Friday, June 28, 2024

 

චන්ද්‍රිකා සහ ලෝකය 



ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියෙහි දේශපාලකයන් බොහෝ දෙනෙක් සිටියත් ඒ අතරින් රාජ්‍යතාන්ත්‍රිකභාවයක්‌ සහිත පුද්ගලයන් සිටින්නේ අතලොස්සකි. පුද්ගලයෙකුට දේශපාලනඥයෙක් වීම ලෙහෙසි පහසු කටයුත්තක් වුවද ඉන් ඔබ්බට ගොස් රාජ්‍යතාන්ත්‍රිකයෙකු වීම අපහසු බව පෙනෙන්නේ මෙරට දේශපාලන ඉතිහාසය අවධානයෙන් යුතුව පිරික්සන විටදී ය. යම් රටක රාජ්‍ය නායකයෙකු විසින් විෂධ කරවන රාජ්‍යතාන්ත්‍රිකභාවය, එහි විදේශ ප්‍රතිපත්තියේ දිශානතිය තීරණය කිරීමේදී වැදගත් බලපෑමක් ඇතිකරයි.



ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ වඩාත් වර්ණවත් එමෙන්ම තීරණාත්මක යුගයක්‌ ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පරිපාලනය සමය හැඳින්විය හැකිය. තම මව විසින් දිනා දුන් ගෝලීය දේශපාලනයේ වම් ඉවුරත්, ජනාධිපති ජයවර්ධන විසින් දිනාදුන් දක්ෂිණ කඳවුරත් එකසේ රැක ගනිමින් ඇය තම විදේශ ප්‍රතිපත්තිය මැද මාවතේ ගෙන යාමට සමත් වූවාය. කුමාරතුංග - කදිරගාමර් සුසංයෝගය මෙරට විදේශ ප්‍රතිපත්තියෙහි කක්ෂය වඩාත් ප්‍රගතිශීලි දිශානතියකට යොමුකළ බව කිවයුතුය. 1983 සිංහල-දමිළ කොළහලය ඇතුළු 17 වසරක එජාප පාලනයේ ඇතැම් අදූරදර්ශි ක්‍රියාවන් නිසාත්, ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ ප්‍රචණ්ඩ ඝාතන සංස්කෘතිය නිසාත් දිග්ගැස්සෙමින් තිබූ බෙදුම්වාදී යුද්ධය නිසාත් ජ්‍යාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්ව සිටි ශ්‍රී ලංකාවේ නාමය කුමාරතුංග පාලනය තුළ වඩාත් යහපත් අයුරින් ප්‍රතිනිර්මාණය කිරීමට ඔවුන්ට හැකිවිය.



එල්ටීටීඊ සංවිධානය ජ්‍යාත්‍යන්තර වශයෙන් තහනම් කිරීමට, වෙසක් පොහොය දිනය අන්තර්ජාතික නිවාඩු දිනයක් කිරීම ආදී වැදගත් යෝජනා ගණනාවක් චන්ද්‍රිකා කුමාරතුංග පරිපාලනය යටතේ, අන්තර්ජාතික ප්‍රජාවේ සහයෝගය සහිතව සාර්ථක කරගැනීමට හැකිවුයේ එහි ප්‍රතිපලයක් ලෙසිනි. එමෙන්ම 2004 සුනාමි ව්‍යවසනය අවස්ථාවේදී ශ්‍රී ලංකා රජයට රාජ්‍ය සහ රාජ්‍ය නොවන මට්ටමින් ලැබුණු  ජ්‍යාත්‍යන්තර සහයෝගය එය තවත් තීව්‍රකොට පෙන්නුම් කරන අතර බෙදුම්වාදී යුද්ධය සඳහා තිරසාර ව්‍යවස්ථාමය විසඳුමක් සෙවීමට ඇය තුළ වූ දැඩි කැපවීම හා ඒ සඳහා ගෙනගිය ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙල එම පරිපාලනය වෙත ගෝලීය අවධානය දිනා  දුන්නේය.



ඇයගේ වැදගත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන්ගෙන් එකක් වූයේ දකුණු ආසියානු කලාපය තුළ සබඳතා ශක්තිමත් කිරීමයි. ආර්ථික සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය ආරක්‍ෂක අවශ්‍යතා පෝෂණය කිරීම අරමුණු කරගනිමින් ඉන්දියාව වැනි අසල්වැසි රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා ඇය ශක්තිමත් කළාය. ඇයගේ ප්‍රයත්නයන් භූ දේශපාලනික වශයෙන් ඉතා වැදගත් කලාපයක සබඳතා ස්ථාවර කිරීමටත්, දකුණු ආසියානු ජාතීන් අතර සංවර්ධන සංවාද සහ අන්‍යන්‍ය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමටත් දායක විය.



මෙහිදී කුමාරතුංග රජයේ අසහාය විදේශ අමාත්‍යවරයා වූ ලක්ෂ්මන් කදිරගාමර්ගේ සුවිශේෂී දායකත්වය අමතක කළ නොහැකි අතර ඔහු සැබවින්ම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ අනන්‍ය සලකුණක්‌ වන්නේ ඔහු තුළ වූ සැබෑ දේශප්‍රේමීත්වයත්, මහා දර්ශනයත් එක්වී චන්ද්‍රිකා කුමාරතුංග පරිපාලනය තුළ මුල්බැස ගත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සමඟින්, ලොවක් හා එක්ව ගෝලීය අරමුණු කරා ශ්‍රී ලංකාව මෙහෙයවීමට ඔහු තුළ වූ නොකිළිටි අධිෂ්ඨානය නිසාය.




කුමාරතුංග ජනාධිපතිතුමියගේ විදේශ ප්‍රතිපත්තිය කිසිම දිශාවකට වැඩියෙන් නැඹුරු නොවූ නොබැඳි පිළිවෙත අනුව ගිය එකක් විය. වරෙක සාක් ( SAARC ) සමුළුවේ සභාපතිනිය ලෙසත් එහි ප්‍රබල සාමාජිකාවක ලෙසත් කලාපීය අවශ්‍යතාවන් මුදුන්පත් කරගැනීමට කුමාරතුංග ජනාධිපතිනිය කටයුතු කළා අතර ඇය කෙරෙහි තිබූ විදේශ ආකර්ෂණය ඇයට බලය අහිමි වූ පසුවද නොඅඩුව ලැබීම එය මොනවට පැහැදිලි කරයි. විශ්‍රාම ලැබීමෙන් අනතුරුවක් ඇය Clinton Global Association, Club de Madrid වැනි ගෝලීය සංවිධාන රැසක ගරු කටයුතු සාමාජිකාවක් ලෙස සම්බන්ධ වී සිටිමම ඇයගේ විදේශ ප්‍රතිපත්තීන් ශ්‍රී ලාංකීය දේශපාලනයේ නූතන සලකුණක්‌ බව සඳහන් කිරීමට ප්‍රමාණවත්ය.



අවාසනාවන්ත ලෙස ඉන් පසු බලයට පැමිණි පාලකයන්ගේ අමනෝඥන ක්‍රියාවන් නිසා ශ්‍රී ලංකාව ජ්‍යාත්‍යන්තර  ප්‍රජාව ඉදිරියේ අපකීර්තියට පත්විය. එසේ පත්වීමට හේතුවූ ප්‍රධාන කරුණු කිහිපයක් හඳුනාගත හැකිය.

     

* දර්ශනයක් නොමැති විදේශ ප්‍රතිපත්තිය.

* විදේශ ප්‍රතිපත්තියේ ඒකපාර්ශවීය නැඹුරුතාවය.

* ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයන් වෙනුවට පාලකයන්ගේ ඥාතීන්, හිතවතුන් සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් තනතුරුවලට පත්කිරීම.

* ගෝලීය ප්‍රතිපත්තීන්වලින් පිට යන දේශීය ප්‍රතිපත්තීන්.


ඒවායෙන් කිහිපයකි. එවැනි හේතු නිසා වර්තමානයේ ද විදේශ ප්‍රතිපත්තිය දියාරු වී ඇති බවක් පෙනෙන්නට ඇත.කෙසේ වෙතත් අවශ්‍යවන්නේ වඩාත් කාර්යක්ෂම, නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් තුළින් ලෝකය තුළ හුදකලා නොවුණු, අන්තර්ජාතික සහයෝගයෙන් පොහොසත් වූ රාජ්‍යයක් නිර්මාණයයි. එවැනි රාජ්‍යයක් වෙනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වැනි දූරදර්ශි  නායකයන් මෙන්ම දර්ශනයක්ද අවශ්‍ය බව සඳහන් කළ යුතුය.



ජුනි 29 වෙනිදට යෙදෙන හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ 79 වන ජන්ම දිනය නිමිත්තෙනි.



සටහන - සහන් තෙන්නකෝන්

Thursday, June 27, 2024

අභියෝගයේ නායකත්වය

 නූතන ඉතිහාසයෙහි කාන්තා විමුක්තිය පිළිබ`


ද තේමාවෙහි එක් ආශිර්වාදාත්මක පරිච්ෙඡ්දයක් නම්සිය රටවල්වල ප්‍රජාතන්ත්‍රවාදයසිවිල් නිදහස හා සමාජ සාධාරණත්වය උදෙසා කරන යුක්ති සහගත අරගලයේ දී කාන්තාව විසින් දක්වනු ලබන අභිමානනීය නායකත්වයයි.

ලොව ප‍්‍රථම අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් ඇරඹී එම ගමන් මගඉන්දිරා ගාන්ධි වැනි තවත් කාන්තා නායිකාවන් කිහිපදෙනෙකු විසින් සෝබාමත් කරන ලදී.

විසිවන සියවසෙහි අවසාන දශක දෙක පමණ වනවිට තුන්වන ලෝකයේ රටවල් කිහිපයක ජාතික නායකත්වයට පත් වූ හෝ මානුෂික යුක්තිය උදෙසා වන ජනතා අධිෂ්ඨානය සංකේතවත් කළා වූ කාන්තාවෝ කිහිප දෙනෙක්ම විවිධ දේශීය යථාර්ථයන්ට අනුගත වෙමින්අයුක්තියට එරෙහිව නැ`ගී සිටීමේ යුක්ති සහගත ව්‍යායාමයට උරදුන්හ.

සමකාලීන ජගත් ස්ත‍්‍රී වංශයේ ඒ ප‍්‍රතාපවත් නාමාවලියට ශ‍්‍රී ලංකාවෙන් එක් වූ චරිතය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යි. දකුණු ආසියාවේ ප‍්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පවුලකට උරුමකම් කියන ඇයදේශපාලනයට පිවිසීම කිසි ලෙසකිනිදු අහම්බයක් නොවේ.


අැගේ ජීවන මග හුදු රෝස මල් ඇතිරූ මාවතක් නොවීය. විප‍්‍රයෝගය මෙන් ම මරණයේ බියකරු බව ඇගේ ජීවිතය පුරා ඈ පසුපස හඹා ආවේ ය. දාහතරවන වියේ දී සිය නිවස තුළ දී ම සිදුකළ පියාගේ ඝාතනයෙන් දඊට දාසය වසකට පසු විවාහ වන්නට සිටි සහකරුවාගේ අකල් මරණයෙන් දසිය හතළිස් තුන්වන වියේදී තම දෑස් ඉදිරිපිට සැමියා කුරිරු ලෙස මරා දැමීමෙන් පසුව දඒ මරණ බිය ඇගෙන් පහව ගියේ නැත. එතැන් සිට ජනතා විමුක්ති පෙරමුණෙන් දපේ‍්‍රමදාස පාලනයෙන් දඅවසානයේ කොටි ත‍්‍රස්තවාදයෙන් ද ඇයට මරණ වරෙන්තු ලැබී තිබුණි. පනස් හතර වැනි වියේදී කූරිරු බෝම්බ ප‍්‍රහාරයකට ලක්ව ඇසක් අහිමි වීආශ්චර්යකින් මෙන් ඇගේ දිවි ගලවා ගත්ත දචන්ද්‍රිකා තමන්ට බාධකයක් ලෙස හඳුනාගත් කොටස්වලට අදට ද අැය බාධකයකි.


ගිරි දුර්ගවට වංගුකටු කොහොල්`දු පල්ලම් පමණක් නොව මරු වැල් ද නො අඩුව පැවති මෙරට දේශපාලන මාවත පුරා සැරිසැරීමේ දී සාමාන්‍ය කෙනෙකුට නොලැබෙන අන්දමේ විශේෂ වාසි දෙකක් ඇයට හිමි විය. ඒසිය දේශපාලන සටනේ දී ‘‘බණ්ඩාරනායක’’ මෙන්ම ‘‘කුමාරතුංග’’ යන දෙපයින් ම නැ`ගී සිටීමේ ද්විත්ව වාසිය යි. දකුණු ආසියාතික දේශපාලන ප‍්‍රපංචයක් ලෙස සැලකෙන පවුල් සාධකයේ වාසිය එසේ තිබුණත්තමන්ගේ ස්වාධීන අනන්‍යතාවකින් නැ`ගී සිටීමේ ජීව ගුණය ඇය කෙරෙහි මුල සිට ම විද්‍යමාන විය. එහෙත් ඇය කිසි විටෙක සිය සීමාවන් අතික‍්‍රමණය නොකළා ය.


 ඇසට-ඇසක් දතට-දතක් යන්න ඇගේ ප‍්‍රතිපත්තිය නොවීය. වෛර්යය - අවෛර්යෙන් දමරණය - අභය දානයෙන් දඒකාධිපතිත්වය - ප‍්‍රජාතන්ත‍්‍රවායෙන් දඅවනීතිය - නීතියෙන් දඅයුක්තිය-යුක්තියෙන් ද ජය ගැන්ම ඇගේ මාවත විය. 


1951 දී සිය පියා විසින් ආරම්භ කරන ලදදශක ගණනක් පුරා මව විසින් ආදරයෙන් සුරක්ෂා කරන ලදමෙරට දේශපාලනයේ ප‍්‍රගතිශීලී බල ක`දවුර ලෙසින් විරුදාවලිය ලත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රතිපත්තිවඩා හො`දින් ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යෑමට ඇය කැප වූවා ය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසය තුළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට හිමි වන ගෞරවනීය ස්ථානයට නොඅඩු ස්ථානයක් චන්ද්‍රිකා බණ්ඩාරනායකට හිමි වන්නේ ඒ නිසා ය. 


සිය සැමියාගේ හදිසි අභාවයෙන් පසුබණ්ඩාරනායක මැතිනිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිය වී විනාශ වීමට ඉඩ නොතබාසුරැකීමේ භාරදූර වගකීම සිය කර මතට ගත්තා ය. ඇයගේ කණිටු දියණිය ලෙස බණ්ඩාරනායක දේශපාලන උරුමය හිනි පෙත්තට ම රැගෙන එන්නට සමත් වන්නී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි.


චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ දේශපාලනික ජීවිතය පිළිබ`ද විමසීමේ දී හ`දුනාගත හැකි ප‍්‍රධාන සහ ප‍්‍රබල ලක්ෂණය වන්නේ හුදු බාල ජනප‍්‍රියත්වයෙන් තොර ප‍්‍රතිපත්තිමය දේශපාලනයකට තිබූ කැපවීම යි. එය ජනප‍්‍රියවාදී නොවීය. ඈ කිසිදු විටෙක සිය ප‍්‍රතිපත්ති පාවා දී ජනප‍්‍රිය මාවත වැළ`ද නොගත්තා ය. සෑම විටෙක පක්ෂ ප‍්‍රතිපත්ති ආරක්‍ෂා කර ගනිමින්මාතෘ භූමියේ ප‍්‍රගමනයත් වෙනුවෙන් සිය ජීවිතය කැප කළා ය. ඇතැම් අවස්ථාවල පක්ෂ ක‍්‍රියාකාරීත්වය විසින් පක්ෂ ප‍්‍රතිපත්ති හා මාතෘභූමියේ ප‍්‍රගමනයට හානිකර දේ සිදු කරන විට ඈ ඒවා සුරක්‍ෂිත කර ගැනීම වෙනුවෙන් සටන් කළා ය.


ඒ නිසාම බොහෝ නින්දාඅපහාස හා අවලාදවලට ලක් වීමට ඇයට සිදු විය. එහෙත් ඒ කිසිවක් නිසා තම ප‍්‍රතිපත්ති පාවා දීමට කටයුතු නොකිරීම චන්ද්‍රිකාගේ අප‍්‍රමාණ පෞරුෂය හෙළි කරන කැටපතකි.


චන්ද්‍රිකා ප‍්‍රථම වරට මැතිවරණයක් ස`දහා තරඟ කරන්නේ 1993 මැයි මස පැවැත් වූ බස්නාහිර පළාත් සභා මැතිවරණයට යි. එහි දී වාර්තාගත 86%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබාවසර දාසයකට පසු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ වාමාංශික බලමුළුව ජයග‍්‍රාහී මාවතට ප‍්‍රවිශ්ට කරවීමට ඈ සමත් වන්නී ය.

දේශපාලන නිර්වින්දනයකට ගොදුරු වී සිටි පක්ෂය කූද්දවාඅපේක්ෂා භංගත්වයට පත්ව සිටි මෙරට පොදු ජනතාව තුළ යළි අපේක්ෂාවේ පහන් සිළ දල්වන්නට ඇගේ නායකත්වයසමත් විය.


දේශපාලන ආඥාදායකත්වයෙන් සහ අන්ත ධනේෂ්වර සමාජ ආර්ථික ප‍්‍රතිපත්තිවලින් අසහනයට පත්ව සිටි ජනතාවක්දේශපාලන බලලෝභී අරමුණු මුදුන් පත් කර ගැනීම වෙනුවෙන් නිමක් නොමැති යුද්ධයකට තල්ලූ කර දමා තිබුණු දේශයක් ගොඩනැ`ගීමේ වගකීම ඈ වෙත පැවරී තිබුණි.

