Sunday, January 8, 2023

ශ්‍රී ලංකාව සඳහා ණය සහන අත්‍යවශ්‍යයි - ලොව පුරා ආර්ථික විශේෂඥයින් 180කගේ කණ්ඩායමක් සඳහන් කරයි

 


ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නැගිටවීමේ බලාපොරොත්තුව ඇති කිරීම සඳහා ලංකාවේ ණය කපා හරිමින් ණය සහන ලබාදිය යුතු බව ලෝකයේ ආර්ථික සහ සංවර්ධනය පිළිබඳ  විශේෂඥයෝ 180 ක කණ්ඩායමක් සඳහන් කර තිබේ.

“ද ගාඩියන්” ( the Guardian)   වෙත අදහස් දක්වමින් මෙම කණ්ඩායම සඳහන් කර ඇත්තේ , මේ අවස්ථාවේ දී එම ණය සහන ලබාදීමේ හැකියාව ඇත්තේ ලෝකයේ බලවත් අරමුදල් සහ ආයෝජනකරුවන්  සතුව බවද,  ඩොලර් බිලියන 51 ක ණය සමග පසුගිය වසරේදී පැවති ණය සහන පිළිබඳ සාකච්ඡා වලදී එබව පෙනී යන බවද මෙම විශේෂඥයෝ කණ්ඩායම සඳහන් කර  ඇත.

ගෝලීය ණය අර්බුදය විසදීමට ගෝලීය ප්‍රජාවේ ඉදිරිපත්වීම සොයා බැලීමට ශ්‍රී ලංකාව හොද සිද්ධි අධ්‍යයනයක් බවද කෙසේ වෙතත් ලංකාවේ ආර්ථිකය යථාතත්වයට පත්කිරීමට  විශාල ප්‍රමාණයේ ණය කපා හැරීමක්  අවශ්‍ය බව ද ඔවුන් තවදුරටත් අවධාරණය කර තිබේ.

ඉන්දියානු ආර්ථික විද්‍යාඥ ජයති ගෝෂ්, ඉහළ අලෙවියක් ඇති කැපිටල් පොතේ කතුවරයා වන තෝමස් පිකෙටි සහ ග්‍රීසියේ හිටපු මුදල් ඇමති යානිස් වරූෆකිස් ඇතුළු පිරිසක් මෙම කණ්ඩායම නියෝජනය කර තිබේ.

පෞද්ගලික අංශයේ ණයහිමියන් සහ ආයෝජන ආයතන සහ ආරක්ෂක අරමුදල් මෙලෙස ක්‍රියාත්මකවීම නතර කරගෙන සිටින බවද මේවනවිට ණය පිළිබඳ සාකච්ඡා ඉතාම දරුණු තත්වයකට පැමිණ ඇති බවද ඔවුන් පෙන්වා දී තිබේ.

ලංකාවට ණය ලබාදුන් ද්වී පාර්ශවික, බහු පාර්ශවික සහ පෞද්ගලික අංශයේ සියලුම ආයතන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තත්වයට අනිවාර්යෙන්ම  මුහුණ දිය යුතු බවත් ඔවුන් ඉදිරියටද ලංකාවේ ආයෝජනය කරන බවට පොරොන්දු විය යුතු බවද මෙම විශේෂඥ කණ්ඩායම අවධාරණය කරයි.

ලංකාවේ විදෙස් ණය වලින්  40%ක් ම පෞද්ගලික ණය වන අතර එවා ජාත්‍යන්තර ස්වෞරී බැදුම්කර ලෙස   පොලී අනුපාතයක් යටතේ ලබාගෙන ඇත . මේ නිසා එලෙස ණය ලබාදීම් මගින් 50% වැඩි ලාබයක් එම ණය හිමියන්ට ලැබෙන බවද පෙන්වා දී ඇත.

එමෙන්ම  ලංකාවට ණය ලබාදෙන්නන්  ලංකාවෙන් ණය අවධානම් වාරිකයක් ලබාගෙන ඇති බවද එමගින් ඔවුන් විශාල ලාබයක් ලබා ඇති බවද මේ වනවිට අනාවරණය වී තිබේ.

ලංකවේ ණය පැහැර හැරීමට හේතුව වී ඇත්තේ ද මෙය වන අතර එලෙස ආදායම් ලැබු ණය හිමියෝ එවායේ ප්‍රතිවිපාක විදිමටද දැන් සූදානම් විය යුතු බවද සුදානම්න් විය යුතු බවද මෙම විශේෂඥ කණ්ඩායම පෙන්වා දී තිබේ.

ලංකා ඉතිහාසයේ ඇතුවු වඩාත් දරුණුම පළමු ආර්ථික අර්බුදය මෙය වන අතර ඒ හේතුවෙන් ණය පැහැරීමට සිදුව ඇති බවද,  පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වමින් තිබුණද මෙතෙක් නිසි ප්‍රගතියක් අත්වී නොමැති බවද ඔවුන්ගේ අවධානයට යොමුව ඇත.

ශ්‍රී ලංකාව යනු කොවිඩ් වසංගතය හා ආර්ථික අවපාතය හේතුවෙන්  ණය ප්‍රතිව්‍යුහ ගතකරන්න යැයි ඉල්ලා සිටින රටවල්  එක් රටක් පමණක් වන අතර  ලෙබනනය යුක්ක්‍රේනය සැම්බියාව වැනි  රටවල් ද විදෙස් ණය ගෙවීම අත්හිටුවා  ඇති බව එම පිරිස සඳහන් කරයි. එහි නවතම රාජ්‍යය බවට පත්ව ඇත්තේ  ගානා රාජ්‍යයි.

මේවනවිට මතුව ඇති ගෝලීය ණය පොලිය ඉහල යාම සමග මෙවැනි අර්බුද මේ වසරේදී ලෝකය පුරාම ඇතිවිය හැකි බවද එමෙන්ම අඩු ආදායම් ලබන රටවලින් තුනෙන් දෙකක් මෙලෙස ණය අර්බුදයට ලක්විය හැකි බවද ඒම විශේෂඥ කණ්ඩායම සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය පද්ධතිය ස්වෛරී ණය සහන සහ තිරසර භාවය පිළිබඳව වැනි වඩා ඉක්මණින් පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්න පිළිබඳව තේරුම්ගැනීම සඳහා ශ්‍රී ලංකාව දර්ශකයක් ලෙස භාවිතකිරීමටද හැකියාව ඇති අතර එමෙන්ම ජාත්‍යන්තර ණය සාකච්ඡාවලදී ණය හිමියන්ගේ යුක්තිසහගත භාවය පිළිබඳවත් මෙහිදී දැනගැනීමට හැකි බවද ඔවුන් සඳහන් කර තිබේ. එබැවින් මෙය ශ්‍රී ලංකාවේ ජනතාවට පමණක් නොව ණය අර්බුදයට පත්වෙලා සිටින ඔනෑම සංවිධානයක් හෝ රටක් යථාතත්වයට පත්කිරීම පිළිබඳ විශ්වාසය ඇති කිරීමට  මෙම සංසිද්ධිය ඉතා වැදගත් බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

 

Thursday, January 5, 2023

කසකරුවන් එළි බැසීම - සහන් තෙන්නකෝන්

කසකරුවන් එලිබැසීම.

දකුණු ආසියානු රටවල දේශපාලනය සහ ආගම අතර පවතින්නේ අවියෝජනීය සම්බන්ධතාවයකි. විශේෂයෙන්ම එම රටවල දේශපාලනඥයන් ද බලයට පැමිණීමට, සහ බලයේ රැඳී සිටීමට මහෝපකාරී වන උපකරණයක් ලෙස ආගම භාවිතා කරයි. 

මේ දිනවල ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් යැයි කියාගන්නා පුද්ගලයෙක් දළදාවට "ලබ්බ" යැයි පැවසීම සමස්ථ සමාජයේම ප්‍රමුඛ මාතෘකාව බවට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබේ.හන්දියේ කඩ පිළෙහි සිට පාර්ලිමේන්තුව දක්වාම මේ සම්බන්ධව විවිධාකාර වූ මතවාද ගොඩනැගෙමින් පවතී. ඇතැම් විටෙක එම පුද්ගලයාගේ ප්‍රකාශය ඔහුගේ අතිශය පෞද්ගලික අදහසක් ලෙස ගත හැකි නමුත් එවැනි ප්‍රකාශයකින් යම් මහජන කැළඹීමක් ඇතිකිරීමට සෘජුව හෝ වක්‍රාකාරව අනුබල දෙන්නේ නම් එතැන ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියෙන් ඔබ්බට ගොස් ඔහුට ඇති සමාජ වගකීම පැහැර හැරීමක් ලෙස දැකිය යුතුය.

