Saturday, July 16, 2022

රාජපක්ෂවාදය පරදවමු

 




රාජපක්ෂවරු පාලනයෙන් ඉවත් කළ පසු. රාජපක්ෂවාදය ද සම්පූර්ණයෙන් අවසන් වේ යැයි යමෙක් සිතන්නේ නම් එය මහ ම මහ විහිලුවකි. අපි පරාජය කළ යුත්තේ රාජපක්ෂවාදය මිස රාජපක්ෂවරු නොවේ. එසේත් නැති නම් රාජපක්ෂවරු විසින් මේ රටේ රෝපනය කර පෝෂණය කළ, මේ වන විට අතු ඉති වැඩී තිබෙන දූෂිත දේශපාලන , ආර්ථික සංස්කෘතියයි. 

රාජපක්ෂ කඳවුරට සිටි ප්‍රබල ප්‍රතිවාදීන් වූයේ චන්ද්‍රිකා කුමාරතුංග, මංගල සමරවීර සහ රනිල් වික්‍රමසිංහයි. චන්ද්‍රිකා දැන් ක්‍රියා කාරී දේශපාලනයේ නැත. එන බවක් ද නොපෙනේ.  ඇය වෙනත් චරිතයක් ගොඩනැගුව ද, ඇයට තිබෙන විශ්වාසය ඒ පුද්ගලයාට නොමැති බව රාජපක්ෂවරු දනිති. මංගල ජීවතුන් අතර නැත. එසේ නම් දැනට දේශපාලනයේ රාජපක්ෂවරුන්ට සිටින එකම ප්‍රතිවාදියා රනිල් වික්‍රමසිංහයි. 

අනුර කුමාර, සජිත් ප්‍රේමදාස ආදීන් එළියේ මහා දැවැන්ත ප්‍රතිවාදීන් ලෙස පෙනී සිටිය ද ඔවුන් හුදු නලුවන් පමණක් බව පරිණත දේශපාලනඥයෙකු වන මහින්ද රාජපක්ෂ හොඳින් ම දනියි. කිසිදු ලෙසකින් ප්‍රායෝගික නොවන මතවාද ගොන්නක් කර පින්නා ගෙන සිටින අනුර කුමාර හෝ, මහජනතාව අතර විහිලුවක් බවට පත්ව සිටින සජිත් තමන්ට අභියෝගයක් නොවන බව රාජපක්ෂවරුන්ගේ විශ්වාසයයි. 

කෙසේ හෝ රනිල්ගේ දේශපාලනය අවසන් කිරීමට රාජපක්ෂවරුන් කටයුතු කරන්නේ ඒ අනුව ය. එජාපය දෙකඩ වීමෙන් රනිල් නැමති හිසරදය අවසන් වූවා යැයි රාජපක්ෂවරු සිතුව ද, රනිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණියේය. එහෙත් තනි අලියා එතරම් අවදානමක් නැතැයි රාජපක්ෂවරුන්ගේ අදහස විය. 

පසුගිය මැයි මස 09 ඇති වූ සිදුවීමෙන් පසු ආර්ථිකය ස්ථාවර කිරීමත්, ජාත්‍යන්තරය දිනා ගැනීමත් වෙනුවෙන් ගෝඨාභය රනිල්ට අකමැත්තෙන් හෝ අගමැතිකම ලබා දෙන්නේ ගෝඨාභයට අසාර්ථක නායකයෙකු ලෙස ඔහුට තිබූ අකමැත්ත හේතුවෙනි.

එහෙත් මහින්ද හෝ බැසිල් රනිලාගමනය ප්‍රිය කළේ නැත. ඒ හරහා බැසිල්ගේ හා නාමල්ගේ දේශපාලන අනාගතය අවසන් වන බව ඔවුන් දැන සිටියහ. රනිල් ප්‍රසිද්ධියේ සටන් නොකළත්, ඉතා සූක්ෂ්මව රාජපක්ෂවාදය පරදවන බව දේශපාලනඥයන් වන ඔවුන් දෙදෙනා දනිති. ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට පත් කර අගමැති කරවීමට උත්සාහ දරන්නේ ඒ අනුවය. කෙසේ හෝ ජූලි නමය ඇති වූ සිදුවීමෙන් පසු එය ද සාර්ථක වූයේ නැත. 

රනිල් අගමැති වූ පසුව බොහෝ දෙනෙක් අපේක්ෂා කළ පරිදි රාජපක්ෂවරුන්ට පිහිට වූයේ නැත. රාජපක්ෂවරුන්ගේ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්‍ති රටට හෙළි කරන්නේ රනිල් ය. ඔහු අරගලය ද පෝෂණය කළේ ය. ඔහුගේ මේ හැසිරීම දණ්ඩෙන් පහර කෑ නයෙකු ලෙස බැසිල් කුපිත කිරීමට හේතු විය.

දැන් පොදු හතුරා වෙනුවෙන් බැසිල් අලුත් ගේමක් ආරම්භ කර තිබේ. ඒ ඩලස්ව රජ කරවා ඉදිරියටත් රාජ්‍ය පාලනයේ අදිසි හස්තය රාජපක්ෂවරු සන්‍ය්හකයේ තබා ගැනීමටයි. බැසිල්ගේ අපේක්ෂාව ඩලස් ජනපති කරවා සජිත්ට අගමැතිකමද, නාමල්ට විපක්ෂ නායක කමද ලබාදීමටයි. එවිට ඉදිරි ආර්ථික අර්බුධයන්ට මුහුණ දීමට සජිත්ට නොහැකි වූ විට ඩලස් මෙන් ම සජිත්ගේ දේශපාලන ගමන අවසන් වනු ඇත. එවිට විපක්ෂ නායක නාමල්ගේ ඉදිරිය ඉබේටම ගොඩනැගෙනනු ඇත. 
ඔවුන්ගේ සිහිනය 2024 දී එවිට ඉබේටම සාර්ථකත්වය කරා යොමු වනු ඇත. 

සිරිසේනගේ සහ සජිත්ගේ ද පොදු හතුරා රනිල් වීම නිසා ඔවුන්ට මේ කුමන්ත්‍රණය ඉතාමත් පහසු බව බැසිල්ගේ අදහසයි. මුල දී රනිල්ට පක්ෂ ලෙස හිඳ අවසානයේ ජනමතයට හිස නමා ඩලස් වෙනුවෙන් පෙනී සිටීම ඔවුන්ගේ උපක්‍රමයයි. 

මේ සියලු බලවේගවල කුමන්ත්‍රණ රනිල්ට පරාජය කිරීමට හැකි වේදැයි නොදනිමු. එහෙත් එක දෙයක් දනිමු. රාජපක්ෂවරුන්ගේ අවසාන කුමන්ත්‍රණය අවසානයේ ජයගතහොත් එය අප සමස්ත රටේම පරාජයක් බව පමණක් දනිමු.


No comments:

Post a Comment