චන්ද්‍රිකා 1994 දී භාර ගත්තේ දෙකොන ගිනිගත් විලක්කුවක් බ`දු දේශයකි. පෙර පාලනයේ මර්දනය සහ ආඥාදායක පාලනය නිසා උතුරේ සහ දකුණේ තරුණ කොටස් තම දේශපාලනිකආර්ථිකසමාජීය සහ සංස්කෘතික අවශ්‍යතා වෙනුවෙන් අවස්ථා දෙකක දී කැරලි දෙකක් ආරම්භ කර තිබුණි. දකුණේ තරුණ කොටස් විසින් සිදු කළ කැරැල්ල මර්දනය කර තිබුණ දඒ වන විට උගත් තරුණ තරුණියන් ලක්ෂයකට ආසන්න ප‍්‍රමාණයක් ඝාතනය කර හෝ අතුරුදහන් ව තිිබිණි. උතුරේ දෙමළ තරුණ ප‍්‍රජාව තුළින් ඇති වූ කැරැල්ල ත‍්‍රස්තවාදී යුද්ධයක් දක්වා වර්ධනය වී තිබුණි.

මේ මිලේච්ඡ මර්දනකාරී පාලනය නිසා ජාත්‍යන්තරය තුළ ද ශ‍්‍රී ලංකාව කෙරෙහි පැවතියේ ඍණාත්මක ආකල්පයකි. ජාත්‍යන්තරය තුළ ශ‍්‍රී ලංකාව හ`දුනාගනු ලැබුවේ මිනී කන්නන්ගේ දේශය යන අන්වර්ථ නාමයෙනි. මේ සියලූ අභියෝගවලට මුහුණ දීමට චන්ද්‍රිකාට සිදු විය. 


චන්ද්‍රිකාගේ ආගමනය මෙරට පොදු ජනතාවට දේශය පිළිබ`තරුණ පරපුරේ අනාගතය පිළිබ`ද සුබවාදී අපේක්ෂා රාශියක් ජනිත කරවීමට සමත් විය. එම අපේක්ෂාවන්ගේ ගැඹුර වැඩි වන තරමට මෙරට රාජ්‍ය නායිකාව ලෙස ඇයගේ වගකීම් පරිමාව ද ඉහළ ගියේ ය. මෙරට පමණක් නොව ජාත්‍යන්තර ප‍්‍රජාව පවා ‘‘චන්ද්‍රිකා දර්ශනය’’කොතෙක් දුරටඑම අභියෝග ජයග‍්‍රහණය කිරීමෙහිලා සාර්ථක ප‍්‍රවේශයක් වන්නේදැයි දෑස් දල්වා බලා සිටියහ.


මෑත ඉතිහාසයේ අතිශය අර්බුදකාරී වකවානුවක මෙරට දේශපාලනයේ ඉතාම සංකීර්ණ සංයුතියක් සහිත ආණ්ඩුවක් ඉතා සීරුවෙන් මෙහෙයවීමට ඇයට සිදු විය. 

පොදු ජන එක්සත් පෙරමුණේ ජයග‍්‍රහණයඅර්බුදයේ සහ අස්ථාවරත්වයේ කළලය ද සිය ගැබෙහි හුවා ගත් ජයග‍්‍රහණයක් විය. එහෙත් ඇය  විවිධත්වය මැද එක්සත් බව’’ පවත්වා ගනිමින් රාජ්‍ය පාලනයේ නියුතු වූවා ය.


මෑත දේශපාලන ඉතිහාසයේ නායිකාවක ලෙස චන්ද්‍රිකා පෙන්වූ නම්‍යශීලීත්වය වරෙක වාසිසහගත වුව ද තවත් අවස්ථාවක අතිශය සංකීර්ණ ගැටලූ ඇති කිරීමට හේතු විය. ඒඇයගේ නම්‍යශීලීත්වයේ ගැටලූවක් නිසා නොවමෙරට ඇතැම් දේශපාලන නායකයින් ගෝත‍්‍රවාදී ආකල්පයන්ගෙන් මිදී පරිණතභාවයට පත්ව නොසිටි බැවිනි.

බණ්ඩාරනායකවරු ‘‘මැද මාවතේ’’ නිර්මාණකරුවෝ ය. චන්ද්‍රිකා ද මෙරට ආර්ථිකදේශපාලනිකසමාජීය යන සෑම ක්ෂේත‍්‍රයකම ගැටලූ වලට මැද මාවතේ විස`දුම් පිළිබ`ද උද්යෝගිමත් වූවා ය. 

1960 දී දරු තිදෙනාට පමණක් නොවඅනාථ වූ මුළු මහත් ජාතියටම මවක් වෙමින්සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අවදානමෙන් පිරුණු දේශපාලන ගොහොරු බිමට එළඹමෙරට පොදු ජන ව්‍යාපාරයට නායකත්වය ලබා දුන්නේ යම් සේ දඊට වඩා බොහෝ සංකීර්ණතා සහ අවදානම් ගහන පරිසරයක් තුළ, 1994 දී චන්ද්‍රිකා මෙරට පොදු ජන ව්‍යාපාරයට නායකත්වය ගත්තීසියලූ දුක්ඛ දුර්බෝජන වළ`දමින් අතිශය සංකීර්ණමෙන්ම කටුක සහ භයංකර මාවතක් ඔස්සේ ය. 

 

අද අැය සිය 79 වන දිවි ගමන පසුකරමින් සිටින්නී ය. එහෙත් අදට ද මෙරට දේශපාලනයේ සුළං හමන අත අවබෝධකර ගැනීමෙහිලා චන්ද්‍රිකා දර්ශනය අතිශය තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරනු ලබන බව අවිවාදිත ය. 


මෙරට දේශපාලනයේ ක්‍රම වෙනසක් කෙරෙහි අපේකෂාවක් සහිත ව ඒ වෙනුවෙන් අලුත් නායකයන් පරම්පරාවක් කෙරෙහි විශ්වාසය තබා ගනිමින් ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටින්නීය. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රජාතන්ත්‍රකරණයට යොමුකරවීමෙහිලා යම් සාර්ථක උත්සාහයක් ඇය විසින් ගනු ලැබුවද, ඊට වඩා බරපතල වගකීමක් ඇය කර මත වැටී තිබේ. නැවත වරක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නැමති නිදා සිටින යොධයා අවදි කළ හැකි එක ම චරිතය වනාහී චන්ද්‍රිකා ම මිස අනිකෙකු නොවේ. බිම්ඇ මට්යටමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ නිද්‍රාශීලීත්වය පළවා හැරිය හැක්කේ ද ඇයට ම පමණි. 



 තරිඳු තොටවත්ත





Sunday, June 16, 2024

 විමල්,දිලිත් සහ සර්ව ජනබලය


දිලිත් ජයවීරගේ මව්බිම ජනතා පක්ෂය පසුගියදා විමල්,ගම්මන්පිල,ගෙවිඳු,චන්න,වාසු සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එක්ක එකතු වෙලා සර්ව ජනබලය බලය නමින් සන්ධානයක් පිහිටවා ගත්තා.සන්ධානය පිහිටවලා පැය 24 ක් යන්න ඉස්සෙල්ලා දිලිත්ගේ මව්බිම ජනතා පක්ෂයට තමන්ගේ පක්ෂයේ සභාපති ආචාර්ය සරත් අමුණුගම අහිමිවුනා.


සර්වජන බලය සන්ධානය ජූනි 18 වෙනිදා නුගේගොඩදී රැළියක් තියන්න සුදානම් වෙනවා. එයාලා කියන්නේගේ 69 ලක්ෂයේ බලාපොරොත්තු යලිත් බලගන්වන්න ජූනි 18 වෙනිදා සවස දෙකට නුගේගොඩට එන්න කියලයි. 69 ලක්ෂයේ ජනවරම බලගන්වන්න ආයෙත් මහතීර් මොහොමඞ් කෙනෙක් සහ විලැද්මීර් පුටින් කෙනෙක් ගේන්නයි විමල්ලා හදන්නේ. කොහොම උනත් විමල්ලා,ගම්මපිලලා දිලිත්ගේ කරේ නැගලා ගහන්න හදන මේ වංගුව ගැන රටට කියන්න ඕනි.


ඒක කියන්න රටේ රාළ විමල්ගේ ඉතිහාසයෙන් උදාහරණ කීපයක් ගන්නවා.2010 ජනාධිපතිවරණයෙන් පස්සේ ජාතික නිදහස් පෙරමුණ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව නියෝජනය කළා.හැබැයි 2013 වෙනකොට රාජපක්ෂ ආණ්ඩුව සහ ජානීපෙය අතර මතවාදී ගැටුමක් නිර්මාණය වුනා.ඒ මතවාදී අර්බුදය ඉස්සරහා ඊට සමාන මතයක් දරපු ජාතික හෙල උරුමයත් එක්ක ජානීපෙය එකට විවිධ ක්‍රියාමාර්ග ගත්තා.ඒකාබද්ධ මාධ්‍ය සාකච්චා,බිම් මට්ටමේ ඒකාබද්ධ රැස්වීම් සහ පක්ෂ දෙක වෙන වෙනමත් ක්‍රියාමාර්ග තේරුවා. 


එදා ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් විදිහට හිටියේ රටේ රාළ.රටේ රාළ මේ ඒකාබද්ධ රැස්වීම් සම්බන්ධීකරණය කරන්න ජානීපෙ පැත්තෙන් සම්බන්ධ වුනා.ජාතික හෙළ උරුමය පැත්තෙන් සම්බන්ධ උනේ ආචාර්ය අනුරුද්ධ ප්‍රදීප්.ඒ වෙනකොට පාඨළී,රතන සහ ගම්මන්පිලා හිටියේ එකට,එකම පක්ෂයේ.කොහොම හරි මහින්දගේ ආණ්ඩුවට අභියෝග කරමින් ජාතික නිදහස් පෙරමුණ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දැවැන්ත විරෝධතා රැස්වීමක් කළා.


එතනදී මහින්දගේ ආණ්ඩුවට ජනිපෙන් යෝජනා 12 ක් ඉදිරිපත් කළා.ඒ යෝජනා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉෂ්ඨ කරන්නේ නැත්තම් ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවෙන් අයින් වෙන බව විමල් එදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී කරපු කතාවේදී කිව්වා.මේ විරෝධතාවයත් එක්ක ජනාධිපති මහින්ද ජාතික නිදහස් පෙරමුණට සාකච්ඡාවක් දුන්නා.ඒ සාකච්ඡාවට විමලුත්,පක්ෂ ප්‍රධාන ලේකම් සහ වීර කුමාර දිසානයක හරි පියසිරි විජේනායක හරි සම්බන්ධ වුනා.


ඒ සාකච්ඡාව අතරතුර විමල් හරි අපූරු කතාවක් මහින්දට කිව්වා.විමල් කිව්වේ අපි තව ටිකක් මෙහෙම ගිහින් ආපහු හැරෙනවා.චම්පික එතනදී එලියට යනවා.මමයි,ගම්මන්පිලයි හැරිලා එනවා කියලා විමල් මහින්දට කිව්වා.ඒ සාකච්ඡාව ගිය අනිත් සඟයා එක්ක පක්ෂ ලේකම් මුහුණට මුහුණ බලාගත්තා.ඇත්තටම ඒක දැවැත්ත පාවාදීමක්.එකට අරගල කරපු කණ්ඩායම පාවා දුන්නා විතරක් නෙවෙයි එතන හිටපු කෙනෙකුත් ගලවලා මහින්දට ගිහින් දුන්නා.


ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්‌ඩලය සහ විමල් අතර ගැටුම ආරම්භ වෙන්නේ එතනින්. ඒ වගේම විමල් දැඩි ලෙස හිටිය ස්ථාවරයක් තමයි කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ විමල්ගේ බූදලයක් කියලා.විමල් තමයි ඇත්තටම කොළඹ දිස්ත්‍රික් ඡන්ද පදනම වේගයෙන් ආක්‍රමණය කළේ. විමල් සරත් වීරසේකරට පරදිනකම්ම ජානීපේ සංවිධාන ජාලයට කොළඹ දිස්ත්‍රික් ඡන්ද පදනම ආරක්ෂා කරන්න පුළුවන් වුනා.


මුලදී ඒක කරන්න විමල් ළඟ හොඳ කාඩර්ලා සහ හොඳ බහුජන චරිත හිටියා.අචල ජාගොඩ,රොජර් සෙනෙවිරත්න කියන්නේ එහෙම බහුජන චරිත දෙකක්.ඊට අමතරව මොහොමඩ් මුසාමිල් සහ ප්‍රියංගා කොතලාවලත් හිටියා,හැබැයි විමල් කවදාවත් කොළඹ දිස්ත්‍රික්කයෙන් එයාලට අවස්ථාව දුන්නේ නෑ.ජාගොඩට කොළඹ ලයිස්තුව නොදී විමල් ජාගොඩව ජාතික ලයිස්තුවට දැම්මා. ඒ වෙනකොටත් විමල් එක්ක පාර්ලිමේන්තු යන්න පුළුවන්කම තිබුණ රොජර්ට විමල් කවදාවත් පාර්ලිමේන්තු අවස්ථාවක් දුන්නේ නෑ.


රොජර් දැමීමෙන් විමල්ට කොළඹ දිස්ත්‍රික්කයේ පළවෙනියා වෙන්න බැරි වෙයි කියන සැකය විමල්ට දිගටම තිබුණා.අවසානයේදී රොජර්ට දාපු කැපිලි නිසා රොජර් පක්ෂය දාලා ගියා.රොජර් ලයිස්තුවට දාගත්තොත් කොළඹ පළවෙනියා වෙන්න බෑ කියලා හිතපු විමල්ට රොජර් නැති ලයිස්තුවකදී සරත් වීරසේකරට දෙවෙනි වෙන්න සිද්ධ වුනා.විමල් මහ මැතිවරණයකදී හැසිරෙන විදිහ ගැන ජානීපේ දේශපාලන මණ්ඩලයේ හිටපු අයට හොඳ අවබෝධයක් තියනවා.විමල්ලා මේ සන්ධානය හදන්නෙත් මහ මැතිවරණයක් ඉලක්ක කරගෙන.ගොඩක් දුරට රටේ රාළ කියන අද්දැකීම මේ සන්ධානයේ අයටත් ගන්න එදාට පුළුවන් වෙයි.


විමල් ජාතිවාදියෙක් කියලා රටේ රාළ කියන්නේ හේතු ඇතිවයි.එක වෙලාවකට උතුරු හා නැගෙනහිර පලාත්ද ඇතුළුව රටේ සියලුම දිස්ත්‍රික්ක ආවාරණය කරමින් දේශප්‍රේමී දමිල ව්‍යාපාරය නමින් දමිල ප්‍රජාව සම්බන්ධ කරගත්ත දේශපාලන ව්‍යාපාරයක් ජනිපෙන් ගොඩනැගුවා. ඒක ජානීපෙ ප්‍රධාන ලේකම් යටතේ ගොඩනැගුනු සංවිධානයක්.2013 ජානිපෙ මැයි රැලියටත් දේශප්‍රේමී දමිල ව්‍යාපාරයය නියෝජනය කරමින් උතුරු සහ නැගෙනහිර පලාත්වල දමිල සහෝදර,සහෝදරියන් සහභාගී වුනා.


විමල් එක්ක ඒ සංවිධාන කැඳවපු පළවෙනි දවසේම ඒ සංවිධාන ජානිපෙයට අහිමිවුනා. පක්ෂයත් එක්ක අවුරුද්දක වැඩි කාලයක් ඉතා කිට්ටුවෙන් ගනුදෙනු කරපු ඒ අය විමල් එක්ක ගත්ත පළවෙනි රැස්වීමේදී විමල්ගේ ආරක්ෂකයෝ යොදලා දැඩි පරීක්ෂාවකට ලක් කළා.එයාලා පක්ෂයේවීමට වඩා දෙමලවීමේ සැකය විමල්ට තිබුණා.ඇත්තටම කිසිකෙනෙක් නොහිතපු,යුද්ධය ඉවර වෙලා අවුරුදු හතරකට පස්සේ ඒ කරපු හිත් රිදවීමෙන් ඒ දෙමල සහෝදරවරු දැඩි කලකිරීමට පත්වෙලා පක්ෂය අතැරලා ගියා.


එතනින් ඒ සංවිධානය අභාවයට ගියා.ඒ වගේම 2016 වර්ෂයේදී මහින්ද සහ මෛත්‍රී එකතු කිරීමේ යෝජනාවක් ජානිපෙ දේශපාලන මණ්ඩලයේ සම්මත වුනා.යෝජනාව උනේ මහින්ද සහ මෛත්‍රී එකතු කිරීමේ වැඩිම වැඩ කොටස කරපු පක්ෂය බවට ජානීපෙ පත්විය යුතුයි කියලයි.ඒ අනුව මහින්ද සහ මෛත්‍රී එකතු කිරීමේ සාකච්ඡාව ඒ දෙන්නත් එක්ක වෙන වෙනම පැවැත්වුනා.මෛත්‍රී එක්ක සාකච්ඡා වට එකොලහක් තිබ්බා.විමල් සාකච්ඡා හතකට සහභාගී වුනා.


අනිත් සාකච්ඡාවකට විමල්ට සහභාගී වෙන්න බැරි වෙන්නේ විමල් ඇතුලට ගිය හින්දයි.මේ සාකච්ඡා මෙහෙම යද්දී බැසිල් ලංකාවට ඇවිත් පොදුජන පෙරමුණේ කටයුතු පටන් ගත්තා.මුලදී බැසිල් සහ විමල් අතර අමනාපයක් තිබුණත් ටික දවසකින් විමල් සහ බැසිල් හොඳම යාළුවෝ වුනා. එතනදී තමයි රාජපක්ෂලා විමල්ට ලණුව දුන්නේ. එයාලා විමල්ට හැදුවේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක කියන සිහිනය.විමල් ඒ ලණුව කෑවා. 


රාජපක්ෂලාගේ ලණුව කාලා විමල් පොහොට්ටුවේ ජාතික සංවිධායකමට ඇඳගෙන හිටියා.එතනදී විමල් මහින්ද,මෛත්‍රී එකතු කරන සාකච්ඡාව පයින් ගහලා පොහොට්ටුවේ ජාතික සංවිධායකකම වෙනුවෙන් බැසිල්ලා එක්ක ශ්‍රිලනිපය දෙකඩ කිරීමේ වැඩේට හවුල්වුනා. ඉදියානු කොන්ග්‍රසය කඩලා ඉන්දිරා කොන්ග්‍රසය හදුවා වගේ ශ්‍රිලනිප කඩලා පොහොට්ටුව හදන්න ඕනි කියලයි එදා විමල්ට උපදෙස් දෙන න්‍යායාචාර්ය තෙමේ කිව්වේ.


රටේ රාළ කියන්නේ මේවා සියල්ල විමල්ගේ තනි වැරදි නෙවෙයි කියලයි.විමල් පිටිපස්සේ හිටපු දුෂ්ඨ බලවේග එයාලට ඕනි තැනට විමල් මෙහෙව්වා.එයාලට ඕනිදේ වෙනුවෙන් විමල්ගේ කට පාවිච්චි කළා.විමල් කියන්නේ ඉන්න පරිසරය අනුව වෙනස් වෙන දේශපාලන සත්වයෙක්.විමල් ඉන්නේ සාත්තරකාරයෝ ටිකක් එක්ක නං විමලුත් නියම සාත්තරකාරයෙක්.විමල් ඉන්නේ හෞතිකවාදියෝ සෙට් එකක් එක්ක නං විමල් මාක්ස්ටත් වඩා භෞතිකවාදියෙක්.


විමල් ඉන්නේ විඥානවාදීන් එක්ක නං විමල් තරං විඥානවාදියෙක් ලොවෙත් නෑ.හැබැයි විමල් එක්ක හැමදාම ඉන්න සෙට් එකක් හිටියා.ඒ විමල් එක්ක ඉන්න ජාතිවාදී න්‍යායාචාර්යවරු සෙට් එක,ඊළගට විමල් වටේට ක්‍රියාත්මක වෙන ඔත්තු සේවා ජාලය සහ විමල් වටේ ඉන්න ව්‍යාපාරික ජාලය.විමල් යොයපු සල්ලි ආයෝජනය කරලා තියන්නේ ඒ අය හරහා.මේ අයගේ ග්‍රහණයෙන් විමල් බේරගන්න එදා ජානීපෙ දේශපාලන මණ්ඩලය දැවැන්ත අරගලයක් කළා.


ඒ ගැන අද දිලිත් එක්ක එකතු වෙලා,විමල්ට පිටිපස්සේ පේලියේ ඉඳගෙන ඉන්න පියසිරි විජේනායක සහෝදරයා A to Z දන්නවා.විමල් දැන් ව්‍යවසායකයෙක් එක්ක ඉන්න හින්දා ව්‍යවසායකයන් විදිහට හිතයි කියලා රටේ රාළගේ තර්කයට අනුව කාටහරි හිතන්න පුළුවන්.හැබැයි ඒක වෙන්න නං රටේ රාළ කියන අර කණ්ඩායමෙන් විමල්ව ගලවගන්න ඕනි.ඊට ඉස්සෙල්ලා දිය රෙද්දෙන් දිලිත්ගේ බෙල්ල කපන්න විමල් දන්නවා.


හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට

රටේ රාළ.


Friday, May 17, 2024

 ජයගනු වස් -සහන් තෙන්නකෝන්


ශ්‍රී ලංකාව තිස්‌ අවුරුදු ජනවාර්ගික යුද්ධයකින් යුධමය ජයක් ලබා 13 වසරක් ගතවන තැන, රටක් ලෙස අපි දේශපාලනික, ආර්ථික සහ සමාජීය වශයෙන් ඉතා වැදගත් වූ සංධිස්ථානයකට පැමිණ හිඳිමු. ආර්ථික වශයෙන් බංකොලොත්වූත්, දේශපාලනික වශයෙන් අරාජික වූත්, සමාජීය සහ සාරධර්ම අතින් ජරාජීර්ණවූත් රටක් ලෙස පරිහානියේ මුවදොර සිට තවමත් ඉතිහාසයේ අඳුරු නටබුන් දෙස මාන්නයෙන් බලා ඉඳිමින් සෞභාග්‍යයේ ජයපැන් බොන ජාතියක් ලෙස තවමත් ජාතියක් ලෙස අප සිදුකළ ඓතිහාසික වැරදි පිළිගැනීමට අපි මැලිවී සිටිමු. යුධ ජයග්‍රහණය සමඟින් එතෙක් නිර්මාණය වී තිබූ වාර්ගික සහජීවනය, සාමය, බලය බෙදීම වැනි මාතෘකා යටපත් වී ගොස් යුධකාමය විසින් නිර්මාණය කරන්නට යෙදුනු බොල් දේශප්‍රේමීත්වයත්, ව්‍යාජ බහුතරවාදී ආගමික උන්මාදයත්, ජනප්‍රියවාදී අන්ත ජාති(ක)වාදී දේශපාලන රැල්ලත් විසින් වාර්ගික අර්බුදයකින් බැට කෑ රටකට අත්‍යවශ්‍යම ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම අඩපණ කොට මරාදැමීමේ ආදීනව ජාතියක් ලෙසින් මේ මොහොතේත් අපි අත්විඳිමින් සිටිමු.



යුද්ධයෙන් පසු එවකට රජය සිදුකරන ලද විශාලතම වැරැද්ද වූයේ සංවර්ධන ව්‍යායාමය කෙරෙහි මෙම සත්‍යය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ තිබූ වැදගත්කම අවබෝධකර නොගැනීමයි. එසේ අවබෝධ කරගැනීමට තරම් ශක්‍යතාවයක් තිබූ නායකයන් එහි නොසිටීමත්, අසීමිත බලයක් එම රෙජීමය වටා ගොනුවීමත් සමඟ මෙය තවදුරටත් තීව්‍ර වූ අතර 'උතුරු වසන්තය' වැනි ව්‍යාපෘති හරහා එම ප්‍රදේශවල භෞතික සංවර්ධනයක්‌ සිදුවුවත් ඒවා ඵලදායී නොවීය. මෙහිදී ජනවාර්ගික ගැටළුවට බලපෑ සැබෑ හේතුසාධක අවබෝධ කරගැනීමට එසමයේ පැවතී ආණ්ඩු අසමත් වූ අතර පැවති සංවර්ධන විෂමතාවයන් යුද්ධයට බලපෑ එක් හේතුවක් පමණක් මිස එයට තුඩුදුන් මුඛ්‍ය කාරණය නොවන බව  අවබෝධ කරගැනීමට කිසිවෙකුහෝ සමත්වූයේ නැත.  එසේ යම්දුරකට හෝ ජනවාර්ගික අර්බුදයක දෘෂ්ටිකෝණයෙන් එදෙස බැලීමට සහ ක්‍රියාකිරීමට කටයුතු කළේ කුමාරතුංග රජය (1994-2005) පමණි. එයට බලපෑ තවත් එක් හේතුවක්‌ වන්නේ තෙවන ධාරාවේ දේශපාලන අවකාශයද ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය වැනි වර්ගවාදී දේශපාලන ව්‍යාපාරවල බලපෑමට යටත්ව පැවතීමයි.

එහෙයින් යුද්ධයෙන් පසුව රට සංවර්ධිත දේශයක්‌ බවට පරිවර්තනය කිරීමේ ස්වර්ණමය අවස්ථාව මගහැරි යාමට තවත් එක් ප්‍රධාන හේතුවක් නම් එයින් පසු බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම මෙම ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට අපොහොසත් වීමයි. 



සුවපත් නොවන තුවාල සහිත ජාතියක් ලෙස කොතෙක් නැගී සිටීමට උත්සාහ කළත් එය සාර්ථක වන්නේ නැත. අදත් අපි ජාතියක් ලෙස තුවාල සුවකිරීමට කටයුතු කරනවා වෙනුවට ඒ තුවාල පෑරීමට කටයුතු කරමින් සිටියි. ජනවාර්ගික ගැටළුව දෙස විවෘත මනසකින් බැලීම වෙනුවට අදටත් එය එක් ප්‍රජාවකගේ ප්‍රශ්නයක් ලෙස බලමින් එයට පැලැස්තර ඇලවීමට ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටියි. විශේෂයෙන්ම මෙවැනි මැතිවරණ වකවානුවලදී ජනවාර්ගික ප්‍රශ්නය ඉස්මතු කොට ඡන්දය ඩැහැගැනීමට බොහෝ පාර්ශව ඉතා උනන්දුවක් දැක්වූවත් ඔවුන් තුළ මෙම ගැටළුවට දේශපාලනික විසඳුමක් ලබාදීමට අරමුණක් නැත. මගේ පෞද්ගලික මතය වන්නේ, වඩාත් විවෘත සහ පුළුල් සාකච්ඡාවන්වලින් අත්පත්කරගන්නා අවබෝධයකින් පසු සිදුකරන බලය බෙදීමකින්, එම පාර්ශවවලට අවශ්‍යකරන 'සැබෑ' මානුෂීය සහ දේශපාලන 

පිළිගැනීම /අයිතිවාසිකම් ලබාදීම තුළ පමණක් ඇතිවන පිබිදීම තුළින් ජාතියක් ලෙස සංවර්ධන අරමුණු වේගවත්ව අත්කරගැනීමට හැකිවනු ඇතිබවයි.



ජාතියක් ලෙස අපි අපිට විවෘත වී වැරදි නිවැරදි කරගන්නා තුරු සමරන්නට කිසිවක් අපි අත්කරගෙන නැත.


Friday, May 3, 2024




 ශ්‍රීලනිප අර්බුදයේ පසුබිම සහ පාක්ෂික වගකීම:-


ජාතික දේශපාලනයේ පමණක් නොව ලෝක දේශපාලනයේ ද ස්වර්ණමය සලකුණු තබමින් 1960 දී ලෝකයේ පළමු අගමැතිනියත්, 1994 දී ලෝකයේ පළමු විධායක ජනාධිපතිනියත් බිහි කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ බඩගෝස්තරවාදී කල්ලිය විසින් අදවන විට එම පක්ෂය බරපතල අර්බුදයකට ලක්කර තිබේ. පක්ෂයේ සිදුව ඇති සහ සිදුවෙමින් පවතින විවිධ සිදුවීම් පිළිබඳව පාක්ෂකයින් තුළ ඇත්තේ විචිකිච්ඡාවකි.


පක්ෂ ව්‍යවස්ථාවේ 12(01) ii (ඈ) උප වගන්තිය අනුව අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගිය 2019 නොවැම්බර් 18 දිනට පසු ඔහු පක්ෂයේ අනුශාසකවරයෙකු වන අතර වෙනත් සුදුස්සෙකු පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර ගැනීමට පක්ෂ විධායක සභාවට ඉඩ ලබාදිය යුතු ය. එහෙත් විධායක සභා රැස්වීමක් නොපවත්වා වසරකටත් වැඩි කාලයක් වංචනික ලෙස පක්ෂ සභාපති පදවිය දැරූ ඔහු 2021 පෙබරවාරි 25 වන දින ගාලු මුවදොර හෝටලයේ දිවා භෝජන සංග්‍රහයක් පවත්වා, එය පක්ෂයේ විධායක සභා රැස්වීමක් බව කියමින් යළි සභාපති පදවියට පත් වූ බව රටට පැවසීය. එකී විධායක සභා රැස්වීම සහ එහිදී සිදු කරන ලද බව කියන ඔහුගේ පත්වීම ද පක්ෂ ව්‍යවස්ථාවට පටහැණි බව මම ඔහුටත්, පක්ෂ ලේකම්වරයාටත් ලිඛිතව දැනුම් දුනිමි. ඔවුහු එකී දැනුමුදීම පිළිබඳ කිසිදු සැලකිල්ලලක් නොදැක්වූ බැවින් පක්ෂය බේරා ගැනීම සඳහා මට අධිකරණයේ පිහිට පැතීමට සිදුවිය. ඊට අදාළව 2024/04/24 දින සිට මගේ එම නඩුව විමසා අවසන් වන තුරු සිරිසේන මහතාට පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම තහනම් කරමින් ගරු අධිකරණය විසින් වාරණ නියෝගයක් පනවන ලදී.


පක්ෂයේ සභාපති ධුරය ඩැහැ ගැනීමට කුමන්ත්‍රණය කළ බව පවසමින් 2023 සැප්තැම්බර් 05 වන දින සිරිසේන මහතා විසින් පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන ලදී. සිරිසේන මහතාගේ එම තීරණයට එරෙහිව වාරණ නියෝගයක් ඉල්ලා දයාසිරි මහතා අධිකරණයට ගිය ද, අධිකරණය විසින් ඔහුගේ එම ඉල්ලීම ප්‍රතික්ෂෙප කර තිබුණි. ඉන් පසු සිරිසේන මහතා විසින් “තමන්ට රිසි පරිදි නැටවිය හැකි පොඩියන් කෙනෙකු“  වූ නීතිඥ සාරථී දුෂ්මන්ත මහතා පක්ෂයේ වැඩබලන ලේකම්වරයා ලෙස පත්කර තිබුණි.


ඒ වන විට පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් පසුගිය මාර්තු 30 දින පක්ෂයේ රැස්වීමක් කැඳවා තිබුණි. ඔහු ඇතුළු කිහිප දෙනෙක් එය පක්ෂයේ විධායක සභා රැස්වීමක් ලෙස හඳුන්වා තිබුණි. පක්ෂ ව්‍යවස්ථාවේ 11 වන වගන්තියෙහි පක්ෂයේ විධායක සභාවට අයත් වන්නන් පැහැදිලිව සඳහන් කර තිබේ. ඉහත කී පක්ෂයේ රැස්වීම කැඳවීමේ ලිපියෙන් විධායක සභාවට අයත් නොවන පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරුන් ද ඊට කැඳවා තිබූ හෙයින් එය පක්ෂ ව්‍යවස්ථානුකූලව විධායක සභා රැස්වීමක් නොවේ. එමෙන් ම විශේෂ දේශනයක් සදහා යයි කියමින් වෙනත් පක්ෂයක සාමාජිකයෙකු වන කැබිනට් ඇමතිවරයෙකු ද ඊට කැදවා තිබුණි. විධායක සභාවට අයත් නොවන අයෙකු ද එහි සිටි හෙයින් පක්ෂයට වැදගත් වන කිසිදු තීරණයක් එම රැස්වීමේ දී ගැනීම නීත්‍යානුකූල නොවේ. එහෙත් එම රැස්වීමේ දී තීරණය කළ බව කියමින් පක්ෂයේ ජ්‍යෙෂ්ට උපසභාපතිවරයකු, ජාතික සංවිධායක සහ භාණ්ඩාගාරිකවරයා ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කොට, වෙනත් තිදෙනෙකු එම තනතුරු සඳහා පත්කර තිබේ. 


මෙම ක්‍රියාව කිහිප අතකින් ම පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. පක්ෂ ව්‍යවස්ථාවට එරෙහි මෙම ද්වේෂ සහගත ඉවත් කිරීම බල රහිතකරමින් කොළඹ දිසා අධිකරණය විසින් අප්‍රේල්  01 දින වාරණ නියෝගයක් ලබා දී ඇත. ඒ අනුව අදාළ රැස්වීමේ දී අලුතින් ඒ තනතුරු සඳහා පත්කරන ලද තිදෙනාගේ තනතුරු ද අහෝසි වෙයි. එමෙන් ම කොළඹ දිසා අධිකරණය විසින් සිරිසේන මහතා පක්ෂ සභාපති පදවියේ කටයුතු කිරීම වළක්වමින් අප්‍රේල් 04 දින වාරණ නියෝගයක් ලබා දී ඇත.


එවන් අවස්ථාවක පක්ෂය කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ පක්ෂ ව්‍යවස්ථාවේ පැහැදිලි සටහනක් නොමැති නිසා දේශපාලන මණ්ඩලය රැස් කර, සුදුසු තීරණ ගැනීම සඳහා සාමාන්‍ය සම්ප්‍රදාය අනුව පක්ෂයේ ජ්‍යේෂඨතම උපසභාපතිවරයා විසින් වහාම දේශපාලන මණ්ඩලය රැස් කරන ලෙස වැඩ බැලූ ලෙකම්වරයාට ලිඛිතව උපදෙස් ලබා දී තිබේ. එහෙත් වැඩ බැලූ ලේකම්වරයා එකී උපදෙස් ප්‍රතික්ෂේප කරමින් දේශපාලන මණ්ඩලය කැඳවන්නේ අවුරුද්දට කැවුම් කොකිස් බැදීමට දැයි විමසූ බවක් දැනගන්නට ලැබුණි. මා දන්නා තරමින් නම් මෙවන් තකතීරු, උද්දච්ඡ ලේකම්වරයෙකු පක්ෂ ඉතිහාසයේ කෙදිනකවත් සිට නැත. නීතිඥයෙකු බව කියන මොහුගේ මෙම හැසීරීම ඔහුගේ දේශපාලන උපත පිළිබද ගැටළුවක් බව මගේ හැඟීමයි.


