Wednesday, May 31, 2023

කුරුණෑගල මහ නගර සභාවේ ප්‍රජා කමිටු ක්‍රමවේදය අසාර්ථකයි

 


 

-         පරිසර කමිටුව වසර 03 ක් රැස්වෙලා නැහැ

-         නුදුසුස්සෝ සමාජිකයෝ කරලා

 

ප්‍රජා සහභාගීත්ව සංකල්පය මේවනවිට ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වන අතර ලංකාවේ පළාත් පාලන ආයතන තුළද එය ක්‍රියාත්මක කළ යුතු බවට පළාත් පාලන පනත තුළ ම සඳහන් කර තිබේ. එසේ උවද එය නිසිපරිදි ක්‍රියාත්මක වනවාදැයි යන්න ගැටලු සහගතය.  පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන අයතන ආදී ලෙස පවතින පරිපාලන ව්‍යුහයන් අතරින් ජනතාවට වඩාත් සමීපතම පරිපාලන ව්‍යුහය වන්නේ පළාත් පාලන ආයතනයි. වර්තමාන ආණ්ඩුකරණය තුළ පළාත් පාලන ආයතන හෙවත් ප්‍රාදේශිය ආණ්ඩුකරණය සඳහා ජනතාවගේ සහයෝගයද ලබාගැනීම හෙවත් ප්‍රජා සහභාගීත්ව සංකල්ප ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන්නේ දුෂණ වංචා අවම කරගත් ජනතාවට සමීප පාලන ක්‍රමයක් ස්ථාපිත කරගැනීම උදෙසායි.

 
පළාත් පාලන ආයතන වර්ග

 

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන 341 ක් ඇති අතර  ඒ අනුව මහ නගර සභා 24 ක් , නගර සභා 41 ක් සහ ප්‍රාදේශිය සභා 276 ක් ශ්‍රීලංකාව තුළ ස්ථාපිත කර තිබේ. මෙම එක් එක් පළාත් පාලන ආයතන තුළ  ප්‍රජා සහභාගීත්ව තහවුරු කරගැනීම පිණිස විවිධ කමිටු පිහිටවිය යුතු බව 1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනතේ දක්වා ඇත.  ඒ අනුව මුදල් හා ප්‍රතිප්ති සම්පාදන කමිටුව , නිවාස හා ප්‍රජා සංවර්ධන කමිටුව , කාර්මික සේවා කමිටුව , පරිසරය හා පහසු කමිටුව යන  කමිටු නිත්‍ය වශයෙන්ම පත්කළ යුතුව ඇති අතර අවශ්‍යතාවය අනුව තවත් කමිටු පත්කළ හැකිය.

පළාත් පාලන ආයතන 340 ක නිල කාලය පසුගිය මාර්තු මස 18 දායින් අවසන් විය. ඒ අනුව මහනගර සභා 29 ක , නගර සභා 36 ක ,  ප්‍රාදේශිය සභා 275 ක නිල කාලය මෙලෙස අවසන් විය . 2018 වසරේ පෙබරවාරි 18 දා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් අනතුරුව එම වසරේ මාර්තු 20 දා සිට පළාත් පාලන ආයතන 340 ක නිල කාලය ආරම්භ විය.  ව්‍යවස්ථානුකූලව වසර 04 කට පසුව එනම් 2022 පළාත් පාලන ආයතන වල නිල කාලය අවසන් විය යුතු උවද විෂයභාර අමාත්‍යවරයා විසින්  නිල කාලය වසරකින් දීර්ඝ කළේය. ඒඅනුව 2023 වර්ෂයේ මාර්තු මස දක්වා පළාත් පාලන ආයතන ක්‍රියාත්මක විය. 

නිල කාලය අවසන් වු පළාත් පාලන ආයතන ඔවුන්ගේ නිල කාලසීමාව අතර තුර   මෙම කමිටු ක්‍රියාත්මක කර ඇත්තේ කෙසේද යන්න පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත ද  සඳහා උපයෝගී කරගනිමින් තොරතුරු සොයාබැලීමේදී විශේෂ තොරතුරු රැසක් අනාවරණය විය.

 

 
කුරුණෑගල මහ නගර සභාවේ ක්‍රියාත්මක වන කමිටු

 

 

ප්‍රාදේශිය සභා පනත මගින් දක්වා ඇති පරිදි නියත වශයෙන්ම ක්‍රියාත්මක විය යුතු කමිටු 04 ට කුරුණෑගල මහ නගර සභාව ක්‍රියාත්මත කරයි. ඒ අනුව එම කමිටු මහනගර සභාව විසින් මෙසේ නම්කර තිබේ.   මුදල් පිළිබඳ ස්ථාවර කමිටුව , සංවර්ධන හා නඩත්තු කර්මාන්ත පිළිබඳ ස්ථාවර කමිටුව , ප්‍රජා සංවර්ධනය පිළිබඳ ස්ථාවර කමිටුව , පරිසර උපදේශන කමිටුව. ප්‍රජා සහභාගීත්වයෙන් යුතුව මෙම කමිටු ක්‍රියාත්මත විය යුතු උවද නගර සභාවේ සභිකයින්ට අමතරව අනිකුත්  සමාජිකයින් හෙවත් ප්‍රජාව නියෝජනය කරන්නේ එක කමිටුවක පමණක් වීම විශේෂත්වයකි.  මෙම කමිටුව රැස්වීම සහ ක්‍රියාත්මකවීම මෙන්ම සමාජිකයින් පිළිබඳව ද විස්තර මේසේය

 

ක්‍රියාත්මක කමිටු

සභික සමාජිකයින්

රැස්වී ඇති දින ගණන

සභිකයින්ට අමතරව සිටින සමාජිකයින් ගණන

2018

2019

2020

2021

2022

01

මුදල්  පිළිබඳ ස්ථාවර කමිටුව

06

09

12

12

13

12

0

02

 සංවර්ධනය හා නඩත්තු කර්මාන්ත පිළිබඳ ස්ථාවර කමිටුව

06

08

11

09

11

10

0

03

ප්‍රජා සංවර්ධනය පිළිබඳ ස්ථාවර කමිටුව

06

08

11

09

11

11

0

04

පරිසර උපදේශක කමිටුව

සියලුම සභිකයින්

02

01

0

0

0

29

 



ප්‍රජා සහභාගීත්ව සංකල්පය

 

ප්‍රජා සහභාගීත්ව සංකල්පය මුලික වශයෙන් මට්ටම් 03 ක් යටතේ දක්වා ඇත. ප්‍රජාවගේ පැමිණීම , ප්‍රජාව සහභාගීවීම , ප්‍රජාව මැදිහත්වීම ලෙස එය හදුන්වයි. වඩාත් ඵලදායි පාලන ක්‍රමයක් සඳහා ප්‍රජාවගේ මැදිහත්වීම පමණක් වැදගත් නොවන අතර සභාව කරන කටයුතු වලට සහභාගී වීමද වැදගත්ය .

ප්‍රජා සහභාගීත්වය නිසා මුල්‍යමය වියදම් අවම කරගැනීමට හැකිවීම , කාර්ය හා දේපොල තමන්ගේය යන පොදු හැගීම ප්‍රජාව තුළ ඇතිවීම , ආරක්ෂාව නඩත්තුව පොදු සමාජය සතුවීම , සාමුහිකත්වය එකමුතුබව හා පුරවැසි යුතුකම් ජන සමාජය තුළ වර්ධනය වීම මෙන්ම ඵලදායීතාවය සහ යහපාලනය උදාකරගැනීමට ද හැකියාව ඇති බව එය ක්‍රියාත්මක කිරීමෙන් හදුනාගෙන ඇත.

එසේ උවද කුරුණෑගල මහනගර සභාවේ ක්‍රියාත්මක වන මුදල් පිළිබඳ ස්ථාවර කමිටුව , සංවර්ධන හා නඩත්තු කර්මාන්ත පිළිබඳ ස්ථාවර කමිටුව , ප්‍රජා සංවර්ධනය පිළිබඳ ස්ථාවර කමිටුව සඳහා සභික මන්ත්‍රිවරුන් හැර පිටස්තර සමාජිකයින් කිසිවෙක් සම්බන්ධකරගෙන නොමැත. එනම් ප්‍රජාව සහභාගීකරවාගෙන නොමැත. එමෙන්ම නගර සභාවේ ක්‍රියත්මක කර ඇති මෙම කමිටු තුළ නිල කාලය අවසන්වන තුරුම සභාපතීත්වය වෙනස් වී නොමැති අතර එකම පුද්ගලයකු විසින් සභාපතී ධුරය හොබවා ඇත. එමෙන්ම ඇතැම් කමිටු වාර වල සාමාජිකයින් බහුතරයක් සම්බන්ධ නොවී කමිටු පත්වා ඇති බවද එම කමිටු වාර්තා පරීක්ෂා කිරීමේදී පැහැදිලි‌ වේ.

 
නීති කඩකර ඇති පරිසර උපදේශන කමිටුව
 

කුරුණෑගල මහ නගර සභාවේ ක්‍රියාත්මක පරිසර උපදේශන කමිටුව වැඩිම සමාජිකයින් පිරිසකගෙන් යුතුව පවත්වාගෙන ගොස් තිබේ. ඒ සඳහා නගරාධිපති ඇතුළු සියලුම නාගරික මන්ත්‍රීවරුන් සමාජිකයින් ලෙස පත්කර තිබේ. එම සභිකවරුන්ට අමතරව  ප්‍රදේශයේ පුරවැසියන් ලෙස තවත් විශාල පිරිසක් පත්කර තිබේ. එමෙන්ම මහ නගර සභාවේ සේවය කරන රජයේ නිලධාරීන් ද මේ සඳහා පත්කර තිබේ. එසේ උවද ගතවු වසර 05 තුළ එම සභාව රුස්වී ඇත්තේ අවස්ථා 03 දී පමණක් වීම විශේෂත්වයති. වසර තුනක් පුරාවට එම කමිටුව රැස්වී නොමැති වීමද සැලකිල්ලට ගත යුතු කාරණයකි. එමෙන්ම මෙම කමිටුව සඳහා පත් කළ නොහැකි සාමාජිකයින් ද මහ නගර සභාව විසින් පත්කර තිබීමද අවධාණය යොමුකළ යුතුවේ. 1947 අංක 29 දරණ මහා නගර සභා ආඥා පනතට අනුව කාරක සභා සමාජිකත්වයට සුදුසුකම් නොලබන පුද්ගලයින් 04 දෙනෙකු පිළිබඳ සඳහන් කර ඇත. එයට අනුව පළාත් පාලන ආයතනයේ සේවය කරන රජයේ නිලධාරීන් , ප්‍රවෘත්ති වාර්තාකරුවන් , බල ප්‍රදේශයෙන් පැහැර පදිංචිකරුවන් , ඡන්ද බලය හිමිනැති හා ඡන්ද බලය අහිමිකරන ලද පුරවැසියන් ඒසඳහා පත්කිරීමට නොහැකිය. නමුත් මහ නගර සභාවේ පරිසර කමිටුවේ මාධ්‍යවේදීන් 02 කු  සමාජිකයින් ලෙස පත්කර ඇති අතර පළාත් පාලන ආයතනයේ සේවය කරන රජයේ නිලධාරීන් මෙන්ම ප්‍රදේශයෙන් බැහැර පුද්ගලයින්ද කමිටුව සඳහා පත්කර පනත උල්ලංගනය කර තිබේ.  මෙතරම් සාමාජිකයින් පත්කර තිබුණද කමිටුව නිසි පරිදි රැස්වී හෝ නිසිපරිදි යෝජනා ප්‍රජාවගේ කටයුතු පරිසරය සම්බන්යෙන් අවධානය යොමුනොකර තිබීමද කණගාටුවට කාරණයකි. මේ සම්බන්ධයෙන් කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කළ තුෂාර සංජීව මහතාගෙන් විමසීමට උත්සහ කළද පළාත් පාලන ආයතන නිලකාලය අවසන්ව ඇති බැවින් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීම දුෂ්කර විය.

පළාත් පාලන ආයතන පනත මගින් ප්‍රජා කමිටු හදුන්වාදී ඇත්තේ ප්‍රජා සහභාගීත්ව පාලන ක්‍රමයක් ඇතිකිරීමට උවද කුරැණෑගල මහනගර සභාව කටයුතු කර ආකාරය අනුව එම කමිටු ක්‍රමය අසාර්ථකවී ඇති බව පැහැදිලිය.