 ඕනෑම පුද්ගලයෙකුට තමන් දරණ අදහසක් ප්‍රකාශ කිරීමට ව්‍යවස්ථාපිත අයිතියක් ඇත.එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ (අ ) ඡේදයේ පැහැදිලිව ඇතුළත්ව ඇති නමුත් එම අයිතිවාසිකම භුක්ති විඳිය හැක්කේ ව්‍යවස්ථාවේ සඳහන් "මූලික අයිතිවාසිකම් පිළිබඳ සීමා" යන තේමාව යටතේ, එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වන ව්‍යස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාවට අනුව පමණකි.

"...14 වන ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ (අ ) ඡේදයේ ප්‍රකාශ කොට පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම භුක්ති විඳිය හැක්කේ ද, ක්‍රියාත්මක විය හැක්කේ ද, වාර්ගික හෝ ආගමික සහයෝගීතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසයට හෝ වරදකට පෙළඹවීම හා සම්බන්ධව නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාකිරීම්වලට නියමවය."

එබැවින් මූලික අයිතිවාසිකම් මුවාවෙන් තමන්ට සිතෙන හෝ කටට එන ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමේ හැකියාවක්‌ නොමැති අතර යමෙක් තම අයිතිවාසිකම් භුක්ති විඳිය යුත්තේ තවත් පාර්ශවයක අයිතිවාසිකම් අවහිර නොවන ආකාරයට පමණක් බවත් තේරුම්ගත යුතුය.එසේම කිසිම ආගමකට හෝ ලබ්දියකට අපහාස කිරීමට කිසිම තැනැත්තෙක් වෙත අයිතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී නොමැත.

ඔහු සිදුකොට ඇති ප්‍රකාශයෙන් දේශපාලන පාර්ශවයන් කිහිපයක් උද්දාමයට පත්ව තිබේ.මෙම ප්‍රකාශය විසින් රාජපක්ෂවරුන්ට ක්‍රීඩාවෙහි යෙදිය හැකි පහසුම තණතීරුව නිර්මාණය වෙමින් පවතින බව පෙනෙන්නට ඇත. තාවකාලිකව පසමිතුරු කඳවුරුවලට බෙදී සිටින රාජපක්ෂවාදයේ න්‍යායාචාරවරුන් කිහිපදෙනෙක්ම තලුමරමින් රසවිඳිනවා දැකගත හැකි විය. විශේෂයෙන්ම මෙම තත්ත්වය 2019 ජනාධිපතිවරණයට පෙර පැවති වටපිටාව නිර්මාණය කිරීමට අඩිතාලම දමන බවට සැක නැත.මෙම ප්‍රකාශය සිදුකර තිබෙන තැනැත්තා ද 2019 ට පෙර එම කඳවුරේ ආධාරකරුවෙකි.මේ සමඟ සැමදා මෙන් ජාතිවාදී භික්ෂු කල්ලි කිහිපයක් මෙම ප්‍රකාශය ඉතා හොඳ ආයුධයක් කරගෙන ඇත. කිහිපදවසකට තුඹස ඇතුලට රිංගාගෙන සිටි විසකුරු සර්පයන් නැවත කලඑළි බැසීම ආරම්භ කර ඇත.

රට ඉතා අසීරු ආර්ථික අර්බුදයකින් ගොඩඑමින් පවතින අවස්ථාවක නැවත වතාවක් ඉතිහාසය පුරා සිදුකරමින් සිටින වැරදි නැවත සිදුවීමට ඉඩ හැරීම නොකළ යුත්තකි.පවතින ආර්ථික අර්බුදය පිළිබඳව පුළුල් විශ්ලේෂණයක්‌ නොමැති,තමන්ගේ නොහැකියාව පිළිබඳව අවබෝධයක් නැති  අධිමානසික පක්ෂ විපක්ෂ කණ්ඩායම් තම ආත්මාර්ථයන් සපුරා ගැනීම වෙනුවෙන් දියත් කරන ඇතැම් අඥාන ක්‍රියාවන්හි ඇති හිඩැස් බොහෝ විට අනෙක්‌ පාර්ශ්වයට වාසිගෙන දෙන බව හොඳින් දැනගෙන කටයුතු කිරීම වටී.තවද එම ප්‍රකාශය සිදුකළ තැනැත්තා පෙනී සිටින සහ පෙනීසිටි මතවාදයන් දෙස බලන විට මෙම ප්‍රකාශය ඕනෑවට වඩා උත්කර්ෂයට නැංවීම නොකළ යුතුබව මගේ පෞද්ගලික මතයයි.මන්ද අනෙක් පාර්ශවය මෙම ක්‍රීඩාවේ ඔස්තාර්ලා නිසාය.

#sahantwrites
06.01.2023

ඡන්දය පැවැත්වීම ගැන මැතිවරණ කොමිසම මත හතරක




මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිව්දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී  ඊයේ (05) සන්ධ්‍යාවේ හමුවූහ. 

මැතිවරණ කොමිසමේ සාමාජිකයන්  මැතිවරණය සම්බන්ධයෙන් කොමිසමේ කටයුතු පිළිබඳ මත  හතරක් දැරීම පිළිබඳ ජනාධිපතිවරයා පවසා ඇත්තේ, පළමුව ඔබ සිව්දෙනා බහුතර ඒකමතික කැමැත්තක් සහිතව කටයුතු කරන ලෙසයි. කොමිසමේ නිදහස කොමිසමට බාර දී  ඇති බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.  

එය ස්වාධීනව පවත්වාගෙන යෑමට කිසිදු බාධාවක් නොමැති බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. අවශ්‍ය නම් නීතිපතිවරයාගෙන්ද  ලිඛිතව විමසීම් සිදු කරන ලෙස ද වික්‍රමසිංහ මහතා පිරිස දැනුවත් කර තිබේ. ඒ සඳහා නීතිමය සහයෝගය ලබා දීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

නීතිපතිවරයා එහිදී  දන්වා ඇත්තේ  නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා පැවැතිය යුතු පසුබිම පිළිබඳ වන තත්ත්වයන්   නීතිපතිවරයා වෙත දැනුවත් කරන ලෙසත්  මැතිවරණ කොමිසමේ කටයුතු පිළිබඳ යම් නීතිමය ගැටලුවක් ඇතොත් එය  විමසීමට අවශ්‍ය වන්නේ නම් සෘජුවම තමා වෙත දන්වා එවන ලෙස ද ප්‍රකාශ කර ඇත.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මත 4ක් දැරීම හේතුවෙන්  සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

“ජාතික යොවුන් වේදිකාව” සඳහා අයදුම්පත් සහ යෝජනා කැඳවීම ඇරඹේ

 

 75 වැනි ජාතික නිදහස් සැමරුමට සමගාමීව ගොඩනැගීමට නියමිත ජාතික යොවුන් වේදිකාව සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.  2048 වසර වන විට සමෘද්ධිමත් සහ බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ක්‍රියාවලියේ කොටස්කරුවෙකු වීමට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීම සහ වසර 25ක සංවර්ධන න්‍යාය පත්‍රයට තරුණ ප්‍රජාව වගකිවයුතු හවුල්කරුවන් ලෙස දායක කර ගැනීම ජාතික යොවුන් වේදිකාව නිර්මාණය කිරීමේ අමුණයි.

වත්මන් තරුණ පරපුර 2048 වසර වන විට වැඩිහිටි වියට පත් වී රටේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන භූමිකා ඉටු කරනු ඇත. ඒ අනුව අනාගත දේශපාලන ක්‍රමය සහ දේශපාලනඥයන් පිළිබඳ මැසිවිලි නොනගා දියුණු ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ වගකීම ඔවුන් වෙත පැවරේ.

රට තුළ සමාජ, ආර්ථික සහ දේශපාලන වෙනසක් ඇති කිරීමට නම් තරුණ ප්‍රජාව පෙරට පැමිණ නායකත්වය ගත යුතු බවත්, ජාතික යොවුන් වේදිකාව ඒ සඳහා ඔවුන්ට මහඟු අවස්ථාවක් බවත් ජනාධිපතිවරයාගේ අදහසයි.

නීතිය සහ ආර්ථිකය/ අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, අනාගතය සඳහා කුසලතා/ තිරසාර සංවර්ධනය සහ දේශගුණික ක්‍රියාමාර්ග/ සෞඛ්‍ය, ආරක්ෂිත ආහාර සහ ජල ප්‍රමිතීන්/ ජාතික ආරක්ෂාව/ රාජ්‍යතාන්ත්‍රික හා ජාත්‍යන්තර සබඳතා/ කෘෂිකර්මය, ධීවර සහ සත්ව පාලනය/ ක්‍රීඩා/ සෞන්දර්යය – චිත්‍ර, සංගීතය, නාට්‍ය, චිත්‍රපට, ගෘහ නිර්මාණ ශිල්පය ආදිය/ කර්මාන්ත, නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව/ තිරසාර නගර සහ ප්‍රජාවන්/ ජලය, වාතය, ගොඩබිම සහ සත්ව ආරක්ෂාව/ පාලනය, පාලනය සඳහා තාක්ෂණය, විනිවිදභාවය සහ දූෂණ පිටුදැකීම/ ජාතික සංවර්ධනය සඳහා කෘතිම බුද්ධිය සහ යාන්ත්‍රික විද්‍යාව ඉගෙනීම/ සාධාරණ සමාජයක් යන ක්ෂේත්‍ර කෙරෙහි ‍ජාතික යොවුන් වේදිකාවේ අවධානය යොමු කෙරේ.

සාමාජික, තරුණ සංවිධාන සහ උපදේශක වශයෙන් කාණ්ඩ තුනක් යටතේ ජාතික යොවුන් වේදිකාව සඳහා අයදුම්පත් කැඳවීම සිදු කෙරේ.

සාමාජිකයෙකු ලෙස අයදුම් කිරීමේ වයස් සීමාව 16 – 35 අතර විය යුතු අතර තරුණ සංවිධානය සඳහා අයදුම් කිරීමට වයස අවුරුදු 40ට අඩු විය යුතුය. උපදේශක තනතුර සඳහා වයස් සීමාවක් නොමැත.

ජාතික යොවුන් වේදිකාවේ සාමාජිකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන්නන් ඔවුන් වසර ගණනාවක් තිස්සේ කර ඇති ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳ විස්තර සහිත වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.

ජාතික යොවුන් වේදිකාවේ අවධානය යොමු කරන ලද ක්ෂේත්‍රවල ප්‍රවීණත්වයක් සහිත පුද්ගලයින්ට උපදේශකවරයෙකු ලෙස අයදුම් කිරීමට හෝ එවැන්නන් වැඩසටහනේ උපදේශකයෙකු ලෙස නිර්දේශ කිරීමට හැකි අතර ඔවුන්ව තෝරා ගැනීම් සිදු කරන්නේ සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියකින් පසුවය.

සියලුම අයදුම්කරුවන් තමන් කටයුතු කිරීමට අපේක්ෂා කරන එක් ක්ෂේත්‍රයක් පමණක් තෝරාගත යුතු අතර තමා විසින් සකස් කළ අයදුම්පතක් 2023 ජනවාරි 31 හෝ ඊට පෙර dir.ysd@presidentsoffice.lk ඊමේල් ලිපිනය මගින් හෝ “අධ්‍යක්ෂ, තරුණ හා තිරසාර සංවර්ධන, ජනාධිපති කාර්යාලය, කොළඹ 01″ ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය.

පරිපාලනය, අන්තර්ගතය නිර්මාණය කිරීම, තොරතුරු තාක්ෂණය, අලෙවිකරණය, සැපයුම් සහ මූල්‍ය යන ක්ෂේත්‍රවල සිය සේවාව ස්වේච්ඡාවෙන් ලබාදීමට කැමති ඕනෑම අයෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයේ තරුණ හා තිරසාර සංවර්ධන අධ්‍යක්ෂවරයා සමඟ ඍජුව සම්බන්ධ වීමට ද අවස්ථාව පවතී.

Wednesday, January 4, 2023

බස් ගාස්තු අඩුකරන්න නොදෙන මාෆියාව


ඉන්ධන මිල අඩු කිරීමත් උද්දමනය ක්‍රමයෙන් පහළ යාමත් හේතුකොටගෙන මේවනවිට ක්ෂේත්‍ර කිහිපයක මිල අඩුකිරීම් සිදුවිය. මගී ජනතාවටද ඉන්ධන මිල අඩුවීමේ සහනය ලබාදිය යුතු උවද බස් ගාස්තු අඩුකිරීමට පෞද්ගලික බස් හිමියෝ සූදානම් නැත. ඔවුන් එයට දැඩි විරෝධයක් දක්වමින් සිටිති.

 



මිල අඩුකළ දේවල්‍

 

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 201 කින් පහළ දමා තිබේ.  එමෙන්ම  කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් මිල පහළ දමා තිබේ.

එමෙන්ම අද සිට ක්‍රියාත්මක වන ආකාරයට අධිවේගී මාර්ග බස් ගාස්තු ද අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින්  පියවර ගෙන තිබුණි.