වැඩ බැලූ ලේකම්වරයා සැබෑ ලෙසම පක්ෂයට ආදරය කරන පක්ෂය රැක ගැනීමට කැපවූ සැබෑ ශ්‍රී ලංකා කාරයෙකු වූයේ නම් පක්ෂයේ ව්‍යවස්ථානූකූලව ඇති වී තිබෙන ගැටළුව විසඳා ගැනීමට පක්ෂයේ ජේ‍්‍යෂ්ටතම උපසභාපතිවරයා දුන් උපදෙස් පිළිගත යුතුව තිබුණි. තමන්ට ලැබුණු උපදෙස් පිළිබඳව එතුමන් සමග සාකච්ඡා නොකොට දේශපාලන බඩගෝස්තරවාදීන් වට කරගෙන “පඩෂෝ “පෙන්වීමට නොයා යුතුව තිබුණි.


ආණ්ඩුවේ ඇමතිකම් දරන්නේ යැයි කියමින් පක්ෂයේ ජේ‍යෂ්ට නිලධාරීන් තිදෙනෙකු ඔවුන්ගේ නිලයන්ගෙන් ඉවත්කළ සිරිසේන කල්ලිය පසුගිය 21 වන දින යළිත් පක්ෂයේ ව්‍යවස්ථානුකූල නොවන රැස්වීමක් කැඳවා වෙනත් පක්ෂයක සාමාජිකයෙකු වන කැබිනට් අමාත්‍යවරයෙකු පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කරගෙන තිබේ. මෙම රැස්වීම ද පක්ෂ ව්‍යවස්ථාවේ 11 වන වගන්තියේ සඳහන් ව්‍යවස්ථානුකූල විධායක සභිකයන්ගේ රැස්වීමක් නොවූ අතර එය කැඳවා තිබූ ආකාරය ද අනීතික විය. එපමණක් නොව පක්ෂයේ කිසිම තනතුරක් සඳහා වැඩ බැලීමට කෙනෙකු පත් කිරීමට ද විධායක සභාවට බලය නැත. ව්‍යවස්ථානූකූලව එම බලය පවතින්නේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ය. ඒ අනුව සිරිසේන-විජේදාස කල්ලියේ මේ සමස්ත ක්‍රියාවලිය ම පක්ෂයේ ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවක් වෙයි. මෙය මෙම කල්ලියේ නිරුවත් බව සහ බංකොලොත් බව රටට කියාපෑමකි. මුළුමණින්ම පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සහ සදාචාර විරරෝධීව සිදු කර ඇති මෙම පත්කිරීම්වල විපාක ඉතා ඉක්මණින් ඔවුන්ට විඳින්නට සිදු වනු ඇත.


2020 මහා මැතිවරණයේ දී පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පත් වන විජේදාස මන්ත්‍රීවරයා මේ වන විටත් එම පක්ෂයේ සාමාජිකයෙකි. ඔහු එම පක්ෂයෙන් ඉවත් වූයේ නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 99 (12) සහ (13) අනු ව්‍යවස්ථාවන්හි පැහැදිලිවම සඳහන් වන පරිදි ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වෙයි. ඒ අනුව ඔහු තවමත් කැබිනට් මණ්ඩලය නියෝජනය කිරීම ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ඔහු එම පක්ෂයෙන් ඉවත් නොවූයේ නම් ශ්‍රීලනිප ව්‍යවස්ථාවේ 23 (ii) උප වගන්තිය යටතේ ඔහුට ශ්‍රීලනිප සාමාජිකත්වය ලබා ගත නොහැකිය. ඔහු කියන්නේ ශ්‍රීලනිප සාමාජිකත්වය ඔහු නොඉල්ලූ බවත් සිරිසේන මහතා විසින් ඔහු කැඳවා ඔහුට සාමාජිකත්වය පිරිනැමූ බවත් ය. එහෙත් ඔහු එම සාමාජිකත්වය භාරගන්නා විට තමන් වෙනත් පක්ෂයකින් පත් වූ මන්ත්‍රීවරයෙකු බව ඔහු නොදැන සිටියේ යැයි පිළිගත නොහැකිය.  අනෙක් අතට පක්ෂ ව්‍යවස්ථාවේ 27(iv) උපවගන්තියට අනුව ඔහුට පක්ෂයේ සාමාජික අංකයක් සහිතව තනතුරක් භාර ගැනීමට හැකිවන්නේ සභාපතිවරයා විසින් පිරිනමන ලද සාමාජිකත්වයට මාස හයක් සම්පූර්ණ වීමෙන් පසුවය. ඒ අනුව ඔහු චේතනාන්විතවම වරදක් සිදු කර ඇති බව පෙනෙයි. 1951 දී පක්ෂය පිහිට වූ දා පටන් ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද ඉමහත් කීර්තියක් දිනා ඇති ශ්‍රීලනිපයට මෛත්‍රීපාල සිරිසේන වැනි උන්මන්තකයෙකු විසින් සිදු කර ඇති සහ සිදුකරමින් සිටින විනාශය නම් සුළුපටු නොවේ. 


ඒ සියලු තීරණ පක්ෂය හෝ පාක්ෂිකයා ගැන සිතා ගත් තීරණ නොව හුදෙක් එකිනෙකාගේ බඩගෝස්තරවාදය වෙනුවෙන් සිදු කළ ඒවා බව ජනතාව දනිති. මට හිතෙන හැටියට නම් සිරිසේන මහතා උත්සාහ කරන්නේ අධිකරණ ඇමතිවරයාගේ තනතුර අවභාවිත කරමින් පාක්ෂිකයිනුත්, රටේ ජනතාවත් නොමග යවමින් තම බඩගෝස්තරය රැකගැනීමටය. විජේදාස රාජපක්ෂ මහතා සූදානම් වන්නේ දිනුම පැරදුම කුමක් වුවත් ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්ෂකයා වී තමන්ගේ මඩිය තර කර ගැනීමටය. සිරිසේන කල්ලියේ සංවිධායකවරුන් සිතන්නේ සිරිසේන-රාජපක්ෂ එකතුවෙන් තම තමන්ගේ බඩගෝස්තරය හදා ගැනීමටය. මේ සියල්ලෙන් අතරමං වන්නේ අහිංසක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ය.


විජේදාස රාජපක්ෂ පක්ෂයේ වැඩබලන සභාපතිවරයා කිරීමෙන් සිරිසේන කල්ලිය සිදු කර ඇත්තේ 2018 දී මහින්ද රාජපක්ෂ අගමැති කිරීම හා සමාන නීති විරෝධී සහ ජනතා විරෝධි කටයුත්තකි. එය ඔවුන් පක්ෂ ව්‍යවස්ථාව තඹයකටවත් මායිම් නොකරන බවට කරන අනතුරු ඇඟවීමකි. වැරදි පූර්වාදර්ශයකි. තත්ත්වය තවදුරටත් මෙලෙස ඉදිරියට ගියහොත් පාක්ෂිකයින් සිරිසේන දුටුතැන “තූ නොදකින්” කියා මුහුණට කෙළ ගසන දිනය වැඩි ඈතක නොවනු ඇත.


වසලයින් එළවා පක්ෂය නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියේ දී සිදුව ඇති සියලු ක්‍රියාකාරකම් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූල ද යන්න අධිකරණය විසින් තීන්දු කරනු ඇත. තම පියා සමග උරණ වී තම පවුලේ කුඹුරෙහි ගොඩ ගසා තිබූ ගොයම් ගොඩට ගිනි තැබූ බව කියන තකතීරු ග්‍රාමසේවකයෙකුගේ උන්මත්තක තීන්දු නිසා අපේ ආදරණිය පක්ෂය වැනසෙන්නට ඉඩ නොදෙමු. පක්ෂය නැවත ශක්තිමත් කිරීමට අවශ්‍ය සහයෝගය නිමල් සිරිපාල මහතා ප්‍රමුඛ කණ්ඩායමට ලබා දෙමු.


මොන්ටේගු සරච්චන්ද්‍ර

ශ්‍රීලනිප හිටපු විධායක සභික

මනෝවිද්‍යා උපදේශක

Saturday, April 20, 2024

 මෛත්‍රී ශ්‍රිලනිපය උකස් කළාද?


අද (20) ශ්‍රිලනිප මෛත්‍රී පාර්ශවයේ වැඩබලන ලේකම් සාරතී දුෂ්මන්ත අනීතිකව ශ්‍රිලනිප දේශපාලන මණ්ඩලය කියලා එකක් කැඳවලා තිබුණා.ඒ දේශපාලන මණ්ඩලයට දුමින්ද පාර්ශවයේ බොහෝ දෙනෙකුට ආරාධනා කරලා තිබුණේ නෑ.කීපදෙනෙකුට විතරක් කියලා තිබුණා.අද කැඳවපු දේශපාලන මණ්ඩලය නීත්‍යානුකූලයි කියලා පෙන්න ගන්න වෙන්න ඇති.රටේ රාළ කියන දේශපාලන ළමා සොල්දාදුවෝ ටීම් එකක් තමයි එතනත් හිටියේ.


දුෂ්මන්ත මේ කැඳවීම ගැන කියලා තිබුණේ දේශපාලන මණ්ඩලයේ එකොළොස් දෙනෙක් කරපු ඉල්ලීමකට අනුව කැඳවනවා කියලයි.දුමින්ද පාර්ශවට වැඩේ ආරංචි වෙලා එතෙන්ට ගිහින්. නිමල් සිරිපාල පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති විදිහට දේශපාලන මණ්ඩලය කැඳවීම නීති විරෝධී කියලා ලිඛිතව දැනුම් දීලා. දේශපාලන මණ්ඩලය බහුතර කැමැත්තට කැඳවනවා නම් ඊට අයිති සියලු දෙනා කැඳවන්න ඕනි,තමන්ට ඒ ගැන දැනුම්දීමක් කරලා නෑ කියලා දුමින්ද පාර්ශවයේ කීපදෙනෙක් වාචිකව සහ ලිඛිතව දීලා තියනවා.


දුමින්ද පාර්ශව දිගටම තර්ක කරලා තියෙන්නේ මේ කැඳවීම නීති විරෝධී කියලයි.ඒ ගැන වාද විවාද සිද්ධ වෙද්දී එකපාරට සාරති කියලා තියෙන්නේ හෙට ඒ කියන්නේ හෙට (21) පක්ෂ විධායක සභාව කැඳවන්න අවසර දෙන්න කියලයි. ඊට පස්සේ එතන ලොකු කාලගෝට්ටියක් එතන වෙලා.ඒ අස්සේ හරි එහෙනම් හෙට විධායක සභාව කැඳවන එක සම්මතයි කියලා සාරතී නැගිටලා ඇවිත්.නීති විරෝධී කැදවීමක් උනත් එතනදී විධායක සභාව කැදවන්න කියලා විදිමත් අනුමැතියක් හම්බවෙලා නෑ.


සාරතී එක පාරක්  හිටපු කතානායක කරූ ජයසුරිය පාර්තමේන්තුවේ පනතක් වැඩි හඩට සම්මත කලා වගේ මේකත් වැඩි හඩට අනුව සම්මත කරලා. පාර්ලිමේන්තුව නම් අර්බුදයක් හමුවේ වැඩි හඩට අනුව සම්මත කිරීමේ ප්‍රතිපාදනයක් තියනවා.ඒ වගේ ප්‍රතිපාදන දැන් ශ්‍රිලනිප ව්‍යවස්ථාවටත් ඇතුලත් කරලද දන්නේ නෑ.රටේ රාළ හිටපු පක්ෂ ප්‍රධාන ලේකම්වරයෙක් විදිහට පක්ෂයක විධායක සභාව කැඳවන විදිමත් ක්‍රම වේදයක් තියන බව දන්නවා.ඒක ශ්‍රිලනිප ව්‍යවස්ථාවෙත් ඇති.


ඒ සියලු ක්‍රමවේද උල්ලංඝනය කරමින් කරපු මේ විධායක සභා කැදවීම නීති විරෝධීයි.අද විධායක සභාව කැඳවන්න කියලා තීරණය කළාට මෛත්‍රී පාර්ශවයේ අයට ඒ බව දැනුම් දීලා තියෙන්නේ තීරණය ගන්න ඉස්සෙල්ලා.ඒක තහවුරු කරන්න දුන්න කෙටි පණිවිඩ රටේ රාළ ළඟත් තියනවා.ශ්‍රිලනිපයේ බලය සම්බන්ධ කාරණය දැන් තීරණය වෙන්නේ අධිකරණ දෙන තීරණ දෙකක් මත.මැතිවරණය කොමිෂමටත් පක්ෂයක අභයන්තර අර්බුදවලට මැදිහත් වෙන්න බෑ.


ඒක නිසා මේ දෙපාර්ශවයම අධිකරණ තීරණවලට ගරු කරමින් කටයුතු කරන්න ඕනි.අධිකරණ තීරණයෙන් පස්සේ තමයි විධායක සභාව කැඳවන්න නීත්‍යානුකූල අවසරය හම්බ වෙන්නේ. හැබැයි මේ විදිහට මේ ගන්න අනීතික ක්‍රියාමාර්ගවලටත් හේතුවක් තියෙන්න ඕනි.රටේ රාළට දැනෙන දේශපාලනයට අනුව නම් මේ දිගා වෙමින් තියෙන්නේ විජේදාස රාජපක්ෂ ශ්‍රිලනිප ජනාධිපති අපේක්ෂකයා කරන මෙහෙයුමේ කොටසක්.


සමහරවිට හෙට කැඳවන විධායක සභාවේ චිජේදාස සාමාජිකයෙක් විදිහට නම යෝජනා ස්ථිර කරන්නත පුළුවන්.මේ යන විදිහට එවෙලෙම විජේදාස වැඩබලන සභාපති වෙන්නත් බැරි නෑ. විජේදාස ජනාධිපති නීතිඥයෙක් වෙන්න ඇති.හැබැයි මේ සියල්ල අනීතිකයි.විජේදාස රාජපක්ෂට ඔය වගේ අසනීප ජන්ද කාලෙට හැදෙනවා.හරි ඔයාලා මෙහෙම හිතන්නකෝ ඔය මොන ක්‍රමයකින් හරි විජේදාස ශ්‍රිලනිප ජනාධිපති අපේක්ෂකයා වුනා කියලා. විජේදාසට කවදාවත් මේ ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන අපේක්ෂකයෙක් වෙන්න බෑ. රනිල්ට,සජිත්ට,අනුරට,දිලිත්ට වඩා විජේදාස ඉන්නේ ගව් ගානක් පිටි පස්සෙන්.


එහෙම මහජන විශ්වාසයක් විජේදාසට නෑ.ඒ වගේම එහෙම ජන පදනමක් හරි සංවිධාන බලයක් හරි විජේදාසට නෑ. විජේදාසගේ අධ්‍යාපන හැකියාව කවදාවත් රටේ රාළ අවතක්සේරු කරන්නේ නෑ.හැබැයි විජේදාස එන්න ඕනි හරි පාරේ.විජේදාසට දිනන්න බැරි නං එයාට වෙන්නේ තමන්ගේ අපේක්ෂකධූරය ප්‍රධාන අපේක්ෂකයෙක් ඉස්සරහා දේශපාලන වශයෙන් උකස් කරන්න.මොකද දිනන්න බැරි බව දන්න විජේදාස කරන්න හදන්නේ ශ්‍රිලනිපය අරගෙන ගිහින් අගමැතිකමකට හරි කැබිනට් ඇමතිකමකට හරි ඒ අපේක්ෂකත්වය දේශපාලන වශයෙන් උකස් කියන්න කියලයි රටේ රාළ කියන්නේ.


දැන් මෛත්‍රීලා දිගටම කියන්නේ දුම්න්දලා ශ්‍රිලනිපය ගෙනිහින් ආණ්ඩුවට හේත්තු කරන්න හදනවා කියලා.හැබැයි මෙතනදී වෙන්නේ ඊට වැඩිය භයානක දෙයක්. අනිවාර්යෙන් මෙතන වෙන්න වැඩි ඉඩක් තියෙන්නේ පෞද්ගලිකව සජිත් හරි රනිල් හර ඉදිරියේ විජේදාසගේ උවමනාවන්වලට පක්ෂය උකස් තියන එකයි.ඒක ශ්‍රිලනිපය විදිහට සන්ධානගත වෙලා වෙන අපේක්ෂකයෙකුට උදව් කරනවට වැඩිය භයානකයි.ශ්‍රිලනිප අනාගතය මෙහෙම උකස් තැබීම නං කරන්න දෙන්න බෑ.


මෛත්‍රීටත් නඩුවල තව ලොකු ගානක් ගෙවන්න ඇති.මෛත්‍රී වටකරගෙන ඉන්න දේශපාලන ළමා සොල්දාදුවන්ට දේශපාලනය තේරෙන්නේ නෑ.ඒක නිසා මෙහෙම හෝල් සේල් පක්ෂ විකුණලා දැමීම මහ අපරාධයක්.ඒක දේශපාලන හේතුන්ට වඩා ආර්ථික හේතුන් මත තමයි වෙන්නේ කියලයි රටේ රාළට දැනෙන්නේ.ශ්‍රිලනිපයේ හිටපු ජේෂ්ඨ නායකයෙක් විදිහට මෛත්‍රී කරන වැඩේ ශ්‍රිලනිපයට ආදරය කරන කිසි කෙනෙකුට අනුමත කරන්න බෑ.


මෛත්‍රීට සභාපතිධූරය අහිමි වෙයි කියලා තියන බයට ශ්‍රිලනිපය කෑලි ගානට වෙන්දේසියේ දානවා නං මෛත්‍රීටත් කුඩු වෙන්න ගහන්න රටේ රාළ පසුබට වෙන්නේ නෑ. මෛත්‍රී රටේ රාළගේ පෞද්ගලික යාලුවෙක්.ඒත් ඔය කා ඉස්සරහාවත් අපි අපේ දේශපාලනය සල්ලි කරලා නෑ.ඒක මෛත්‍රී දන්නවා.රටේ රාළට කියන්නේ මේ දක්වා මෛත්‍රී පාර්ශවයේ මැදිහත්වීම අනීතිකයි, ශ්‍රිලනිපයට අවාසිදායකයේ කියලයි.


හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට 

රටේ රාළ.