්වීමත් ආදී උවමනාවටත් වඩා සුදුසුකම් සපුරා ගරු අග්‍රවිනිශ්චයකාර ධූරයට ඇය පත්වෙන්නේ 2011 වර්ෂයේදීය.


ඇය තුළ වන නීතිගරුකභාවයත්, සෘජු තීන්දු ලබාදීමේ ගුණයත්, වෘත්තීය ගරුත්වයත් එවකට පාලන තන්ත්‍රයට ඇය කෙරෙහි ඇති කළේ යහපත් ආකල්පයක් නොවේ.

එවැනි පුද්ගලයෙක් මෙවැනි වගකිවයුතු ධූරයක සිටීම පාලකයන්ට හිසරදයක් වී තිබුණි. මුල් කාලයේදී ආචාර්ය බණ්ඩාරනායක ආණ්ඩුවත් සමඟ නීතියට අනුකූල පරිද්දෙන් සහයෝගයෙන් කටයුතු කළාය.


නමුත් 2012 වර්ෂයේ දිවි නැගුම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් අග්‍රවිනිශ්චයකාර බණ්ඩාරනායක ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගැනීමත්, එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව පැවති ගැටළුකාරී තත්ත්වය නිසාවෙන් එය ජනමත විමසුමක් මඟින් සම්මත කිරීම යෝග්‍ය බව නිර්දේශ කිරීමත්, ජනාධිපතිවරයාගේ සොහොයුරා යටතේ එම විෂය පථයන් පැවතීමත් ආදී හේතූන් මත අගවිනිසුරුවරිය කෙරෙහි නොමනා ද්වේශයක් එවකට ජනාධිපතිවරයා අගවිනිසුරුවරිය කෙරෙහි ඇතිකරගෙන සිටියේය.මේ සියලු කරුණු පාදක කොටගෙන චෝදනා 14 කින් යුත් දෝෂාභියෝගය යෝජනාවක් බණ්ඩාරනායක අගවිනිසුරුතුමියට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.


අපක්ෂපාතීත්වය පිලිබඳ ගැටළුකාරී වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉදිරියේ, තමාට එරෙහි චෝදනාවන්ට පිළිතුරු දීමට ප්‍රමාණවත් කාලයක් පවා අහිමිව පසුව අවම අධ්‍යාපන සුදුසුකම්වත් නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවලාද, අපහාස විඳීමට ශ්‍රී ලංකාවේ උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු අගවිනිසුරුවරියට සිදුවීම කෙතරම් ලැජ්ජාසහගත ද යන්න සිතිය යුතුය. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන් එන්.ජී. අමරතුංග, කේ. ශ්‍රීපවන්, ප්‍රියසාත් ඩෙප් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, අගවිනිසුරුවරියට එරෙහිව පියවර ගැනීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට බලයක් නොමැති බවට තීන්දු කළ අතර අගවිනිසුරුතුමියගේ ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණය ද තේරීම් කාරක සභාවට එලෙස සිදුකිරීමට සුජාතභාවයක්‌ නොමැති බව ප්‍රකාශ කළේය.


දේශපාලන උට්ඨානයක් පතා අතීතය අමතක කරමින් සිටින විමල් විරවංශ, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත්, පවිත්‍රා වන්නිආරච්චි වැනි දේශපාලනඥයන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී අධිකරණය ව්‍යවස්ථාදායකයට යටකරමින්, එහි ස්වාධීනත්වය කෙළෙසමින් කටයුතු ආකාරය පිළිකුල් සහගතය. එසේම බොහෝ දෙනෙක් පොලිසියේ සිටි හොඳ මිනිසෙක් යැයි හඳුන්වන හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්, අගවිනිසුරු නිලනිවස ඉදිරියේ ආණ්ඩුවේ බත්බැලයන් අරක්කු කාලට බජව් දමන විට, යාබද පොලිස්පති නිල නිවසේ සිට රෙදි පොරවන් නිදා ගත්තේ කෙසේදැයි යන්නත් ප්‍රශ්න කළ යුතුය.