 

 

 

 

-         -- චාමර සම්පත්

Tuesday, March 7, 2023

විදුලි බිලට එරෙහිව දෙනියායෙත් විරෝධතා

 වැඩි කරපු විදුලි බිලට විරෝධය පා දෙනියාය තැනිපිට මැතිවරණ කොට්ටාශයේ පැවති විරෝධතාවය

මෙය නව ලංකා නිදහස් පක්ෂයේ දෙනියායේ ආසන සංවිධායක සාගර සුරේන් එදිරිවීර ප්‍රමුඛ දෙනියාය ආසන බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබු අතර නව ලංකා නිදහස් පක්ෂයේ කොටපොළ ප්‍රාදේශීය සභාවට නව ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන ආර්. සුබ්‍රමනියම්, අනුර ගමගේ, එච්. කේ චන්ද්‍රානි කේ. එස් සුනීල් යන අපේක්ෂක අපේක්ෂිකාවෝ හා තැනිපිට මැතිවරණ කොට්ටාශයේ නව ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් රැසක් සහබාගි විය.



Saturday, January 28, 2023

බලය බෙදීම හීනයක් ද? -සහන් තෙන්නකෝන්

 බලය බෙදීම හීනයක් ද?


ශ්‍රී ලංකාවේ පවතින ජනවාර්ගික ගැටළුවටත්, එහි ප්‍රතිපලයක් ලෙස නිර්මාණය වූ තිස්‌ අවුරුදු සිවිල් යුද්ධයටත් විසඳුම් සෙවීම වෙනුවෙන් මෙතෙක් පැවති සියළුම රජයන් විවිධාකාර වූ උත්සාහයන් ගෙන ඇත. ඇතැම් ඒවා පිටුපස මෙම ගැටළුවට සාර්ථක විසඳුමක් ලබාදීම සඳහා වූ පිරිසිදු චේතනාවද, තවත් ඒවා පසුපස ජනප්‍රියවාදී දේශපාලන අරමුණුත් තිබූ බව පැහැදිලිය.


මෙම ජනවාර්ගික ගැටළුවට ලිහීමට ගෙනෙන ලද ප්‍රථම ව්‍යවස්ථාමය ක්‍රියාවලිය 13 වන ව්‍යවස්ථා සංශෝධනයයි.1987 දී එවකට රජිව් ගාන්ධි සහ ජේ.ආර්. ජයවර්ධන විසින් එළැඹි ඉන්දු-ලංකා ගිවිසුමේ ප්‍රතිපලයක් ලෙසයි මෙම සංශෝධනය ශ්‍රී ලංකාවේ දෙවන ජනරජ ව්‍යවස්ථාවට ඇතුළත් වන්නේ.ඉන්පසුව 2000 වර්ෂයේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් "පැකේජය" නමින් හැඳින්වූ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් එවකට විපක්ෂය සහ ආණ්ඩුවේම ඇතැම් ජාතිවාදී පිරිස් විසින් එම උත්සාහය ව්‍යර්ථ කරන ලදී.13 වන සංශෝධනයටත් වඩා පුළුල් ලෙස ජනවාර්ගික ගැටළුව ආමන්ත්‍රණය කිරීමට එහිදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය කටයුතුකර තිබුනත් අවාසනාවකට එය පාර්ලිමේන්තුවේදී සම්මත නොවීය.


13 වන ව්‍යවස්ථා සංශෝධනය විසින් පළාත් සභා පිහිටුවීම මඟින් ශ්‍රී ලංකාවේ බොහෝ වෙනස්කම් සිදුවිය.ආණ්ඩුකාරවරු පත්වීම, පළාත්බද මහාධිකරණ ඇතිකිරීම,පළාත් සභාවට වෙන්වූ විෂයපථයන් ප්‍රකාශ කිරීම ආදිය ඒ අතර විය. 13 වන ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වාදීමත් සමඟ එතෙක් ඒකීය රාජ්‍යයක්‌ ලෙස හැඳින්වූ ශ්‍රී ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යයක් ද යන්න පිළිබඳව කතිකාවක් ඇතිවිය. තවද මෙය බලහත්කාරී ඉන්දීය මැදිහත්වීමක් ලෙසත් ඇතැම්හු හැඳින්වූහ. කෙසේ වෙතත් මෙකී සියළුම වාද විවාද මධ්‍යයේ 1987 නොවැම්බර් 14 දින සිට අද දක්වාම මෙම ව්‍යවස්ථාව සංශෝධනය මෙරට දේශපාලන කරළිය උණුසුම් කරමින් සිටී.


13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට තර්ජනයක්‌ යැයි පවසන්නේ ඉතිහාසය නොදන්නා අයවලුන් වේ. ශ්‍රී ලංකාවේ ඒකීයභාවය 1987 දී යම් පරිවර්තනයකට ලක්වූයේ මෙම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ මුල් දිනයේ පටන්ය. තවද ඒකීය ආණ්ඩුක්‍රමයක්‌ සඳහා ලොව පැවති හොඳම සම්භාව්‍ය උදාහරණය වූ මහා බ්‍රිතාන්‍යයේ ටෝනි බ්ලෙයාර් ආණ්ඩුව විසින් 1999 දී ස්කොට්ලන්තය හා වේල්සය වෙත බලය බෙදාහැරීමට කටයුතු කළේය.එතැන් පටන් එවැනි රාජ්‍ය මාදිලීන් ඒකීය රාජ්‍යවල පරිවර්තනයන් ලෙස හැඳින්වේ. 


නිදහසින් පසු අවුරුදු 75 ක්‌ ගෙවෙන තැනදී නැවත වතාවක් බලය බෙදීම යන මාතෘකාව එළියට පැමිණෙන්නේ මෙම ජනවාර්ගික ගැටළුවට විසඳුම් සෙවීමට (කුමන හෝ අරමුණකින් ) ජනාධිපතිවරයා ගෙනයන සාමූහික ප්‍රයත්නය නිසාවෙනි. ජනාධිපතිවරයා විසින් උතුරේ සහ දකුණේ සියළු දේශපාලන පක්ෂවලට මේ සඳහා එක්වීමට ආරාධනා කර ඇති පසුබිමක මේ සඳහා ඔවුන් විසින් ලබාදෙන සහයත් එකී පාර්ශවයන් මෙම ප්‍රශ්නය දෙස අතීතයේ සිට දක්වන ආකල්පයත් විමසා බැලිය යුතුය.


ජනතා විමුක්ති පෙරමුණ 13 වන ව්‍යවස්ථා සංශෝධනයට එකල දැඩිව විරුද්ධව ක්‍රියාකළේය.එදා ජවිපෙ 1987 දී ජේ.ආර්. ජයවර්ධන රජය ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරන විටදී ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව රට පුරා දැවැන්ත ප්‍රචණ්ඩකාරී ක්‍රියාපිළිවෙතක්‌ අනුගමනය කළේය. එපමණක් නොව විජය කුමාරතුංග සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රමුඛ මහජන පක්ෂය සාමය වෙනුවෙන් උතුරුකරයට තම දෑත් දිගුකල විට විජය කුමාරතුංග තම දරු දෙදෙනා ඉදිරිපිට ඝාතනය කළේ ඔවුන්මය. ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ද්‍රවිඩ ඊලමට පක්ෂ වාමාංශිකයන් නම් කළේ තුන්වන සතුරු හමුදාව ලෙසිනි. ඒ අනුව තුන්වන සතුරු හමුදාව අතුගා දැමීම දේශප්‍රේමි අරගලේම කොටසක් බවට 1988 ජනවාරි 25වැනිදා නිකුත් කළ නියෝගයක සඳහන් විය. මීට අමතරව නන්දන මාරසිංහ, ගාමිණී මැදගෙදර යන අයද ඝාතනය විය.තවද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය එල්ටීටීඊ සංවිධානය කෙරෙහි විශ්වාසය තබා සුනාමි සහන මණ්ඩලය ස්ථාපිත කොට අරමුදල් උතුරේ සංවර්ධනය වෙනුවෙන් යෙදවීමට පියවර ගත්විට, චන්ද්‍රිකා උතුර කොටින්ට දෙනවා යැයි පවසා ජාතිවාදී අන්තයක පිහිටා එය ව්‍යර්ථ කළේද මේ කණ්ඩායමය. අද උතුරට බලය බෙදන වැඩසටහන තම දේශපාලන කුහකත්වය වෙනුවෙන් ආපසු හැරවීමට උත්සාහ කරන්නේද ඔවුන්ය. වේදිකාවේ ජාතික සංහිදියාව ගැන කටමැත දොඩවමින් සිටින බොහෝ පාර්ශවයන් ප්‍රයෝගිකව එය සිදුකිරීමට අකමැති බවයි මෙයින් පෙනෙන්නේ.


සමගි ජන බලවේගය ද කටයුතු කරන්නේ මීට නොදෙවෙනි ආකාරයටය. පසුගිය මහමැතිවරණයේ සිට උතුරේ දේශපාලන පක්ෂවල සහයෝගය සජබය ප්‍රමුඛ කඳවුර වටා ඒකරාශී වී සිටී. කවුරුත් දන්නා පරිදි උතුරේ ද්‍රවිඩ දේශපාලන කණ්ඩායම්වලට ජනවාර්ගික ගැටළුව සඳහා පිළියම් සෙවීමට කිසිම දිනෙක කිසිඳු අවශ්‍යතාවයක් නොතිබුණු අතර හිඟන්නාගේ තුවාලය මෙන් ඔවුන් එම තත්ත්වය පෞද්ගලික දේශපාලන වාසිය වෙනුවෙන් දිගින් දිගටම පවත්වාගෙන යාම සිදුකරයි. එම පාර්ශවයන්ගේ දේශපාලන ඉතිහාසය මෙන්ම අනාගතය ද මුළුමනින්ම මෙමත රැඳී පවතින බව ඔවුන් විසින් මනාව තේරුම්ගෙන ඇති හෙයින් මෙම ගැටළුවට කල්පවත්නා විසඳුමක් ලබාදීමට ඔවුන්ගේ සහයෝගය ලැබේවිද යන්න ගැටළුවකි.සජිත් ප්‍රේමදාස විසින් සුළුතරය වෙත ආමන්ත්‍රණය කිරීමට දරණ ප්‍රයත්න සියල්ල පිටුපස ඇත්තේ  ව්‍යාජ දේශපාලන අරමුණක් මිස ඉන් එහාට ගිය පරාර්ථකාමී එකක් නොවන බවයි.


ජාතිවාදය කරපින්නා ගත්, ඒ මතින් බලයට පැමිණි පොදුජන පෙරමුණ පවා දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට එකඟ වීම පුදුමයට කරුණක් නොවේ. පොදුජන පෙරමුණ දැන් සිටින්නේ දේශපාලනිකව බංකොලොත් මට්ටමකය. පොදුජන පෙරමුණ දැන් කරමින් සිටින්නේ එල්ලීමට පිදුරු ගසක් සෙවීමයි. රනිල් වික්‍රමසිංහ පොදුජන පෙරමුණ මතින් තම දේශපාලන උවමනාවන් මුදුන්පත් කරවාගනිමින් සිටිය ද බලය බෙදීම වැනි තීරණාත්මක සංධිස්ථානයකදී ඊට එරෙහිව නැඟී සිටීමට තරම් බලයක් මේවන විට පොදුජන පෙරමුණ සතුව නැති වීම නිසා මේ සඳහා එකඟවීමට සිදුවීම ඔවුන් මතවාදීව ලබන විශාලතම පරාජයකි.පොදුජන පෙරමුණේම අප්‍රකාශිත ආධාරකරුවන් වන ඩලස්-විමල්-උදය පාර්ශවය (මට පෙනෙන පරිදි ) මේ සම්බන්ධයෙන් දරණ මතයේ කිසිදු වෙනසක් පෙනෙන්නට නැත.මෛත්‍රීපාල සිරිසේන යම්තාක් දුරකට මේ සඳහා ප්‍රගතිශීලිව කටයුතු කරන බවට සිතාගත හැක්කේ ඔහුගේ පාලන සමයේ ද රජය (හමුදාව ) සතු ඉඩම්වලින් බොහොමයක් නැවත ජනතාව වෙත ලබාදීම, ජාතික සංහිදියා කාර්යාංශය ස්ථාපිත කිරීම වැනි මෙම ගැටළුවට සම්බන්ධ පියවර කිහිපයක් ගැනීමට ඔහු කටයුතු කළ බැවිනි.


යම්හෙයකින් මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව පාර්ලිමේන්තුවේදී බරපතල ලෙස විරෝධයක් පැනනගින්නේ ඉහත පැවසූ විමල්-වාසු-ගම්මන්පිල පාර්ශවයෙනි. 2005 සිටම පසුගාමී දේශපාලන මාර්ගයක ගමන් කරන අතුරලියේ ද මේ වෙනුවෙන් සුභවාදී ස්ථාවරයක පසු නොවන බවයි සර්ව පාක්ෂික හමුවේදී දක්නට ලැබුණේ. ඔහුට අමතරව සරත් වීරසේකර සහ ගෙවිඳු කුමාරතුංග ද ප්‍රසිද්ධියේ ම තමන්ගේ අකමැත්ත ප්‍රකාශය කළේය. සරත් වීරසේකර සහ ගෙවිඳු කුමාරතුංග සිංහල බෞද්ධ මදය ඔවුන් සෑම විටම විකාරරූපී අන්තයක ස්ථානගත කරවීම පෙර කර්මයකි.මේ කුලකයේම සිටින් වර්ගවාදී භික්ෂුන් ද බලය බෙදීමට එරෙහිව යුධ ප්‍රකාශ කොට ඇත. සාර්ථක බලය බෙදීමක් යනු මෙම රැළෙහි මහන්තත්වය බිඳ හෙළීමකි.


මේ අතර මෙම ගැටළුව කෙරෙහි ඉන්දියානු ආකල්පය ද තීරණාත්මක සාධකයකි. ඉන්දිරා ගාන්ධිගේ සිට පත්වූ බොහෝ ඉන්දීය රජයන් ශ්‍රී ලංකාවේ මෙම ජනවාර්ගික ගැටළුව දෙස ඉතා බලවත් අවධානයකින් යුතුව කටයුතු කළෝය. දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද එහි ප්‍රතිපලයකි. බොහෝවිට ඉන්දීය මධ්‍යම රජයන් තමිල්නාඩු දේශපාලනය කෙරෙහි දක්වන සංවේදීබවත් මෙයට හේතුවිය. පසුගිය සතියේ සිදුවූ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර්ගේ පැමිණීම ද මේ අවස්ථාවේ වැදගත් වන්නේ එබැවිනි.විශේෂයෙන්ම මෙරට ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ඉන්දියාව දැඩි අවධානයකින් පසුවීම නිසාද මෙම බලය බෙදීමේ ක්‍රියාවලිය සාර්ථක කරගැනුමට ඉන්දියාවේ සහයෝගය ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එසේම යුද්ධය අවසාන වූ අවධියේ ඉන්දියාව 13+ ආකාරයේ බලය බෙදීමක් පිළිබඳව කිසිසේත්ම බලාපොරොත්තු නොවන බව මන්මෝහන් සිං අගමැතිවරයා පැවසූ බව පවසන එවක මෙරට විදේශ අමාත්‍යවරයා වූ රෝහිත බෝගොල්ලාගම පවසන්නේ තමිල්නාඩු දේශපාලනයට යම් බලපෑමක් විය හැකි බැවින් ඉන්දියාව පවා උතුර දැඩිව බලවත් කරන ප්‍රතිසංස්කරණයකට යාමට කැමති නැති බවයි.කෙසේවෙතත් උතුරේ දේශපාලන පක්ෂවල හැසිරීමට ප්‍රබල බලපෑමක් ඉන්දියාවට කළ හැකිබව අමතක නොකළ යුතුය.


1987 සිට අද දක්වා ශ්‍රී ලංකා ජනරජයේ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් බවට පත්ව ඇති 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකරන්නේ නම් එය අහෝසි කළ යුතුය. බලතල බෙදීම යනු උතුරට පමණක් ලොකු හැන්දෙන් බෙදීමක් නොවේ. බොහෝ අය සිතන්නේ බලය බෙදීම යනු රට බෙදීම හෝ උතුරට ඊලම ලබාදීම යනුවෙනි. සුළුතරයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින බොහෝ අන්තවාදී දේශප්‍රේමින්ද ඔවුන්ට හිමි ව්‍යස්ථාපිත අයිතීන් ලබාදීමට මැලිවීම තුළින් පෙනෙන්නේද දේශප්‍රේමී ලේබලයෙන් පෙනී සිටින බොහෝ අය සැබෑවටම දේශප්‍රේමීන් නොවන වර්ගවාදීන් බවයි. ඉතින් එවැන්නන් පිරි දේශයක බලය බෙදීම යථාර්තයක්‌ වේවිද?


#sahantwrites

27.01.2023


Thursday, January 26, 2023

සිරිසේන හොර රහසේ රනිල් හමුවෙයි


 හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා හදීසියේ ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුන ගැසී තිබේ. මේ හමුවේ අරමුණ වී ඇත්තේ මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චූධිතයෙකු ව සිටින සිරිසේනට විරුද්ධව අපරාධ නඩු ගොනු කිරීම වළක්වා ගැනීමයි. 

මේ හමුවේ දී ජනාෆ්හ්හිපතිවරයාගෙන් සිරිසේන ඉතා බැගෑපත්ව ඉල්ලා තිබෙන්නේ තමා සිරගත නොකරන ලෙසයි. ඒ වෙනුවෙන් තමා ඕනෑම සහායක් ලබා දීමට ද සිරිසේන, වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පොරොන්දු වී තිබේ.  

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය මේ වන තෙක් අනාවරණය වී නොමැති අතර බොහෝ විට මේ හේතුවෙන් සිරිසේනට එරෙහිව නීතිපති හරහා අපරාධ නඩු ගොනු නොවනු ඇත. 

Monday, January 23, 2023

ක්‍රියාත්මක කිරීමට අමතක වු තිරසර සංවර්ධන යෝජනා






තිරසර සංවර්ධන අරමුණු ඉටුකර ගැනීම සඳහා ක්‍රියාත්මකවීමේ දී කුලියාපිටිය නගර සභාව ඒ සම්බන්ධයෙන් අඩු දායකත්වයක් දක්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2030 වර්ෂය වන විට සපුරාගැනීම සඳහා ලෝකය පුරා රටවල එකඟතාවයෙන් තිරසර සංවර්ධන අරමුණු හදුන්වා දුනි. එම අරමුණු ඉටුකරගැනීම සඳහා ශ්‍රී ලංකාව ද දායක වෙමින් සැලසුම් සකස් කර තිබේ. ඒ අනුව මෙරට රජය අමාත්‍යාංශ 43   , පළාත් සභා 09 මෙන්ම පළාත් පාලන ආයතන 335 ම තිරසර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය කරුණකි. කුලියාපිටිය නගර සභාව ද යෝජනා ක්‍රියාත්මක කරන්නේ මෙම ජාතික වැඩ පිළිවෙල යටතේය.



තිරසර සංවර්ධනය


තිරසර සංවර්ධනය යන්නෙන්  අර්ථ දැක්වෙන්නේ අනාගත පරම්පරාවන්ට තමන්ගේ අවශ්‍යතා සපුරාලීමේ හැකියාවට හානි නොවන ලෙස වර්තමානයේ අවශ්‍යතා සපුරාලන සංවර්ධනය පිළිබඳව  ය.  තිරසර සංවර්ධනය යනු පාරිසරික, සමාජයීය හා ආර්ථික යන ත්‍රිත්ව මානයන් සුසංයෝජනය වූ, දිගුකාලීන, තිරසර සමෘද්ධියක් ලබා ගැනීම සඳහාවූ ඒකාබද්ධ ප්‍රවේශයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.


තිරසර සංවර්ධන ඉලක්ක මොනවාද?


ලෝකයේ සියලු දෙනාටම යහපත් අනාගතයක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණෙන් ඉදිරිපත් කළ තිරසර සංවර්ධන  සැලැස්මක් 2015 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම සාමාජිකයෝ අනුමත කළහ. ඒ අනුව ඉදිරි වසර 15 තුළ අන්ත දුප්පත්කම තුරන් කිරීමට, අසමානතාවයට හා අයුක්තියට එරෙහිව සටන් කිරීමට සහ අපේ පෘථිවිය ආරක්ෂා කිරීමට ඔවුන් සැලසුම්  සකස් කළහ. මෙම “ 2030 න්‍යාය පත්‍රයෙහි” මූලික කරුණු වනුයේ, තිරසර සංවර්ධන ඉලක්ක 17 (SDGs) වන අතර   කිසිවෙක් මග නොහැරෙන ලෙස, සියලුම ජාතීන්ට මෙය අදාළ කර තිබේ.  මෙම අභිලාෂයන් සපුරාලීම සඳහා  ශ්‍රී ලංකාව පනතක් හරහා එය නීතියක් බවට පත්කළ අතර තිරසර සංවර්ධන සභාවක්ද ස්ථාපිත කර තිබේ.


රටතුළ යෝජනා ක්‍රියාත්මක වීම


තිරසර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රය මගින්  දුප්පත්කම තුරන් කිරීම, පෘථිවිය ආරක්ෂා කිරීම සහ සෑම තැනකම සෑම කෙනෙකුගේම ජීවිත හා අනාගත අපේක්ෂාවන් වැඩිදියුණු කිරීම සඳහා රජයේ සියලුම ආයතන විවිධ යොජනා සහ ව්‍යාපෘතීන් ක්‍රියත්මක කරනු ලබයි.

ඒ අනුව රජයේ ආයතන , පළාත් සභා මෙන්ම පළාත් පාලන ආයතනද වර්ෂයක් තුළ තිරසර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන ආකාරය යෝජනා සහ වියදම් ඇතුළත් ලේඛණයක් සම්මත කරගන්නා අතර එය වර්ෂය පුරාවට ක්‍රියාත්මත කරනු ලබයි.


කුලියාපිටියේ තත්වය


කුලියාපිටිය නගර සභාවද තිරසර සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට අදාළ යොජනා සහ වියදම් ලේඛණය අනුමත කරගෙන තිබු අතර එහි දුප්පත්කම තුරන් කිරීම සහ ගුණාත්මක ආහාර සැපයීම වෙනුවෙන්ද විශේෂ වැඩසටහන් හදුන්වාදී තිබුණි. එසේ උවද එම වැඩසටහන් වලින් බහුතරය ක්‍රියාත්මක කර නොමැත. වැඩසටහන් කිහිපයක් පමණක් ක්‍රියාත්මක කිරීමට නගර සභාව සමත්ව තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිත කරමින් ලබාගත් තොරතුරු විශ්ලේෂණයේදී මෙම කරුණු අනාවරණය විය.

විවිධ තේමා යටතේ නගර සභාව ව්‍යාපෘතීන් හදුන්වාදී තිබුණි.  ඒ අනුව ,   සෑම ආකාරයකම දුගී බව අවසන් කිරීම , සාගින්න නැතිකර ආහාර සුරක්ෂිතතාවය හා යහපත් පෝෂක තත්ත්වයන් දිනාගැනීම , නිරෝගී ජීවිත සහතික කර සෑම වයසකම සිටින සියල්ලන්ගේම සුභසාධනය ප්‍රවර්ධනය කිරීම,  පරිපූර්ණ සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම  ,  ස්ත්‍රි පුරුෂ සමානාත්මතාවය ළඟා කර  සියළු කාන්තාවන් සහ ගැහැණු ළමුන් සවිබල ගැන්වීම සැමට ජලය හා සනීපාරක්ෂක පහසුකම් සැලසීම,  සියල්ලන් සඳහාම පෝෂිත පරිපූර්ණ සහ තිරසර කාර්මීකරණය ප්‍රවර්ධනය කර නව්‍යකරණය දිරිගැන්වීම. ආදිය විය. මේවායින් බහුතරය ක්‍රියත්මක කිරීමට නගර සභාව අපොහොසත් වී ඇත.


ක්‍රියාත්මක කර ඇති යෝජනා


සියළු තැන්හි පවතින දුගීබව සෑම ආකාරයකම දුගී බව අවසන් කිරීම යටතේ නගර සභාව යෝජනා දෙකක් පමණක් ක්‍රියාත්මක කර ඇති අතර විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් සහ අඩු ආදායම් පවුල්වල දරුවන් සඳහා පහසුකම් සැපයීම සිදුකර තිබේ.  නිරෝගී ජීවිත සහතික කිරීම යටතේ ප්‍රදේශවාසීන් දැනුවත්කිරීමක් සිදුකර ඇත. පරිපූර්ණ සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම සහ සැමට ජීවිත කාලය පුරා ඉගෙනීමේ අවස්ථා සැලසීම යටතේ යෝජනා කිහිපයක්ම ක්‍රියාත්මක කර ඇති අතර පාසල් සහ පෙරපාසල් සිසුසිසුවියන් ආවරණය වන ආකාරයට එම වැඩසටහන් සිදුකර තිබේ. පුස්තකාල සඳහා පොත් ලබාදීම , පෙරපාසල් සංවර්ධනය , සාහිත්‍ය රසාස්වාදය වැඩිදියුණුකිරීමේ යෝජනා ඒඅතර වේ. සැමට ජලය හා සනීපාරක්ෂක පහසුකම් සැලසීම යටතේ ප්‍රදේශවාසීන්ට ජලය ලබාදීමේ සියලු යෝජනා ක්‍රියාත්මක කර තිබීම විශේෂය.


ක්‍රියාත්මක නොවු යෝජනා


සුවිශේෂි යෝජනා රැසක් නගර සභාව විසින් සැලසුම් කර තිබුණද ඒවා ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් නගර සභාව විවිධ කරුණු දක්වයි. ඒ අතර ප්‍රධාන වශයෙන්ම දක්වන කරුණ වන්නේ ආර්ථික අර්බුදය සහ වියදම් සීමාකිරිමට සිදුවු බවය. ඉන්ධන අර්බුදය සහ පැවති දුෂ්කරතා හේතුවෙන් මෙම යෝජනා ක්‍රියත්මක කළ නොහැකි වු බව නගර සභාවේ සභාපතිවරයා ලේකම්වරයා ඇතුළු සියල්ල ප්‍රකාශ කරයි.

තිරසර සංවර්ධන යෝජනා යටතේ දිළිඳු කමින් නිදහස් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීම , කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම , අඩු ආදායම් පවුල් සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අනිවාර්යෙන් සිදුකළ යුතු කටයුතුය . අර්බුද සමයක සාමාන්‍ය ජනතාව තවදුරටත් අර්බුදයට පත්වන බැවින් මෙවැනි යෝජනා  ක්‍රියාත්මකවීම නවතා දැමීම සිදුනොකළ යුත්තකි.  නගර සභාව සඳහන් කරන්නේ ඉටුකිරීමට නොහැකි වු යෝජන 2023 වසර තුළ ඉටුකිරීමට කටයුතු කරන බවය.

එක්සත් ජාතීන් විසින් 2030 වන විට සපුරාගැනීමට  තිරසර සංවර්ධන යෝජනා හදුන්වා දුන්නේ එය සැබැවින්ම ලෝකයට අත්‍යවශ්‍ය දෙයක් වී ඇති බැවිනි. ක්‍රමාණූකූලව එම අරමුණුකරා ලගා නොවුනහොත් මෙම යෝජනා ද ලංකාවේ අනිකුත් යෝජනා මෙන් ලේඛණවල පමණක් ඇති යෝජනා බවට පත්වනු ඇත. එසේ උවහොත් තිරසර සංවර්ධනය ද සිහිනයක් පමණක් වනු ඇත.


-       - චාමර සම්පත් 


පක්ෂය හැරුණු කොට මිනිසුන්ගේ ආකල්ප වෙනස් වී තිබේ ද?

 මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන මැතිවරණය එළැඹෙන මාර්තු නව වැනිදා පැවැත්වීම සඳහා දින නියම කර ඇති පසුබිමක මැතිවරණය සඳහා ඉදිරිපත්වන සියළු පාර්ශව මේ වනවිට ඒ වෙනුවෙන් ලකලැහැස්ති වෙමින් සිටිති. එසේම එම පාර්ශවවලට සහය දක්වන පුරවැසියන් ද විවිධ මාධ්‍ය ඔස්සේ තමන්ගේ අදහස් දක්වමින් සිටියි. තමන් විශ්වාසය තබා ඇති දේශපාලන කණ්ඩායමේ ඉදිරි ජයග්‍රහණය වෙනුවෙන් ඔවුනොවුන් එකිනෙකා ගැටෙමින් අදහස් පළකරමින් සිටියි.


මෙම මැතිවරණය වෙනත් මැතිවරණවලට වඩා සැබවින්ම වැදගත් එකකි. රට මුහුණ දුන් දැවැන්තම ආර්ථික-දේශපාලන අර්බුදයෙන් පසුව මහජන මතය ව්‍යවස්ථානුකූලව උරඟා බැලෙන ප්‍රථම අවස්ථාව මෙය වන බැවින් මෙමඟින් නිරූපණය වන්නේ සැබෑම මහජන මතය බවට අනුමාන කළ හැකිය. ලෝකයේම අවධානය දිනාගත් පුරවැසි අරගලයකින් පසුව ඔවුන්ගේ මතයේ හැසිරීම නැවත වතාවක් කුමන ආකාරයෙන් නිරූපණය වනු ඇත්දැයි බැලීමට මෙය කදිම අවස්ථාවකි.

වර්තමානයේ ආණ්ඩු බලය හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය මුහුණ දෙන තීරණාත්මකම මැතිවරණය ද මෙය වනු නිසැකය.එක් පාර්ශවයක් බලයේ රැඳී සිටීම අරමුණු කරගෙනත් අනෙක් පාර්ශවය බලය ලබාගැනීම අරමුණු කරගෙනත් මෙවර තරඟ බිමට පිවිසෙයි.


පොදුජන පෙරමුණ කෙරෙහි මහජනතාව තුළ වූ විශ්වාසය දැඩි ලෙස පළුදු වී ඇති පසුබිමක මේ වන ජාතික ජන බලවේගය වටා යම්කිසි ජන ඒකරාශී වීමක් දක්නට හැකිය. පොදුජන පෙරමුණ සතුව තිබූ ඡන්දවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ජාතික ජන බලවේගය වටා එකතු වී තිබීමත්, කුළුදුල් ඡන්දවලින් බොහොමයක් ද ඔවුන් වෙත ආකර්ෂණය වීමේ පසුබිමක් නිර්මාණය කොට තිබේ. සමගි ජන බලවේගය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලබාගත් ඡන්ද ප්‍රතිශතයේද මෙවර සුළු වෙනසක් විය හැකි බවට අනුමාන කළ හැකි අතර සුළු ජනකොටස්වල වැඩි සහයෝගය ඔවුන් වෙත ලැබෙනු ඇතිබව සිතිය හැකිය.කෙසේවෙතත් සමාජ මාධ්‍ය තුළින් නියමාකාරයෙන් පුරවැසි මතය නිරූපණය නොවුනත් යම් ආකාරයක පූර්ව නිගමනයකට පැමිණීමට එතුළින් හැකියාව ලැබේ.මෙම මැතිවරණයෙන් ලැබෙන අවසාන ප්‍රතිපලය කුමක් වුවත් එය ලාංකීය සමාජය තුළ පවතින දේශපාලනමය බෙදීම තවදුරටත් තහවුරු කරන ප්‍රතිපලයකි.