 



අඩු නොකරන බස් ගාස්තු

 

කෙසේ උවද බස් ගස්තු අඩුකර සහන ලබාදීමට පෞද්ගලික බස් හිමියෝ දැඩි ලෙස විරෝධය දක්වමින් සිටින අතර ගමනාගමන කොමිෂන් සභාවද මෙතෙක් ඒ සම්බන්ධයෙන් පියවරක් ගෙන නොමැත. බස් මාෆියාවට හසු නොවී මෙවන් දුෂ්කර මොහොතක ජනතාව වෙනුවෙන් රජය පියවර ගනු ඇතැයි ජනතාව අපේක්ෂාවෙන් සිටියි.



කොමිසමේ බෙදීමක් - ඡන්දය පැවැත්වීම අවුලක?

 

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දින වකවානු ඉතාම ආසන්නව තිබියදී ජාතික මැතිවරණ කොමිසම තුළ ඇතිව තිබෙන බෙදීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ගැනීමට රජය තීරණය කර තිබේ.

රජය මෙම තීරණයට එළැඹ ඇත්තේ පළාත් පාලන මැතිවරණය කැදවීමේ ගැසට්ටුව නිකුත් කිරීමට ආසන්න අවස්ථාවක ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තරයේ ඇතිව තිබෙන බෙදීමක් සැලකිල්ලට ගෙනය. ඉහත බෙදීමට අනුව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සමඟ සුළුතුරයක් පමණක් සිටීම හේතුවෙන් ඉදිියේදී ගතයුතු පියවර පිළිබඳව වහ වහාම උපදෙස් ගැනීමට රජය වැඩිදුරටත් අදහස් කර තිබේ.

මැතිවරණය පැවැත්විය යුතු බවට කොටසක් ප්‍රකාශ කරද්දී තවත් පිරිසක් මුදල් නොමැතිකම නිසා මැතිවරණය නොපවැත්විය යුතු බවට ප්‍රකාශ කිරීම බරපතල අභ්‍යන්තර බෙදීමක් ඇතිවීමට මූලික හේතුව බව දැනගන්නට තිබේ.

මැතිවරණ කොමිසම තුළ පැහැදිලිව කණ්ඩායම් දෙකක් පැවැතීම තුළ නාම යෝජනා කැදවූවත් මැතිවරණය පැවැත්වීමේ ගැටළු රාශියක් මතුවිය හැකි බව මැතිවරණ නිරික්ෂණ සංවිධානවල අදහසවේ. මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් බිලියන 12 ට වැඩි මුදලක් අවශ්‍ය වුවත් අය වැයෙන් මුදල් වෙන් කර ඇත්තේ බිලියන 10 ක් නිසා සම්පූර්ණ මුදල නොගෙන මැතිවරණ වියදම් කළමනාකරණය කළ නොහැකි බව බහුතරයකගේ අදහස වී තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ රාජකාරි වෙනුවෙන් පැමිණෙන රජයේ සේවක ගෙවීම් මෙන්ම ඉන්ධන වෙනුවෙන් ගෙවීම් සහ අහාර වෙනුවෙන් ගෙවීම් මහා භාණ්ඩාගාරයෙන් මුදල් නොලද හොත් රාජකාරි ගැටළු රාශියක් උද්ගතවනු ඇති බවය. එම නිසා මෙම ගැටළු ගැන මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කොට මුදල් ලැබෙන බවට සහතිකයක් නොගෙන මැතිවරණ දිනය ප්‍රකාශයට පත් නොකරන ලෙස මැතිවරණ කොමිසමේ බහුතර සමාජිකයන්ගේ ඉල්ලීම වී තිබේ.

එහෙත් සභාපති හා ඔහු සමඟ සිටින සුළුතර කණ්ඩායම මැතිවරණය පවත්වද්දී අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කරනු ඇතැයි යන අන්ධ විශ්වාසයෙන් සිටින බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේය.

නාම යෝජනා කැදවීමේ ගැසට් නිවේදනය පළ කලත් පවතින අභ්‍යන්තර බෙදීම හේතු කොට ගෙන මැතිවරණ රාජකාරීන් හි ගැටළු මතු වනු ඇතැයි මැතිවරණ කාර්යාල නිලධාරීන්ගේ අදහසවේ. ඉහත සියළු කරුණු සැලකිල්ලට ගෙන මැතිවරණ කොමිසමේ ඇතිව තිබෙන වත්මන් බෙදීමට අදාළව ගතයුතු පියවර ගැන වහාම උපදෙස් ගැනීමට තීරණය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ අහාත්‍යරයෙකු සඳහන් කළේය.