මේ සියල්ල සිදුවන විට ජනාධිපතිවරයා තෘප්තිමත් කිරීමට ඇය ඉදිරියේ ඉතා පහසු මාර්ගයන් තිබූ විටදීත් බණ්ඩාරනායක මහත්මිය තම ආත්මගරුත්වයත්, වෘත්තීය ගරුත්වයත් වෙනුවෙන් අසීරු මාර්ගයේ ගමන තෝරාගත්තේ ඇයට අනාගතයේදී මුහුණ දීමට සිදුවන සියලු ප්‍රතිවිපාක පිලිබඳ අවබෝධයෙනි. අල්ලසට, වරප්‍රසාදවලට ලෝභකමෙන් හෝ බලයට, මරණයට බියෙන් ඇය තම හෘද සාක්ෂිය අහිමිකරනොගත් අතර තම වෘත්තීය පවා නොදුන්නාය.


ඇයව ඉතාමත් පහත් ආකාරයෙන්, ජනරජයේ අගවිනිසුරුවරිය තබා අන් කිසිදු කාන්තාවක් අත් නොවිඳිය යුතු තත්ත්වයකට පත්කර ධූරයෙන් නෙරපා දැමීමට එවකට ආණ්ඩුව කටයුතු කළේ පොදුරාජ්‍ය මණ්ඩල නීති විශාරදයන් පවා මෙම පිළිවෙත කෙරෙහි එල්ල කළ විවේචනයන්, ශ්‍රී ලාංකික අධිකරණ ක්ෂේත්‍රයේ, නීතිඥ සංගමයේ දැඩි විරෝධය තුට්ටුවකටවත් මායිම් නොකර බව මතක් කළ යුතුය.එදා අවුරුදු එකොළහක් තරම් වූ මට මේ පිළිබඳව ඇති එකම මතකය ශිරාණි බණ්ඩාරනායක, කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි අගවිනිසුරු නිල නිවසින් පිටත්වන අවස්ථාව පමණකි.කෙසේ වෙතත් මේ ක්‍රියාදාමයේ වූ ව්‍යවස්ථා විරෝධී බව නිසාම 2015 ජනවාරි මාසයේ අගදී ශිරාණි බණ්ඩාරනායක මැතිණිය නැවතත් මෙරට අගවිනිසුරු ධූරයට පත්විය.එය ලාංකීය අධිකරණ ක්ෂේත්‍රයේත් ස්වාධීනත්වයේත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදයේත් ප්‍රතිෂ්ඨාපනයක් ලෙස සැලකිය හැකිය.


මෑතකදී  නීතියේ දෙවඟනගේ සළුපට අහසට ගොස් ඇතැයි කෑ මොරදුන් මහත්වරුන් එදා පාර්ලිමේන්තුවේ උන්මත්තකයන් ලෙස හැසිරෙන විටදීත්, අසීමිත බලයකින් සම්ප්‍රයුක්ත ජනාධිපතිවරයෙක් නීතියේ දෙවඟන අතවරයට ලක්‌කරන විටදීත් , අගවිනිසුරු නිල නිවස ඉදිරිපිට බත් පැකට් එකට බජව් දමන විටත් ඒ කිසිවක් මඟහැර පහසු මගක් වෙනුවෙන් ඇය තම ආත්ම ගරුත්වය පවා නොදුන්නාය.


ඒ අන් කිසිවක් නිසා නොව සැබෑ අධ්‍යාපනයේ වෙනස නිසාවෙනි. මෙවැනි පෞරුෂ කියවීම තුළින් ධනය, බලය, වරප්‍රසාද හමුවේ තම ප්‍රතිපත්ති බිලි නොදිය යුතුබව අප උගත යුතුය. ජරාජීර්ණ දේශපාලනයට තම උදාර අරමුණු උකස් නොකළ යුතු බවත් අන් සැමට වඩා තම ආත්ම ගරුත්වයත්, හෘද සාක්ෂියත් උසස් බවත් මතක තබා ගත යුතුය.


අවසාන වශයෙන් කිවයුතු යමක් ඇත. එනම්,


සෑම වෘත්තීයකම ශිරාණිලා හිඳී. ඔවුන් බලගැන්වීම සහ ඔවුන් හා පෙලට සිට ගැනීම කාලීන අවශ්‍යතාවයක්ව බවට පත්ව තිබේ.එසේ ප්‍රතිපත්ති හා දර්ශනයන් ගරු කරන මිනිසුන් පිරි සමාජයක් බිහිකිරීම අප ඉදිරියේ ඇති පරම වගකීම බවයි.


#sahantwrites

16.01.2023