මේ අතරවාරයේ බොහොමයක් පිරිස් ස්වාධීනව අදහස් පලකිරීමට බොහෝ වෙහෙසක් ගනියි. ස්වාධීනව පසුවීම තරම් නිවට දේශපාලන ක්‍රියාවක් තවත් නැති තරම්ය.අනෙක් අතට එය ප්‍රයෝගික නැත. ඕනෑම පුද්ගලයෙකුට මතයක් ඇත.වරෙක ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා ස්වාධීන මන්ත්‍රීවරුන් හඳුන්වා දී ඇත්තේ ඔලු තුනේ බුරුවන් ලෙසය. එබැවින් වැරදි හෝ නිවැරදි තම මතය විශ්වාස කිරීමට හෝ ප්‍රකාශ කිරීමට තරම්වත් කොඳු නාරටියක් දේශපාලන සත්ත්වයෙකුට තිබිය යුතුය. අනෙක් අතට පුරවැසියෙකු ලෙස ඔහුගේ හෝ ඇයගේ වටිනාකම ඔපවත් කරන ඡන්ද අයිතිය භාවිතා නොකර සිටීම ද නොකළ යුත්තකි.


මෙහිදී දේශපාලන කණ්ඩායම්වල සිදුව ඇති මතවාදී වෙනස්කම්ද ඡන්දදායක හැසිරීමට බලපෑම් ඇති කරනු ඇත.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන් විසින් දරන ලද ජාතිකවාදී ප්‍රතිපත්තියෙන් යම්තාක් දුරකට බැහැරව සිටියි. ජවිපෙ ප්‍රමුඛ පාර්ශවයද පෙර දැරූ මාක්ස්වාදී අදහස්වලින් වියුක්තව මැද මාවතක දේශපාලනය ගෙන යන බව පෙනීයයි. පසුගිය වසරේ සිදුවූ දේශපාලන සිද්ධීන් විසින් දේශපාලන පක්ෂවලට සහ ඒවායේ පැවැත්මට හා ව්‍යූවහයට සිදුකරන ලද බලපෑමේ ප්‍රතිපලයක් ලෙස ඒ ඒ දේශපාලන කඳවුරු තුළ මෙකී මතවාදී විපර්යාසයන් සිදුවී ඇති බව හැඟේ.දේශපාලන පක්ෂවල වෙනසක් සිදුවී ඇතත් පුරවැසියන් තුළ යහපත් පරිවර්තනයක්‌ සිදුවී නැති බව බොහොමයකගේ අදහසයි.


එක් තැනකින් ඉවත් වී තවත් තැනකට එක්වීම, නැතිනම් ජනප්‍රියවාදී දේශපාලන රැල්ලට හසුවීම නිසා බහුතරයක් තම දේශපාලන කඳවුර වෙනස්කර ඇති නමුත් සැබවින්ම ඔවුන් මතවාදී වශයෙන් වෙනස් වී නැත.මීට හොඳම උදාහරණය පොදුජන පෙරමුණ බලයට ගෙන ඒමේ අරමුණින් ක්‍රියාත්මක වූ අජෙන්ඩාවේ ගොදුරු බවට පත්වූ ජාතිකවාදී පාර්ශව බොහොමයක් මේ අවස්ථාවේ ජනප්‍රිය ජාතික ජන බලවේගය වටා එකතු වීමයි. ජාතික ජන බලවේගයට එරෙහිව එල්ලවන විවේචනයන්ට එරෙහිව ආවේගශීලි වන බොහොමයක් පිරිස් මෙම පාර්ශවයේ වන අතර ඔවුන් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති හෝ දර්ශනය පිළිබඳව අවබෝධයකින් තොරව පසුවෙයි.


පුරවැසියන් බහුතරයක් දේශපාලන පක්ෂවලට සහයෝගය ලබාදෙන්නේ එම පක්ෂවල ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධයකින් තොරව බව මෙයින් පෙනීයයි.ඒ වෙනුවට ඔවුන් බොහොමයක් පුද්ගලවාදී දෘෂ්ටිකෝණයකින් බලා මැතිවරණවලදී තීරණ ගැනීම සිදුවෙයි.නිදහසින් පසු සියළුම මැතිවරණවල පොදු ලක්ෂණයකි මෙය.පුද්ගලයන් පමණක් නොව දේශපාලන පක්ෂ අතර සිදුවන සන්ධාන ගතවීම්වලදී ද සිදුවන්නේ මෙයයි.2005 න් පසු මෙරට සිදුවූ ගොන්-මීහරක් පන්නයේ දේශපාලන සන්ධාන මීට හොඳම උදාහරණයන්ය. එකිනෙකට සම්පුර්ණයෙන්ම වෙනස් දේශපාලන කඳවුරු සන්ධානගත වන්නේ පෞද්ගලික වාසියට මිස ප්‍රතිපත්තිමය තීරණ මත නොවන බව එයින් මනාව පැහැදිලි වේ.මෙම මැතිවරණයේදීත් එයින් වෙනස් ප්‍රතිපල අපේක්ෂා කළ නොහැකිවනු ඇත. අඩුවැඩි වශයෙන් සියලුම පාර්ශවයන්හි පවතින පුද්ගල කේන්ද්‍රීයත්වයත්, සමාජ සුබසාධන ප්‍රතිපත්ති මත පදනම් වූ මැතිවරණ පොරොන්දුත් පුරවැසියන් ඒ මත යැපෙන්නන් බවට පත්කර ඇත. කුළුදුල් ඡන්දදායකන් ද සෑම මැතිවරණයකදී මෙන්ම ජනප්‍රියවාදී කඳවුර වෙත ආකර්ෂණය වීමේ නියතය නිසාම අපේක්ෂිත අරමුණු ඉටුවීමේ සම්භාවිතාව ඉතා අඩු සේම සමාජ මාධ්‍යවල පුරවැසි හැසිරීමෙන් ද සියළුම පාර්ශවයන්හි දේශපාලන බුද්ධිය කුමන මට්ටමක පවතින්නේ ද යන්න පිළිබඳව තේරුම්ගත හැකිය. පක්ෂය හැරුණු කොට මිනිසුන්ගේ ආකල්ප වෙනස් වී ඇත්ද?


#sahantwrites

23.01.2023