Monday, November 28, 2022

රියදුරන්ගේ ලකුණු කැපෙන හැටි

 


 2023 වසරේ ජනවාරි මස සිට රියදුරු බලපත්‍රය සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා   පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

මෙම ක්‍රමවේදයට අනුමැතිය හිමිව තිබුණත් වසර 8 ක කාලයක් පුරා ක්‍රියාත්මක වී නොමැති බවත් ගුණාත්මක රියදුරෙක් බිහිකිරීමේ අරමුණින් එම ක්‍රමවේදය හඳුන්වා දෙන බවත් ඇමැතිවරයා කීය.

ඒ අනුව රිය පැදවීමේ දී සිදුවන වැරදි 32 කට අදාළව ලකුණු කැපීම සිදුවන බවත් ලකුණු 24 ක් කැපී ගියහොත් අදාළ රියදුරාගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් සඳහා අත්හිටුවන බවත් ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

 මේ අතර පරිවාස කාලය තුළ දී යම් රියදුරෙකුගෙන් ලකුණු 12ක් කැපී ගියහොත් එම රියදුරාට වසරක කාලයක් බලපත්‍රය ලබාගත නොහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

 නව ක‍්‍රමය යටතේ පොලිසියට සහ සියලුම මහේස්ත‍්‍රාත් සහ දිසා අධිකරණවලට දෝෂ පද්ධති ලකුණු වෙත ප‍්‍රවේශ වීම සඳහා ජංගම දුරකතන ලබාදීමට නියමිතව ඇත.

 එමඟින් දඩ මුදල එම ස්ථානයේදීම හෝ තැපැල් කාර්යාලයකින්, අන්තර්ජාලය හරහා හෝ ගෙවිය හැකි බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසීය.

 

මහින්ද නීතිඥයෙක් වුණ හැටි කිරිඇල්ල කියයි

 


 


 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද නීති විද්‍යාලයට ගොස් නීතිය ඉගෙන ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (28දා) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

“මේ මන්ත්‍රීවරුන්ට නීතිය ඉගෙන ගන්න නීති විද්‍යාලයට යන්න අවස්ථාව දෙන්න .  මහින්ද මහත්තයත් නීති විද්‍යාලයට ගියේ විභාග පාස්කරලා නෙවෙයි. කථානායකතුමාගෙන් ලියුමක් අරගෙන නීතිවිද්‍යාලයට ගියේ. ඒ නිසා මේ මන්ත්‍රීවරුනුත් උපාධි ආයතනයකට ඇතුල්වෙලා මොනවාහිරි ඉගෙන ගන්න නිකම් කෑගගහ ඉන්නේ නැතිව. මමත් එක්ක අපේ පවුලේ නීතිඥයෝ හතර දෙනෙක් ඉන්නවා” යැයි මන්ත්‍රීවරයා කීවේය


සජිත් ඊලඟට ගුටිකන හැටි ඩයනා කියයි

 

  


විවිධ කඩාකප්පල්කාරී කටයුතු සිදුකර රට ගොඩගැනීමේ මෙහෙයුම කඩාදැමීමට කටයුතු නොකරන ලෙස රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අද(28දා) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියාය.

“ විපක්ෂ නායකතුමා දැන් ආයෙමත් නුවර ඉදන් කොළඹට පෙළපාලියක් එන්න යනවා කියලා මට ආරංචි වුනා. මේදෙවල් වලින් පෙන්නන්නේ ඔබතුමාගෙ නොහැකියාව . ලියුම් ලිය ලිය හිටපු වෙලාවේ  ඔබතුමාට රට භාරඅරගෙන කරන්න තිබුණනෙ. එහෙම භාරගත්තේ නැත්තේ බැරි නිසා. ඒනිසා ඒ අවස්ථාවේ වගකීම් භාරඅරගෙන අභියෝගය භාරගත්තු ජනාධිපතිතුමාට රට කරගෙන යන්න ඉඩදෙන්න ඔන.  සංචාරකයෝ පැමිණෙන මේ වෙලාවේ අයෙත් රට අවුල් කළොත් එහි සම්පුර්ණ වගකීම විපක්ෂ නායකතුමා භාරගන්න ඔනේ. අනිත් එක මම තව එක දෙයක් කියන්නම් මේ විදිහට විපක්ෂ නායකතුමා රට අවුල කරන්න ගියෝත් ආයේ ගුටි කන්නේ පාරෙ ඉන්න මිනිස්සුන්ගෙන්” යැයි පැවසුවාය.





Sunday, November 27, 2022

උතුරු දුම්රිය මාර්ගය මාස 05 ක් වසා දමයි

 



මහව සිට යාපනය දක්වා උතුරු දුම්රිය මාර්ගය මාස 05 ට වසා දැමීමට සිදුවන බව අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා අද(28දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මේ වනවිට මහව- යාපනය අතර උතුරු දුම්රිය මාර්ගය භාවිත කිරීමේ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවන බවත් එබැවින් අත්‍යවශ්‍ය නඩත්තු කිරීම් වෙනුවෙන් මෙලෙස දුම්රිය මාර්ගය වසා දැමීමට සිදුවන බවද අමාත්‍යවරයා කීවේය.

ඒ අනුව ජනවාරි 15 දා සිට මැයි මාසය දක්වා දුම්රිය ගමනාගමනය නවත්වීමට සිදුවන බවත් ඉන් අනතුරුව ඉතාම හොද දුම්රිය මාර්ගයක් බවට උතුරු දුම්රිය මාර්ගය පත්කළ හැකි බවටත් අමාත්‍යවරයා වැඩිදුරටත් දැනුම්දුන්නේය.

 

තීන්දු තීරණ ගන්නේ මහ බැංකුව - ගෙවල් ගිනි තියන්නේ අපේ

 


 

රාජ්‍ය මුල්‍ය කළමණාකරණය ගැන වගකීම පාර්ලිමේන්තුවට ඉටුකිරීමට නොහැකි වුන නිසා රට බංකොලොත් වු බව අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පැවසීය.

ඊට අමතරව මුදල් අමාත්‍යාංශය , සහ එහි නිලධාරීන් , මහ බැංකුව මුල්‍ය මණ්ඩලය සහ එහි නිලධාරීන්ද මේ සඳහා වගකිව යුතු යැයිද අමාත්‍යවරයා අද (28දා) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් සඳහන් කළේය.

එමෙන්ම අමාත්‍යවරයා මෙසේද් කීවේය,

සල්ලි අච්චු ගහන්නේ මහ බැංකුව , පොලී අනුපාතය තීරණය කරන්නේ මහ බැංකුව , විනිමය අනුපාත තීරණය කරන්නේ මහ බැංකුව , විදේශ සංචිත පාලනය කරන්නේ ආනයනය අපනයන පාලනය කරන්නේ මහ බැංකුව.  ඒ උනාට රට බංකොලෙත් උනාම ගෙවල් ගිනි තියන්නේ අපේ . ඒක සාධාරණ ද” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය. 

උසස් නිලතල 06 ට කාරක සභාවේ අනුමතිය

 


 


අමාත්‍යාංශ ලේකම්වරුන් සිව්දෙනෙකුට, ආයතන සභාපතිවරයෙක් සහ තානාපතිවරයෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

 ඒ අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස උදය ඉන්ද්‍රරත්න මහතා පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

 මේ අතර, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා මහතාගේ පත්වීමට, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස අරුණි විජේවර්දන මහත්මියගේ පත්වීමට, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජේ.එම්.ටී. ජයසුන්දර මහත්මියගේ පත්වීමට සහ තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එන්.ඩී.ගුණවර්ධන මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

 එයට අමතරව, ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස කාන්චන රත්වත්තේ මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදුන් බව මහලේකම්වරයා සඳහන් කළේය.

 පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, මෙම රැස්වීමට  අමාත්‍යවරයන් වන නිමල් සිරිපාල ද සිල්වා, කෙහෙලිය රඹුක්වැල්ල, විදුර වික්‍රමනායක මෙන්ම  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන  චමල් රාජපක්ෂ, ජෝන් සෙනවිරත්න, තලතා අතුකෝරල, (වෛද්‍ය)   සුදර්ශනී ප්‍රනාන්දුප්ල්ලේ, රිෂාඩ් බදියුද්දීන්, උදය ගම්මන්පිල සහ ධර්මලිංගම් සිද්ධාර්තන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.