Monday, November 21, 2022

ජනතා අයිතියට පත් නොවු පොදු වැසිකිලිය

  

මහඉලුප්පල්ලම නගරයේ මීට වසර 05 කට පමණ ඉහතදී ඉපලෝගම ප්‍රාදේශීය සභාව මගින් ඉදි කිරීම් අවසන් කළ පොදු වැසිකිළි පද්ධතිය මෙතෙක් ජනතා අයිතියට පත් කර නැතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරති.

 කාන්තා, පිරිමි හා ආබාධිත පුද්ගලයින් සඳහා භාවිතා කළ හැකි වන පරිදී අංග සම්පූර්ණ වැසිකිලි පද්ධතියක් රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් වැය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ , ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්

 ඉපලෝගම ප්‍රාදේශීය සභාව මගින් මීට වසර 05 කට පමණ ඉහතදී මහඉලුප්පල්ලම නගරයේ වෙළඳසංකීරණයට පිටුපසින් ඉදි කර අවසන් කර ඇත. නමුත් ඊට ජල සම්බන්ධතාවය ලබා නොදීම හේතුවෙන් තවමත් ජනතා අයිතියට  පත් කර නැතැයි ජනතාව පවසති.

අංග සම්පූර්ණව ඉදි කළ අදාළ වැසිකිළි පද්ධතිය මේ හේතුවෙන් භාවිතයට නොගෙනම විනාශ වෙමින් පවතින අතර, මහජන මුදල් මෙලෙස නිකරුණේ විනාශ වීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සිය කණගාටුව පළ කර සිටිති.මේ වන විට ජල ටැංකි කැලෑවට යටවී, විනාශ වෙමින් පවතින අයුරුද දැක ගත හැකි විය.

මහඉලුප්පල්ලම නගරයේ පිහිටි ප්‍රාදේශීය රෝහල, මහඉලුප්පල්ලම ක්ෂ්‍රේත්‍ර භෝග ආයතනය, ඉංජිනේරු කාර්යාලය, මහවැලි කාර්යාල, උපතැපැල් කාර්යාල ඇතුළු රාජ්‍යය හා පෞද්ගලික ආයතන සඳහා සේවා සපයා ගැනීමට පැමිණෙන හා මහඉලුප්පල්ලම නගරයට පැමිණෙන ජනතාවට වැසිකිලි කැසිකිළි කටයුතු සිදු කර ගැනීමට ස්ථානයක් නොමැති වීමෙන් ජනතාව මහත් අපහසුතාවට පත්වන බවද ප්‍රදේශවාසීන් පවසති.

 




තිසර සමල් - අනුරාධපුර 

Sunday, November 20, 2022

ධීවරයින් වෙනුවෙන් දීලීප් විනාඩි 03 ක උපවාසයක්



වර්තමානය වන විට ධීවරයන් ප්‍රශ්න රැසකට මුහුණ දී සිටින බවත් ඔවුන්ට ඉතා කඩිනමින් සාධාරණය ඉටුවිය යුතු බව පවසමින් හම්බන්තතොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා පාර්ලිමේන්තුවේ උපවාසයක් ආරම්භකළේය.

ධීවරයින්ට සහන ලබාදෙන තුරු උපවාසය කරන බව පැවසු මන්ත්‍රීවරයා විනාඩි කිහිපයකින් උපවාසය අවසන් කළේය.

දුම්කොළ සමාගමේ පදයට නටන දේශපාලඥයෝ සහ නිලධාරින්

 


බදු වැඩිකිරීමට සාපේක්ෂව දුම්වැටිවල බදු වැඩි නොකිරීම සිදුනොකළේ මන්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(21) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. මේ රටේ සමහර දේශපාලඥයන් සහ නිලධාරීන් දුම්කොළ සමාගම්වල සාක්කුවට  වැටී ඔවුන්ගේ පදයට නැට වෙන පිරිසක් බවට පත්ව ඇති බවද ඒ හේතුවෙන් සිදුකළ යුතු බදු සංශෝධන සිදුකරනු වෙනුවට ඔවුන් ඒවා අමතක කරන බවද විපක්ෂ නායක ප්‍රේමදාස මහතා චෝදනා කළේය.

රටේ ආර්ථික අර්බුදයක් තිබුණද දුම්කොළ සමාගම් ලාබ පිට ලාබ ලබන්නේ මේ හේතුවෙන් යැයිද  සීනි බදු වංචාවෙන්  රටට අහිමිවූ සියලූ බදු මුදල් සමගි ජන බලවේගයේ රජයක් යටතේ  නැවත අය කර ගැනීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයේදීය.

 

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යයට සහය ලබාදීමට“MIKTA” රටවල් සූදානම

 


 

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යයට සහය ලබාදීමට“MIKTA”  රටවල් කැමැත්ත පළකර තිබේ.  මෙක්සිකෝව, ඉන්දුනීසියාව, කොරියාව, තුර්කිය සහ ඔස්ට්‍රේලියාව යන රටවල් වලින් සැදුම්ලත් මික්ටා “MIKTA” සංවිධානය ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ බහුපාර්ශවීය හමුවක් කොළඹදී පැවැත්විය.

ලෝකය මුහුණ දෙන මූලික ගැටලු සාකච්ඡා කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටීමට මික්ටා “MIKTA”සංවිධානය පිහිටුවා ගෙන ඇති අතර මෙවර ගෝලීය වශයෙන් මුහුණ දෙන සෞඛ්‍ය තත්ත්වයන් හා එහි ගැටලු පිළිබඳව මේ තුළ  සාකච්ඡා කෙරේ.

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වූන්ජින් ජියෝං (Santhush Woonjin JEONG) මහතාගේ ආරාධනයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙම අවස්ථාවට එක්ව සිටියේය.  ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මූලික අවශ්‍යතා වෙනුවෙන් සහයෝගය ලබා දීමටත්,ඒ වෙනුවෙන් පෙනී සිටීමටත් මේ සඳහා එක් වූ මික්ටා “MIKTA”  සංවිධානයේ නියෝජිතවරු එකඟතාවය පළ කළහ.

විශේෂයෙන් කොවිඩ් ව්‍යසනයේදී එම රටවල් ශ්‍රී ලංකාව කෙරෙහි දැක්වූ ඉහළ දායකත්වයට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රසාදය පළ කළ අතර ගෝලීය ව්‍යසනය සාර්ථකව පාලනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එම නියෝජිතයින් ඉහළ ප්‍රසාදය පළ කළහ.

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති දේවි ගස්ටිනා ටෝබිං ( Dewi Gustina Tobing),ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති දිමෙත් සිකර්සෝග්ලු  (Demet Sekercioglu),ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන්ස් (Paul Stephens) ශ්‍රී ලංකාවේ මෙක්සිකානු කොන්සල් ජනරාල් මොහාන් පණ්ඩිතගේ යන මහත්වරුන්ද, එම රටවල නියෝජිතයින් පිරිසක් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Friday, November 18, 2022

ආයෙත් රටේ පාලනය සුද්දන්ට භාරදෙමු

 


මෙරට පාර්ලිම්න්තුව මන්ත්‍රීවරුන් ඇතුළු සියලු යළිත් වරක් විදේශිකයින්ට භාරදීමෙන් රට දියුණුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද(18දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එලෙස යලිත් ලංකාව විදෙස් රටක පාලනයට ලක්උවහොත් නිදහස අහිමිඋවද දුෂණයෙන් තොර පාලනයක් ඇතිවෙනු ඇති බවද ඩොලරය සහ රුපියල එකට සමාන වනු ඇති බවද ෆොන්සේකා මහතා පැවසීය.

රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කර විදෙස් ජාතීන්ට විකුණනවානම් පාර්ලිමෙන්තුව ඇතුළු රටම විදෙස් ජාතීන්ට විකිණීම කළ හැකි බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය

 

Thursday, November 17, 2022

ආර්ථිකය ගොඩ ගන්නනම් රජය ව්‍යාපාර වලින් ඉවත්විය යුතුයි

 

රටේ ආර්ථිකය ගොඩ ගැනීමට නම් රජය ව්‍යාපාර කිරීමෙන් වහාම ඉවත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

රාජ්‍ය සම්පත් යැයි කියා ගනිමින් රජය ව්‍යාපාර බදාගැනීම මගින් දිගින් දිගටම සිදුවන්නේ විශාල වශයෙන් පාඩු සිදුවීම බවද හෙතෙම පෙන්වා දුන්නේය. එබැවින් ව්‍යාපාර සිදුකිරීම පෞද්ගලික අංශ වෙත පවරා නිවැරදි බදු කරණයක් මගින් රාජ්‍ය පවත්වාගෙන යාම සිදුකළ යුතු බවද මන්ත්‍රීවරයා කීවේය.

එමෙන්ම රටට පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් එම ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවෙන් පක්ෂ විපක්ෂ සියලුදෙනා සිටගත යුතු බවද පෙන්වා දුන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේය. එකට එක්වී ආර්ථිකය ගොඩදමමින් වෙන වෙනම දේශපාලනය කිරීමට දැන්වත් සියලුදෙනා සුදානම් විය යුතු බවද වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේය.