Monday, November 21, 2022

ශ්‍රිලනිපය දෙකඩ වේ?

 

ශ්‍රීලංකා නිදහස් පක්ෂය දෙකඩවීමේ අර්බුදයක් මතුව තිබේ. ඒ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු 08 කුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කිරීමත් සමගය.

එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයට තිලංග සුමතිපාල මහතා පත්කිරීමත් සමග ඒසඳහා බොහොදෙනෙකු විරෝධය පළකර ඇති බවද වාර්තාවේ. එමෙන්ම ශ්‍රීලනිපයේ වර්තමාන සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව පිරිසක් අධිකරණයට යාමට සූදානම්වන බවද වාර්තාවේ.



අයවැය ඡන්ද විමසීම අද


අයවැය ඡන්ද විමසීම අද(22දා) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2023 වර්ෂය සඳහා වන රජයේ අයවැය යෝජනාවලිය පසුගිය 14 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අයවැය දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය 15 දා සිට අද(22දා) දක්වා පැවැත්විණ. අයවැය තුන්වැනිවර කියවීමේ විවාදය හෙට(23දා) සිට ආරම්භවීමට නියමිතය.



පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන සියලු වාර්තා මෘදු පිටපත් ලෙස ඉදිරිපත් කිරීමට පියවර...

 

පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන වාර්ෂික වාර්තා සහ කාර්ය සාධන වාර්තා මේ වනවිට මෘදු පිටපත් මාර්ගයෙන් පමණක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන අතර එම වාර්තාවල සීමිත දෘඩ පිටපත් සංඛ්‍යාවක් පමණක් අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන මන්ත්‍රීවරයන්ගේ ප්‍රයෝජනය සඳහා සභා ගර්භයේ සහ පුස්තකාලයේ  තැබීමට කටයුතු කරනු ලබන බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

 කඩදාසි සඳහා වැයවන අධික පිරිවැය හේතුකොටගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන සියලු වාර්තා මෘදු පිටපත් (Soft Copy) වශයෙන් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී තීරණය කෙරිණි.

 ඒ අනුව, 2023 වර්ෂයේ විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙන කාල සීමාවේදී ඒ ඒ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන ප්‍රගති වාර්තාද මෘදු පිටපත් වශයෙන් මන්ත්‍රීවරයන් වෙත ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බවද කථානායකවරයා දැනුම් දුන්නේය. එම වාර්තාවලද දෘඩ පිටපත් කිහිපයක් මන්ත්‍රීවරයන්ගේ ප්‍රයෝජනය සඳහා සභා ගර්භයේ සහ පුස්තකාලයේ තැබීමට කටයුතු කරන බවද කථානායකවරයා පැවසීය.



ජනතා අයිතියට පත් නොවු පොදු වැසිකිලිය

  

මහඉලුප්පල්ලම නගරයේ මීට වසර 05 කට පමණ ඉහතදී ඉපලෝගම ප්‍රාදේශීය සභාව මගින් ඉදි කිරීම් අවසන් කළ පොදු වැසිකිළි පද්ධතිය මෙතෙක් ජනතා අයිතියට පත් කර නැතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරති.

 කාන්තා, පිරිමි හා ආබාධිත පුද්ගලයින් සඳහා භාවිතා කළ හැකි වන පරිදී අංග සම්පූර්ණ වැසිකිලි පද්ධතියක් රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් වැය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ , ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්

 ඉපලෝගම ප්‍රාදේශීය සභාව මගින් මීට වසර 05 කට පමණ ඉහතදී මහඉලුප්පල්ලම නගරයේ වෙළඳසංකීරණයට පිටුපසින් ඉදි කර අවසන් කර ඇත. නමුත් ඊට ජල සම්බන්ධතාවය ලබා නොදීම හේතුවෙන් තවමත් ජනතා අයිතියට  පත් කර නැතැයි ජනතාව පවසති.

අංග සම්පූර්ණව ඉදි කළ අදාළ වැසිකිළි පද්ධතිය මේ හේතුවෙන් භාවිතයට නොගෙනම විනාශ වෙමින් පවතින අතර, මහජන මුදල් මෙලෙස නිකරුණේ විනාශ වීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සිය කණගාටුව පළ කර සිටිති.මේ වන විට ජල ටැංකි කැලෑවට යටවී, විනාශ වෙමින් පවතින අයුරුද දැක ගත හැකි විය.

මහඉලුප්පල්ලම නගරයේ පිහිටි ප්‍රාදේශීය රෝහල, මහඉලුප්පල්ලම ක්ෂ්‍රේත්‍ර භෝග ආයතනය, ඉංජිනේරු කාර්යාලය, මහවැලි කාර්යාල, උපතැපැල් කාර්යාල ඇතුළු රාජ්‍යය හා පෞද්ගලික ආයතන සඳහා සේවා සපයා ගැනීමට පැමිණෙන හා මහඉලුප්පල්ලම නගරයට පැමිණෙන ජනතාවට වැසිකිලි කැසිකිළි කටයුතු සිදු කර ගැනීමට ස්ථානයක් නොමැති වීමෙන් ජනතාව මහත් අපහසුතාවට පත්වන බවද ප්‍රදේශවාසීන් පවසති.

 




තිසර සමල් - අනුරාධපුර 

Sunday, November 20, 2022

ධීවරයින් වෙනුවෙන් දීලීප් විනාඩි 03 ක උපවාසයක්



වර්තමානය වන විට ධීවරයන් ප්‍රශ්න රැසකට මුහුණ දී සිටින බවත් ඔවුන්ට ඉතා කඩිනමින් සාධාරණය ඉටුවිය යුතු බව පවසමින් හම්බන්තතොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා පාර්ලිමේන්තුවේ උපවාසයක් ආරම්භකළේය.

ධීවරයින්ට සහන ලබාදෙන තුරු උපවාසය කරන බව පැවසු මන්ත්‍රීවරයා විනාඩි කිහිපයකින් උපවාසය අවසන් කළේය.

දුම්කොළ සමාගමේ පදයට නටන දේශපාලඥයෝ සහ නිලධාරින්

 


බදු වැඩිකිරීමට සාපේක්ෂව දුම්වැටිවල බදු වැඩි නොකිරීම සිදුනොකළේ මන්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(21) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. මේ රටේ සමහර දේශපාලඥයන් සහ නිලධාරීන් දුම්කොළ සමාගම්වල සාක්කුවට  වැටී ඔවුන්ගේ පදයට නැට වෙන පිරිසක් බවට පත්ව ඇති බවද ඒ හේතුවෙන් සිදුකළ යුතු බදු සංශෝධන සිදුකරනු වෙනුවට ඔවුන් ඒවා අමතක කරන බවද විපක්ෂ නායක ප්‍රේමදාස මහතා චෝදනා කළේය.

රටේ ආර්ථික අර්බුදයක් තිබුණද දුම්කොළ සමාගම් ලාබ පිට ලාබ ලබන්නේ මේ හේතුවෙන් යැයිද  සීනි බදු වංචාවෙන්  රටට අහිමිවූ සියලූ බදු මුදල් සමගි ජන බලවේගයේ රජයක් යටතේ  නැවත අය කර ගැනීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයේදීය.